ගිනි ගත්ත සුන්බුන් අතරේ මගේ අම්මාගේ පින්තූරේ දැක්ක වෙලාවෙ මට ඉවසන්නම බැරි වුණා | සිළුමිණ

ගිනි ගත්ත සුන්බුන් අතරේ මගේ අම්මාගේ පින්තූරේ දැක්ක වෙලාවෙ මට ඉවසන්නම බැරි වුණා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන

  • මානසික වශයෙන් මේ සිදුවීම මගේ හිතට ලොකු කම්පනයක්. ඒ හානිය මුදල්වලින් තක්සේරු කරන්න බැහැ
  • ගිනි තියලා විනාශ කරපු ගෙදර නැවත ලබා ගන්න බැරි මගේ මවුපියන්ගේ මතක, දරුවන්ගේ මතක සටහන් ගොඩක් තිබුණා

දිනය 2022 මැයි 09 වැනිදාය. රට පුරා ප්‍රචණ්ඩත්වයේ අඳුරු සළු පැලඳි ඒ දිනය පිළිබඳ බොහෝ දෙනකුගේ සිත් තුළ ඇත්තේ අවාසනාවන්ත මතක සටහන්ය. ඒ තුළින් බොහෝ දෙනකුගේ මතකයට ආවේ කලකට පෙර රට පුරා පැතිර තිබූ භීෂණයේ සහ ප්‍රචණ්ඩත්වයේ බිහිසුණු මතකයන්ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කිරීමට පුරෝගාමියකු වූ කැබිනට් සහ කැබිනට් නොවන ඇමති ධූර කිහිපයක්ම දරා ඇති දැරූ පරිණත දේශපාලඥයකු වන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන ද එදා ඒ ප්‍රචණ්ඩත්වය අත්විඳි අයෙකි.

"මැයි 9 වැනිදා හිටපු අගමැතිතුමාට සමු දීමේ උත්සවයට සහභාගි වෙන්න මමත් අරලියගහ මන්දිරයට ගියා. ඒත් මම එතැන හිටියේ පැය බාගයක් වගේ සුළු වේලාවක්. මට එදා වෛද්‍යවරයෙක් හමුවෙන්න රෝහලට යන්න තිබුණු නිසා මම ඒ සඳහා ගියා. වෛද්‍ය හමුවෙන් පසුව මම අනුරාධපුරේ මගේ හිතවතකුගේ විවාහ උත්සවයටකට සහභාගි වෙන්න අනුරාධපුරයට යන්නයි හිටියේ. නමුත් වෛද්‍ය හමුව හිතුවට වඩා ප්‍රමාද වුණ නිසා මම ඒ ගමන යන අදහස හිතින් අතෑරලා මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයට ආවා. ඒ ඇවිත් ටික වේලාවක් යද්දි තමයි ගාලුමුවදොර කෝලහල ගැන ආරංචි වුණේ. මම එදා අනුරාධපුරේ විවාහ උත්සවයට සහභාගි වෙන්න ගියා නම් මමත් යන්නේ අතුකෝරාල මන්ත්‍රීතුමා ගිය පාරේ, ඒ කියන්නේ නිට්ටඹුව හරහා. වෛද්‍යවරයා හමු වෙන්න ප්‍රමාද වුණු නිසා මට ඒ ගමන මග හැරුණා. එහෙම නොවුණා නම් සමහර විට මටත් අතුකෝරාල මන්ත්‍රීතුමාට වගේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න ඉඩ තිබුණා."

හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මැයි 9 වැනිදා පිළිබඳ ආවර්ජනය කරමින් එසේ කතාබහට එක් විය. ඒ අවාසනාවන්ත සිදුවීමෙන් මන්ත්‍රීවරයාට කිසිදු ශාරීරික හානියක් සිදු නොවූවද ප්‍රචණ්ඩකාරීන් විසින් අනුරාධපුරයේ පිහිටි ඔහුට අයත් නිවෙස, කාර්යාලය, රැස්වීම් ශාලාව සහ ව්‍යාපාරික ස්ථානය ද ගිනි තබා විනාශයට පත්කර තිබිණ.

"රට පුරාම කලබල ඇති වෙමින් තිබුණු නිසා එදා මම අනුරාධපුර ගමන නවත්තලා මාදිවෙල මන්ත්‍රී නිවාසයෙයි හිටියේ. හවස් වෙද්දි මට ආරංචි වුණා අපේ ගෙවල් ගිනි තියන්න පිරිසක් අනුරාධපුර බස් නැවතුම්පොළේදී සාකච්ඡා කරනවා කියලා. මම ඒ ගැන පොලිසියට දැනුම් දුන්නා. නමුත් එදා අනුරාධපුරේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල් කඩලා, ගිනි තියලා විනාශ කරමින් පැමිණි පිරිස රෑ 11ට විතර මගේ ගෙදරටත් ගහන්න ඇවිත් තිබුණා. පොලිසියේ සහ හමුදාවේ අය සිටියත් ඔවුන්ට ඒ විනාශය වළක්වා ගන්න බැරි වුණා. ඒ ආව පිරිස මගේ නිවෙස, කාර්යාලය, රැස්වීම් ශාලාව සහ කුඩා වෙළෙඳ ආයතනය සම්පූර්ණයෙන් විනාශ කරලා තිබුණා. ඔවුන් මගේ වත්තේ තිබුණු මල් පෝච්චි පවා අරගෙන ගිහින් තිබුණා. ඒ වගේම සමහර ගස් කපලා දාලා ගිහින් තිබුණා. ඒ විදිහට ගස්වලින් පවා පළි අරගෙන තිබුණේ මොන වෛරයක් පිරිමහගන්නද කියලා මට හිතාගන්න බැහැ."

හිටපු ඇමැති එස්. එම්. චන්ද්‍රසේන පැවසුවේ සංවේගයෙනි. ඔහු වඩාත් වේදනාවට පත්ව ඇත්තේ විනාශ වූ ගොඩනැඟිලි ගැන නොවේ. ඒවා තුළ තිබූ යළි ලබා ගත නොහැකි මතක සටහන් ගැනය.

" ඒ සිදුවීමෙන් සිදු වූ අලාභ හානිය ගැන මේ වන විට තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු කරගෙන යනවා. නමුත් මට තියෙන වේදනාව, ඒ විනාශ වුණු සමහර දේවල් ආයේ කවදාවත් මුදලට ලබා ගන්න බැරි දේවල් නිසයි. ගිනි තියපු ගේ 1998දී මම සල්ලිවලට ගත්ත ඉඩමක හදපු ගෙයක්. මම ඒ ඉඩම ගත්තේ වගා කරන්නයි. මුලින්ම කාමර දෙක තුනක් හදාගෙන පදිංචියට ගිහින් බැංකු ණය අරගෙන අවුරුදු 20ක් විතර ටික ටික හදලයි ගේ හදලා ඉවර කළේ. එහෙම හදාගත්ත ගේ තමයි එදා විනාශ කරලා දැම්මේ. දේශපාලනයට එන්න කලින් මම ගොවියෙක්. හැම කන්නයකම මම අක්කර 50-100ක බඩ ඉරිඟු වවනවා. මම දේශපාලනය කළේ ගොවිතැනින් උපයා ගත් මුදලින් මිසක් දේශපාලනයෙන් මම මුදල් උපයලා නැහැ. ගිනි තියලා විනාශ කරපු ගෙදර මගේ මවුපියන්ගේ මතක, මගේ දරුවන්ගේ මතක සටහන් ගොඩක් තිබුණා. ඒ හැමදේම ගින්නෙන් විනාශ වුණා. ගේ ගිනිගෙන ඉවර වුණාට පස්සේ මම ගෙදර හිටපු මගේ කාර්යමණ්ඩලයේ ළමයකුට කතා කරලා කිව්වා ගේ ඉස්සරහ තිබුණ මගේ අම්මගේ පින්තූරේ තියනවද බලන්න කියලා. මගේ අම්මා ජීවතුන් අතර නැති නිසා මම උදේ හවස අම්මගේ ඒ පින්තූරෙට වැඳලයි යන්නෙ. ඒ ළමයා බලලා කිව්වා ඒකත් නැහැ වගේ කියලා. පස්සේ මම ගෙදර ගිහින් ගිනි ගත්ත සුන්බුන් ඇදලා පින්තූරේ හෙව්වා. අන්තිමට මට පින්තූරේ හම්බ වුණා. වීදුරුව කැඩිලා ඇරෙන්න අම්මගෙ පින්තූරෙට කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ. ඒ වෙලාවේ මගේ ඇස්වලට කඳුළු ආවා. මම ගොඩක් සංවේදී වුණා ඒ සිදුවීමෙන්."

සිය ජීවිතය තුළ මෙවැනි සිදුවීමක් අත් විඳි පළමු අවස්ථාව මෙය බව ද හිටපු ඇමැතිවරයා කීවේය.

"මහජන නියෝජිතයෙක් විදිහට මම දැන් දේශපාලනයට ඇවිත් අවුරුදු 31ක් වෙනවා. කවමදාවත් මෙහෙම සිදුවීමකට මුහුණ දීලා නැහැ. හතර සැරයක් දිස්ත්‍රික්කයේ පළමු වැනියා වුණේ මමයි. මේ පාරත් පළමු වැනියා. මම ගත්ත මනාප සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිම පක්ෂයක කිසිම අපේක්ෂකයෙක් ලබා ගෙන නැහැ. ඒක වාර්තාවක්. ඒකට හේතුව මම හැමදාම මිනිස්සු එක්ක හිටිය මහජන නියෝජිතයෙක් වීමයි. දේශපාලන වශයෙන් එකිනෙකට වෙනස් මතවාද දැරුවත් මම කවමදාවත් කිසිම පක්ෂයක සාමාජිකයකුට හිරිහැරයක් කරලා නැහැ. දේශපාලන පළිගැනීම් කරලා නැහැ. මගේ අනුගාමිකයෙක්වත් විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර කරලා නැහැ. ඔවුන්ට ඒවා කරන්න මම ඉඩ දීලත් නැහැ. ඒ නිසාම මට හෝ මගේ අනුගාමිකයන්ට දේශපාලන නඩු නැහැ. ඒ විදිහට මම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාධාරණවයි දේශපාලනය කළේ. මම බලාපොරොත්තු වුණා මටත් සමාජයෙන් ඒ සාධාරණය ලැබෙයි කියලා. නමුත් මට ඒ සාධාරණය ලැබුණේ නැහැ. ඒ ගැන මගේ හිතේ දුකක්, වේදනාවක් තියෙනවා. ගෙදරට එන ඕනෑම කෙනකුට පුළුවන් විදිහකට තේ කෝප්පයක්, කෑම වේලක් දීලා යවන එක එදා ඉඳලම මගෙ පුරුද්දක්. එහෙම මිනිස්සු ගැන සාධාරණව හිතපු මට මගේ ජීවිතේටම බලපාන මෙහෙම හානියක් කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මානසික වශයෙන් මේ සිදුවීම මගේ හිතට ලොකු කම්පනයක්. ඒකේ හානිය මුදල්වලින් තක්සේරු කරන්න බැහැ."

මැයි 9 වැනිදා ප්‍රචණ්ඩත්වයට මුහුණ පෑ බොහෝ දෙනකුගේ සිත්වලට ඒ කම්පනය, වේදනාව දැනීම අරුමයක් නොවේ. හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනගේ දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වී ඇති පුද්ගලයන් අතර ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සාමාජිකයන් සිටි බව හෙළි වී ඇත. එමෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ තරුණ තරුණියන් රැසක් සහ අනුරාධපුර නගරයේ නිකරුණේ කල් ගෙවන තරුණයන් ද මේ ප්‍රචණ්ඩකාරී සිදුවීමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ද ඇම­ැතිවරයා කීවේය.

කලාවැව ආසනයේ පලුගස්වැව ගම්මානයේ උපන් එස්. එඑම්. චන්ද්‍රසේන කලාකරඹෑව මහා විද්‍යාලයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර පසුව උසස්පෙළ හැදෑරීමට කලාකරඹෑව ශ්‍රී විද්‍යාධර පිරිවෙනට ඇතුළත් වී ඇත. උසස්පෙළ විභාගය සමත් වී බාහිර අපේක්ෂකයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන හෙතෙම උපාධි ප්‍රථම පරීක්ෂණය සමත් වුවද උපාධිය සම්පූර්ණ කිරීමට පෙර ඔහුගේ ජීවිතය වෙනත් දිශාවකට යොමු වන්නේය.

"ඊට පස්සේ මම දේශපාලනයට යොමු වුණා. කුඩා කාලයේ සිටම මගේ පවුලේ දේශපාලන පසුබිමක් තිබුණා. අපේ ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතියේ ලේකම් විදිහට කටයුතු කළේ මගේ තාත්තා, සමරකෝන් මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩාර. ඒ ආභාසය මත මම 1991දී ඉපලෝගම ප්‍රාදේශීය සභාවට තරග කරලා ජයග්‍රහණය කළා. 1993දී උතුරු මැද පළාත් සභාවට තරග කළා. 1998දී උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම හා පළාත් පාලන ඇමැති ධූරයත් දැරුවා. 2000 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරලා පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. මේ දක්වා මම නියෝජ්‍ය ඇමැති ධූරයක, කැබිනට් නොවන ඇමැති ධුර 2ක සහ කැබිනට් ඇමැති ධුර 6ක කටයුතු කර තිබෙනවා."

ඔහු සිය දේශපාලන ගමන පිළිබඳ ආවර්ජනය කරන්නේ සොම්නසිනි. අභියෝග, බාධක පැමිණියද දේශපාලනයෙන් දුරස් වන බලාපොරොත්තුවක් නොමැති බව ද හිටපු ඇමැති එස්. එම්. චන්ද්‍රසේන අවධාරණය කළේය.

"පාරම්පරිකව මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙක්. නමුත් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන විපක්ෂය එක්ක එකතු වුණාට පස්සේ බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය හදන්න මමත් පුරෝගාමියෙක් වුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටට ඉතාම හොඳ වැඩ කොටසක් ඉටු කළා. නමුත් රසායනික පොහොර ප්‍රශ්නයේදී එතුමා අපි කියන දේවල් අහන්නෙ නැතුව එතුමා සමඟ සිටි විද්වත් මණ්ඩලය කියන දේ අනුව විතරක්ම කටයුතු කළ නිසයි මේ තත්ත්වය ඇති වුණේ. ඇත්ත තත්ත්වය පහදන්න ගිහින් මමත් එතුමාගෙන් කිහිප වරක් බැණුම් ඇහුවා. එතුමා ගත්ත ඇතැම් තීරණ පොහොට්ටුව පක්ෂය අනුමත කළ ඒවා නෙවෙයි. එතුමා පක්ෂයේ සමස්ත මතයට ඇහුම්කම් දුන්නා නම් මේ ආර්ථික අර්බුදය ඇතිවෙන්නෙත් නැහැ එතුමාට ජනාධිපති ධුරයෙන් යන්න වෙන්නෙත් නැහැ.

ඒ නිසා මම කියන්න කැමතියි රටේ ඇතිවුණු අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ වරදක් නිසා සිදු වූවක් නෙවෙයි. ඒ නිසා පක්ෂය අතහැර යන්න මගේ අදහසක් නැහැ. බාධක, අභියෝග ආවත් අපි තවත් ශක්තිමත්ව ඉදිරියට යනවා. ඉදිරි මැතිවරණවලදී පක්ෂය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැප වෙනවා. ගෙවල් ගිනි තියලා හානි සිදු කළා කියලා අපි පක්ෂය අතෑරලා යන්නේ නැහැ. මේ අවස්ථාවේදී පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපේ පක්ෂයේ උපරිම සහයෝගය ලබා දෙනවා. "

වත්මන් අභියෝගකාරී තත්ත්වය හමුවේ රට නඟා සිටු වීම සඳහා පාලක සහ පාලිත වගකීම පිළිබඳ ද හිටපු ඇමතිවරයා මෙසේ අදහස් දැක්වීය.

"විරුද්ධවාදීන් රටේ ඇති වූ ආර්ථික අර්බුදය ප්‍රයෝජනය ගනිමින් අරගලය මුවාවෙන් ජනතාව පාරට බස්සලා ආණ්ඩුව එළවන්න කටයුතු කළා. නමුත් අරගලයෙන් සිදු වුණේ රට තවත් අගාධයකට ගෙන යෑමක් පමණයි. අරගලය කියලා ජනතාව පාරට බැස්සේ කොවිඩ් ඉවර වෙලා රටේ සංචාරක කර්මාන්තය ඉහළට එමින් තිබුණු කාලයක. නමුත් අරගලය නිසා සංචාරක කර්මාන්තය නැවත අඩාළ වුණා. පොදු දේපළ විශාල වශයෙන් විනාශ වුණා. ඒවා නැවත ගොඩනැඟීමේ බරත් පොදු ජනතාවට දැන් විඳින්න සිදු වෙලා තියෙනවා. අරගලයෙන් රටට අයහපතක් මිස යහපතක් සිදු වුණේ නැහැ. මේ ඇත්ත ජනතාව තේරුම් ගත යුතුයි. ආණ්ඩුවෙන් සිදුවූ වැරදි, අඩුපාඩු යළිත් සිදු නොවන ලෙස කටයුතු කිරීම පාලකයන් ලෙස අපෙත් වගකීමයි. මේ අවස්ථාවේ ජනතාව ඉවසීමෙන් යුතුව රට ගොඩනඟන්න ආණ්ඩුවට උදවු කළ යුතුයි. විශේෂයෙන් අසත්‍ය ප්‍රචාර, මතවලට නොරැවටී කල්පනාකාරීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමයි".

Comments