සත්තු කුරුල්ලෝ හරි වාස­නා­ව­න්තයි අපිට වඩා | Page 2 | සිළුමිණ

සත්තු කුරුල්ලෝ හරි වාස­නා­ව­න්තයි අපිට වඩා

තම සැමියා කතා කරන්නේ දරු­වන් ගැන හිත රිද­වා­ගෙන බව දැන් නිර්මලා මැණිකෙ දනියි. පොඩි­පුතා ජය­මාල් නිසා ඔහුගේ හිත හොඳ­ටම පෑරි­ලාය. එහෙන් මලින්ද පුතා නිසා රත්න­පුරේ දෙමා­ල්ලන්ගේ හිත පත්තු­වෙ­ලාය.

‍ඔන්චි­ල්ලා­වත් වගේ අපේ ජීවි­තත් එහාට මෙහාට පැද්දෙ­නවා... හහ්... එකම රාමුවේ... එකම සීමාවේ...”

අභි­නය ද පාමින් සංජය එහාට මෙහාට ඇවි­දින හැටි ශ්‍රීමාල් ඇතුළු සග­යන් බලා සිටින්නේ නිසො­ල්ම­නේය. හැම­දෙනා‍ගේ ම අත්වල පොත්ය.... ඇස් සංජය ළඟය. ඒ අභි­නය හමා­ර­ කර වට­පිට බලද්දී අත් පොළ­සන් නාද­යකි.

“මචං උඹ­ලගෙ නාට්‍ය තරගෙ කවද්ද ආ?”

ශ්‍රීමාල් අසද්දී සංජය ඊට උත්තර දෙන්නේ වමත හසු­රු­ව­මිනි.

“අප්පා... සති දෙකයි එහෙනං...” උදාර කියයි.

ආයෙත් සංජය නාට්‍ය‍ා­වේ­ශය බිඳ නොගෙන ම දෙබ­සක් කියයි.

“හැබෑ ආද­ර­ව­න්තෝය කිසි­දාක එක්වෙන්නේ නැත.. එක් වූ ආද­ර­ව­න්ත­යින් ළඟ... ආද­රය පව­තින්නේ ද නැත. ඒ නිසා... හැබෑ ආද­ර­ව­න්තයෝ නම් එක් නොවූ ආද­ර­ව­න්ත­යෝය..!”

ශ්‍රීමාල්, උදාර වගේ ම චතු­රත් කැල­ඹී­ගෙන එන හැටි දැකලා සංජ­යට හිනා පහ­ලවේ.

“මොකක්ද බං ඒ හරුපෙ...? කවුද උඹද ඔය දෙබස් ලිව්වෙ... හහ්.. එත­කොට උඹ කියන්නේ යාළුවෙලා කසාද බඳින අය ළඟ ආදරේ පව­තින්නේ නෑ කිය­ලද ආ...!”

චතුර ඉදි­රි­යට එන්නේ සර­මත් කැහැ­පට ගහ­ගෙ­නය. සංජය නාට්‍ය පිට­පත පසෙක දමා හයි­යෙන් හිනා­වෙයි.

“අනේ.. අනේ.. මුං සත්‍ය ප්‍රේම භෘංග රාජයො වෙලා තියෙන හැටි... මේක බොලල්ලා නාට්‍යයේ... එන එක චරි­ත­යක් දක්වන අද­හ­සක් ඔය...!”

“ඒ වුණාට මචං... බලා­ගෙන ගියාම මටත් හිතෙ­නවා ඔය කතාව ඇත්ත කියලා.. අද සමාජෙ දිහා බල­පු­වාම...!” එහෙම කීවේ ශ්‍රීමාල් ය.

“ආ... එහෙ­මද... හිටපං... මං එහෙ­නම් මේඛ­ලාට කිය­න්නම් මෙන්න මෙහෙම අද­හ­සක් ශ්‍රීමාල් දැන්වුවා කියලා... හැබෑ ආද­ර­ව­න්තයෝ කිසි­දාක එක්වන්නේ නැත කියලා...”

“මේ මැරුම් නොකා හිටපං හරිද.. හහ්...!”

ශ්‍රීමාල් කෝප­යෙන් නැගි­ටියි. සංජය මිතු­රන්ට හර­ස් වෙයි.

“කට වහ­ග­නිල්ලා.. මෝඩ යක්කුනේ... උඹලා හදන්නේ මේ අවු­රුදු ගානක් තිස්සේ අපිව නඩත්තු කරන.. අපෙ ‘දෙයියා’ හිරේ යව­න්නද ආ... එකෙක් මැරු­වාම මූ හිරේ යන­බව දන්නෙ නැද්ද හා...!”

කාම­ර­යම හිනා­වෙන් පිරී­තිරී යන්නේ ඊළ­ඟ­ටය. ඊළඟ වසරේ නිය­මිත වියෝ­ගය මතක් වෙලා ඊළ­ඟට දැනෙන්නේ අප්‍ර­මාණ වේද­නා­වකි. ශ්‍රීමාල්ගේ මුහුණ කළු වලා­ව­කින් වැසිලා යන්නේ ඊළ­ඟට ජය­මාල් මල්ලිගේ ආල හුට­ප­ටය මතක් වෙලාය.

“බලපං සිරා අපේ මල­යත් ඒ අව් අස්සෙම ආල­ව­ට්ට­මක් පට­න්ග­ත්තනෙ... එහෙන් මලින්ද අයි­යාට ගෙද­රින් ගෝරි” ඒ එක්කම ඒ ගින්ද­රෙන් ම මූත් හරි­යට හුළු අත්තක් පත්තු කර ගත්තා වගේ බලපං... දෙම­වු­පියො වුණත් කොහොම ඉව­ස­න්නද බං.. මං මේ මොන­ත­රම් දෙගි­ඩි­යා­වෙන් ද ඉන්නේ මගේ එෆෙ­යාර් එක ගැන... ඒකට නම් කීය­ට­වත් සමා­වක් නෑ බං... මං දන්නවා... ඒත් මේඛලා... ගැන මට හරිම දුකයි.. බං... මං මොනවා කර­න්නද ඉතිං.. එදා මලින්ද අයි­යයි තරං­ගයි හම්බ­වුණ දව­සෙත් මට හරි­යට දුක හිතුණා.”

“හිටපං බං.. ඉව­සලා... සම­හර ප්‍රශ්න වලට කාලය තමා හොඳම බේත...”

“කාල­යට ඉඩ දීලා බලා­ගෙන ඉඳලා අනා­ගතේ ම අනා­ගත්තු අය ඕනෑ­ත­රම්...”

ඒ පණ්ඩිත වාක්‍යය කියන්නේ උදාර ය.

“එහෙ­නම් කියාපං මේකට විස­ඳු­මක්...!”

සංජී­වගේ ඒ කිය­මන තුළ තිබුණේ තර්ජ­න­යක් ද කියා හිතන ගමන් හැමෝම බැලුවේ ඔහු දිහාය. ඒ තුෂ්ණි­ම්භූථ වෙමිනි.

****

විල්ප්‍රඩ් රත්න­සේ­කර ආලි­න්ද­යට වෙලා බලා සිටින්නේ ජන්තුවා මිදුලේ ඇති කුරුළු තටු­වට කෑම දමන දිහාය.

අවු­රුදු කී ගානක් තිස්සේ මේ තටු­වට කුරුල්ලො, ලේන්නු එන­වද? ජන්තුවා කී කාල­යක් තිස්සේ මේ සාත්තුව කර­න­වාද? එහෙම හිත­ද්දීම ක්‍රෑස් හඬින් කෑ ගස­මින් අසල ඇති ඇටඹ අත්තට ගිරා රැනක් ම ඉගිල ආ‍‍වෝය.

“මොකෝ අපෙ මහ­ත්තයා... කුරුල්ලෝ ගණන් කර­න­වාද? හා...!”

නිර්මලා මැණිකෙ දිහා ඔහු බැලුවේ මඳ සිනා ඇති­වය.

“බල­න්නකො මැණිකෙ... මේකට එන සත්තු කන්ද­රාව.. අපිට ඔක්කොම එක වගේ වුණාට කලින් අවු­රු­දු­වල ආපු එවුන්ගෙ පැටව් වෙන්න ඇති දැන් ඔය ඉන්නේ... හා... නැද්ද...?”

“ඒක නම් ඇත්ත අපෙ හාමු මහ­ත්තයා.. දැන් මේකට එන කුරුල්ලො ලේන්නු පර­ම්පරා තුනක විතර කට්ටිය හා.. මුලින් ආපු කට්ටි­යගෙ පුතාල දූලා මුනු­පු­රාලා... මේ...!”

ජන්තු උත්තර දෙන්නේ හරිම සතු­ටින්ය.

“එක අත­කට අපෙ මැණිකෙ.. සත්තු - කුරුල්ලො... හරිම වාස­නා­ව­න්තයි... අපිට වඩා...”

“ඇයි අ‍පෙ මහ­ත්තයා එහෙම අජෝ කතා­වක් කිව්වෙ...?”

“නෑ මැණිකෙ... ඉතිං ඒ පැටව් උන්ගෙ අම්මලා තාත්තලා එක්ක හටන් අල්ලන්නෙ නෑනෙ... මේ අපේ එවුවො වගේ...හහ්...!”

තම සැමියා කතා කරන්නේ දරු­වන් ගැන හිත රිද­වා­ගෙන බව දැන් නිර්මලා මැණිකෙ දනියි. පොඩි­පුතා ජය­මාල් නිසා ඔහුගේ හිත හොඳ­ටම පෑරි­ලාය. එහෙන් මලින්ද පුතා නිසා රත්න­පුරේ දෙමා­ල්ලන් ගේ හිත පත්තු­වෙ­ලාය.

සිරියා තේ බන්දේ­සිය රැගෙන ආලි­න්ද­යට ආවේ ඒ අත­රේය. කුමාර පුතා හින්දා තවම තමු­න්ටත් සැමි­යා­ටත් ඒ අප­හ­සු­තා­ව­යන් ඇති­වෙලා නැති එක ගැන සතුටු වෙන්නට ඇයට බැරිය. ඒ ඇය පර­ම්ප­රා­ගත සුවච කීකරු අවංක සේවි­කා­වක වන හින්දාය. ඒ එක්කම වගේ පාසල් ඇරී කුමාර එමින් සිටි­යේය.

“අපේ උසස් පෙළ පංති අද පට­න්ගත්තා හාමු මහ­ත්තයා...”

“බොහොම හොඳයි.. බොහොම හොඳයි... ඉහ­ළට ඉගෙ­න­ග­ත්තාට කාරි නෑ අම්මා අප්ප­ලගෙ හිත්ව­ලට ගින්දර දෙන්නෙ නැතිව ඉන්න එක තමා කාරිය...!”

විල්ප්‍රඩ් හාමු එහෙම කියා තේ කෝප්පය උගු­රට දෙකට බී එය බන්දේ­සිය මත තැබුවේ සද්දෙ­ටය.

ලොකු හාමුගෙ හිතේ කුමාර කොල්ලා ගැන මොකක් නමුත් කහ­ටක් ඇතැයි කියා සිරි­යාට සිතෙ­න්නට පටන් ගති.

“හ්ම්... මැණිකෙ.. ලොකු පුතාට කෝල් එකක් ගන්න බලන්න!”

නිර්මලා මැණිකේ අසු­නින් නැගිට්ටේ හිතේ දෙගි­ඩි­යා­වෙනි.

****

ජය­මාල් හෙමි­හිට මාලිකා සමඟ කතා කර­මින් සිටියේ යහ­ළු­ව­කුගේ ගෙද­ර­දීය. ඒ ටිකක් දුර ඈතක තැනක ය.

“අනේ ඇත්තට... ඔයා හැම­දාම ක්ලාස් එකට ආවෙ.. ඉතින් වාහ­නේ­කින්නේ... මම ඉතිං දැන­ගත්තා... අපිට නම් අල්ල­න්න­වත් බැරි තරම්... උඩින් ඉන්න කෙනෙක් කියලා...”

“ඉතිං ඔයත් එහෙ­නම් ආවෙ වාහ­නේ­කින් නේ...”

ජය­මාල් කියන්නේ කට­හඬ මෘදු කර­ගෙ­නය. කෙල්ලක් සමඟ කතා කර­න­විට සෞම්‍ය විදි­යට කතා කළ යුතු යැයි උප­දෙස් දුන්නේ කල්‍යාණ මිත්‍ර චිර­න්තය. ඒවා මතක තියා­ගෙන පිළි­පැ­දිය යුතුය.

“මාත් ආවෙ වාහ­නේ­කින් තමා... ඒත් ඒක අපේ නෙමේ. ඒක යාළු­වෙ­කුගෙ වාහනේ...”

“ඉතින් මං ආපු වාහ­නේත් මගේ නෙමේනෙ...”

“පිස්සු... ඔයා ආවෙ ඔයාගෙ අප්ප­ච්චි­ලගෙ වලව්වෙ වාහ­න­යෙන්නේ... ඇයි ඔයා­කාර අතේ පැළ­වෙන බොරු කියන්නෙ...?”

“ඉතිං ඒක තමා මෝඩියෙ කිව්වෙ... ඒක මගේ නෙමේ... මට තාම මටය කියලා මොක­වත් නෑ...! තේරු­ණාද... හා... හා...”

“ඔයා නම් හරිම ‘තර්ක­පාල’ කෙනෙක් බලා­ගෙන ගියාම. අප­රාදෙ ඔයාට කැම්පස් යන්නයි තිබුණෙ.. මේ තදි­යමේ රස්සා­වල් හොය හොයා දඟ­ලන්නෙ...”

“මම රස්සා­වක් කර­නවා... ගෙයක් හද­නවා... ස්වාධීන මිනි­හෙක් වෙනවා... ඔව්.. මම දියුණු වෙනවා.. ඔයා කැමති නැද්ද තමුන්ගෙ කොල්ලා අම්මා අප්ප­ච්චි­ලගෙ සක්ක නැතිව කෙළින් කටින් නැගිට ගන්නවා දකින්න.. හඃ....”

ජය­මාල්ගේ කට­හඬ උද්වේ­ග­ත­රය... එය ප්‍රබල ය .

“අද ගෙදර ගියා ම අප්ප­ච්චිලා මට දෙහි කපාවි. මං සැර දමා ගෙද­රින් පිට­වෙලා බස් එක­කට නැග්ගා කියලා දැන­ට­මත් අප්ප­ච්චිගෙ මොළේ අච්චාරු වෙලා ඇත්තෙ.”

“‍අනේ එහෙම අප්ප­ච්චි­ලාව හෙලා දකින්න එපා මාල්. පව් එයාලා හැම­දේම කළේ ඔයාලා වෙනු­වෙන් නේ...”

“අනේ මේ... ඕවා පරණ කතා.. ඕවා පරණ රෙකෝඩ් මාලිකා.. ඕවා දැන් වාද­නය කරන්න එපා... අදට ඔබින දේ කතා කරමු...”

“හා.. හා.. ඇයි හෙටට ඔබින දේ නෙමේද හා...”

මාලිකා විහි­ළු­වක් කර ජය­මාල්ගේ අත අල්ලා සොල­වයි... ඒ ස්පර්ශ­යෙන් තම රුදු සිත මෙලෙක් වෙනවා ජය­මා­ල්ටම තේරෙයි. ඒ මෘදු­ක­මත් එක්කම ඔහුට මතක් වෙන්නේ අම්මාය!

“පව්...! මට අම්මා ගැනයි දුක...!”

සමන්ති අක්කා විවාහ වෙච්ච ජයේන්ද්‍ර සැමියා ගේ පුත්‍ර­යෙක් බව අම්මා දැන­ගත් විට... මොකින් මොකක් වේද?

ඔහුට සිතුෙණ් ඒ ටිකය. ඔහු අතේ ග්‍රහ­ණය දැඩි කර­මින්ම මාලිකා දෙස බලයි. ඒ ග්‍රහ­ණයේ ආග­න්තුක බව­ටත් ආධු­නික බව­ටත් මාලි­කාට හිනා­යයි. ඇත්ත­ටම ජය­මාල් හැදිලා තියෙන්නේ තොත්ත බබෙක් ගාන­ටය.

“මොකෝ එක­පා­ර­ටම මන­මාල පාටක් මූණට ආවේ...?”

ඇය ජය­මාල්ව අවු­ස්සන්නේ ආද­රේ­ටය. ජය­මාල් මාලිකා දිහා ඇස්පු­රාම බලා­ගෙන හිදියි. හෙමි­හිට කට­හඬ අවදි කරයි. මෙහෙම හිටි­යට අපේ ගෙව­ල්වල මාර ප්‍රශ්න... මාලිකා... මම ඔයාට වෙලා­වක මේවා ඒ ටු ඉසෙඩ් කිය­න්නම්කො...!”

එවි­ටම ජංගම දුර­ක­ත­නය නාද දෙන්නට පටන් ගත්විට ඔහු එහි මූණත දිහා බලන්නේ කේන්ති­යෙනි.

“අයියා...!” මාලිකා දෙස බලා කට ඇද කර­මින් කියන්නේ කර­ද­ර­යට පත් විලා­සෙනි.

“නොගෙන ඉන්න එපා.. අයි­යාට ඔයා ඇත්ත කියන්න..” මාලිකා බැගෑ­පත් වෙයි.

“පිස්සු කතා කරන්න එපා... අපේ අයියා කියන්නේ ශ්‍රීමාල් රත්න­සේ­කර බේබි හාමු.. හහ්.. ඒ බේබි හාමු විල්ප්‍රඩ් රත්න­සේ­කර මහ හාමුගෙ කපාපු පලුව... අත­කො­ලුව... හහ්...” අව­ඥා­වෙන් එහෙම කියන ජය­මාල් ඉබේ­ටම ජංග­ම­යාට නිහඬ වෙන්නට ඉඩ හරියි.

“ඔයා හරිම නපු­රුයි මාල්... කොච්චර වුණත් ශ්‍රීමාල් අයි­යාට නපු­රුකං කරන්න හිතන්න එපා..!”

“අනේ අනේ අපූරු නෑන ඩිංගක්නෙ අපෙ අයි­යට ඉන්නේ...!”

ලබන සතියට‍...

 

Comments