
සැක නැති
තම තටු ගැනම පමණක්
විශ්වාස කළ විහඟෙක්
දිරු අත්තක වසමින්
ගී ගයයි මහත් සතුටින්
කේ. ඩබ්ලිව්. සිරිසේන
පෙර සේම
නුඹ සිනා සෙමිනි
ගේ මැදින් කුස්සියට
කුස්සියෙන් සාලයට
නිතර ඔබ මොබ යනෙනා විට
මැද බිත්තියෙ රාමුගත
පැන්සලෙන් අදින ලද
නුඹේ ප්රතිරූප චිත්‍රය
සිනාසෙන්නී මා දෙස බලා
මා තරම් නුඹ ගැන හොඳට දන්නා
තවත් ගැහැනියක උන්නාද මිහිපිට
කඳුළු බිඳුවක් පුපුරනා හඬ
දැනෙයි සියොළඟ රිදුම් දෙවමින
සුසුමක ගිනි උණුසුම
නාස් පුඩු දවා අළු කරන
හඬමි ළතවෙමි මම තවම
නුඹ නම් සිනාසෙන්නේ
භව කතර වැට මායිම
පැනගත් නිසා හැකි ඉක්මණට
මා අතහැර
දයාවංශ ජයසිංහ
දැක්ම
අරුණෝදයේ නව හිරු ලොව නැඟෙන පැයේ
සීතල සුළඟ සිප සිප උණුසුමට බියේ
තණ අග දිලිසි - දිලිසී පිනිබිඳුව තියේ
හිරු දුන් හාදුවෙන් පසු එය සැඟව ගියේ
දැල්වෙන පහන්සිල සුළඟට හසුව නිවේ
ඒ සුළඟින්ම ගිනි ඇවිළී වනය දැවේ
ගිනි ඇවිළෙන වදන් ඇත මිනිසුනගෙ මුවේ
සුමටම වදන් ඒ මුවවල නැතුව නොවේ
පහළට යන්න පෙර ඉහළට ගත් හුස්ම
නවතින්නට හැකිය කෙනෙකුගෙ හද ගැස්ම
කරුණක් විය නොහේ එය දනවන විස්ම
දහමකි ලොවේ ඇතිවන හැම දෙය නැස්ම
ප්‍රේමදාස නුගේගොඩ
සරු කරමු තුන්හෙළේ
මැල්ලුමේ තැම්බුමේ පෝෂණය හෙළ බතේ
ලැබු අපි නොසිටියෙමු කිසි දිනක හාමතේ
හැම බිමක් වවමු අපි හෙළා දහදිය ගතේ
රට දියුණු වෙනවමයි අප දියුණු වෙති පුතේ
අහස් තලයෙන් වැටෙන වැසි බිඳක් කිසි දිනක
සමුදුරට ගලන්නට ඉඩ නුදුන් බිම් කඩක
මහා වැව් නිම කළේ හෙළ පුරුෂයන් මෙලක
අමතකද ඒ යුගය සිහි කරනු මැන හනික
විනෝදය තකා ගෙන හැම දිනම ගත කළේ
නොමැත අහරක් කුසට ඇවැසි බව සිහි කළේ
අපටමය වින්නැහිය නොමැතිවද සිහි මොළේ
හෙළයනේ සිතවු සරු කරමු තුන් හෙළේ
හේරත් රණදේව
අම්මා
අහසය දැකුම් කළු පැහැයන් උපද වන
හමමින් නිරන්තර සුළඟය සිසිල දෙන
දිය උල්පතය නොසිඳෙන පෙන බුබුළු එන
මිල කළ නොහැක අම්මා යන අකුරු තුන
හිම කඳු සේය මුදිතා තෙතමනය ළයේ
ගල් කැට රළු බොරලු මෙලෙකයි ගැටෙන පයේ
සවසට නෙළුම් හැකිළෙනු දැක පිපෙන දියේ
කොඳ මල් දිලෙයි අම්මේ ඔබ නමට රැයේ
ගස් අතරින් සුවඳ වටිනා ගසකි සඳුන්
ආදරයේ දයාවේ මල්කඩය මුඳුන්
අම්මේ ලොවේ කාගෙත් හරසරට බඳුන්
සම්බුදු පියාණන් ගාවට ඔබය බුදුන්
කුරුඳුකුඹුරේ නන්දසිරි
ඉසුරුමුණි ලලනාවියගෙන්
දහදිය බිඳු ගලන එන සැඩ හිරු රැසිනි
නොතකා පැල් කොටයෙ වැඩ කාලය ගොසිනි
අමතන හැම විටම ඇමතුවෙ ගොළු බසිනි
මෙම සෙල් පිළිම රැස නෙළුවේ ඔහු විසිනි
හැඩකාරියක් වී සිටි මම තුරුණු වියේ
ඇතිවිනි සෙනෙහසක් හමුවුන දිනම ළයේ
එය කිසි දිනක මගෙ මතකෙන් ඉවත නොයේ
තවමත් ඉසුරුමුනියෙහි සිහිවටන තියේ
ගල් කටුවයි මිටිය සුරකින පණට සම
තුඩු අගකින් කෙරෙන විස්කම් පුදුමතම
තද රළු වුවද ඔහු හද විය සුමුදු ළැම
ගලකට ජීවයක් දෙන හැටි දිටිමි මම
බුළුතොට පියසේන හේවගේ
ණය ගෙවයි දික්තලා...
නුරා බැල්මන් හෙලපු නෙත් හෙමින් උස්සලා
ජීවිතේ රස්නයට මැළවෙද්දි හිස්වෙලා
එදා මල් පෙති ඇඟිලි තුඩු රළුව ගල්වෙලා
හැර ගිහින් ගී ගයපු මත් බඹරු ළංවෙලා
නොවිකිණුන වත්කමක නැති අගය සුන්වෙලා
නොතේරෙන වරදකට සමාජෙන් කොන්වෙලා
පතුරු ගැහුවත් නමම පිම්බිච්ච උන්දැලා
කතරකට මල් ගෙනෙයි පුංචි පැළ ඉන්දලා
තමුන් හට නොව රටටවත් නැතිව එක්වෙලා
පිසාචයො ලේ උරපු සාපයට ලක්වෙලා
වඳ බැහුණු වත්මනක කුමකටද දුක්වෙලා
දරන්නට බැරි සසර ණය ගෙවයි දික්තලා
මල්කා රත්නතුංග