වගකීම් ගන්න ඇති ලැදියාව නිසා ආත්ම විශ්වාසය වැඩි වුණා | සිළුමිණ

වගකීම් ගන්න ඇති ලැදියාව නිසා ආත්ම විශ්වාසය වැඩි වුණා

- පළවැනි සහ අවසන් අවුරුදු දෙක හැරුණාම මම මගේ වියදම් හොයා ගන්න විශ්වවිද්‍යාලෙ ඉන්න අතරෙම අමතර පන්ති කළා
- අපේ ජීවිතේ තීරණ තව කෙනෙක් මත පටවන්න හොඳ නෑ වගකීම් ගන්න මැළි වෙන්න හොඳ නෑ. ගොඩක් අය අවධානම් ගන්න බයයි. වගකීම් කියන දේ ගැනීමෙන් මම සතුටු වෙනවා
- මම රසායන විද්‍යා ඉංජිනේරුවරයෙක් වුණාට නෙස්ලේ ආයතනයේ අලෙවිකරණ අංශයටයි සම්බන්ධ වෙන්නෙ. මම ඒක අභියෝගයක් විදියටයි බාර ගත්තෙ 
- මොන තනතුරේ කොහොම කෙනෙක් වුණත් හැම කෙනෙක්ම ගෞරවය බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම වෘත්තීය ගරුත්වය දෙන්න මම කොයිවෙලාවකවත් පැකිළෙන්නෙ නෑ

 

මේෂ්ට තාත්තාගේ මතකය බොඳ වූ ඡායාවක් පමණී. වයස අවුරුදු දෙකේදී පිය සෙනෙහස අහිමි වෙන රමේෂ්ගේත් සහෝදරියන් දෙදෙනාගේත් කරදඬු උස්මහත් කරන්නත්, අධ්‍යාපනය ලබා දෙන්නත් අම්මා තනියෙන් දිවා රෑ පුරා වෙහෙසුණේ පියාගේ අඩුව දරුවන්ට නොදැනෙන්නට ය. රැකියාවෙන් හෙම්බත් ව මසකට වරක් නිවෙසට එන අම්මාගෙන් ලැබෙන සෙනෙහසත්, නැති වූ තාත්තාගේ මතකයත් රමේෂ්ට රිදුම් නොදුන්නේ ආච්චි, සීයා මෙන්ම පුංචි අම්මලාගේ මාමලාගේ අප්‍රමාණ ආදරය නිසා ය. පාසලේ ගුරු දෙගුරු රැස්වීම්වලට අනෙක් දරුවන්ගේ අම්මලා, තාත්තලා එද්දී පුංචි රමේෂ් වෙනුවෙන් ආවේ ආච්චී ය; නැත්නම් සීයා ය. ඒ සියල්ල ජීවිතයේ පන්නරයක් කරගත් රමේෂ් නානායක්කාර අද ලංකාවට ඩොලර් ගේන ප්‍රමුඛ පෙළේ සමාගමක් වෙන ඇන්සල් ලංකා පුද්ගලික සමාගමේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ හා මෙහෙයුම් බාර සාමාන්‍යාධිකාරීවරයා ය. රමේෂ් මොරටුව විශ්වවිද්‍යාලය බිහි කළ ඉංජිනේරුවරයකු වුවත් ඔහුගේ ක්‍රියාකාරී වෘත්තිමය ජීවිතය ඇතුළේ ඊට වෙනස් වපසරියක් සටහන් කරන්නේ ය. අභියෝග කිසිසේත්ම අභියෝගයක් කර නොගන්නා ඔහු සිය වෘත්තිමය ජීවිතයේ අත්දැකීම් අප හා හෙළි කළේ මෙසේය.

 සම්පූර්ණ නම

රමේෂ් සංජීව නානායක්කාර

උපන්දිනය

1979 ජුනි 25

ගම්පළාත

මම උපදින්නේ කොළඹ. නමුත් හැදෙන්නෙ වැඩෙන්නෙ ගාල්ලෙ ඉඳුරුවෙ.

තාත්තා අම්මාගේ නම් සහ වෘත්තීන්

අම්මා තාත්තා දෙන්නම සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ. තාත්තා හෝටල් ක්ෂේත්‍රයේ සැපයුම්කරුවෙක්. තාත්තාගේ නම ලයනල් සුචරිත නානායක්කාර. අම්මා කුසලා විජේසූරිය. ඇය ගිණුම් අංශයේ තමයි වැඩ කළේ. තාත්තා නැති වුණා මට අවුරුදු 2දී. ඔහු මෝටර් සයිකල් අනතුරකින් තමයි ජීවිතක්ෂයට පත් වෙන්නෙ

සහෝදර සහෝදරියන්

මට අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා.

තාත්තා නැති වෙද්දි නංගි බොහොම කුඩා ඇති

ඔව්. නංගිට මාස තුනයි. අක්කට නම් අවුරුදු 5යි එතකොට. නංගිටයි මටයි තාත්තා ගැන මතකයක් නැති තරම්

දරුවො උස්මහත් කරගන්න අම්මා බොහෝ දුක් විඳින්න ඇති

අම්මා දිගටම රැකියාව කළා. අලුත්ගම තමයි අම්මා වැඩ කළේ. ඇත්තටම අම්මා ගෙදර එන්නෙ සති කිහිපයකට වරක්. මොකද සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කරද්දි සති අන්ත නිවාඩු වගේ දේවල් නෑනෙ. අපිට ජීවත් වෙන්න නම් අම්මා රැකියාව කරන්න ඕන. ඒ නිසා අකමැත්තෙන් වුණත් අම්මා අපිව දාලා රැකියාවට ගියා. තාත්තා නැති වුණා කියලා අපට කිසි අඩුවක් දැනෙන්න අම්මා ඉඩ හැරියේ නෑ

අක්කාත්, ඔබත්, නංගීත් කුඩා දරුවන්. කා ගාවද හැදුණෙ වැඩුණෙ?

අම්මාගෙ මහ ගෙදර තමයි අපි හැදුණෙ වැඩුණෙ. ඒක ලොකු පවුලක්. ඔක්කොම දරුවො 10ක්. අම්මා දෙවැනියා. ආච්චි අම්මා සහ පුංචිලා, ලොකු අම්මලා එක්ක තමයි අපි හැදුණෙ වැඩුණෙ. මට අවුරුදු 12ක් විතර යනකම් අම්මා මාසෙකට වරක් තමයි ගෙදර එන්නෙ. ඉස්කෝලෙ වැඩවලට වගේම අපේ සියලු අවශ්‍යතාවලට පාසලට ආවේ ආච්චි අම්මා නැත්නම් සීයා. අපිට උගන්වලා ඉදිරියට ගන්න එක ආච්චි වගේම සීයාත් එයාලගෙ වගකීමක් වගේ කරගෙන හිටියෙ.

අම්මා තාත්තා ළඟ ඉන්නවා වගේ නෑ වෙන අය ළඟ ඉද්දි කියලයි කතාවට කියන්නෙ. ඔබටත් ඒක අදාළද?

ඇත්තටම අපිට කිසිම වෙනසක් වුණේ නෑ. මගේ අම්මා පවුලෙ දෙවැනියා. එයා විවාහ වෙද්දි අනික් අය විවාහ වෙලා හිටියෙ නෑ. පවුලෙ කාගෙත් ආදරය ලැබුණෙ අපට. විශේෂයෙන්ම ආච්චි අම්මගෙයි, සීයගෙයි ආදරය නිසා කිසි අඩුවක් තිබුණෙ නෑ. අපිව අධ්‍යාපනය අතින් ඉහළටම යවන්න එයාලා හරියට මහන්සි වුණා. ඇත්තටම තාත්තාගේ අඩුව නොතේරෙන්න තරම් ආදරයක් අපට අම්මාගේ පවුලේ හැමෝගෙන්ම ලැබුණා.

කොහේද පාසල් යන්නෙ.

මාතර රාහුල විද්‍යාලයට

පාසල් ජීවිතේ කොහොමද? බාහිර වැඩ එහෙම කළා ද?

ක්‍රීඩාව පැත්තට යොමු වෙන්න ගෙදරින් අනුබලයක් ලැබුණෙ ම නෑ. ක්‍රීඩාවට යොමු වුණොත් පාසල් වැඩ අතපසු වේවි කියලා ආච්චි බය වුණා. ඒ වුණාට දැනුම මිනුම කණ්ඩායමෙත්, ඉංග්‍රීසි සිංහල දෙඅංශයේම විවාද කණ්ඩායමෙත් මම සාමාජිකයෙක් විදියටත් කටයුතු කළා. ඒවගේම ශිෂ්‍ය නායකයෙක් විදියටත් වැඩ කළා.

උසස්පෙළ කරන්නේ කුමන විෂය ධාරාවෙන්ද?

ගණිත අංශයෙන් මම උසස්පෙළ කළේ. පළමු පාරම මම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හදාරන්න තේරුණා.

විශ්වවිද්‍යාල ජීවිතයේ වියහියදම් අක්කා සහ නංගීට වියදම් කරන ගමන් අම්මට තනියෙන් දරන්න පුළුවන් වුණාද?

අක්කා රැකියාවක නිරත වුණා ඒ වෙනකොට. මගේ විශ්වවිද්‍යාලෙ අවසන් අවුරුද්ද වෙනකොට නංගිත් රැකියාවක් කළා. පළවැනි සහ අවසන් අවුරුදු දෙක හැරුණාම මමත් මගේ වියදම් හොයා ගන්න විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න අතරෙ අමතර පන්ති කළා. මගේ වියදම මම ඒවයෙන් හොයා ගත්තා.

හොස්ටල් ද හිටියෙ

ඇත්තටම අපි හොස්ටල් හිටියෙ නෑ. අපේ පාසලේ ම මගේ යාළුවො කණ්ඩායමක් ම හිටියා මොරටුවට තේරුණු. ඉතින් අපි ගෙයක් අරන් කට්ටිය එකට ම තමයි හිටියෙ. ඒක අධ්‍යාපන කටයුතුවලට පහසුවක් වුණා.

මොකද්ද පළමුවැනි රැකියාව

මට පළවැනි රැකියාව ලැබුණේ නෙස්ලේ ආයතනයේ අලෙවි විධායකවරයෙක් විදියට. මම රසායන විද්‍යා ඉංජිනේරුවරයෙක් වුණාට නෙස්ලේ ආයතනයේ අලෙවිකරණ අංශයටයි සම්බන්ධ වෙන්නෙ. මම ඒක අභියෝගයක් විදියටයි බාර ගත්තෙ. නෙස්ලේ ආයතනයේ පෝෂණය සම්බන්ධ නිපැයුම් පිළිබඳ කලාපයක ප්‍රවර්ධන කටයුතු තමයි මට බාර වුණේ. මම එතැන හිටියා මාස 8ක් විතර.

ඔබ ඉංජිනේරුවරයෙක් විදියටනෙ විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නෙ. හිතුණෙ නැද්ද ඊට අදාළ රැකියාවක් ලැබුණා නම් හොඳයි කියලා

මම අත්දැකීමක් කියලයි ඒක හිතුවෙ. හැබැයි එතැන ඉද්දි මට මගේ විෂය ක්ෂේත්‍රයට අදාළ රැකියාවක් ලැබුණා. ඒ 2004 අගභාගයේ කොකාකෝලා ආයතනයේ. එතැනදි මම සම්බන්ධ වෙන්නෙ ව්‍යාපෘති ඉංජිනේරුවරයෙක් විදියට. ඒක මගේ පළමු ඉංජිනේරු රැකියාව. මම කොකාකෝලා ආයතනයේ වසර 4කට වැඩි කාලයක් සේවය කළා.

එතැනින් පස්සෙ කොතැනට ද සම්බන්ධ වෙන්නෙ

මට හොල්සිම් ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මෙහෙයුම් කළමනාකරුවෙක් විදියටයි මම එතැනට ගියේ. වසර දෙකක් විතර මම එතැන වැඩ කළාට පස්සෙ මට අභියෝගයක් ආවා එයාටෙල් ආයතනයට සම්බන්ධ වෙන්න. ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙක් විදියටයි මම එතැන වැඩ කරන්නෙ.

ඔබ ලංකා දුම්කොළ සමාගමේ ක්‍රියාකාරී සේවයක් කරනවා?

ඔව්. එයාටෙල් එකේ ඉදිද්දි තමයි මට ටුබැකෝ එකෙන් ආරාධනාවක් ලැබෙන්නෙ සැපැයුම් දාම කළමනාකරුවෙක් විදියට ආයතනය හා සම්බන්ධ වෙන්න කියලා.

ඉංජිනේරුවෙක් වුණාට ඔබ ඊට වෙනස් පරාසවලයි වැඩ කරන්නෙ

ඔව්. ඇත්ත. ඇත්තටම මම ඉංජිනේරු වෘත්තියේම කියලා වැඩ කළේ කොකාකෝලා එකේ විතරයි. මම ගොඩක් කළමනාකරණ පැත්තෙ තමයි වැඩ කළේ.

කළමනාකරණය පිළිබඳ හැදෑරීම් කළා ද?

විශේෂ හැදෑරීමක් නම් කළේ නෑ. ඒත් ගොඩක් ආයතන මගේ අත්දැකීම් අනුව මට ඒ දේවල් පුළුවන් කියලා විශ්වාස කළා.

ටුබැකෝ එකේ කොච්චර කාලයක් හිටියද?

මම වසර 9ක් විතර හිටියා. එතනදි මම ඇත්තටම අවුරුදු 3ක් විතර විදේශගතවයි හිටියෙ. පැපුවානිව්ගිනිවල ශාඛාවට තමයි මම අනුයුක්ත වෙලා හිටියෙ. ඔවුන්ගේ නිෂ්පාදන අංශය බාර කළමනාකරුවකු විදියටයි මම වැඩ කරන්නෙ. ඔවුන්ගේ ව්‍යාපෘතියක් කරන්නයි මට පවරලා තිබුණෙ. ඒක ලොකු අත්දැකීමක්. වෙන රටකට ගිහින් අවශ්‍ය ඉලක්කවලට යන්න මට අවස්ථාව ලැබුණා. ඒ අභියෝගය මම බාර ගත්තෙ සතුටෙන්. මම නැවත 2019 තමයි ලංකාවට ආවෙ.

ලංකාවට ඇවිත් ආයෙත් ටුබැකෝ සමාගමත් එක්කමද කටයුතු කරන්නෙ.

ඔව්. මම ටික කාලයක් එතැනම හිටියා. ඊට පස්සෙ මම සම්බන්ධ වුණා වෙනසකටත් එක්ක දර ආශ්‍රිත නිෂ්පාදනවලින් කරන ව්‍යාපෘතියකට. ඒකෙ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විදියටයි මම කටයුතු කළේ.

කොහොමද ඇන්සල් ආයතනයට සම්බන්ධ වෙන්නෙ

මට ආරාධනයක් ලැබුණා ඇන්සල් ආයතනයෙන්. ඒ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ හා මෙහෙයුම් භාර සාමාන්‍යාධිකාරී විදියට. කොවිඩ් වසංගතේ තියෙන කාලෙ තමයි මම මේ ආයතනයට සම්බන්ධ වෙන්නෙ. අත්වැසුම් අපනයනය තමයි අපි කරන්නෙ. ඇන්සල් කියන්නෙ ඔස්ට්‍රේලියන් ආයතනයක්.

මේ විවිධ ආයතනවල වැඩ කරද්දි හිතුණෙ නැද්ද තමන්ගෙ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා

එහෙම හිතුණු අවස්ථා නැතිව නොවෙයි. නමුත් මම හිතුවා මගේ බුද්ධි මට්ටම අනුව මට වෘත්තිකයෙක් විදියට ගමනක් තියෙනවා කියලා. ඒකයි ආයතනික ගනුදෙනුවක් කරන්න මම හිතුවෙ. මට හැම තිස්සෙම විවිධ ආරාධනා ලැබුණා. ඒ නිසා නිතරම වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

තමන්ගෙ සේවක පිරිසත් එක්ක කොහොමද සම්බන්ධතාව පවත්වා ගන්නෙ?

මගේ වෘත්තීය ජීවිතේ සාර්ථකත්වයට හේතුවක් විදියටත් මම දකින්නේ ඕනෑම කෙනෙක් එක්ක මට තියෙන වැඩ කිරීමේ හැකියාව. ඕන කෙනකුට දිය යුතු ගෞරවය දෙන්න ඕන. මොන තනතුරේ කොහොම කෙනෙක් වුණත් හැම කෙනෙක්ම ගෞරවය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම හා හැම තනතුරක්ම අපට වැදගත්. එහෙම වුණාම තමයි තමන්ගෙ දායකත්වය වුණත් සියයට සීයක් ම දෙන්න සේවකයෙක් වුණත් පෙලඹෙන්නෙ. සියලු දෙනාටම වෘත්තීය ගරුත්වය දෙන්න මම කොයිවෙලාවකවත් පැකිළෙන්නෙ නෑ.

අනාගත පරම්පරාව ගැන මොකද හිතන්නෙ

වර්තමාන තරුණ පරම්පරාව හරි දැනුම්වත්. ඒ අය හරි විවෘතව හිතනවා. ඒවගේම ස්වාධීන වෙන්නත් කැමැතියි. ඒක ඉතා හොඳ දෙයක්. වඩා වැදගත් වෙන්නෙ අපි ඒ අයව මෙහෙයවන්න ඕන. ඒ ගැන අපිට වගකීමක් තියෙනවා. තරුණ අය තමන්ගේ දියුණුව හරි ඉක්මනින් උදා කරගන්න බලනවා. අත්දැකීම් එක්ක වෘත්තීය දියුණුව ලබා ගන්න අපි ඒ අයට උදව් කරන්න ඕන. ඒ අයගේ දැනුමත් විවෘත භාවයත් නිසා ඉදිරියට යන්න ලේසියි. ඒ විවෘත බවට මමත් හරි කැමතියි. ඔවුන්ගේ අඩුපාඩු පෙන්වලා දුන්නොත් මම හිතන්නෙ අනාගත පරම්පරාව කියන්නේ බොහොම ලේසියෙන් වැඩ කළ හැකි දැනුම්වත් පිරිසක් සහිත කණ්ඩායමක්. 

දියුණුවේ රහස මොකද්ද?

කාරණා කිහිපයක් තියෙනවා. පළවැනි එක හැම කෙනකුටම අරමුණක් තියෙන්න ඕන. තව අවුරුදු පහකින් මොනවගේ දෙයක් කරන්නද ඔයාගෙ බලාපොරොත්තුව කියලා ඇහුවම දෙන්න උත්තරයක් නැත්නම් වැඩක් නෑ. අනික වගකීම් ගන්න මැළි වෙන්න හොඳ නෑ. ගොඩක් අය අවදානම් ගන්න බයයි. වගකීම් කියන දේ ගැනීමෙන් මම සතුටු වෙනවා. වගකීම් ගැනීමට ඇති ළැදියාව නිසා තමන්ගෙ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒ වගේම තමන්ගෙ හැකියාවනුත් වැඩි වෙනවා. තමන්ගේ ජීවිතේ සම්බන්ධයෙන් තමන් වගකීම දැරීමත් වැදගත්. ගොඩක් අය තමන්ගෙ ප්‍රශ්න ගැන අනුන්ට දොස් කියනවා. සමහරවිට දෙමවුපියන්ට, සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට, මිතුරන්ට හා ආයතන ප්‍රධානියා ආදී වශයෙන්. අපේ ජීවිතේ තීරණ තව කෙනෙක්ගේ තීරණ මත ගන්න හොඳ නෑ. ඒක මගේ ජීවිතේ මම සියයට සියයක්ම අනුගමනය කරන කෙනෙක්.

කවුද ඔබේ සහකාරිය

ඇය දුලාරි එදිරිසිංහ. අපි විවාහ වුණේ 2007 වසරේදී. ඇය මූල්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කළා. නමුත් දරුවන් ඉපදුණාට පස්සෙ ඇය රැකියාවෙන් ඉවත් වුණා.

දරුවන්

මට දුවලා දෙන්නෙක් සහ පුතෙක් ඉන්නවා. ලොකු දුව චනුමි, අවුරුදු 15යි ඇයට. පොඩි දුව මිතුලි, ඇයට අවුරුදු 11යි. පුතාට අවුරුදු 4යි. නම හෙවන්.

පොත් කියවන්න කැමැතිද?

ඔව්. ඉස්සර නම් නවකතා, කෙටිකතා එහෙමත් කියෙව්වා. දැන් නම් විෂයානුබද්ධ කෘති තමයි වැඩිපුර කියවන්නෙ. සාමාන්‍යයෙන් මම 4 වෙද්දි ඇහැරෙනවා. කියවන්නෙ ඒ වෙලාවට.

චිත්‍රපට බලනවද?

චිත්‍රපට නම් එච්චර බැලෙන්නෙ නෑ. ඉදලා හිටලා රූපවාහිනියෙන් බැලුවත් චිත්‍රපටය ඉවර වෙනකම් බලන්නෙ නෑ කියලා දරුවොත් මට චෝදනා කරනවා.

විවේකය ගත කරන්නෙ කොහොමද?

මම ගොඩක් සංගීතයට කැමැතියි. පවුලේ අය සහ හිතවතුන් එකතු වෙලා විනෝදයෙන් කල් ගෙවන්නත් එයාලා එක්ක සින්දු කියන්නත් කැමැතියි.

සංචාරය කරන්න කැමැති කොහේද?

ගොඩක් කඳුකර පැත්තටයි කැමැති. නුවරඑළිය විශේෂයි.

බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ

නිතරම නෑ. හොඳ ගුණාත්මක දේවල්වලට තමයි කැමැතියි, ඒවා පාවිච්චියට හොඳ නිසා. නමුත් බ්‍රෑන්ඩඩ් පස්සෙ යන්නෙ නෑ

Comments