
ලෝකය වෙනස් වෙමින් ඇත්තේ අප හිතනවාට වඩා වේගයෙනි. එකිනෙකා අතර සබඳතා ගොඩ නඟෙන්නේ අප මෙතෙක් විශ්වාස කළ සම්ප්‍රදායන්ට එපිටිනි. පරම්පරා දෙකක අන්තය යුග ගණනක් සේ ය. විශ්වාසයන්, වටිනාකම් හා ඇගැයීම් පද්ධතිය වෙනස් වෙමින් ඇත්තේ අපව තිගස්වමිනි. කැස්බෑවේ කුඩමාදුව පාර සුදු කොඩියෙන් ගැවසීගෙන ය. ඒ කොඩිවැල් අතරින් ඔහු විසූ නිවස වෙත පිය නඟමි.
විසල් නිවස අවට එක් වූ පිරිස් සුසුම්ලමින් සිටිති. නිරපරාද මරණයට කෙසේ කවුරු වග කිවයුතුදැයි කිව හැකි නොවේ. වාද්දූව මිනීමරු ෆේස්බුක් සාදයේ සමාජ ඛේදවාචකය පිළිබිඹු කළ බිල්ල ඔහු ය; නම එරංග රුවන් පෙරේරා ය; දරුවන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක් ය. මැදිවියට ආසන්නයේ සිටි මේ දෙදරු පියා සතුට හා වින්දනය සොයා ගිය ගමන කෙළවර කරගෙන තිබූ ආකාරය වික්ෂිප්ත ව සිටිනා ඔහුගේ දෙදරුවන්ගේ ඇස්වල සටහන් ව තිබෙනු දුටුවෙමි. හෙතෙම තවත් සාද සගයන් තිදෙනෙක් සමඟ හෙවන්ස් ගේට් හෙවත් ස්වර්ගයේ දොරකඩ (Heaven’s Gate) ලෙසින් නම් කර තිබූ ෆේස් බුක් රාත්‍රී සාදය අපායේ දොරටුව අසලින් කෙළවර කරගෙන තිබුණේ ය.
නොදන්නා මිනිසුන් අතර හඳුනාගත හැකි දෑසක් සොයමින් සිටියෙමි. නෑසියෝ වැළපෙති; සුසුම් හෙළති. ඒ අතර මේ මිනීමරු සාදයට එක්වූ කවුරුන් හෝ වෙත්දැයි විමසිල්ලෙන් හිඳිමි. ඈත කෙළවර පුටු කිහිපයක වට කොට තබාගෙන යම් කතිකාව යෙදෙන පිරිසකි. ඇඳුමෙන් මෙන්ම පැළඳුමෙන් ද වෙනස් බව පෙනෙන මේ තරුණ පිරිස සැහැල්ලුවෙන් කතාබහ කරමින් සිටිති. ඔවුන් අසලින් හිඳගෙන සිටියේ සංවාද ප්‍රවේශයක් සොයමිනි.
ඔවුන් එක සීරුවට කතා කරමින් සිටින්නේ ෆේස්බුක් හරහා සංවිධානය වූ සාදවල අත්දැකීම් ගැන ය. ඔවුන්ට මේ සාද අරුමයක් නොවේ. ඔවුන්ට අනුව මේ මරණයට සාදය වගකිවයුතු නැත. මෙවැනි මරණ කොතැනක සිටියත් සිදුවිය හැකිය. මඟ යද්දීත් මිනිස්සු මැරී වැටෙති. ඒ කතා ඇසෙනවිට හිතෙන්නේ ගැටලුව ඇත්තේ අප මෙතෙක් මේ සමාජ වටපිටාව ගැන සිතා සිටි ආකාරයේදැයි සිතෙන්නේ ය; කාරණාව ඒ තරම් සරල ය.
මේ අතරින් එකෙක් හා කතාවට වැටෙන්නේ බොහෝ ඉවසීමෙන් ගෙවා දැමූ කාලයකින් අනතුරුව ය. ඔහු කතා කරන්නේ ලෝකය ඔවුන්ගේ සමාජ ක්‍රියාවලිය ප්‍රශ්න කිරීමෙන් හටගත් වේදනාවෙන්දැයි සිතෙන්නේ ය.
“මොනවද මේ කතා අයියා. මේවා මැජික් ද? මේ පාටි අමුතු දේවල් නෙමෙයි; රටේ හැම තැනම මේවා ඕගනයිස් වෙනවා. මේ වැඩේ කළේ වෙල් ප්‍රොෙෆෂනල් ටීම් එකක්; ඇත්තට ම මරු ඉවෙන්ට් එකක්. ඊශ්‍රයාල් වලින්, ඩුබායි වලින්, ඉන්දියාවෙන් වර්ල්ඩ් ෆේමස් ඩී.ජේස් ලා ආවා; රුපියල් තුන්දාහයි ටිකට් එක; වී.අයි.පී කියලා පන්දාහට ටිකට් තිබුණා. වැඩේට ස්පොන්සර් කරලා තිබුණේ රටේ ලොකුම ඕර්ගනයිසේෂන්ස් ටික; ඩී.ජේ පාටි ඕන තරම් තියනවා; ඒත් මේක වෙන එක්ස්පීරියන්ස් එකක්; මරු වැඩක්; ඒකයි මං මෙතෙන්ට සෙට් වුණේ.
ඔහුගේ කාතවෙන් අඩක් ඉංග්‍රීසි වචන ය; වචන උසුරුවීමත් වෙනස් ය. ඔහු කියන්නේ ඩී.ජේ සාදය ගැනය. ඉතා ම කල්පනාකාරී ව මේ සංවාදය ඉදිරියට ගෙන යා යුතුය.
කොහොමද මල්ලි වැඩේට සෙට් වෙන්නෙ.
මේ වගේ වැඩ කොච්චර වෙනවද එෆ්.බී.එකේ. වාද්දූවෙ සැප්රොන් බීච් හොටෙල් එකේ මේ පාටිය තියනවා කියලා ඒ අය ඇඩ්වර්ටයිස් කළේ එයාලගෙ එෆ්.බී. ලයික් පේජ් එකේ. ඒකට ඊශ්‍රායල් ගයි ජේ, ඩුබායි වල සුබන්ඩ්රියෝ, ඉන්දියාවෙ තේජාස් බෙල්කොන්ඩ් ආවා. එන්ෂු වූඩ්, ජෙයි වයිබ්ස් එනවා කියලා කිව්වා. මේ අය ෆේමස් ඩී.ජේස් ලා. පාර්ටි එකේ නම හෙවන්ස් ගේට් (Heaven’s Gate). මං ඒ පේජ් එකට ලයික් කළා. ගෘප් එකට සෙට් උනා. එෆ්.බී එකෙන්, ඉන්සටග්‍රෑම් එකෙන් පබ්ලිසිටි එක දුන්නා. එෆ්බී පෝස්ට් එකේ නම්බර් එකක් තිබුණා. ඒකට කතා කරලා තමයි ටිකට් එක බුක් කළේ.
මේ පාර්ටිවල තියෙන්නෙ වෙනස් එක්ස්පීරියන්ස් එකක්; එදාට තමයි කට්ටිය අඳුනගන්නෙ; මිනිස්සු හිතන වෙන මොනවත් නෑ; ඩාන්ස් කරනවා; පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා; එතනදි හැදෙන රිලේෂන්ෂිප් එක්ක එන්ජෝයි කරන එක අපරාධයක් වෙන්නෙ කොහොම ද? මිනිස්සු ඕන තරම් හවසට බොනවා; බීලා නටනවා; බීලා නටලා මැරෙනවා; බස් එකේදි හඳුනගෙන සෙක්ස් කරනවා; කසාද බඳින පාර්ටන්ස්ලා හම්බවෙන්නෙත් අහම්බෙන් තමයි. මේ පාටියකදි පොඩි ඩිසිප්ලින් එකක් තියනවා. ගාල කඩාගෙන පිස්සු කෙළින්න බෑ. ඕර්ගනයිස් කරන අය හොඳ සිකියුරිටි එකක් දෙනවා. මේ පාටියෙ සිකියුරිටි එක කළේ ඇවන්ගාර්ඩ්ස් ලා. සමාජයෙ වෙන සාමාන්‍ය සිද්ධි, අහම්බ පාටියකදි උනාම කට්ටිය කුලප්පු වෙනවා.
අපි එදා පාටි එකේ කළේ හොඳට ඩාන්ස් කරපු එක; ඩ්‍රග්ස් තිබුණද දන්නෙ නෑ. අපි ගත්තෙත් නෑ; ගත්ත කට්ටිය හිටියද දන්නෙත් නෑ; කලින් අඳුනන අය නෙමෙයි එතන හිටියෙ. බියර් තිබුණා; ලිකර් තිබුණා; ෂෝට් ඊට්ස්, බර්ගර්ස් ගන්න පුළුවන් කම තිබුණා. එතන නියම සිකියුරිටි එකක් තිබුණෙ. ටිකට් එක පෙන්නුව ම එන්ට්‍රන්ස් එකෙන් අතට බෑන්ඩ් එකක් දානවා. ඒක නැති කිසිම කෙනෙකුට ඇතුළෙ ඉන්න බෑ; ඇතුළෙන් පිට වෙන්නත් බෑ; මෙහෙම පාටියක ඩාන්ස් කරනවා ඇරෙන්න වෙන මොනවත් කරන්නත් බෑ.
මේ මැරුණු කෙනාව දන්නව ද?.
කලින් දන්නෙ නෑ. කවුරුත් අසනීප වුණා කියලා ඒ වෙලාවෙදි කිව්වට අපි එච්චර හිතන්න ගියෙ නෑ; එහෙම වෙනවා. ඩ්‍රින්ක්ස් අරන් වැඩි වුණාම වැටෙනවා. සමහර වෙලාවට බියර් එකටත් කට් වෙනවා. ඩාන්ස් කරනකොට ටයර්ඩ් වුණාම කලන්තෙ හැදෙනවා. ඒත් මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ. කවුද දන්නෙ කවුරු කොයි වෙලාවෙ මැරෙයිද කියලා. දැන් අයියා මාත් එක්ක කතා කරලා යනකොට මැරෙන්න පුළුවන්; මමත් එහෙමයි; එච්චරයි.
අපට දුරස් ඔවුන්ගේ ලෝකයේ සාමාන්‍යය එය ය. එහෙත් ඔහු අපට නොකී කතාව තවමත් අපට අසාමාන්‍ය ය. ප්‍රසංගය පවත්වා තිබුණේ පසුගිය සෙනසුරාදා ය. ආරම්භය පස්වරු 7 ට ය. එය පවත්වා තිබුණේ වාද්දූව වික්‍රමසිංහ පාරේ සැප්රෝන් හෝටලයේ අඩක් නිමවූ ගොඩනැගිල්ලක පළමු මහලේ ශාලාවක ය. ලිංග භේදයකින් තොරව ඊට එක්වී සිටි පිරිස 1800 කටත් අධික ය.
සමාජ මාධ්‍ය හරහා එක්වී කිසිදා සියැසින් නුදුටු නන්විධ මිතුරු සමාජ වෙනුවෙන් පවත්වන නොයෙක් ආකාරයේ සාද ගැන පසුගිය සමයේ ඈත ගම්මාන වලින් ද ඇසිණි. එක ආන්දෝලනාත්මක සාදයක් පැවැත්වූයේ අවිස්සාවේල්ල පුවක්පිටියේ ය. තව එකක් ගැන ආරංචි වූයේ වේයන්ගොඩ බාඳුරාගොඩ පැත්තෙන් ය. වාද්දූව හික්කඩුව සංචාරක වෙරළ තීරවල මෙවැනි සාද නොපවතින දිනයක් නැත. එවැනි සාදවලදී මත්ද්‍රව්‍ය, මත්පෙති පමණක් නොව තරුණ තරුණියන් අතර සිදුවූ බව කියන ලිංගික හැසිරීම්වල සාක්ෂි ද ලැබුණු අයුරු පොලිස් පොත්වල සටහන් වුණේ ය. අපායේ දොටුව අසලින් නැවතුණ වාද්දූවේ හෙවන්ස් ගේට් එෆ්.බී සාදය රට ගිනි තිබ්බේ ඊට සහභාගී වූ සිව් දෙනෙක් අහේතුක ව මිය යෑමත් සමඟ ය. සාදය මැදදී අසනීප වූ බව කියා පස්වැනිදා පාන්දර තුනයි තිහට පමණ පාණදුර මූලික රෝහලට සිවු දෙනෙක් ඇතුළත් කරනු ලැබ තිබුණේ ය. ඇතුළත් කරන විටත් කැස්බෑවේ කුඩමාදුව පාරේ විසූ වූ 37 හැවිරිදි එරංග රුවන් පෙරේරා මියගොස් සිටියේ ය. ඊට මඳ වේලාවකට පසුව මිනුවන්ගොඩ බැල්ලපානේ විසූ විසි හැවිරිදි තරුණයෙක් වන මෙලාන් ශාමික ද මරණයට පත්විය. එදිනම පස්වරුවේ කළුතර මොරොන්තුඩුවේ 31 වියේ පසුවූ විදුරංග දිශාන්ත ද මිය ගියේය. හයවැනිදා දහවල් සිවුවැන්නා ලෙස පොතුහැර පදිංචි 28 හැවිරිදි වැවිල්ගමුවේ මනෝජ් සමින්ද විජේසේකර මියගියේ ය. මේ මරණ හතර, සාදයේ සහභාගීත්වයේ ව්‍යාප්තිය පෙන්නුවේය. තරුණයන් මැරෙන්නට ඇවිත් තිබුණේ හද්දා පිටිසර ගම්මාන වලිනි.
“පස්වෙනිදා පාන්දර 3.30ට පමණ පළමු කෙනා රෝහලට ගෙනාවේ. ඒ ගේනකොටත් ඔහු මියගිහින් හිටියේ. අනෙත් අයගේ තත්ත්වයත් ඉතාම බැරැරුම් තත්ත්වයක තිබුණේ.” පාණදුර රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත කුමාර අපට කීවේය.
මියගිය අය ගැන පාණදුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා විවෘත තීන්දුවක් ලබා දෙමින් වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවන ලදී. රජයේ රස පරීක්ෂණ වාර්තා අනුව මරණවලට හේතුව නිශ්චිත වනතුරු මේ මරණ අභිරහස්ය.
සාදයේදී පිරිසක් මියගිය බව වාද්දුව පොලීසියට සැලවීමත් සමඟ ම කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අධීක්ෂණයෙන් පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ආර්. පී. සේනානායක, සහකාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධනගේ උපදෙස් මත වාද්දුව පොලිස් ස්ථානාධිපති ලාලිත වීරසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති තුසිත සිල්වා, පොලිස් පරීක්ෂක පත්මකුමාර, පොලිස් පරීක්ෂක වසන්ත සහ පො.සැ. (3426) සිල්වා යන අය පරීක්ෂණවලට එක්වූහ.
සිද්ධිය වූ ස්ථානය රජයේ රස පරීක්ෂක විසින් ද පොලිස් නිල සුනඛයන්ද යොදවා පරීක්ෂා කරන ලදී. ඒ සියලු පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු අනුව එ් සාදයේදී නොසැලකිලිමත් ක්‍රියා සිදුව ඇති බවට නිරීක්ෂණය වූ හෙයින් එය සංවිධානය කළ ආයතනයේ දෙදෙනකු නවවැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය. එහිදී අත්අඩංගුවට ගැනුණේ සාදය සංවිධානය කළ ස්කයි ඇඩ්වර්ටයිසින් නමැති ආයතනයේ ලියාපදිංචි හිමිකාරිනියගේ සැමියා වූ එ් ආයතනයේ සියලු වැඩ කටයුතු බාරව ක්‍රියා කළ තුන්අඳහේන, කොරතොට, කඩුවෙල ලිපිනයේ විසූ 36 හැවිරිදි තල්පාවිල කංකානම්ගේ අමිල පුෂ්පකුමාර සහ එහි ප්රචාරක නිලධාරියා වූ දොඩම්ගහහේන, ගොතටුව, නවනගරයේ විසූ හර්ෂාන් එරන්ද නමැති 36 හැවිරිදි අයෙකි.
ඔවුන් දෙදෙනා පාණදුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බව වාද්දුව පොලිස් ස්ථානාධිපති ලාලිත වීරසිංහ මහතා පැවැසීය.
සාදය සංවිධානය කළ ආයතනය මාලබේ, කහන්තොට, කොස්හේන පාරේ පිහිටා තිබිණි. ඔවුන් මීට පෙරද මෙවැනිම ඩීජේ සාද කීපයක්ම පවත්වූ අත්දැකීම් සහිත වූවන්ය. ඔවුන් සැප්රෝන්හි පැවැති සාදයට ලබාගෙන ඇත්තේ ශාලාව පමණි.
“මේ සාදයට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අපේ තැන විතරයි ලබාදුන්නෙ. කෑම-බීම තියා අපේ සේවකයෙක්වත් ඊට සම්බන්ධ වුණේ නැහැ. ඊට අනුග්‍රහය දැක්වූයේ ලොකුම ආයතන. ශාලාව අඩි 100ත් 120 ත් පමණ විශාලයි. 1250 ත් 1500 අතර දාන්න පුළුවන්. එන පිරිස වැඩිවෙනකොට අපි ඔවුන් ව දැනුවත් කළා. ප්රශ්නය ඇති වූ සැණින් පොලිසිය ඇවිත් හෝල් එක වහලා දැම්මා. පිටත සිකියුරිටි එකකින් තමයි ආරක්ෂාව දුන්නෙ. සිකියුරිටි ලා 36 දෙනෙකුගේ සේවය ඒ අය ලබාගෙන තිබුණා.“ හෝටලයේ සාමාන්‍යාධිකාරිවරයා කීවේය.
සංවිධායක අමිල පුෂ්පකුමාර ව පොලිස් අත්අඩංගුවට පත්වීමට සුළු මොහොතකට පෙර දුරකථනයට සම්බන්ධ කරගැනීමට අපට හැකි විණි.
“මේකෙ ඇත්ත කතාවේ කට උත්තර සීයකට වැඩිය මං පොලීසියට දීලා තියෙනවා. මට ඔය කියන දේශපාලන හෝ පොලිසියේ අයගේ හස්ත තියෙනවානම් මං දවස් තුනක් පොලීසිය ඇතුළේ ඉන්නෙ නැහැනේ. අපි මේ හැම දෙයක් ම නිසි ප්‍රමිතියට සංවිධානය කළේ. මං අවුරුදු එකොළහක් එන්ටර්ටෙන්මන්ට් ෆිල්ඩ්, ඉවෙන්ට්ස් ෆිල්ඩ් කරන්නෙ. මේ දේශපාලනඥයෝ දෙයක් වුණා ම ඒකෙන් වාසි ගන්න හදන හැටි දැක්කම හරිම දුකයි. මේ අයගේ මරණය ගැන හරිම හිතට දුකයි; මං ඒ අය වෙනුවෙන් වෙනම දානයක් දෙනවා. මට ළමයි මරන්න අවශ්‍යතාවක් නෑ; මේ වගේ දේවල් කරලා. මං තවත් මගේ ජීවිතේට ඩීජේ එන්ටටෙන්මන්ට් කරන්නෙ නෑ. සර්පින්, ගොල්ෆ් ක්ලැසික් ඉවෙන්ට්ස්, රටවල් හතළිස් ගාණක් සහභාගි වන එල්එස්ආර් ටී කප් එක ඒ සියලුම දේ කරන්නෙ මම. ඇතැම් මාධ්‍ය සහ මේ දේශපාලනඥයෝ මගේ ඉවෙන්ට් එකේ නමවත් හරියට වාර්තා කරලා තිබුණේ නෑ. තව කියනවා තුන්දාහේ ටිකට් දාහක්, පන්දාහේ ටිකට් දාහක් දුන්න කියනවා. මං වීඅයිපී ටිකට් 150යි දුන්නෙ.”
මොකද්ද මේ වීඅයිපී කියන්නෙ ඔහුගෙන් මා විමසීමි.
“සාමාන්‍යයෙන් ෆොරිනස්ලා වගේ අය කැමැති නැහැ අනෙත් ක්‍රවුඩ් එකත් සමඟ සම්බන්ධ වෙන්න. ඒ අයට වෙනම ඒරියා එකක් අවශ්‍ය වෙනවා. වාඩිවෙන්න සෝෆා පුටු එහෙම දාලා තියෙන්න ඕනෑ. මං මේ ගැන ළඟදීම මීඩියා වලට කියනවා” යැයි පවසද්දීම ඔහුගේ දුරකථනය විසන්ධි විය.
පාණදුර කොට්ඨාස බාර පොලිස් අධිකාරී ආර්. පී. සේනානායකගෙන් ඇතිවූයේ යැයි පැවසෙන තත්වය ගැන විමසීමි.
“මේකට කිසිම දේශපාලනඥයෙක්, හිටපු ඩීඅයිජී කෙනෙක් සම්බන්ධ නෑ. එහෙම වුණානම් ඒ අය කතා කරන්න ඕනෙ මට. ඔය වාද්දුව ඕඅයිසීගේ මාරුව සිදුවුණේ අද ඊයේ නෙවෙයි. ඒ වගේම ඕඅයිසී කෙනෙක්ට තනියම තීන්දු තීරණ ගන්න බැහැ. ඊට ඉහළින් තව කී දෙනෙක් නිලධාරීන් සිටිනවා ද? ”
“මේ අය මියගියේ විෂ මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් කියා සනාථ වූවොත් මෙහි පරීක්ෂණ තවදුරටත් තීව්ර වෙනවා. එහෙම නැතිව කවුරුවත් කියන පළියට අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම කළාම ඊට පස්සෙ පොලීසිය තමයි වැරැදිකාරයෝ වෙන්නෙ. අපි පිළිගන්නවා ඔය ශාලාව එවැනි සාදයක් පවත්වන්න සුදුසු ශාලාවක් නෙවෙයි. තාම හරියට තීන්ත ගාල රෙපෙයාර් කරලවත් නැහැ. ඒක හෝටලේ වැරැද්ද නෙවෙයි. ඒක සංවිධානය කළ අය මීට වඩා සැලැකිලිමත් විය යුතුයි මේ වගේ ශාලාවක් ගන්නකොට. ඒ වගේම මේවට සහභාගි වන අයත් මෙවැනි සාදවල සිදුවන දේවල් ගැන දැනුවත්ව සිටිය යුතුයි.”
“හැම දේකටම පොලීසියට චෝදනා කරලා වැඩක් නැහැ. මේ සාදයට ආපු කිසිම කෙනෙක් පොලීසියට කටඋත්තරයක්වත් දෙන්න ඉදිරිපත් වුණේ නෑ. අපිට ඔවුන් ගැන තොරතුරක්වත් හොයාගන්න නැහැ. අපිට සාදයේ නීති විරෝධි කටයුතු වූවා කියා කවුරුහරි කට උත්තරයක් දුන්නානම් අපේ පරීක්ෂණවලට එය බෙහෙවින් වටිනවා. ඒත් එහෙම කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ.”
සංවිධායකයන් විසින් බලපත්‍ර ගෙන තිබුණේ බියර්වලට පමණි. එයද රාත්‍රී 12 වන තෙක් ය . එහෙත් මිල අධික සැර මත්පැන් වර්ග පාන්දර යාමය තෙක්ම අලෙවි වී තිබේ. භූමියේ නොයෙක් ආකාරයේ මත්ද්‍රව්‍යවල සුන්බුන් තිබූ බව කියැවිනි. කෙසේ වෙතත් සිවුදෙනෙක් අහේතුකව මිය ගොස් ය. යන්නන් වාලේ යන මේ සමාජ වියරුවේ කෙළවර කොතැනදැයි අපට තවමත් පෙනෙන්නේ නැත.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු