
ආර්ථික වශයෙන් අසීරු තැනකට රට පත්ව ඇති අවස්ථාවකදී රටේ මුදල් එක් තැනක කේන්ද්‍ර ගතවීම රටක ආර්ථිකයට ඉතා අහිතකරය. මුදල් තැන්පතුවලට ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ලබා දෙන මුවාවෙන් මේ වන විට පිරමිඩ ජාවාරම ජනතාව මුළාවට පත් කිරීම විශාල සමාජ ගැටලුවක් බවට පත්වෙමින් පවතී. මේ ජාවාරම මර්දනය කිරීම මුල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට ඉතා වැදගත් වෙයි. පසුගිය කාලය පුරා වැඩි වශයෙන් ඔන්ලයින් ක්‍රමවේදය අනුගමනය කරමින් පිරමිඩ ජාවාරම වඩාත් රට තුළ ව්‍යාප්ත විය. මේ ජාවාරම්කරුවන් බිලියන ගණනින් මුදල් එක්රැස් කිරීමෙන් අනතුරුව ඇතැම් අවස්ථාවලදී උණ්ඩියල් ක්‍රමවේදය අනුගමනය කරමින් පිටරටවලට මෙරට මුදල් යැවීම ද සිදු කරයි. මෙහි අවදානම් තත්ත්වය වටහාගත් මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව විසින් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමක් සහ අදාළ ව්‍යාජ පිරමීඩාකාර නීතිවිරෝධි ආයතන තහනමට ලක් කිරීමට නීතිමය ප්‍රතිපාදන අදාළ නීතිමය අංශ මඟින් ලබා ගෙන ඇත. ඒ අනුව පසුගිය දිනක එවැනි නීතිවිරෝධි ආයතන තුනක් තහනමට ලක් කරන ලද බව මහබැංකුවේ නිරාකරණ සවි බලගැන්වීම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ එම්. ඩී. සාලිය එන් ගුණතිලක පැවසුවේය.
ඉහත ආකාරයේ යම් යම් ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වා ගෙන ගිය මේ ව්‍යාජ පිරමීඩ ජාවාරම් තුන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක් කරන ලදී. 1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් කරන ලද මේ ආයතන තුන (1) Fast 3Cycle International (pvt) Ltd, (2) Sport Chain App, Sports Chain ZS Society Sri Lanka (3) OnmaxDT යන නම්වලින් හඳුන්වයි. මේ ආයතන තුන 1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින් එහි අධ්යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාණකරුවන්ට අපරාධමය නඩු කටයුතු පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. එම ආයතන තුන සහ එහි අධ්යක්ෂවරුන්, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් සහ ඊට සම්බන්ධ පාර්ශ්ව බැංකු පනතේ 83(ඇ) වගන්තියට පටහැණිව ක්‍රියාත්මක වූ අකාරය පිළිබඳ තම බැංකුව විමර්ශනයක් සිදු කළ බව මහ බැංකුව සඳහන් කරයි.
මෙහිදී තහනමට ලක් කරන ලද මෙම ආයතනවලින් වඩාත් ව්‍යාප්ත වී ඇති ආයතනයක් වන OnmaxDT නැමැති පෞද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් 28 වැනිදා නියෝගයක් නිකුත් කළේය.
වංචනික ලෙස පවත්වා ගෙන යන ලද ආයතනයක් ලෙස OnmaxDT ආයතනය හැඳින්විය හැකිය. ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් රවටමින් ක්‍රියාත්මක වූ OnmaxDT නමැති සමාගම මෙරට ලියාපදිංචි කරන ලද සමාගමකි. මෙහිදී ගනුදෙනුකරුවන්ට මුදල් ආයෝජනය කිරීමෙන් මාස 15කට පසු ආයෝජනය කළ මුදල මෙන් තුන් ගුණයක ලාභයක් ලැබිය හැකි යැයි පවසා ගනුදෙනුකරුවන් රවටමින් වසර 15ක පමණ කාලයක් පවත්වා ගෙන ගොස් ඇත. කොරෝනා වසංගතයෙන් පසු මෙහි ව්‍යාපාර කටයුතුවල ක්‍රමවේදය වෙනස් කර තිබේ. මෙහිදී ඔවුන් පවසා ඇත්තේ ජනතාව ආයෝජනය කරන මුදල් සමාගම මඟින් (cryptocurrency) ආයෝජනය කිරීම මඟින් ලැබෙන ලාභයෙන් කොටසක් ගනුදෙනුකරුවන්ට ගෙවන බවයි. මෙහි මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට මෘදුකාංගයක් (app) එකක් හඳුන්වා දී ඇති අතර ඒ හරහා ඔවුන්ට ගිණුමක් ලබා දී එම ගිණුමේ මුදල් ආයෝජනය කළ පසු මුදල් වර්ධනය වන ආකාරය පෙන්වා තිබේ. ඒ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට හා සූක්ෂමව ඔවුන් රැවටීමටය.
OnmaxDT ආයතනය ආයෝජනය කරන මුදල මෙන් තුන්ගුණයක් මුදල් ලබා දෙන බව පවසා ඇත. ඒ සඳහා මිලියන ගණනක් සම්බන්ධ වී ඇත. මෙය ඔස්ට්‍රේලියානු ආයතනයක් බව මුලින් සඳහන් කර ඇත. මෙහිදී ලාභය නොලැබෙන අතර, ඊට සම්බන්ධ කරන සාමාජිකයන්ගේ මුදල් ඒ අය අතර බෙදීමක් සිදු වෙයි. මෙය ඔස්ට්‍රේලියා සමාගමක් ලෙස හැඳින්වුවත් මුල් පුරුක්වල සාමාජිකයන් මුදල් බැර කර ඇත්තේ මෙරට රුපියල්වලින්ය. මෙම ආයතනය ලංකාවේ ලියාපදිංචි ආයෝජන ආයතනයක් නොවනවා පමණක් නොව මුදල් ආයෝජනය කිරීම සඳහා මහ බැංකුවෙන් අවසර නොලත් ආයතනයකි. ලොව පිළිගත් වංචා හෙළි කරන ආයතනවලට අනුව ද මෙම ආයතනය ගනුදෙනු කිරීමට අධි අවදානම් ආයතනයක් ලෙස නම් කර තිබී ඇත. මේ වන විට මෙම ආයතනය තුළ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුදල් ආයෝජනය කර ඇති අතර මේ තුළ මෙරට නියෝජිතයන් විශාල සංඛ්‍යාවක් ක්‍රියා කර ඇති අතර ඔවුන් මහනුවර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට අයත් වෙති. මෙහි වැඩිපුරම මුදල් ආයෝජනය කර ඇත්තේ ෆේස්බුක්, වට්ස්ඇප්, යූටියුබ්, වයිබර් වැනි සමාජ ජාල ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස යොදා ගෙනය.
Fast 3Cycle International (pvt) Ltd පිළිබඳ සඳහන් කළහොත් මොවුන් මෙය පවත්වාගෙන යන ලද්දේ හෝටල් පැකේජ ලබා දෙන මුවාවෙනි. තවද ලොතරැයි ටිකට් පහසුකම් ලබා ගැනීමක් ද එහි වෙයි. ස්ථිර පදිංචි ස්ථානයක් හෝ ආයතනය පවත්වා ගෙන යෑමට නියමිත ස්ථානයක් දක්නට නොලැබුණු අතර පසුකාලීනව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් තිබේ. මේ සඳහා ජනතා සහභාගිත්වයක් ද ලැබී ඇත. ජනතාවගේ නිවැරදි තොරතුරු ලබා ගැනීමට විවිධ උපක්‍රම මොවුන් විසින් භාවිත කර ඇත. සාමාජිකයන් බඳවා ගැනීම ද උපක්‍රමශිලීව සිදු කර තිබේ.
Sport Chain App, මෙයත් පිරමීඩ් ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වෙයි. එහිදී ඇප් එකක් හඳුන්වාදීමක් සිදු කර ඇත. එහිදී ජංගම දුරකතනයට මුදල් දැමීමෙන් පසුව එය ක්‍රියාත්මක වෙයි. මේ සඳහා චීන ජාතිකයන් සම්බන්ධ වී ඇත. එහිදී USDT නමින් හඳුන්වා දී එය (cryptocurrency) ලෙස පෙන්නුම් කළත් එහිදී (cryptocurrency) භාවිතයක් නොවෙයි. මෙය ලංකාවේ නීතිගත කර නැත.
ධනය ඉපැයීමේදී දැඩි අසීරුවකින් තොරව ඉක්මනින්ම ධනය උපයා ගැනීමේ යෝජනා ක්‍රමයක් ලෙස ජනතාවගේ ආකර්ෂණය දිනාගෙන සිටින නීත්‍යනුකූල නොවන මූල්‍ය ව්‍යාපාරයක් වන පිරමිඩ ව්‍යාපාරය රට තුළ ප්‍රබල වශයෙන් ක්‍රියාත්මක වෙයි. මේ තහනම් යෝජනා ක්‍රමයක් යනු මුදලින් හෝ මුල්‍ය වටිනාකමකින් ගෙවීමක් කිරීමට සහභාගීකරුවන්ට නියම කෙරෙන්නා වූත්, සහභාගිකරුවන් උපයනු ලබන ප්රතිලාභ මේ යෝජනා ක්රමයේ සහභාගිකරුවන් සංඛ්‍යාව වැඩි වීම මත හෝ යෝජනා ක්රමයේ සහභාගිකරුවන් විසින් ගෙවනු ලබන මුදල් ප්‍රමාණයන් වැඩි වීම මත රඳා පවතින්නා වූත් ආකාරයේ ආකෘතියකින් සමන්විත යෝජනා ක්රමයකි.
මහ බැංකුවේ බලගැන්වීම් සහ මෙහෙයුම් දෙපාර්තමේන්තුව එවැනි නීති විරෝධි ජාවාරම් තහනම් කිරීම පමණක් සිදු කරන අතර, නීතිය ක්‍රියාත්මක කරන්නේ අදාළ නීති අංශ විසිනි. එහෙත් එම දෙපාර්තමේන්තුව මඟින් එවැනි නීතිවිරෝධි තහනම් ව්‍යාපාර සම්බන්ධයෙන් දීප ව්‍යාප්තව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. මෙම දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මුදල් ගනුදෙනුවලදී මහ බැංකුවේ ලියාපදිංචි මුල්‍ය ආයතන විය යුතු අතර, අනන්‍යතාව තහවුරු කළ හැකි විය යුතුය.
බොහෝ විට මෙවැනි කටයුතුවලට සහභාගි කරුවන්ට කොමිස් මුදල් ගෙවීමට හැකිවනු පිණිස ආරෝපණය කළ හෝ අධික මිලකට අලෙවි කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ නොවීම සහ එබැවින්ම ඒවාට සාමාන්‍ය වෙළෙඳපොළක් හෝ ද්විතීයික වෙළෙඳපොළක් නොපැවතීම, අලෙවියෙන් පසු සේවාවන් පිළිබඳ වගකීමක් නොතිබීම මිලදී ගැනීම යෝජනා ක්‍රමයට බැඳීම සඳහා අනිවාර්ය වීම සිදු වේ. සහභාගිකරුවන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ යෝජනා ක්‍රමය බැඳී හැකි තාක් ප්රතිලාභ උපයා ගැනීම විනා භාණ්ඩ අත්පත් කර ගැනීම හෝ ඒවා පරිභෝජනය කිරීම නොවේ. මෙහිදී නව සාමාජිකයන් හඳුන්වා දීමට යෝජන ක්රමයේ පහළ මට්ටමේ සිටින සහභාගි වන්නන් අසමත් වන විට යෝජනා ක්රමයේ එම නියැදිය බිඳ වැටෙන අතර, එම නියැදියේ ඇතුළත් සහභාගිකරුවන්ට එතෙක් ආයෝජනය කළ මුදල ද අහිමි වේ. මෙයට හේතුව වනුයේ මෙවැනි යෝජනා ක්රමයක සහභාගි කරුවන් වැඩි වීම ගුණිතයක් අනුව සිදු වන බැවින් එක්තරා අවස්ථාවක යෝජන ක්‍රමය සාර්ථක වීමට නම් බැඳෙන පුද්ගලයන් සංඛ්‍යාව මෙරට ජනගහනයට වඩා වැඩිවෙයි.
ඇතැම් විට කිසිසේත්ම නොලැබෙන සහ ප්‍රායෝගික නොවන විශාල කෙටිකාලීන ආදායම් හෝ ලාභ අත්කර ගතහැකි යැයි මෙම යෝජනා ක්‍රමවල ප්‍රවර්ධකයන් විසින් සහතික කරනු ලබයි. ආයතනය හෝ නිෂ්පාදන සේවා පිළිබඳ සියලු තොරතුරු සොයා බැලීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් ඔවුන්ට ක්ෂණිකව ගිවිසුම්වලට එළඹෙන ලෙසට ප්‍රවර්ධකයන් විසින් නව සහභාගි කරුවන් පොළඹවනු ලබයි.
ක්‍රියාත්මක වන ප්‍රදේශ, කලාප පිළිබඳ පිළිගත හැකි සැලසුමක් නොමැති අතර, කිසිදු යුක්තිසහගත හෝ පිළිගත හැකි සීමාවක් නොමැතිව බඳවා ගැනීම් වැඩි කිරීම දිරි ගන්වනු ලැබේ.
ආදායම් තීරණය වනුයේ යෝජනා ක්රමයේ ව්‍යාප්තිය අනුව වන බැවින් සහභාගිකරුවකුට ලැබිය හැකි ආදායම දැන ගැනීමේ හැකියාවක් නොමැත. මෙවැනි යෝජනා ක්‍රමවලට සහභාගි වීමේ ඇති අවදානම වන්නේ මේ යෝජනා ක්‍රමය කෙටි කලකින්ම කඩා වැටෙන අතර, සහභාගිකරුවන්ගෙන් වැඩි පිරිසකට, බොහෝ විට නවක සාමාජිකයන්ට ඔවුන් බලාපොරොත්තු වූ ආදායම අහිමි වී නියම වටිනාකමට වඩා අධික මිලක් ගෙවා ලබා ගත් භාණ්ඩ පමණක් ඉතිරි වනු ඇත.
යම් යෝජනා ක්‍රමයක් යටතේ කිසියම් පුද්ගලයකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවා ගැනීමේ හිම්කම් ලබා ගැනීම සඳහා ගෙවීමක් කර ඒ සඳහා ආදායමක් ලබා ගන්නා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස අර්ථ දැක්වෙයි. අලුතෙන් බඳවාගනු ලැබූ අය ද තවදුරටත් වෙනත් අය බඳවා ගැනීමේ අයිතිය ලබා ගැනීම සඳහා ගෙවීමක් කරන අතර, අලුතෙන් අය බඳවා ගැනීම මඟින් ආදායම් ලබති. කල්යත්ම නවකයන් විශාල ස්ථරවලින් යෝජනා ක්‍රමයට හඳුන්වා දීමත් සමඟ සහභාගිවන්නන්ගේ රාශිගත ධුරාවලිය පිරමීඩයක් ලෙස නිර්මාණය වෙයි. පිරමීඩ යෝජනා ක්රමයක සුවිශේෂ ලක්ෂණය වන්නේ එකිනෙක මට්ටමේදී නවක සහභාගිවන්නන් ලෙස යෝජනා ක්‍රමයට ඇදී එන සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණියක ආකාරයෙන් වේගයෙන් වැඩි වීමයි. ගම්මානවලට ගොස් කුඩා කණ්ඩායම් රැස්කර දේශන පවත්වා මෙම වංචාවට හවුල් කර ගත්තත් ජනතාව මේ වන විට නෙට්වර්ක් මාකටින් ලේබලය යටතේ ලෙහෙසියෙන්ම zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.
බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව, එවැනි තහනම් යෝජනා ක්‍රම කෙළින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, යෝජනා කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පවත්වා ගෙන යෑම, මෙහෙය වීම, එවැනි යෝජනා ක්‍රම සඳහා විධාන කිරීම හෝ මුදල් සැපයීම නීති විරෝධී වේ.
පිරමීඩ ජාවාරම්කරුවන්ට දිය හැකි දඬුවම් පිළිබඳව පැහැදිලි කිරීමේදී මෙවැනි වංචාවකට කුමනාකාරයෙන් හෝ සම්බන්ධ පුද්ගලයකුට බරපතළ වැඩ ඇතිව හෝ නැතිව වසර තුනක සිර දඬුවමක් හෝ උපරිමය මිලියනයක දඩයකට හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකිය. තවත් පුද්ගලයකු අසීරුතාවට පත් කිරීම, ඒ පුද්ගලයාට අලාභයක් වන බව දැන දැනම සිදු කරන වංචාවක් බැවින් බරපතළ වැඩ ඇතිව හෝ නැතිව වසර තුනක් සහ උපරිමය වසර 5ක් දක්වා සිර දඬුවමකුත් රුපියල් මිලියන දෙකක් හෝ බඳවා ගත් අය යෙදූ මුදල් මෙන් දෙගුණයක් යන දෙකෙන් වැඩි අගයට සමාන දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම හිමි වේ. මේ ආකාරයෙන් උපයා ගන්නා මුදල්, මුදල් විශුද්ධිකරණය සඳහා හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදා ගන්නා බවට තීරණය කළ හැකි අවස්ථාවකදී එම මුදල් රජයට පවරා ගත හැකිය. මෙවැනි වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට ලිඛිත පැමිණිලි ලෙස ඉදිරිපත් කිරීමට හා මුල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීම කළ හැකියි.