
වෙසක් ළං ළංව එත්ම මට මගේ අයියා සිහි වන අවස්ථා වැඩි වෙයි. වෙසක් දිනයේ කරන්නට ඇති දහසකුත් එකක් දේවල් අයියාගේ සහාය නොමැතිව මා තනිව කරන්නේ කෙසේද? පහන් කූඩුවක් තනන්නට හෝ කොඩි වැලක් අදින්නට හෝ මට අත් උදවු දෙන්නේ කවුද?
අයියා මෙතරම් වැදගත් මහානුභාව සම්පන්න කෙනෙකු යයි මට මෙතෙක් කිසිදාක නොසිතුණි. අපේ නිවසේදී හෝ පිටතදී නිතර කඩිසර ගමනින් යනෙන එහෙත් නිතර නිහඬ අයියාට වඩා දැන් ගෙදර නැති අයියා මට පෙනෙන්නේ දිනෙන් දින උස් මහත් වෙමින් වැඩෙන යෝධයකු මෙනි. අපේ නිවෙසේ සියලු තැන් වසා ගෙන එම යෝධයාගේ තුගු මහත් සිරුර පිරී තිබෙන්නාක් මෙන් මට දැනේ.
මට වඩා වසර කීපයකින් වැඩිමල් වූ අයියාට අම්මා වඩාත් ආදරය දැක්වූයේ යැයි සිතුණු වාර බොහෝය. එවැනි විටෙක මගේ සිතෙහි නොසන්සුන් සහගත සිතුවිලි ඇති වුවද අයියා දුටු විටම ඒ අදහස පහව ගොස් සිත පහන් වන්නේ වලාවක වැසුණු සඳ මෑත් වන්නාක් මෙනි.
තාත්තා අකාලයේ මියැදුණු පසු අපේ ගෙදර ලොක්කා වූයේ අයියාය. ලොක්කා කීවත් අයියා ලොකු මිනිසකු නොවුණත් ගෙදරට ආ සැම දෙනෙකු කීවේ දැන් පවුලේ නායකයා අයියා බවය. මෙවැනි විටක අයියා තම විශාල දෙනෙත් හරවා මා දෙස බලන්නේ තමා මහත් උගුලකට හසුවී ඇතැයි කියන්නාක් මෙනි. එවැනි විටෙක අයියා දෙස සංවේගදායක බැල්මක් හෙළණු මිස මට කළ හැකි කිසිවක් නොවීය.
අයියා අතුරුදන් වී ඊළඟ සතියේ දිනක පාසල් යාමට සුදානම් වූ මම වෙනදා මෙන් අයියා බයසිකලය ගෙන දොරකොඩ ළඟ ඇතැයි සිතා දිව ගිය සැටි මට සිහි වේ. එසැණින් හුදෙකලාව බිත්තියට හේත්තු කොට ඇති බයිසිකලය දැකීමෙන් මා තුළ ඇති වූයේ දැඩි කම්පනයකි. මගේ දෙනෙත පුපුරා ගලන්නට තැත් කළ කඳුළු මම දත්මිටිකමින් වෑයමින් වළක්වා ගතිමි. මගේ සිත දත් අම්මා මා පාසලට රැගෙන ගොස් ඇරලුවාය.
අම්මා මුල් දිනවලදී එක් තැනකට වී කල්පනා කරමින් සිටියද හිටි හැටියේ ආගන්තුක පණක් ලැබූ එකියක මෙන් ගෙදර වැඩවල නිරත වන්නට වූවාය. එහෙත් ඇය අයියා සෙවීම අත්හැර නොදැමුවාය. සාත්තර ඇසුවාය. භාරහාර වුවාය. සෙත්කවි කියෙවූවාය. කතරගම ගොස් බාරවී කඳසුරිඳුන්ට දුක් ගායනා කළාය. විහාරමල්දෙනියේ කන්ද නැඟ කාලි දේවතාවිය හමුවේ පළි ද ගැසුවාය.
අයියා ගෙදර නැති වුවද ඔහුගේ පිඟානට බත් බෙදා තැබීම ඕ පුරුද්දක් ලෙස කළාය. ඇතැම් රාත්‍රී කාලවල අයියා අඳුර අතරින් මෑත්වී ගෙට ගොඩ වෙතියි යන උමතු හැඟීමෙන් යුතුව ඕ ආලින්දයේ වාඩි වී අඳුර දෙස නෙත් දල්වා බලා සිටියාය.
වෙසක් සඳහා මුළු ගම්මානයම සූදානම් වෙන සෙයක් මට දැනේ. අපේ පාසලද කොඩිවැල් ඇද පහන් කූඩු එල්ලා අලංකාර කර ඇත. පිටබැද්දර හන්දියේ තොරණක් සෑදීමට කණු සිටුවා ඇත. එහෙත් වෙසක් ළඟ එන බව තමාට නොදැනෙන අම්මා සිටින අයුරු පුදුමසහගතය. ඇතැම් විට ඇය අයියා නිසා ශෝකයෙන් සිටිනවා විය යුතුය. වෙසක් සැරසිලි කිරීම අයියා නොතකා හැරීමක් වැනි යැයි ඇය සිතනවා විය යුතුය. නිවසේ කිසියම් වෙසක් සැරසිල්ලක් කිරීමට අම්මාගෙන් ඇසුවහොත් ආදරයක් නැති සහෝදර කැක්කුමකින් තොර අකෘතඥයකු ලෙස ඇය මා සලකතැයි මගේ සිතට ඇති වූයේ බියකි.
එහෙත් වෙසක් කූඩුවක් සෑදීමට මගේ සිතේ වූ ආශාව ලියලමින් වැඩෙන්නට විය. එහා ගෙදර ධර්මේත් රවිත් විශාල පහන් කූඩුවක් සෑදීමට උණ ගස් සැස පිළියෙල කරනු මම වැට ළගට වී බලා සිටියෙමි.
“රාජු මේ පාර කූඩුවක් හදන්නේ නැද්ද?” මා දුටු රවි කෑගසා ඇසුවේය. මම කිසිවක් නොකියා එතනින් ඉවත්වී ගියෙමි. මගේ සිත බිඳවැටෙමින් තිබිණ. මම ගබඩා කාමරයට ඇතුළු වී පසුගිය වෙසක්වලට දල්වා එහි තබා තිබූ බකට් කීපයක් ගෙන බැලුවෙමි. ඒවා දුවිලි බැදී දුර්වර්ණ වී ඇතැම් ඒවා ඉරී ගොස් තිබිණ. ඉන් සමහර පහනක ඉටිපන්දම් රඳවන ආධරකය තිබුණේ නැත.
ගබඩා කාමරයේ මුල්ලකට වන්නට තබා තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක් මගේ ඇස ගැටුණේ අහම්බෙනි. මම එය වෙතට ගොස් එය ඇර එහි වූයේ කුමක්දැයි බැලුවෙමි. ඒ තුළ වූයේ පොත් ගොන්නකි. එවා අයියාගේ පොත් විය යුතුය. උසස් පෙළ පන්තියේ විභාගය ගැනීමෙන් පසු අයියා බොහෝ කලක් ගෙදරට වී සිටියේය. ඒ දිනවල ෙඔහු බොහෝ පොත් කියවනු මම දැක ඇත්තෙමි. එහෙත් මා ඔහු අසලට ගිය විටක අයියා එම පොත් මගෙන් වසන් කරන බවක් මට දැනිණ.
“මල්ලිට තවම මේවා කියවලා තේරුම් ගන්න බෑ” යි සිනාසෙමින් කියන ඔහු පොතකට තැබූ මගේ අත ඉවත් කොට කතාව වෙනතකට හැරවීය. මම පෙට්ටියේ වූ පිටකවරයේ මිනිසකුගේ ඡායාරූපයක් ඇති පොතක් අතට ගත්තෙමි. මඳක් තට්ටය පෑදුණු යටි රැවුලක් සහිත එම අපූරු මිනිසාගේ රුවට යටින් වැඩ්මිලර් ලෙනින් යයි ලියා තිබුණේය. ලෙනින් යනු රුසියාවේ සිටි විප්ලවකාරයකු බව මම අසා ඇත්තෙමි. අයියා නිතර නිතර කියන ලෙනින් මොහු විය යුතුය. අයියා තම කාමරයේ මේසය මත තබාගෙන තිබූ පින්තූරය මට සිහි විය.
දිනක් රාත්‍රී අටට විතර අපේ නිවෙසට හදිසියේ කඩාවැටුණ මිනිසුන් වගයක් අපේ ගෙය පරීක්ෂා කොට අම්මාට හා අයියාට බැණ වැදුණු දිනය ඒ සමඟම මගේ මතකයට නැඟිණ. ඉන් එකකු අයියාට පහර දී ඔහුගේ මේසය මත වූ පින්තූරයක් ගෙන පොළොවේ ගැසූ අයුරු මට මතකය. ඒ මැරයා පොළොවේ ගැසුවේ රටක් වටිනා මිනිසකු වූ ලෙනින්ගේ පින්තූරය බව අයියා මට පසුව කීවේය. මේ පොත හැර තවත් පොත් රාශියක් එම පෙට්ටියෙහි විය. ගෝර්කිගේ මිනිසුන් අතර, එමලි බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස් කතාවත්, ටොලස්ටෝයිගේ ඇනා කැරනිනාත් මම අතට ගෙන පෙරළා බැලීමි.
කඩ මණ්ඩියේදී කීපදෙනෙකු අයියා අල්ලා වෑන් රථයක දමාගෙන ගිය බව ඇසූ අම්මා එහෙමම බිම වාඩි වූවා මට මතකය. මේ තරම් පොත පත කියවා උගත්කමක් තිබූ නමුත් ඒ ගැන කිසි උඩඟුකමක් නොදැක්වූ අයියා වැනි අයකුට ඔවුන් එසේ කළේ ඇයි දැයි සිතමින් මම කම්පා වීමි. ඒ මතකය අතරින් මම පොත් හැර පෙට්ටියේ වෙන යමක් ඇත්දැයි සොයන්නට වීමි. එහි යට අඩියේ පහන් කූඩු අලවන සව් කඩදාසි රාශියක් තිබෙනු දැක මම විස්මයට පත්වීමි. එවා සුදු හා රතු පාට කඩදාසිය. මම ඒවා අතට ගෙන කිසිවකුට නොපෙනෙන ලෙස සඟවාගෙන එළියට ගෙන ආවෙමි. මට අයියා ෙකරෙහි ඇතිවූවේ කිව නොහැකි තරමේ අප්‍රමාණ භක්තියකි. තමා නොසිටියද ඔහු මට පහන් කූඩුවක් සෑදීමට ආරාධනා කරන්නාක් බඳුය.
හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුව මම උණ ගසක් ගෙන පලා එය සිහින් කූරුවලට වෙන් කොට සැස පහන් කූඩුවක් තනන්නට පටන් ගතිමි. කූඩුව එක් කොට බැඳීමට තව කෙනකුගේ සහාය අවශ්‍ය වූ නමුත් මම එය බිත්තියට හේත්තු කොට තද කොට ගෙන තනියම ගැට ගැසුවෙමි. අම්මා කීප විටක්ම මා කූඩුව තනන තැනට පැමිණ ගිය නමුත් කිසිවක් නොකීවාය. ඇය සිටින්නේ තරහින් නෙවන බව ඇගේ පියවර හඬින් පවා කිව හැකිය. එහෙත් ඇය ඉන්නේ ශෝකයෙන් බව නම් නියතය. කූඩුව දකින විට අම්මාට අයියා සිහි වන බව මට සිතුණ නමුත් මම නිහඬව කූඩුව තැනීමේ කාර්යෙයහි යෙදී සිටියෙමි.
කුඩුවේ පට්ටම බැඳ නිමා කොට එහි ඇලවීම සඳහා කඩදාසි ගෙන ඒමට මම කාමරයට යන්නට ගියෙමි. සාලයේ පුටුවක වාඩි වී සිටි අම්මා තම හිස පුටු ඇන්දට හේත්තූ කර ගෙන සිටිනු මට පෙනිණ. අම්මා කිසිවිටෙක එසේ සිටිනු මා දැක නැත. මා පහන් කූඩුව සාදන්නට ගැනීමෙන් අම්මාගේ සිත රිදෙන්නට ඇතැයි සිතූ මම සෙමින් ගොස් අම්මාගේ පසෙක සිට ගත්තෙමි. අම්මා මගේ හඬ ඇසී හිස ඔසවා මා දෙස බැලුවාය. දෙනෙතෙහි පිරුණු කඳුළු අතින් පිසදා හැරි අම්මා මැළවුණු මුහුණින් මා දෙස බැලුවාය.
“පුතා කූඩුව අලවන්නට කඩදාසි තියනවාද?”
මම වහා කාමරයට ගොස් අයියා විසින් ඉතිරි කොට තිබූ කඩදාසි ගෙනැවිත් ඇයට පෑවෙමි. ඕ කඩදාසි දෙස බලා මා දෙස ද බැලුවාය. අප දෙදෙනාම එකම දෙයක් ගැන සිතන තත්ත්වයක් තත්පරයක් තුළ ඇතිවී නැතිවී ගියේය. අප දෙදෙනා අතරට පැමිණි අයියාගේ සුවඳ අපට දැනේනනට විය.
සවස් වරුවේ මා කූඩව අලවන තැනට පැමිණි අම්මා මට උදවු වන්නට වූවාය. ඇය ඉතා සීරුවෙන් කපා දුන් කඩදාසි මම රැළි නොවැටෙන සේ එහි ඇලවූවෙමි. අප නිහඬව වැඩ කළ නමුත් අප දෙදෙනාගෙම සිතුවිලි අතීතයත් වත්මනත් අතර දෝලනය වෙමින් තිබිණ.
අම්මේ අයියාත් සිටියා නම් හොඳයි, අම්මේ අයියා එන්නේ කවදාද? අම්මේ අයියාට වුණේ කුමක්ද? වැනි ප්‍රශ්න එකක් හෝ මගේ හිතට වද දුන් නමුත් මම කිසිත් නොදොඩා කූඩුව ඇලවූයෙමි.
ඇත්තටම අයියාට සිදු වූයේ කුමක්දැයි යන්න මා නුහුරු ලොවක මා අතරමන් කරවීය. ඔහු කිසියම් සංවිධානයකට බැඳී කටයුතු කළා දැයි දැනෙන කිසිම සලකුණක් අපේ නිවසේ නම් දක්නට නැත. එහෙත් ලෙනින් මෙන් විප්ලවවාදියකු වූ අයියා පාසලේ පන්ති වර්ජනයකදී පෙරමුණ ගත් බව නම් මට මතකය. කොඩියක් සුරතින් ගෙන දහදිය නැඟි තෙත් වූ වතින් හා අවුල් වූ හිසින් යුතුව සටන් පාඨ කියමින් ගිය අයියාගේ රුව මගේ සිතේ ඇඳී නැති වී ගියේය.
අපි වෙසක් කූඩුව තනා නිම කොට මිදුලේ අඹ ගසේ එය එල්ලුවෙමු. වෙනදා නම් එය එල්ලන්නේ අයියාය. සැන්දෑවේ පහන් දල්වන වෙලාවට අම්මා එය දැල්වූවාය. ඇගේ ශෝකය නිවී ගොස් ඇතැයි මට සිතිණ. ඇගේ මුහුණට නැඟී අත්තේ පහන් බවකි. ඇය ඉතා භක්තියෙන් යුතුව පහන් කූඩුව දල්වයි. මම සෙමින් ලණුව ඉහළට ඇද්දෙමි.
වරක් ගසක කූඩුව එල්ලමින් පෙරදා අයියා කී කතාවක් මගේ සිහියට නැඟිණ.
“මල්ලී වෙසක් දිනය කියන්නෙ මුළු ලෝකයම වෙනස් වීම ආරම්භ වුණු දවසක්. මිනිසුන්ගේ නිසරු ජීවිතය වෙනස් මඟකට යොමු වුණු දවසක්. දුකට අසාධාරණයට ලක්වුණු මිනිස්සුන්ට ශක්තියක් දුන්න දවසක්” අයියා කී දෙය හරිහැටි නොවැටහුණද එදා කුඩා ළමයකුව සිටි මම ඔහුගේ කතාවට හිස වැනුවෙමි. මට එවෙලේ සිහි වූයේ අසාධාරණයට ලක්වූ කුඩා සෝපාක ය. එහෙත් දැන් මට වැටහෙන්නේ එවැනි සෝපාකලා තවත් ලෝකය පුරා සිටින බවත් ඔවුන්ට ද සාධාරණය ඉටුවිය යුතු බවත්ය. පහන් කූඩුවේ එළිය මිදුල පුරාත් අවටත් පැතිරී ඇත. පහන් කූඩුව දල්වා ගෙට යන අම්මාගේ පින්වත් රුව දෙස මම සංවේගයෙන් යුතුව බලා සිටියෙමි.