
රටක ආර්ථීක ප්‍රතිපත්තිය ගෙන යෑම සඳහා ඉදිරි වර්ෂය සඳහා රජයේ අදායම සහ වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය අතර පරතරය පියවා ගැනීමට ගනු ලබන පියවර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අනාගත ඇස්තමේන්තුව අය-වැය ලේඛනයක් යනුවෙන් අදහස් කරයි. රටකට වැදගත් ලේඛනයක් වන අය වැය ලේඛනයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය මත රට දියුණු කිරීම සඳහා රාජ්‍ය අංශය මෙහෙය වන්නේ කුමනාකාරයටද යන අදහසයි. ඊට අමතරව පෞද්ගලික අංශයට විශේෂ දිරිදීමක් දෙන්නේ කෙසේද? නොඑසේ නම් යම් යම් සීමාවන් පනවන්නේ කුමන ආකාරයටද යන්න අවශේෂ වැදගත් කරුණු වෙයි. පවතින අර්බුද හමුවේ වඩා වැදගත් වන්නේ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තීන්ය.
ආර්ථික ක්‍රම වේදයන් සම්බන්ධයෙන් ආර්ථීක විද්‍යාවේ භාවිත කරන උපකරණ දෙකක් වෙයි. යම් පුද්ගලයකු අභිප්‍රේරණය කිරීම සඳහා ඔහුට ආර්ථික කටයුත්ත ප්‍රවර්ධනය කිරීමට හෝ එසේ නැතිනම් පසුගාමි කිරීමට අදාළ අවශ්‍යතා ඉටු කර ගැනීමට එම තැනැත්තාට සහනාධාර ලබා දීම කළ හැකිය. එසේම ඔහු ඒ වෙනුවෙන් කිසියම් වැරදි ක්‍රියාවක් කරන්නේ නම්, යම් ආකාරයට සීමා කිරීම් සිදු කළ හැකිය. ආර්ථීක විද්‍යාව අනුව මෙය කැරට් සහ කෙවිට යන සිද්ධාන්තය වර්තමානයේ ආර්ථීක විද්‍යාවේ නිර්වචනයක් සිදු වෙයි. අශ්වයාට දිවීමට කැරට් සහ කෙවිට දෙකම පාවිච්චි කිරීම කළ යුතු සේම ආර්ථික විද්‍යාවේ මූලධර්මයක් වන කැරට් සහ කෙවිට සිද්ධන්තය ලංකාවේ ඉතාම නොගැළපෙන ආකාරයට භාවිත කරයි. මේ අය වැය ලේඛනයකින් කැරට් සහ කෙවිට යන උදාහරණය අනුව ආර්ථීක විද්‍යාවේ මූලධාර්මික සිද්ධාන්ත කරුණු කෙසේ භාවිත කරන්නේද යන්න රටක පෞද්ගලික අංශය අභිප්‍රේරණය කිරීම සහ රාජ්‍ය අංශය විවිධ අංශ වෙතට යොමු කිරීම කෙසේ කරන්නේ ද යන්න අය වැය ලේඛනයෙන් සිදු වෙයි.
ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණ දෙමින් ඒවායේ දරුණුතම ප්‍රතිවිපාක විඳින අවස්ථාවකි. පාස්කු ප්‍රහාරය, ලෝක අර්බුදයක් වූ කොවිඩ් අර්බුදය, ලංකාවේ පැවති ආර්ථික අර්බුදය මෙන්ම එම ආර්ථික අර්බුදයේ විවිධ පැතිකඩ ගණනාවක් තිබිණි. ආහාර සහ ඛනිජතෙල් අර්බුදයක් ඇති වී ඇති අතර රටම අඟුළු දැමීමක් සිදුවී තිබීම තුළ මිනිසුන් නිවෙස්වලට සීමා වීමෙන් ආදායම් මාර්ග අහිමි වීම, ආර්ථික කටයුතු සීමා වීම ඇති වූ සමාජ සහ දේශපාලන අර්බුදය හමුවේ රට ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන කාරණාව වැදගත් වෙයිද ඒ සඳහා සම්පූර්ණ දීර්ඝකාලීන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් විය යුතුය.
එහිදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණ ලෙස මා දකින්නේ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සහ අධ්‍යාපන ප්‍රතිව්‍යුහ ගත කිරීම මෙන්ම විශේෂයෙන්ම කෙටිකාලීනව දියුණු කළ හැකි අංශ තෝරා ගෙන ඒ අංශ සඳහා යම් කිසි උත්තේජනයක් හෝ සීමාවක් ලබා දීමයි. දැනට පවතින ආර්ථික අර්බුදයට වේගවත්ව කළ හැකි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන සහ පරිගණක තාක්ෂණය සඳහා ජනතාව පුහුණු කිරීමත් වෘත්තීය අභිමුඛ ආකාරයට ශ්‍රමිකයන් පුහුණු කර කෙටිකාලීනව විදෙස් ගත කිරීමට කෙටි විසඳුමක් අවශ්‍ය වේ. ඒ සඳහා අය වැයේදී යම් අවධානයක් යොමු කර ඇත. ඒ අනුව මේ අය වැයෙන් සාගරය ආශ්‍රිත සංචාරක කලාප පිහිටු වීම, සමෘද්ධිය සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට මිලියන 50ක් වෙන්කර ඇත. අද වන විට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයකි. එය රටට කඩිනමින් විදෙස් විනිමය ලැබෙන ක්‍රමවේදයකි. තොරතුරු තාක්ෂණය, පරිගණක ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් මීට වඩා විකල්ප අවශ්‍ය වේ. විශ්වවිද්‍යාල පද්ධතියේ සහ තරුණ තරුණියන්ට පරිගණක පුහුණුව ලබා දී මේ අය කෙටි කාලයක් තුළ විදෙස් ගත කිරීම ඉතා වැදගත් වෙයි. එසේ ම විශේෂයෙන්ම වැදගත් ආර්ථික අර්බුදයක් වන සමාජ ආරක්ෂණ ජාලා වැඩසටහන සඳහා රුපියල් මිලියන 4300ක් අය වැයෙන් වෙන් කිරීම ඉතා වැදගත් වෙයි. රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක රටේ ආර්ථිකයේ ආදායම් විෂමතාව පුළුල් වීම වළක්වා ගැනීමට නම් අඩු අදායම්ලාභීන්ට යම් සහනයක් ලබා දිය යුතුය. එහෙත් ගැටලුව ඉතිහාසයේ සිට මේ සහනය ලබා දුන් ආකාරය තර්කානුකූල ක්‍රමයක් නොවීමය.
කෙසේ වෙතත් ආර්ථිකය මෙතැනින් ඉදිරියට ගෙන යෑමට නම් ප්‍රධාන විප්ලවය කළ යුත්තේ තොරතුරු තාක්ෂණය මඟිනි. ආර්ථිකය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීම, ඒවා විශ්ලේෂණය කර යම් නිර්දේශ තීරණ නිකුත් කරන ආර්ථික තොරතුරු බුද්ධිමය වශයෙන් විග්‍රහ කර එයට යථාර්ථවාදී ආර්ථීක විද්‍යාත්මක පදනමක් ලබා දෙන යම් ස්ථානයක් තිබිය යුතුය. රටක ආර්ථිකය හැසිරවීමට සමස්ත වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොදු එකඟතාවක් අවශ්‍ය වේ. රටක මහ බැංකුව ක්‍රියාත්මක විය යුත්තේ රටේ මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මිස රටේ සමස්ත ආර්ථිකය හසුරු වීමට නොවේ. එසේම රාජ්‍ය භාණ්ඩාගාරය රජයේ වියදම් කළමනාකරණය කිරීම සහ ආදායම උපයා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම හැර සමස්ත ආර්ථිකයේ පවතින විචල්‍යයන් සම්බන්ධයෙන් එමඟින් සමාලෝචනයක් කළ ද එහිදී එම සමාලෝචනය මඟින් නියෝජනය වන්නේ එම ආයතනයන්වලට අදාළ පාර්ශ්වය පිළිබඳ පමණි. විශේෂයෙන් ස්වාධීනව ප්‍රවීණ කණ්ඩායමක් විසින් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලද, එම විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම ඇති, ඒ පිළිබඳ පුළුල් දැක්මක් ඇති පාර්ශ්වයන් ඒකරාශී කර ගනිමින් තොරතුරු රැස් කිරීම සංවිධිත ආකාරයට කළ යුතුය.
එසේ සංවිධිත ආකාරයට තොරතුරු රැස්කර ගතහොත් රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මීට වඩා යථාර්ථවාදී තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසේ. විශේෂයෙන් දැනට පවතින බදු ප්‍රතිපත්තිය අනුව මේ ආකාරයට බදු වැඩි කිරීමට සිදු නොවනු ඇත. රටකට බදු අවශ්‍ය වුවත් සංවිධිත ආකාරයට තොරතුරු රැස්කර ගතහොත් වැටුප් වාර්තාවන් ඇති පිරිස්වලට ලිඛිත ලියවිලි මත පමණක් බදු පැනවීම සිදු කොට අසංවිධිත අංශයේ විශාල වශයෙන් ආදායම් ලබන කණ්ඩායමක් මත බදු නිදහස් කිරීම සිදුවෙයි.
ඒ නිසා තොරතුරු රැස් කර මේ අසංවිධිත ක්‍රම වේදය වෙනස් කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය වාතාවරණයකට අපේ ආදායම් බදු දෙපාර්තමේන්තුව සකස් වී නැත. ග්‍රාමීයව රාජ්‍ය නිලධාරින් පිරිසකගේ නියෝජනයක් ඇත. එම අනුයුක්ත කර ඇති නිලධාරින් ග්‍රාමිය තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව එම තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමු කර ඉන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටම දක්වාම එම තොරතුරු ලබාදී, අනතුරුව ආර්ථික තොරතුරු බුද්ධිමය අංශයකට යොමු කර එහිදී නීර්ණය කර විධිමත් පටිපාටියකට යොමු කළ හැකි නම් මේ රට සංවර්ධනය කළ හැකිය. එසේම මෙම කර්තව්‍යයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වගකීමක් ඇත. රටේ මුදල් සංසරණය වන ස්ථාන කොතැනද යන කරුණ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම එම ආයතනවලට කළ හැකිය. එය සොයා ගැනීමට නම් දත්ත රැස් කරන ක්‍රම වේදයක් තිබිය යුතුය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් ගම් මට්ටමේ සිට තොරතුරු රැස් කර ගත හැකිය. තොරතුරු තාක්ෂණික ක්‍රම වේදයන් විධිමත් කළ යුතුය. අපේ රටේ තොරතුරු හිඟතාව පවතින අතර එය විධිමත් කිරීමට නම් ව්‍යුහාත්මක තොරතුරු රැස් කර ගත යුතුය. මෙවැනි ක්‍රමවේදයක් ඇති නොකර කිසිදු ගැටලුවකට පිළිතුරු නොලැබේ. මේ සියලු කරුණු කරණාවලදී වඩා බලපෑමට ලක් වෙන්නේ මධ්‍යම පාන්තිකයන්ය. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ වරප්‍රසාද නොලබන කණ්ඩායම්වලට ලැබෙන සරණ බොහෝ සෙයින් අඩුවෙයි. එසේ නම් මේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුත්තේ අය වැයකින් පමණක් නොවේ. විශේෂයෙන්ම රටේ ප්‍රතිපත්තිමය වෙනසක් ඇති විය යුතුය. ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ශක්තිමත් කළ යුතුය. රාජ්‍ය සේවාවට නිවැරදි මඟපෙන්වීමක් ලබා දිය යුතුය.
මෙවර අය වැයෙන් තරුණ තරුණියන් පිළිබඳ සහ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ යම් අවධානයක් යොමු කර ඇත. එසේම මෙවර අය වැයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ද යම් අවධානයක් යොමු කර ඇත. අතිරේක සේවක සංඛ්‍යාවක් විශාල වශයෙන් සිටීම රාජ්‍ය අංශය සම්බන්ධයෙන් එල්ල වන විශාල චෝදනාවකි. එහෙත් අවිධිමත් භාවය නිසාම රාජ්‍ය අංශයේ ද සමහර අංශවල විශාල සේවක හිඟයක් වෙයි. රටේ අධ්‍යාපනයේ ඉහළම ක්ෂේත්‍රය වන විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට බඳවා ගැනීම සිදුව න්නේ කිසියම් අනුපාතයකට වුවද විශ්වවිද්‍යාල තුළ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් වෙයි. කථිකාචාර්යවරුන්, පරිපාලනට සම්බන්ධ පිරිස්, උපදේශකයන්ගේ විශාල හිඟයක් වෙයි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙවර අය වැය තුළින් ගෙන ඇති පියවර කාලීන පියවරකි. අවම වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය සඳහා සහාය වීමටවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට උපාධිධාරීන් යොමු කිරීම වෙනුවට මේ පිරිස් විශ්වවිද්‍යාලවල පරිපාලනයට සම්බන්ධ කිරීම තවත් එක් යහපත් පියවරකි. එවිට එම රාජ්‍ය සේවකයන්ගේ මීට වඩා ඵලදායී සේවයක් ලබා ගත හැකිය. පැවැති රජයන් විශාල උපාධිධාරීන් සංඛ්‍යාවක් බඳවාගෙන රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කර ඇත. මෙය අවිධිමත් ලෙස කිරීමෙන් විශාල අර්බුද ඇති වුවත් ඒ පිරිසෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි ප්‍රතිශතයක් යොමු කළේ නම් එය එක් සාධනීය පියවරක් වන්නට තිබිණ. රාජ්‍ය අංශයට බඳවා ගැනීමේදී හිඟ අංශවලට වැඩි අවධානයක් යොමු නොකිරීම ඒ අවිධිමත් භාවය නිසා ඇති වූ එක් ගැටලුවකි.
කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ ද මෙවර අය වැයෙන් යම් අවධානයක් යොමු කර ඇත. කෘෂිකර්මය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලුව ගැන කතා කළහොත් පසු අස්වනු කළමනාකරණය කළ යුතුය. ගොවින්ට සහනාධාර දී නිෂ්පාදනය වැඩි කිරීමට පෙර නිසි කළමනාකරණය කළ යුතුය. ගොවියාගේ නිෂ්පාදනවලට වටිනාකමක් එකතු කර පාරිභෝගිකයාට ලබා දීමේදී අතරමැදි සේවයට ගොවියා යොදා ගැනීම කළ යුතුය. කෘෂිකර්මයේ සිටින අතරමැදියන් ඉවත් කළ යුතුය. රාජ්‍ය අංශයේ වගා නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ කෘෂි නිලධාරින් යන රාජ්‍ය නිලධාරින් පුහුණු කර එම අවශ්‍ය කර්තව්‍ය කිරීමට රාජ්‍ය සේවකයන්ට දැනුම ලබා දිය යුතුය.
මෙරට පවතින්නේ සේවා සපයන ආර්ථීකයකි. ආයෝජන ප්‍රවර්ධනය කලාප පිළිබඳ මෙවර අය වැයෙන් අවධානය යොමු කර ඇත. ආයෝජන ප්‍රවර්ධන කලාපවලින් වැඩි වශයෙන් කෙරෙන්නේ භාණ්ඩ නිෂ්පාදනයයි. භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ලංකාවේ ගැටලු රැසක් මතු වෙයි. යටිතල පහසුකම් නොමැති වීම, අමුද්‍රව්‍ය අඩු වීම, භාණ්ඩ නිෂ්පාදනයට අවැසි තාක්ෂණය නොමැති වීම ආදී හේතු නිසා යම් ගැටලු මතු වෙයි. ලෝකයේ භාණ්ඩ නිෂ්පාදනය සිදු වන්නේ සැපයුම් දාමයමක් ලෙසය. සම්පූර්ණ භාණ්ඩයක් එක් රටක් තුළ නිෂ්පාදනය නොවේ. මේ සැපැයුම් ජාලවලට රටක් ලෙස අපේ රටත් ඇතුළත් වීම වැදගත් වෙයි. අපි වැඩියෙන් ප්‍රවර්ධනය කරනවාට වඩා කෙටි කාලයකදී රටේ ආර්ථිකය ගොඩනැඟීමට ක්‍රමෝපායන් සෙවීම කළ යුතුය. විශේෂයෙන් ආයෝජකයන් සඳහා බලශක්තිය, විදුලිය, ජලය ඇතුළු වෙනත් යටිතල පහසුකම් ලබා දීමේදී අපේ රටට ඇතැම් රටවලට සාපේක්ෂව ඇති හැකියාව අඩුය. භාණ්ඩ නිෂ්පාදනයට උත්සාහ කිරීමට වඩා කෙටිකාලීන සංචාරක ව්‍යාපාරය සඳහා ලංකාවේ පුද්ගලයන් පුහුණු කිරිම කළ යුතු කඩිනම් පියවරකි. විශේෂයෙන් භාෂා ඥානය වැඩි කිරීම, විවිධ භාෂා දැනුම, පරිගණක තාක්ෂණය වැඩි දියුණු කීරිමට හැකියාව ලැබෙයි. ව්‍යවසායකත්වය දියුණු කිරීම, ව්‍යාපාර ආරම්භ කරන පිරිස වැඩි කිරීම, ඒ අයට මූල්‍ය සාක්ෂරතාව ලබා දීම කඩිනමින් කළ යුතුය. එසේම මුදල් ඉතිරි කිරීම, නිෂ්පාදන වර්ධනය කිරීම පිළිබඳ සලකා බැලිය යුතුය. රටක් ලෙස බොහෝ විට සේවා අංශයේ ව්‍යාපාරවලට යොමු විය යුතුය. විශේෂයෙන් අපනයන කළ හැකි සේවාවන් යනුවෙන් හඳුනා ගත හැකි සේවා අංශයේ ව්‍යාපාර විය යුතුය. අපනයන කළ හැකි සේවාවන් යනු පරිගණක ක්ෂේත්‍රය සහ සංචාරක ව්‍යාපාරයයි. දිර්ඝකාලීන වැඩ සටහන් පිළිබඳව ඉන් අනතුරුව අවධානය යොමු විය යුතුය. තරගකාරී ලෝකයට අපි යා යුතුය. අපේ රටේ ජනතාව ශක්තිමත් කර මානව සම්පත්වල ආයෝජනය වැඩි කර එමඟින් ලැබෙන ආදායමින් තාක්ෂණික ක්‍රමෝපායන් වැඩි දියුණු කිරීම කලෝචිතය.