
තම සැමියා කතා කරන්නේ දරුවන් ගැන හිත රිදවාගෙන බව දැන් නිර්මලා මැණිකෙ දනියි. පොඩිපුතා ජයමාල් නිසා ඔහුගේ හිත හොඳටම පෑරිලාය. එහෙන් මලින්ද පුතා නිසා රත්නපුරේ දෙමාල්ලන්ගේ හිත පත්තුවෙලාය.
ඔන්චිල්ලාවත් වගේ අපේ ජීවිතත් එහාට මෙහාට පැද්දෙනවා... හහ්... එකම රාමුවේ... එකම සීමාවේ...”
අභිනය ද පාමින් සංජය එහාට මෙහාට ඇවිදින හැටි ශ්‍රීමාල් ඇතුළු සගයන් බලා සිටින්නේ නිසොල්මනේය. හැමදෙනාගේ ම අත්වල පොත්ය.... ඇස් සංජය ළඟය. ඒ අභිනය හමාර කර වටපිට බලද්දී අත් පොළසන් නාදයකි.
“මචං උඹලගෙ නාට්‍ය තරගෙ කවද්ද ආ?”
ශ්‍රීමාල් අසද්දී සංජය ඊට උත්තර දෙන්නේ වමත හසුරුවමිනි.
“අප්පා... සති දෙකයි එහෙනං...” උදාර කියයි.
ආයෙත් සංජය නාට්යාවේශය බිඳ නොගෙන ම දෙබසක් කියයි.
“හැබෑ ආදරවන්තෝය කිසිදාක එක්වෙන්නේ නැත.. එක් වූ ආදරවන්තයින් ළඟ... ආදරය පවතින්නේ ද නැත. ඒ නිසා... හැබෑ ආදරවන්තයෝ නම් එක් නොවූ ආදරවන්තයෝය..!”
ශ්‍රීමාල්, උදාර වගේ ම චතුරත් කැලඹීගෙන එන හැටි දැකලා සංජයට හිනා පහලවේ.
“මොකක්ද බං ඒ හරුපෙ...? කවුද උඹද ඔය දෙබස් ලිව්වෙ... හහ්.. එතකොට උඹ කියන්නේ යාළුවෙලා කසාද බඳින අය ළඟ ආදරේ පවතින්නේ නෑ කියලද ආ...!”
චතුර ඉදිරියට එන්නේ සරමත් කැහැපට ගහගෙනය. සංජය නාට්‍ය පිටපත පසෙක දමා හයියෙන් හිනාවෙයි.
“අනේ.. අනේ.. මුං සත්‍ය ප්‍රේම භෘංග රාජයො වෙලා තියෙන හැටි... මේක බොලල්ලා නාට්‍යයේ... එන එක චරිතයක් දක්වන අදහසක් ඔය...!”
“ඒ වුණාට මචං... බලාගෙන ගියාම මටත් හිතෙනවා ඔය කතාව ඇත්ත කියලා.. අද සමාජෙ දිහා බලපුවාම...!” එහෙම කීවේ ශ්‍රීමාල් ය.
“ආ... එහෙමද... හිටපං... මං එහෙනම් මේඛලාට කියන්නම් මෙන්න මෙහෙම අදහසක් ශ්‍රීමාල් දැන්වුවා කියලා... හැබෑ ආදරවන්තයෝ කිසිදාක එක්වන්නේ නැත කියලා...”
“මේ මැරුම් නොකා හිටපං හරිද.. හහ්...!”
ශ්‍රීමාල් කෝපයෙන් නැගිටියි. සංජය මිතුරන්ට හරස් වෙයි.
“කට වහගනිල්ලා.. මෝඩ යක්කුනේ... උඹලා හදන්නේ මේ අවුරුදු ගානක් තිස්සේ අපිව නඩත්තු කරන.. අපෙ ‘දෙයියා’ හිරේ යවන්නද ආ... එකෙක් මැරුවාම මූ හිරේ යනබව දන්නෙ නැද්ද හා...!”
කාමරයම හිනාවෙන් පිරීතිරී යන්නේ ඊළඟටය. ඊළඟ වසරේ නියමිත වියෝගය මතක් වෙලා ඊළඟට දැනෙන්නේ අප්‍රමාණ වේදනාවකි. ශ්‍රීමාල්ගේ මුහුණ කළු වලාවකින් වැසිලා යන්නේ ඊළඟට ජයමාල් මල්ලිගේ ආල හුටපටය මතක් වෙලාය.
“බලපං සිරා අපේ මලයත් ඒ අව් අස්සෙම ආලවට්ටමක් පටන්ගත්තනෙ... එහෙන් මලින්ද අයියාට ගෙදරින් ගෝරි” ඒ එක්කම ඒ ගින්දරෙන් ම මූත් හරියට හුළු අත්තක් පත්තු කර ගත්තා වගේ බලපං... දෙමවුපියො වුණත් කොහොම ඉවසන්නද බං.. මං මේ මොනතරම් දෙගිඩියාවෙන් ද ඉන්නේ මගේ එෆෙයාර් එක ගැන... ඒකට නම් කීයටවත් සමාවක් නෑ බං... මං දන්නවා... ඒත් මේඛලා... ගැන මට හරිම දුකයි.. බං... මං මොනවා කරන්නද ඉතිං.. එදා මලින්ද අයියයි තරංගයි හම්බවුණ දවසෙත් මට හරියට දුක හිතුණා.”
“හිටපං බං.. ඉවසලා... සමහර ප්‍රශ්න වලට කාලය තමා හොඳම බේත...”
“කාලයට ඉඩ දීලා බලාගෙන ඉඳලා අනාගතේ ම අනාගත්තු අය ඕනෑතරම්...”
ඒ පණ්ඩිත වාක්‍යය කියන්නේ උදාර ය.
“එහෙනම් කියාපං මේකට විසඳුමක්...!”
සංජීවගේ ඒ කියමන තුළ තිබුණේ තර්ජනයක් ද කියා හිතන ගමන් හැමෝම බැලුවේ ඔහු දිහාය. ඒ තුෂ්ණිම්භූථ වෙමිනි.
****
විල්ප්‍රඩ් රත්නසේකර ආලින්දයට වෙලා බලා සිටින්නේ ජන්තුවා මිදුලේ ඇති කුරුළු තටුවට කෑම දමන දිහාය.
අවුරුදු කී ගානක් තිස්සේ මේ තටුවට කුරුල්ලො, ලේන්නු එනවද? ජන්තුවා කී කාලයක් තිස්සේ මේ සාත්තුව කරනවාද? එහෙම හිතද්දීම ක්‍රෑස් හඬින් කෑ ගසමින් අසල ඇති ඇටඹ අත්තට ගිරා රැනක් ම ඉගිල ආවෝය.
“මොකෝ අපෙ මහත්තයා... කුරුල්ලෝ ගණන් කරනවාද? හා...!”
නිර්මලා මැණිකෙ දිහා ඔහු බැලුවේ මඳ සිනා ඇතිවය.
“බලන්නකො මැණිකෙ... මේකට එන සත්තු කන්දරාව.. අපිට ඔක්කොම එක වගේ වුණාට කලින් අවුරුදුවල ආපු එවුන්ගෙ පැටව් වෙන්න ඇති දැන් ඔය ඉන්නේ... හා... නැද්ද...?”
“ඒක නම් ඇත්ත අපෙ හාමු මහත්තයා.. දැන් මේකට එන කුරුල්ලො ලේන්නු පරම්පරා තුනක විතර කට්ටිය හා.. මුලින් ආපු කට්ටියගෙ පුතාල දූලා මුනුපුරාලා... මේ...!”
ජන්තු උත්තර දෙන්නේ හරිම සතුටින්ය.
“එක අතකට අපෙ මැණිකෙ.. සත්තු - කුරුල්ලො... හරිම වාසනාවන්තයි... අපිට වඩා...”
“ඇයි අපෙ මහත්තයා එහෙම අජෝ කතාවක් කිව්වෙ...?”
“නෑ මැණිකෙ... ඉතිං ඒ පැටව් උන්ගෙ අම්මලා තාත්තලා එක්ක හටන් අල්ලන්නෙ නෑනෙ... මේ අපේ එවුවො වගේ...හහ්...!”
තම සැමියා කතා කරන්නේ දරුවන් ගැන හිත රිදවාගෙන බව දැන් නිර්මලා මැණිකෙ දනියි. පොඩිපුතා ජයමාල් නිසා ඔහුගේ හිත හොඳටම පෑරිලාය. එහෙන් මලින්ද පුතා නිසා රත්නපුරේ දෙමාල්ලන් ගේ හිත පත්තුවෙලාය.
සිරියා තේ බන්දේසිය රැගෙන ආලින්දයට ආවේ ඒ අතරේය. කුමාර පුතා හින්දා තවම තමුන්ටත් සැමියාටත් ඒ අපහසුතාවයන් ඇතිවෙලා නැති එක ගැන සතුටු වෙන්නට ඇයට බැරිය. ඒ ඇය පරම්පරාගත සුවච කීකරු අවංක සේවිකාවක වන හින්දාය. ඒ එක්කම වගේ පාසල් ඇරී කුමාර එමින් සිටියේය.
“අපේ උසස් පෙළ පංති අද පටන්ගත්තා හාමු මහත්තයා...”
“බොහොම හොඳයි.. බොහොම හොඳයි... ඉහළට ඉගෙනගත්තාට කාරි නෑ අම්මා අප්පලගෙ හිත්වලට ගින්දර දෙන්නෙ නැතිව ඉන්න එක තමා කාරිය...!”
විල්ප්‍රඩ් හාමු එහෙම කියා තේ කෝප්පය උගුරට දෙකට බී එය බන්දේසිය මත තැබුවේ සද්දෙටය.
ලොකු හාමුගෙ හිතේ කුමාර කොල්ලා ගැන මොකක් නමුත් කහටක් ඇතැයි කියා සිරියාට සිතෙන්නට පටන් ගති.
“හ්ම්... මැණිකෙ.. ලොකු පුතාට කෝල් එකක් ගන්න බලන්න!”
නිර්මලා මැණිකේ අසුනින් නැගිට්ටේ හිතේ දෙගිඩියාවෙනි.
****
ජයමාල් හෙමිහිට මාලිකා සමඟ කතා කරමින් සිටියේ යහළුවකුගේ ගෙදරදීය. ඒ ටිකක් දුර ඈතක තැනක ය.
“අනේ ඇත්තට... ඔයා හැමදාම ක්ලාස් එකට ආවෙ.. ඉතින් වාහනේකින්නේ... මම ඉතිං දැනගත්තා... අපිට නම් අල්ලන්නවත් බැරි තරම්... උඩින් ඉන්න කෙනෙක් කියලා...”
“ඉතිං ඔයත් එහෙනම් ආවෙ වාහනේකින් නේ...”
ජයමාල් කියන්නේ කටහඬ මෘදු කරගෙනය. කෙල්ලක් සමඟ කතා කරනවිට සෞම්‍ය විදියට කතා කළ යුතු යැයි උපදෙස් දුන්නේ කල්‍යාණ මිත්‍ර චිරන්තය. ඒවා මතක තියාගෙන පිළිපැදිය යුතුය.
“මාත් ආවෙ වාහනේකින් තමා... ඒත් ඒක අපේ නෙමේ. ඒක යාළුවෙකුගෙ වාහනේ...”
“ඉතින් මං ආපු වාහනේත් මගේ නෙමේනෙ...”
“පිස්සු... ඔයා ආවෙ ඔයාගෙ අප්පච්චිලගෙ වලව්වෙ වාහනයෙන්නේ... ඇයි ඔයාකාර අතේ පැළවෙන බොරු කියන්නෙ...?”
“ඉතිං ඒක තමා මෝඩියෙ කිව්වෙ... ඒක මගේ නෙමේ... මට තාම මටය කියලා මොකවත් නෑ...! තේරුණාද... හා... හා...”
“ඔයා නම් හරිම ‘තර්කපාල’ කෙනෙක් බලාගෙන ගියාම. අපරාදෙ ඔයාට කැම්පස් යන්නයි තිබුණෙ.. මේ තදියමේ රස්සාවල් හොය හොයා දඟලන්නෙ...”
“මම රස්සාවක් කරනවා... ගෙයක් හදනවා... ස්වාධීන මිනිහෙක් වෙනවා... ඔව්.. මම දියුණු වෙනවා.. ඔයා කැමති නැද්ද තමුන්ගෙ කොල්ලා අම්මා අප්පච්චිලගෙ සක්ක නැතිව කෙළින් කටින් නැගිට ගන්නවා දකින්න.. හඃ....”
ජයමාල්ගේ කටහඬ උද්වේගතරය... එය ප්‍රබල ය .
“අද ගෙදර ගියා ම අප්පච්චිලා මට දෙහි කපාවි. මං සැර දමා ගෙදරින් පිටවෙලා බස් එකකට නැග්ගා කියලා දැනටමත් අප්පච්චිගෙ මොළේ අච්චාරු වෙලා ඇත්තෙ.”
“අනේ එහෙම අප්පච්චිලාව හෙලා දකින්න එපා මාල්. පව් එයාලා හැමදේම කළේ ඔයාලා වෙනුවෙන් නේ...”
“අනේ මේ... ඕවා පරණ කතා.. ඕවා පරණ රෙකෝඩ් මාලිකා.. ඕවා දැන් වාදනය කරන්න එපා... අදට ඔබින දේ කතා කරමු...”
“හා.. හා.. ඇයි හෙටට ඔබින දේ නෙමේද හා...”
මාලිකා විහිළුවක් කර ජයමාල්ගේ අත අල්ලා සොලවයි... ඒ ස්පර්ශයෙන් තම රුදු සිත මෙලෙක් වෙනවා ජයමාල්ටම තේරෙයි. ඒ මෘදුකමත් එක්කම ඔහුට මතක් වෙන්නේ අම්මාය!
“පව්...! මට අම්මා ගැනයි දුක...!”
සමන්ති අක්කා විවාහ වෙච්ච ජයේන්ද්‍ර සැමියා ගේ පුත්‍රයෙක් බව අම්මා දැනගත් විට... මොකින් මොකක් වේද?
ඔහුට සිතුෙණ් ඒ ටිකය. ඔහු අතේ ග්‍රහණය දැඩි කරමින්ම මාලිකා දෙස බලයි. ඒ ග්‍රහණයේ ආගන්තුක බවටත් ආධුනික බවටත් මාලිකාට හිනායයි. ඇත්තටම ජයමාල් හැදිලා තියෙන්නේ තොත්ත බබෙක් ගානටය.
“මොකෝ එකපාරටම මනමාල පාටක් මූණට ආවේ...?”
ඇය ජයමාල්ව අවුස්සන්නේ ආදරේටය. ජයමාල් මාලිකා දිහා ඇස්පුරාම බලාගෙන හිදියි. හෙමිහිට කටහඬ අවදි කරයි. මෙහෙම හිටියට අපේ ගෙවල්වල මාර ප්‍රශ්න... මාලිකා... මම ඔයාට වෙලාවක මේවා ඒ ටු ඉසෙඩ් කියන්නම්කො...!”
එවිටම ජංගම දුරකතනය නාද දෙන්නට පටන් ගත්විට ඔහු එහි මූණත දිහා බලන්නේ කේන්තියෙනි.
“අයියා...!” මාලිකා දෙස බලා කට ඇද කරමින් කියන්නේ කරදරයට පත් විලාසෙනි.
“නොගෙන ඉන්න එපා.. අයියාට ඔයා ඇත්ත කියන්න..” මාලිකා බැගෑපත් වෙයි.
“පිස්සු කතා කරන්න එපා... අපේ අයියා කියන්නේ ශ්‍රීමාල් රත්නසේකර බේබි හාමු.. හහ්.. ඒ බේබි හාමු විල්ප්‍රඩ් රත්නසේකර මහ හාමුගෙ කපාපු පලුව... අතකොලුව... හහ්...” අවඥාවෙන් එහෙම කියන ජයමාල් ඉබේටම ජංගමයාට නිහඬ වෙන්නට ඉඩ හරියි.
“ඔයා හරිම නපුරුයි මාල්... කොච්චර වුණත් ශ්‍රීමාල් අයියාට නපුරුකං කරන්න හිතන්න එපා..!”
“අනේ අනේ අපූරු නෑන ඩිංගක්නෙ අපෙ අයියට ඉන්නේ...!”
ලබන සතියට...