
මේ අවස්ථාවේදී සමාජයේ වැඩිම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබඳයි. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත් යෝජනාවක් ගෙන ඒමට පදනම කුමක්ද යන්න පිළිබඳ සාකච්ජා කළ යුතුය. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමේදී පසුගිය දශක තුන හතරක කාලය තුළ ලෝකයේ බොහෝ රටවල ත්‍රස්තවාදය ජන ජිවිතවලට තර්ජනයක් එල්ල කළ අවස්ථා රැසක් අපට දක්නට ලැබිණි. එසේම මෙරටේ 1980 දශකය මුල භාගය පටන් බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා ජන ජීවිත අඩාළ විය. එයට හේතුව රටේ පැවැති බෙදුම්වාදී ත්රස්තවාදයයි. එසේ නම් මූලික වශයෙන් මේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ප්‍රථම මෙවැනි නීති ලෝකයේ සම්පාදනය කරනු ලැබුයේ කුමන කරුණු අරඹයා ද යන්න පැහැදිලි කළ යුතුය.
1975දී දොරේඅප්පා ඝාතනයෙන් ඇරැඹි ප්රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියාකලාපය තුළ මෙය උඩුදුවමින් පවතින අවස්ථාවක එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 1979දී ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබිණි. ඒ අවස්ථාවේදී මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසු එම පනත ක්‍රියාත්මක කිරීමේදීත් දේශීය විදේශීය වශයෙන් විවේචන එල්ල විය.
එහිදී සුවිශේෂ කරුණක් වන්නේ මේ විවේචනය වැඩි වශයෙන්ම බටහිර රටවල් ප්රමුඛව ඇති වීමයි. එහෙත් මේ විවේචන 2001දී සම්පූර්ණයෙන්ම නතර විය. ඒ නතර වීමට හේතුව අමෙරිකාවේ nine eleven ත්‍රස්ත්‍ර ප්‍රහාරයයි. එම ත්‍රස්ත ප්‍රහාරයේදී ත්රස්තවාදයේ භයානකකම එදා ඇමෙරිකාවට තේරුම් ගැනීමට හැකියාව ලැබුණි. ඒ අතර ජර්මනියට සහ ලන්ඩනය ආශ්‍රිතව බෝම්බ පිපිරීමක් සිදු විය. එදා ත්‍රස්තවාදය වැළැක්වීමට ඒ රටවල නීතිය දැඩි කරනු ලැබිණි. කෙසේ වෙතත් සුපිරි ප්රජාතන්ත්රවාදය කතා කරන බලවත් බටහිර රටවල ත්‍රස්තවාදය ලෙස අර්ථ දක්වන්නේ අපේ රටවල අප නිර්වචනය කරන ත්‍රස්තවාදය නොවේ. එයින් ඔබ්බට ගිය සංවිධානාත්මක අපරාධ සිදු කරන සියලු අවස්ථාවලදී එයත් ත්රස්තවාදයක් ලෙස අර්ථ දක්වයි.
වර්තමානයේ වඩා කතාබහට ලක්වන මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ සඳහන් කිරීමේදී මෙහි අඩු වැඩි වශයෙන් අඩු වැඩි තැන් තිබිය හැකිය. අංග සම්පූර්ණ නීතියක් තවම කිසිවකුට සකස් කිරීමට නොහැකි වී ඇත. නීතිය යන කරුණ කාලීන අවශ්‍යතා අනුව සමාජ අවශ්‍යතා අනුව වෙනස් විය යුතු දෙයකි. සියලු ජනාධිපතිවරුන් එදා එම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව කටයුතු නොකළේ නම් අද අපි කතා කරන ශ්‍රී ලංකාවක් ඉතිරි නොවන්නට ඉඩ ප්රස්ථා තිබිණි.
සැබෑ ලෙසම ත්‍රස්තවාදය උඩු දුවන අවස්ථාවලදී එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපකාරී විය. එසේම මෑතකාලීනව 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රටේ ලේ ගංගා ගලන්නට ඉඩ තිබුණි. එවැනි අවස්ථා වළක්වා ගැනීමට මේ නීතිය ප්‍රයෝජනයට ගැනිණි. 2015 යහපාලන ආණ්ඩු සමයේදී පිහිටුවන ලද ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කිසිවකු අත්අඩංගුවට නොගන්නා ලදී. ඒ අනුව ත්රස්ත්රවාදය වැළැක්වීමේ පනත යටතේ 2019 පාස්කු ප්‍රහාරය වන තෙක් අවුරුදු 4යි මාස හතරක කාලය තුළ කිසිවකු අත් අඩංගුවට ගෙන නොතිබිණි. 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව මේ නීතිය අවභාවිත වීම සම්බන්ධයෙන් දැඩි විවේචන තිබුණි. ඒ නිසා මෙරටේ ප්රජාතන්ත්රවාදී අයිතින් ආරක්ෂා නොවන බවට ලේබල් කර පැත්තකට දැමීමක් සිදු විය. ඒ අනුව අෙමරිකාව ප්රමුඛ යුරෝපය ජී. එස්. පී. සහනය කපා හැරීම සිදු කෙරිණි. අපි ආර්ථික වශයෙන් එදා දැඩි කඩා වැටීමකට ලක්වෙමින් සිටියෙමු. එවක ආණ්ඩුවට බරපතළ ප්‍රශ්න මතුවෙමින් තිබිණි. බලගතු රටවල් එකතු වී යුද අපරාධ සිදු වී ඇති බවට චෝදනා නඟමින් ජනාධිපති, ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ ත්‍රිවිධ හමුදා නිලධාරීන් යුධ අධිකරණයට ගෙන යෑමට සූදානම් කර තිබිණි. ඒ අවස්ථාවේදී ආණ්ඩු පෙරළියක් සිදු විය. පාලන තන්ත්රය පිළිබඳ දේශීය විදේශීය වශයෙන් ආකල්පමය වශයෙන් වෙනසක් එම අවස්ථාවේදී ඇති විය.
ජිනිවා සාකච්ඡාවලදී එදා මෙරට පිළිබඳ අමෙරිකාව ගෙන එනු ලැබූ යෝජනාවලට ලෝකයේ බොහෝ රටවල් සහාය ලබා දෙන ලදී. එම අවස්ථාවේදී රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පෙනී සිටි නියෝජිතයන් ලෙස අපි ඔවුන් සමඟ විචාරශිලීව සහ බුද්ධිමත්ව ගනුදෙනු කරන ලදී. එදා අප එහි නියෝජිතයන් ලෙස රටේ ස්වාධිපත්‍ය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරනු ලැබිණි. ඒ අනුව නියෝජිතයන් ලෙස අපි ජාත්‍යන්තර තලයේ අධිකරණයේ නඩු පැවරිය යුතු නොමැති බවත් දේශීය යාන්ත්‍රණයක් මඟින් මේ ප්රශ්නය විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් එහිදී සඳහන් කරනු ලැබුවෙමු. එය රට පවා දීමක් නොවන බව ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුය. ඒ අනුව අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් පිහිටු වීම, වන්දි කාර්යාලයක් පිහිටු වීම, සංහිඳියා කාර්යාලයක් පිහිටු වීම, යුද සමයේදී සිදු වුවා යැයි කියන අපරාධ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කළ ආකාරයට සත්‍ය ගවේෂණය කිරීමේ කොමිසමක් පත් කර ජනතාවට භේදයකින් තොරව එක තැනකට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ගෙනයෑම සිදු කිරීමත් යන කරුණු ඉදිරිපත් විය.
ඒ අනුව එවක පැවැති ගැටලු දෙයාකාරයකින් ආමන්ත්‍රණය කිරීමට සිදු විය. එක් පැත්තකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර අලුතෙන් ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතක් සකස් කිරීම ජාතික ආරක්ෂාව ප්රමුඛ කරගෙන තිබූ සුවිශේෂ කරුණකි. නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් මේ බල අධිකාරිය තුළ සිදු කර තිබූ රාජ්‍ය දේපොළ නාස්තිය, දුෂණය, වංචාව දුෂණය බලපෑමෙන් කඩා වැටීමක් සිදු වූ බව ඉතා පැහැදිලිය. 2004 වසරේදී අපි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්රඥප්තියේ කොටස්කරුවන් ලෙස පිළිගෙන ඇත. මේ පනත් දෙක එකවර සම්පාදනය කිරීම 2015දී අපි ආරම්භ කළෙමු. මේ පනත් දෙකම සකස් කර අවසන් වන විට, එනම් 2018 වන විට මම අදාළ ඇමැති ධුරයේ කටයුතු නොකරන ලදී. එහෙයින් එය එතනින් නතර විණි. කෙසේ වුවත් පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදී රටේ ජනතාවගේ ඉල්ලීම වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශක්තිමක් කළ යුතු බවයි. එසේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ අවිනිශ්චිත භාවය පදනම් කොටගනිමින් මේ රටේ දේශපාලනය උඩු යටිකුරු කළ යුතු බව ජනතාවගේ ඉල්ලීම විය. පැවැති පාලකයන් වෙනස් කළ යුතු බව ද ඔවුන්ගේ ඉල්ලීමක් විය.
ඒ අනුව ජාතික ආරක්ෂාව වෙනුවෙන්ම මෙරටේ පාලකයන් වෙනස් විය. පසුව එම පාලනයට විරුද්ධව ද යළිත් ජනඅරගලයක් ආරම්භ විය. ජනතාව ස්වේච්ජාවෙන්, ඒ අරගලය ආරම්භ කළ ද පසුව දේශපාලඥයෝ එය මංකොල්ල කෑහ. නිර්පාක්ෂික අරගලය නමට කළු පැල්ලම් එකතු කරමින් දේශපාලනඥයෝ එතැනට පැනීමක් සිදු විය. ඒ අනුව රට අස්ථාවර කිරීම, ගිනි තැබීම ආරම්භ කෙරිණි. එයින් පසු යම් දේශපාලනික වෙනසක් ඇති විය. ඒ අනුව පත්වූ වර්තමාන ජනාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරන බවට ඇතැමුහු චෝදනා කළහ. මේ පනත අහෝසි කරන ලෙසට ද ඉල්ලීම් කළහ. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත් යෝජනාවක් මේ වනවිට ඉදිරිපත් කිරීමට මේ සියලු කරුණු කාරණා හේතු සාධක විය. මේ පනත සම්බන්ධයෙන් ද විරෝධතා දෙකක් පැන නැඟී ඇත. එහිදී රැඳවුම් නියෝග නිකුත් කිරීම මූලික වෙයි. එය සිදු කරන්නේ ආරක්ෂක ඇමැති මෙන්ම රටේ ව්‍යවස්ථාව අනුව අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා විය යුතුය. ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කිරීමෙන් නීතිය අවභාවිත කරන බවට ද චෝදනාවක් ඇත. එබැවින් එය ස්වාධීන නැති බව කියති. සුපිරි ප්රජාතන්ත්රවාදය කතා කරන ඕනෑම රටක අපරාධ නීතියට අනුගමනය කරන්නේ ඉංග්‍රිසි නීතියයි. සාක්ෂි ආඥා පනත අනුව යම්කිසි බලධාරියකු ඉදිරියේදී අපි වරදක් කළේ යැයි පාපොච්චාරණය කිරීම නීතියෙන් පිළිගන්නේ නැත.
සත්‍ය ප්‍රකාශ කළහොත් ඔබට මේ වැනි ප්‍රතිඵල අත්විය හැකියි යන කාරණාව මත පාපෝච්චාරණයක් කළහොත් එය උසාවිය පිළිගත යුතුය. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව පොලිසියට කරන ලද ප්‍රකාශ පිළිගත් සාක්ෂියක් ලෙස පිළිගෙන මරණ දඬුවම පවා දිය හැකිය. අපි සිදු කළේ මේ දෙක දේශපාලන අධිකාරියෙන් ඉවත් කිරීමයි. රැඳවුම් නියෝග දීම පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එය ලබා දීම සිදුකර ඇත. එහිදී ඔහුට ඉදිරිපත් වූ සාක්ෂි ප්‍රමාණවත් නම් යම් පුද්ගලයකු ත්‍රස්තවාදී ක්‍රියාවක් කළේ හෝ කිරීමට සුදානම් වන්නේ නම් ඔහු පැය 48 ඇතුළත මහේස්ත්රාත්වරයාට කරුණු ඉදිරිපත් කර මාස තුනකට රැඳවුම් නියෝගයක් නිකුත් කිරීමට සහ ඒ මාස තුනක කාලය මහේස්ත්රාත්වරයාට ඕනෑම අවස්ථාවක ඒ තැනැත්තා සිටින ස්ථානයට යෑමට, පිරික්සීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යැවීමට වාර්තා කැඳවීමට බලය හිමි වෙයි. එසේම මානව හිමිකම් කොමිසමටත් ඒ තැනැත්තා ගැන පිරික්සා කර බැලීමට පහසුකම් සියල්ල ලබා දෙයි. මේ රැඳවුම් නියෝගය තවදුරටත් දිර්ඝ කරන්නේ නම් මාස තුනෙන් තුනට එය සිදු විය යුතු අතර, උපරිමය වසරක් වෙයි. ඒ හැම අවස්ථාවේම මහේස්ත්‍රාත්ගේ අධීක්ෂණයෙන් හා අවසරය අනුව කළ යුතුය. මෙහිදී සිදු වන්නේ ආරක්ෂක ඇමැතිගේ බලය නියෝජ්‍ය පොලිස්පතිට සහ මහේස්ත්රාත්වරයාට ලබා දීමයි.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය යටතේ පළමු වැනි වගකීමක් ලෙස පවතින්නේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමයි. රටේ සම්පත් ආරක්ෂා කිරීමයි. සෛවරීභාවය ආරක්ෂා කිරීම වැනි ප්රමුඛ කරුණු ආරක්ෂා නොකර ආණ්ඩුවකට මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හැකි වෙතැයි සිතිය හැකිද? මේ පනත් කෙටුම්පත 2018 වසරේදී සකස් කරන ලද පනත් කෙටුම්පතේ දිගුවක් ලෙස ඉදිරිපත් කර ඇත. එවකට එම කෙටුම්පත නිතිඥ සංගමයට ඉදිරිපත් කළ අතර, එහිදී ජනාධිපති නීතිඥවරුන් 16දෙනකු සුළු සංශෝධන ඉදිරිපත් කරමින් පිටු 33ක වාර්තාවක් ලබා දී ඇත. එහි සමහර වගන්ති ලිහිල් වැඩි බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත. මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ලිහිල් දඬුවම් එහි වන බව පවසයි. උදාහරණයක් ලෙස අපේ රටේ නීතිය අනුව මිනීමැරුමකට වරදකරු වුවහොත් මිනීමැරුමට ලබා දෙන දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම හෝ මරණීය දණ්ඩනයයි. නමුත් එම පනත් කෙටුම්පතේ පැවැතියේ ත්‍රස්තවාදි ක්‍රියාවකට නම් උපරිම දඬුවම වසර 20කි. එහිදී ත්‍රස්තවාදියකු විසින් මිනීමැරුමක් සිදු කළහොත් වසර 20ක උපරිම සිර දඬුවමක් හිමි වන නිසා එසේ අසමාන තීන්දු දිය නොහැකි බව පවසයි. මිනීමැරුම මිනීමැරුමක් ලෙස විය යුතුය යන අදහස එහිදී මතුවිය. එයත් මේ අවස්ථාවේදී අප විසින් සැලකිල්ලට ගත් කරුණකි.
ප්‍රශස්ථ ප්රජාතන්ත්රවාදය කතා කරන ඇතැම් රටවල්වල ත්‍රස්තවාදී ක්රියාවන්හිදී ඕනෑම අපරාධයක් සංවිධානාත්මකව කළහොත් ඒ සියල්ල ත්‍රස්තවාදය ලෙස සැලකෙයි. විපක්ෂය මෙයට පහර ගහනවාට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර එහි නිවැරදි මඟ පෙන්වීමක් තුළ ඒ දේ කළහොත් එය ඉතා යහපත් ක්‍රියාවකි. අප සාධනීය සංශෝධන භාර ගැනීමට සුදානම් බව කිව යුතුය. මීට වසරකට පෙර රට සම්පූර්ණ අරාජිකත්වයට යමින් තිබිණි. ඒ අරාජික තත්ත්වය වෙනස් කර අපි ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපනය කිරීමට විශාල වෙහෙසක් දැරුවෙමු. අපි රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දීමට සුදානම් නැත. ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම ආණ්ඩුවේ ප්රමුඛ වගකීමයි. එසේ කිරීමට නොහැකි ආණ්ඩුවක පාලකයන්ට ජනතාවගේ මුලික අයිතිවාසිකම් සුරැකිය නොහැකිය. එසේ නම් අපි මූලිකව බැඳී සිටින්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටයි. ජනතාව දැනුම්වත් විය යුත්තේ මේ පනත් කෙටුම්පත ජනාධිපති රැකීමට, අගමැති හෝ ඇමැතිවරුන් රැකීමට නොවෙන අතර, එය ජනතාව රැකීම අරමුණු කරගෙන සම්පාදනය වූවක් බවයි. මේ ඇමැති ධූරවලින් ඉවත් වූ දිනක අප ද මේ සමාජයේ පුරවැසියෝ වෙමු. එසේ නම් අපේ අයිතිවාසිකම් අහිමි වන අණපනත් අපි සකස් නොකරන බව ඉතා වගකීමෙන් සඳහන් කළ යුතුය.