
පසුගිය 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට මේ රටේ දේශපාලනික, සමාජ, ආර්ථිකමය තත්ත්වය ලෝකයේ කිසිදු රටක නොවිය යුතු තරම් පහළ තත්ත්වයක පැවැතුණි. සෑම ක්ෂේත්රයක්ම කඩා වැටීමකට ලක්වී ජනතා විශ්වාසය පළුදු විය. එවන් වකවානුවක විදේශ ප්‍රේෂණයන් මෙරටට ලැබීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට නොහැකිය. එයට හේතුව තමන්ගේ මුදල්වලට කුමක් සිදු වේද? නිසි ස්ථානවල යම් ආයෝජනක් සිදු වේද? යන අවිශ්වාසය ශ්‍රමිකයන් තුළ තිබුණි. එවැනි අවස්ථාවක විදෙස් ශ්‍රමිකයන් විසින් මූල්‍යමය දායකත්වය ලංකාවට ලබා දෙතැයි විශ්වාසය තබා ගත නොහැකි විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තනතුර භාර ගත් දින සිට මේ තත්ත්වය වෙනස් වීම ආරම්භ විය. ජනතා විශ්වාසය ඇති වෙමින් ජනතාවගේ දර්ශන පථයම දැන් වෙනස් වී ඇත. රට යම් නිවැරැදි මාර්ගයකට, ස්ථාවර පාලනයකට පැමිණෙමින් තිබෙන බවට යහපත් ආකල්පයක් විදේශ ශ්‍රමිකයන් තුළ ඇති වී තිබෙන බවක් දැන් පෙනෙන්නට තිබේ. ජනතාවට ලැබී ඇති ඒ සන්නිවේදනය ඉතා වැදගත් වෙයි.
මේ සන්නිවේදනය වීම විදෙස් ආයෝජකයන්ට සහ විදෙස් ශ්‍රමිකයන්ට සම්ප්රේෂණයවීමෙන් වඩා හොඳ ප්‍රවණතාවක් ඇති වෙයි. ඒ අනුව අපේ බැංකු පද්ධතිය පිළිබඳ විශ්වාසයක් ඇති වී තිබෙන අතර, ඒ නිසා වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දීමට පෙලඹී ඇත.
පසුගිය කාලයේ රුපියල අවප්රමාණවීමේ ප්‍රධාන සාධකයක් වූයේ විදේශ විනිමය සඳහා අතිවිශිෂ්ට පිළිගැනීමක් ලබා දීමයි. රුපියල පහත වැටෙන විට විදෙස් විනිමය වටිනාකම ඩොලර්වලින් පමණක් නොව ඉන්දියානු රුපියලත් තුන් හතර ගුණයකින් වැඩි වී ඇත. එහි වාසිය යන්නේ විදෙස් මුදල් ඇති පිරිසටයි. විදෙස් මුදල් තිබෙන අයට රුපියලට සාපේක්ෂකව විශාල විනිමය මුදලක් හිමි වෙයි. ඒ වාසිය ලබා ගැනීමට බොහෝ පිරිසකගේ උත්සහයක් ඇත. මේ වන විට ලංකාවේ ආයෝජනය කිරීමට, විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්රය සඳහා විදෙස් ආයෝජකයන් විශාල උනන්දුවක් දක්වයි. එහෙත් තවමත් මෙරට ආයෝජන අවස්ථා හිමි වන්නේ විදෙස් ආයෝජකයන්ට පමණි. රුපියලට සාපේක්ෂව ඩොලරය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබීමේ වාසිය විදෙස් ශ්‍රමිකයන්ට හිමි වෙයි.
සමස්තයක් ලෙස ගත් විට ඍජු විදෙස් ආයෝජන 2006 වසරේදී ඩොලර් බිලියන හයසිය හතළිහක් විය. වසර 16කට පසුව ප්‍රතිපත්තිමය ව්‍යාකූල ස්වභාවය නිසා 2022 වසර වන තෙක් අපේ ආයෝජන ශක්තිය දියුණු වී නැත. ආයෝජනයට සරිලන ඉලක්ක කරා අපි යා යුතු වෙයි. විශාල ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා ඒ අය හඹායෑමේ වැඩ පිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක නොවිණි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් වීමෙන් අනතුරුව එතුමා විසින් ආයෝජන ශක්තියක් නිර්මාණය කිරීමේ ඵලදායි වැඩ පිළිවෙළකට දායකත්වයක් ලබා දීම විශාල ශක්තියක් වෙයි. ජනාධිපතිවරයා නව ප්‍රතිපත්ති රාමුවක් මේ රටේ දියත් කිරීමෙන් 2023 වසරේදී නව ආයෝජන වැඩ පිළිවෙළක් මේ රටේ ක්‍රියාත්මකවීමෙන් ඉදිරියේදී මේ ආයෝජන සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කළ හැකි වෙයි. ආයෝජන පැමිණීම සහ ඒවා රඳවා තබා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. පසුගිය කාලයේ එවැනි අර්බුද මතුවී ඇත.මේ රටේ ආයෝජනය කරන ලද ඇතැම් ඇඟලුම් සමාගම් වෙනත් රටවල්වලටත් යොමු වීම ආරම්භ කර ඇත. එවැනි වැරදි නිවැරැදි කර ගත යුතුය. ඒ ක්‍රමයෙන් ජනාධිපතුමාගේ ආයෝජනවලට සුදුසු ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැඟෙන බව අපට විශ්වාසයි යන ප්‍රකාශයට අවකාශය ලබා ගැනීම ඉතා වැදගත් වන අතර, පවතින තත්ත්වය අනුව එනම්, විදුලිය කප්පාදු වීම නිසා අසීරුකම්වලට මුහුණ දීමෙන් මේ රටේ සරල ආයෝජනයක් හෝ කිරීමට නොහැකියි යන මතය ඇති වීමට ඉඩ නොදී, ඒ යටිතල පහසුකම්වල අවශ්‍යතාව හඳුනා ගෙන ඒවාට ඇති අභියෝග ජයග්‍රහණය කිරීමට අපිට හැකියාව තිබිය යුතුයි.
එසේම මේ රට ගොඩනැඟීමට නම් විදේශ ප්‍රේෂණ උපයා ගත හැකි නව මාර්ග අපි සොයා ගත යුතුයි. එසේ නම් වර්තමානයේ තොරතුරු තාක්ෂණ වැනි ආයෝජන හඹා යෑම වඩා වැදගත් වෙයි. විශේෂයෙන්ම ඉන්දියාවත් සමඟ අපි කලාපීය සම්බන්ධතා ඇති කර ගනිමින් ඉන්දීය ආයෝජන අවස්ථා හිමි කරගත යුතුයි. ඉන්දියාවේ මරමස්ථානවල විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක වැනි බලවත් මධ්‍යස්ථාන හඳුනා ගෙන ඔවුන් සමඟ එකතු වී අපේ ආයෝජන ලෝකයට හඳුන්වා දීමට කටයුතු කළ යුතුයි. එය ඉතාමත් හොඳ ආර්ථීක මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකියි.
එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ස්ථානවලට අලුත් පන්නරයක් ලබා දීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වෙයි. එසේ වුව හොත් ආයෝජකයන් අතර මෙය ප්රචලිතවීමෙන් අපේ ආයෝජන ස්වභාවය වැඩි වී මීට වඩා වැඩි වැඩියෙන් ආයෝජන හිමි වෙයි. නවීන ක්රමෝපායන් උපයෝගි කර ගනිමින් විශාල වශයෙන් ලෝකයට සම්බන්ධ වීමට ද අපි වැඩ කළ යුතුයි. විශේෂයෙන් ජපානය, කොරියාව, ඉන්දියාව සමඟ ඇති සබඳතා දියුණු කළ යුතුයි. චීනයේ ඇති ප්‍රමුඛස්ථාන අපි සම්බන්ධ කරගත යුතුයි. සම්ප්‍රදායිකව එදා පැවැති මට්ටමින්ම ඇගලුම් කර්මාන්ත හරහා විදෙස් විනිමය අර්බුදය විසඳීමට නොහැකිය. පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව බැලූ විට දත්ත වශයෙන් විදෙස් ප්‍රේෂණ විශාල ලෙස වැඩි වීමේ ප්‍රවණතාවක් ඇත. සියයට අසූවක පමණ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් 2023 වර්ෂයේදී තිබිය යුතුය.
පසුගිය කාලය පුරා මහත් ආන්දෝනලයකට ලක් වූ කරුණක් නම් අවිධිමත් ක්‍රමවේදයන් අනුව විනිමය ගලා ඒමයි. මේ තත්ත්වය බොහෝ රටවල සිදු වෙයි. නමුත් අපේ ආර්ථීකය කුඩා නිසා මේ රටේ එය සිදු වන විට එය විශාල සිදුවීමක් ලෙස පෙනෙයි.විශාල ප්‍රතිශතයක් ලෙස බැංකු පද්ධතියෙන් බාහිරව කෙරෙන විනිමය දක්නට ලැබෙන්නේ බැංකු පද්ධතියෙන් ලැබෙන විනිමයට සාපේක්ෂවයි. මුදල් අවශ්‍ය නම් නියමිත ආකාර්ෂණයක් ඒ මුදල් එවන පිරිස් අතරට යෙදවිය යුතුයි. එසේ නොමැතිව මෙය රෙගුලාසිවලට සීමා කළ නොහැකිය. නමුත් අපිට විනිමය වැඩියෙන් සොයා ගැනීමට නම් විශේෂයෙන් අපනයනකරුවන් විනිවිද භාවයෙන් කටයුතු කිරීම වැදගත් වෙයි.
ඒ විනිවිදභාවය දකින අපනයන ගිණුම් වැඩ පිළිවෙළක් මහ බැංකුවේ අධීක්ෂණයට ලක් වි ඇත. මෙය විනිවිද පෙනෙන හැම දෙනාට ම වැඩි තැනක් දීමේ වැඩ පිළිවෙළක් තුළ ක්‍රියාත්මක වුවහොත් අපිට වැඩි විනිමය ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමට හැකියාව ලැබෙයි. එසේම මෙරට ආයෝජකයන්ට සහ අපනයනකරුවන්ට විශ්වාසයක් ඇති වීමට අපේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරයට විදෙස් විනිමයක් අවශ්‍ය වූ විටක එය ලබා ගැනීමට හැකි වෙතැයි යන විශ්වාසදායක මතය තිබිය යුතුයි. එසේ වුව හොත් ඔවුන් පිටරට මුදල් රඳවා ගැනීමට උත්සාහ නොකරනු ඇත. අපි වැඩි වශයෙන් විවෘත ක්‍රම තුළින් අපේ වගකීම් ඉටු කිරීමට උත්සාහ කළ යුතුයි.
රුපියල පා කිරීම පසුගිය කාලයේ සිදු විය. මෙය නිරන්තරයෙන් කළ යුතු දෙයක් නොවේ. ඒවා සීමා බන්ධන තුළින් කළ යුතුමය. නැති නම් අපේ රුපියලේ දුර්වලකම හේතු කරගෙන අපිට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වෙයි. අපට අපනයනයට වඩා අවශ්‍ය වන්නේ ආනයනිකයන්ය. රුපියල පහත වැටීමෙන් ආනයනයේදී අපිට විශාල ගැටලුවලට මුහුණ දීමට සිදු වෙයි. මූලික අවශ්‍යතා වන ඉන්ධන, ගල්අඟුරු, කෘත්‍රිම පොහොර සියලු කර්මාන්ත ශාලාවලට අවශ්‍ය වන අංගෝපාංග ලබා ගන්නේ ආනයනිකයන් තුළිනි. එසේ නම් එවැනි ආනයන ව්‍යුහයක් තුළ රුපියල පාවෙන්නට හැරියොත් එහි ඇති ආනිසංස ඉතා දරුණු වන අතර, එය දැරීමට නොහැකි තත්ත්වයකට පත් වෙයි. ඒ නිසා රුපියලට රැකවරණයක් අවශ්‍යයි. ප්‍රායෝගික ලෙස එය යම් තලයක් තුළ පවත්වා ගෙන යෑමට උත්සාහ කිරීම ඉතා වැදගත් වෙයි.
මේ යන ක්‍රමවේදය අනුව මාර්තු මාසයේ අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපිට ලැබෙතැයි යන විශ්වාසය ජනාධිපතිවරයාට ඇත. අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයෙන් ද්විපාක්ෂික ලෙස සාකච්ඡා ඇරඹුවොත් චීනයෙන් අපිට දක්වන සහයෝගය සහ ආධාර මීට වඩා වැඩි කර ගැනීමට හැකි වෙයි. ඒ සඳහා ජනාධිපතිවරයා චීනය සමඟ ද්වි පාර්ශ්වීය සම්බන්ධතාව තහවුරු කරගෙන ණය ප්රතිසම්මුතිය ගැන චීනයේ ණය සම්බන්ධයෙන් වෙනම කතා කළ යුතු වෙයි. එසේ නම් මීට වඩා ප්‍රතිව්‍යුහගත කිරීමක් තුළින් අපේ රුපියලට තියෙන බාධාව අවම කරගත හැකි වෙයි. එසේම ණය ගෙවීම් කල් දමාගත හොත් අපිට සමාන්‍යයෙන් ආදායම වියදම අතර සමබර ලෙස ගිණුම් පවත්වාගෙන යා හැකි වෙයි. නමුත් ණය ගෙවීමට සිදු වුව හොත් ආදායම ප්‍රමාණවත් නොවෙයි. එසේ වුව හොත් අත්‍යවශ්‍ය සේවාවන් සහ ආනයන සඳහා වියදම දැරීමට නොහැකියි වෙයි. මේ තත්ත්වය පාලනය කර නොගතහොත් විශාල අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙයි. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ වියදම අවම කරගෙන ප්‍රමුඛතාව මත අපි අපේ වැය ශිර්ෂ හදා ගත යුතුය යන අදහසයි.
විශේෂයෙන් සඳහන් කළ හොත් IMF මුලින්ම ලබා දෙන්නේ සහතිකයකි. කඩාගෙන වැටෙන ආර්ථිකයක් ගොඩනැඟීමට වැඩපිළිවෙළක් ඇතැයි යන සහතිකයක් සහ අපි ලබා ගෙන ඇත. ණය ඉදිරියට ගෙවීමට සූදානම් යන සහතියක් එමඟින් ලැබෙයි. අනෙක් පිරිස්වලට අපි ගැන සහතිකයක් ඒ හරහා හිමි වෙයි. නැවත ණයක් ඒ විශ්වාසය මත ලබා ගැනීමට හැකි වෙයි. ඒ නිසා ඒ විශ්වාසය ඇති කර ගැනීමට නම් IMF හරහා යා යුතුයි. නමුත් මුදල සෙවීමට එකම මාර්ගය IMF නොවෙයි. මුදල් සෙවීමට නම් IMF සමඟ සමගාමීව සෙසු ද්විපාර්ශ්වීය සම්බන්ධතා වැඩි කරගත යුතුයි. ජපානය, චීනය, ඉන්දියාව සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ ඉලක්ක ඇති කරගත යුතුයි. මේ රටේ මහපොළොවේ සහ මුහුදේ විශාල සම්පත් ඇත. මේ සම්පත් සියල්ල තිබියදී අපි දුක් විඳිය යුතු නැත. නිර්මාණශිලීත්වය සහ නායකත්වය මේ රටට අවශ්‍යයි. එය අපි විසින් වැඩිදියුණු කර ගත යුතුයි.
එසේ නම් අද පවතින අර්බුදය හමුවේ විදෙස් විනිමය වැඩි කර ගැනීමට අපි උපක්‍රම භාවිත කළ යුතුයි. මහ බැංකුවෙන් සීමා පැනවීම සිදු කර ඇති අතර, මේ සීමා පැන වීම් ඉදිරි මාස නවය තුළ උපරිම ලෙස ගෙන ආ යුතුයි. එමෙන්ම ලැබෙන මුදල් රජයේ නාස්ති වන ක්ෂේත්රවල යොමු නොකර සිටීමට රජය තීරණ ගත යුතුයි. රාජ්‍ය ව්‍යවසායක ක්ෂේත්‍ර පවත්වාගෙන යා යුතුද යන්න නැද්ද යන කරුණ පිළිබඳ අපට නැවත සිතන්නට සිදු වෙයි. එසේ නොවුණ හොත් එහි දඬුවම සමස්ත ජනතාවටම විඳීමට සිදු වෙයි. තල්ලු කරගෙන ආ ආර්ථිකයක් ආටෝපයක් ලෙස පවත්වාගෙන යා නොහැකියි. අපේ රාජ්‍ය යන්ත්රණයේ නිසි ක්රියාකාරීත්වයක් තිබී නැත. එසේම ආයෝජන ශක්තියක් දරන්න පුළුවන් හැකියාවක් ඇති ආයතන හෝ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නිසි මාර්ගෝපදේශකත්වයක්වත් තිබී නැත. දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ ගන්නේ ඒ මාර්ගයට රට මෙහෙයවීමටයි. ඒ මාර්ගයෙන් පිට පැනීමට පෙර එය ජනප්‍රිය වේදිකාවක්ද රට පෙරට ගන්නා වේදිකාවක්ද යන්න අප තේරුම් ගත යුතුය. අප සිට ගත යුත්තේ ශ්‍රී ලංකාව පෙරට ගත යුතුයි යන වේදිකාවේය. අප කළ යුත්තේ ආටෝපශීලී, තාවකාලික ජනප්‍රියත්වයක් සඳහා සදාකාලික දුගීභාවයක් රටට නිර්මාණය කිරීම නොවේ. සදාකාලික දුගීභාවය නැති කිරීමේ ක්‍රමවේදය කරා රටේ නායකත්වය මෙහෙය වන වැඩපිළිවෙළ දකින බැවින් ඒ තුළ අපි ද නිර්මාණය විය යුතුයි.
මේ රට අද පවතින්නේ අලුතින්ම ආරම්භ කළ රටක් ලෙසයි. එසේ නම් අප ලෝකයේ අනෙක් රටවල්වල සහාය ලබා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා ප්‍රධාන රටවල් තුනක් මගේ දෘෂ්ටිය අනුව දැක්විය හැකියි. ඉන්දියාව, චීනය සහ යුරෝපා කඳවුර වඩා වැදගත් වෙයි. මේ රටවල්වලින් ලැබෙන සහාය අපේ රටේ ඉදිරි පැවැත්මට විශාල ශක්තියක් වෙයි. ඒ සඳහා අපිට අපේ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් නැවත කියැවීමක් අවශ්‍ය වෙයි. සියලු ක්ෂේත්රවල අනවශ්‍ය වියදම් කපා දැමීම මෙන්ම රජයේ සේවයේ සේවා වියුක්තිය අවම කිරීමට සිදු වෙයි. රටක් වැරදි ලෙස පාලනය කිරීමේ ප්‍රතිවිපාක ජනතාවට දැරීමට සිදු වූ ආකාරය අපිට දක්නට ලැබෙයි.
විශේෂයෙන් අප දැන් මුදල් සෙවීමේ ක්‍රියාවලියට යොමු විය යුතුයි. ලෝකයේ ආර්ථික මෙහෙයුම්කරුවන්, සාමාන්‍ය මට්ටමේ නිලධාරීන් ලංකාවට ආකර්ෂණය කර ගැනීමට නොහැකියි. නමුත් ලෝකයේ ගනුදෙනු කරන සමූහ ව්‍යාපාරිකයන් වෙයි. ඒ සමූහවල පිරිස්වල ආකර්ෂණයක් ලංකාවට ලබා ගත හැකියි. ලෝකයේ සිටින ප්‍රධාන ආයෝජන සමාගම්වලට කතා කළ යුතු වන්නේ රාජ්යතන්ත්රිකව සහ ජනාධිපතිවරයා හරහායි. එසේ කළ හොත් ලංකාවටත් විශ්වාසයක් ඇතිව ආයෝජකයන් පැමිණෙයි. එසේ නොමැතිව සාමාන්‍ය ආකාරයේ ආයෝජක සමුළු සහ වෙළෙඳ ප්‍රදර්ශන මඟින් ආයෝජකයන් පැමිණීම වර්තමානයේදී සිදු නොවෙයි. අද රටේ ආයෝජන ලැබෙන්නේ රටේ නායකත්වය පිළිබඳ ඇති විශ්වාසය මතයි. මේ අර්බුදයට ක්ෂණික විසඳුම් නොමැති අතර, ඒ සඳහා ශක්තිමත් ලෙස ඉදිරියට යෑමේ අවස්ථා වැඩි දියුණු කර ගත යුතු වෙයි.