පුහුණු වන්නෙක් හැටියට ඇවිත් අවුරුදු 8කදී මම අධ්‍යක්ෂවරයෙක් වුණා | සිළුමිණ

පුහුණු වන්නෙක් හැටියට ඇවිත් අවුරුදු 8කදී මම අධ්‍යක්ෂවරයෙක් වුණා

ජීවිතයේ සුවපහසු කලාප සොයන බොහෝ දෙනකුට තරුණ කාලයේ ඇති ශක්තිය පිළිබඳ අප්‍රමාණ ජීවමාන නිදසුන් සපයන නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් වෙයි. හේ තවමත් සිටින්නේ සිය දිවියේ 40 දශකය ගෙවමිනි. අසීමිත ව වැඩ කරමින්, ඒ වැඩවලින් සිය වෘත්තිය ජිවිතයේ ජයකණු කරා ඉක්මනින් පා තැබූ ඔහු DIPPED PRODUCTS PLC හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර ය. DIPPED PRODUCTS PLC හේලීස් කණ්ඩායමේ සාමාජිකයෙකි. වාණිජ ධාරාවෙන් උසස්පෙළ හදාරා පාසලේ වැඩිම ලකුණු ගෙන විශ්වවිද්‍යාලයට තේරෙන ඔහු, ඒ අතර කාලයේ තමා ඉගෙන ගත් විදුහලේ ශිෂ්‍ය ගුරුවරයකු ලෙස සේවය කරන්නේ සිය අනාගතයට අවැසි අධ්‍යාපන ශක්තිය ලබා ගැනීම වෙනුවෙන් වියදම් කරන්නට මුදල් සොයා ගැනීමේ අභිලාෂයෙනි. එතැන් පටන් සිය උසස් අධ්‍යාපන කටයුතු සියල්ල සිය ශක්තියෙන් උපයාගත් මුදලෙන් පූර්ණය කරගන්නා ඔහු මෙසේ සිය ලිවිසැරියේ කඩඉම් ගැන සිහි කරන්නේ අපමණ තෘප්තියෙනි.

සම්පූර්ණ නම

රත්ගම හැදලගේ පුෂ්පික ජනධීර

භාවිත නාමය

පුෂ්පික ජනධීර

උපන්දිනය

1975 මැයි 22

කොහෙද උපදින්නේ

මම උපදින්නේ බදුල්ලෙ

අම්මා, තාත්තා සහ සහෝදර සහෝදරියන්

අම්මාගේ නම සෝමාවතී. ඇය රැකියාවක් කළේ නෑ. තාත්තා රජයේ සේවකයෙක්. නම චන්ද්‍රසේන. මට සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා

පාසල් යන්නේ

පහ වසර වෙනකම් මොරටුව වීරපුරන් අප්පු විද්‍යාලයේ ඉගෙන ගත්තා. ශිෂ්‍යත්වෙන් පස්සෙ මම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් වුණා.

බදුල්ලෙ උපදින ඔබ කොහොමද මොරටුවට එන්නෙ

මගේ අම්මගේ ගම තමයි බදුල්ල. තාත්තා මොරටුවේ. මම පාසල් යන කාලෙ වෙනකොට අපි මොරටුවෙ හොරෙතුඩුව පදිංචියට ආවා.

පාසල් යන කාලෙ බාහිර වැඩ කළාද?

මම ගොඩක් බාහිර වැඩ කළේ නෑ ඇත්තටම. ඉගෙනීමටම තමයි ගෙදරින් මාව යොමු කෙරුණෙ.

මොනවද උසස්පෙළට කරන්නේ

මම වාණිජ විෂයය ධාරාවෙන් උසස්පෙළ කළේ. 1995 දි මම වාණිජ අංශයෙන් පාසලේ හොඳම ප්‍රතිඵල ගත්තා. ඒකත් එක්ක මගේ ජිවිතේ වෙනම පැත්තකට යොමු වුණා. තාත්තාට ඕන වුණේ මාව ස්වාධීන කරන්න.

මූල්‍යමය වශයෙන් පවා

ඔව්. වැඩිදුර ඉගෙන ගන්නවා නම් මගේ වියදම් මම බලා ගත යුතු වුණා. විශ්වවිද්‍යාලෙ පටන් ගන්න අවුරුදු දෙකක් විතර යනවනෙ. මට හිතුණා වරලත් ගණකාධිකාරී විභාග කරන්න ඕන කියලා.

රැකියාවකට ගියාද; නැත්නම් කොහොමද මුදල් සොයා ගත්තේ

මට පාසලේ ආදි ශිෂ්‍ය සංගමයෙන් ආරාධනයක් ලැබුණා විශ්වවිද්‍යාලෙ පටන් ගන්නකම් උසස්පෙළ ළමයින්ට උගන්වන්න කියලා. මට ඒ අය රුපියල් 2500ක් ගෙව්වා. ඒ හොයන සල්ලිවලින් තමයි වරලත් ගණකාධිකාරී විභාග සඳහා මුදල් ගෙව්වෙ. ගණකාධිකාරී විභාගවලත් දෙවැනි අදියරේදී මට විෂයයන් 4කට ත්‍යාග තිබුණා. චාටඩ්වලට උගන්වන්න මට අවස්ථාත් ලැබුණා.

කොහොමද විශ්වවිද්‍යාල ජිවිතේ

මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ ගණකාධිකාරී විෂයයන් කරන්න ඇතුළත් වුණා. එතනදි අපි අවසාන අවුරුදු දෙකේදී පුහුණුව සඳහා ආයතනයකට යන්න ඕන. දේශන තියෙන්නෙ රෑට. මම මගේ අධ්‍යාපන කටයුතුවලට මුදල් සොයා ගත යුතු වුණා. ඒ නිසා මම විශ්වවිද්‍යාලෙ දෙවැනි අවුරුද්දෙම රැකියාවකට ගියා.

මොකද්ද රැකියාව

රිචඩ් පීරිස් ආයතනයේ නාවින්න ශාඛාවට තමයි මම බැඳුණෙ. කළමනාකරණ පුහුණු වෙන්නෙක් විදියට මම ඇතුළත් වුණා. ඔවුන් මට රුපියල් 7500ක මාසික වේතනයක් දුන්නා.

පුහුණුවන්නෙක් විදියට මම ඇතුළත් වුණාට ආයතනයෙන් මට අවස්ථාවක් ලැබුණා ස්ථිර සේවකයෙක් ලෙස ඉදිරියට යන්න. අවුරුද්දක් විතර යද්දි රිචඩ් පීරිස් ටයර් සමාගමේ සහය ගණකාධිකාරීවරයා ලෙස මට පත්වීමක් ලැබුණා.

එතකොට විශ්වවිද්‍යාලෙ

මම තුන්වැනි අවුරුද්දෙ එතකොට. හතරවැනි අවුරුද්ද වෙනකොට මට ගණකාධිකාරී කළමනාකාර තනතුර ලැබුණා. මම උපාධිය සම්පූර්ණ කළ ගමන් මට මූල්‍ය කළමනාකාර තනතුර ලබා ගන්න පුළුවන් වුණා.

වියදමට මුදල් සොයමින් ඉගෙන ගන්න අත්දැකීම මොනවගේද?

මම ම මහන්සි වෙලා සල්ලි හොයාගෙන ඉගෙන ගන්න එකේ හරිම වටිනාකමක්, ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම තමන් සල්ලි යොදවන දේ ළඟා කරගන්න තියෙන කැපවීම වැඩියි. මොකද සල්ලි හම්බු කරන එකේ අසීරුව ගැන දන්නවා. උසස්පෙළින් පස්සෙ මම මගේම කියන දෙයක් ගොඩ නැඟුවා. තාත්තා ඒ තීරණය ගත්තෙ දුරදිග බලලා කියලා මට තේරුණේ පස්සෙ. තාත්තා නිතර කිව්වෙ දිනන්න නම් ගැඹුරින් ම ඒ දේ කරන්න ඕන කියලා.

රිචඩ් පීරිස් එකේ කොච්චර කාලයක් හිටියද?

අවුරුදු 5ක් හිටියා. තනතුරුත් පහක් දැරුවා. රිචඩ් පීරිස් ඉන්න ගමන් මම CIMA විභාගත් කරන්න පටන් ගත්තා. උපාධිය අවසන් වෙද්දි වරලත් ගණකාධිකාරී විභාගයත් සම්පූර්ණ කළා. ඊටත් පස්සෙ තමයි මම 2004 දි රිචඩ් පීරිස් එකෙන් අයින් වුණේ.

ඔබට ගොඩනැඟෙන්න උදව් කළ ආයතනයෙන් ඉවත් වෙන්නෙ ඇයි?

මට අවස්ථාවක් ලැබුණා අවුරුදු දෙකකට එංගලන්තෙට යන්න. මම ලන්ඩන්වලට ගියේ වැඩ කරන්න. එහේදි මම රස්සාවල් 3ක් කළා. ගණකාධිකාරීවරයකු ලෙසත්, විගණන ආයතනයක විගණනකරුවකු ලෙස වගේම චිත්‍රපට ශාලාවකත් වැඩ කළා. මම ලංකාවට වරින් වර ආවා. ඒ ආවම පුරුද්දක් විදියට මම රිචඩ් පීරිස් එකේ මගේ පරණ බොස් හම්බු වෙන්න යනවා. එයා හැමදාමත් මට කිව්වෙ ඔයා ආයෙත් මෙහෙට එන්න ඕන කියලා.

මේ ආරාධනාත් එක්ක ලංකාවට එන්න හිතුණද?

මට හිතුණා ආයෙත් ලංකාවට එන්න ඕන කියලා. ඇවිත් රිචඩ් පීරිස් එකේ මූල්‍ය කළමනාකරු විදියට ආයෙත් වැඩ පටන් ගත්තා. අවුරුදු එකහමාරක් විතර වැඩ කළාට පස්සෙ මෙහෙයුම් කළමනාකරු විදියට මම උසස් වීමක් ලැබුණා. මේක මම කර කර හිටිය එකට වඩා වෙනස් එකක්. මූල්‍ය පැත්තෙන් කෙළින්ම ටයර් නිෂ්පාදනය පැත්ත. මූල්‍ය පැත්තෙන් එන්න පුළුවන් දුරක් තියෙනවා. මූල්‍ය කළමනාකරු කියන තනතුරෙන් පස්සෙ ඉදිරියට යන්න තියෙන අවස්ථා හරි අඩුයි. ඒනිසා මූල්‍ය පැත්තෙන් මම ඉවත් වෙලා මෙහෙයුම් පැත්තට යොමු වුණා.

කොහොමද අසීරු වුණාද?

මට ඇත්තටම ඒ ආයතනයේ ගොඩක් කල් හිටපු කෙනෙක්නෙ. ඒනිසා මම ඒකෙ බහුතරයක් දේවල් දැනගෙන හිටියා. මම මෙහෙයුම් කළමනාකාර තනතුරෙන් අධ්‍යක්ෂ- සාමාන්‍යාධිකාරී තනතුරට පත් වුණා. මම අවුරුදු 5ක් විතර දෙවැනි පාර සම්බන්ධ වුණු වෙලාවෙත් වැඩ කළා. එතකොට මම රිචඩ් පීරිස් එකේම අවුරුදු 10ක්. මට හිතුණා වෙනසක් ගන්න ඕන කියලා. මට ආරාධනයක් ආවා AMW ආයතනයෙන්.

මොකද්ද තනතුර

අධ්‍යක්ෂ- නිෂ්පාදන කියන තනතුර. තනතුරු මාරු වුණාට මම මගේ ක්ෂේත්‍රය මාරු නොකරන්න පරෙස්සම් වුණා.

ඒ කියන්නෙ ඔබේ විශේෂිත ක්ෂේත්‍රය වෙන්නෙ ටයර්

ඔව්. කළමනාකාර පුහුණුකරුවකුගේ සිට මේ දක්වාම මම වැඩ කරන්නේ ටයර් සම්බන්ධ ව. AMW එකෙන් මට කතා කළෙත් එ් අංශයට. මම එතැනට එකතු වුණා. අවුරුදු හයහමාරක් මම එතැන වැඩ කළා.

කොහොමද හේලීස් එන්නෙ

මට ආරාධනයක් ලැබුණා හේලීස් සමූහයේ DIPPED ආයතනයෙන්. ඒකත් රබර් ආයතනයක්. මේකෙ අත්වැසුම් හදන ආයතනයක්. අපි යම්කිසි ක්ෂේත්‍රයක ලබා ගන්නා දැනුම හා ප්‍රවීණත්වය ඉතා වැදගත්. පොඩ්ඩ පොඩ්ඩ හැමදේම දැනගන්නවට වඩා එක ක්ෂේත්‍රයක ගැඹුරට යෑම ඉතා වැදගත්. ඒ ගැඹුර එන්නෙ අපි වැඩ කරන කාලය අනුව. මම ටයර් සම්බන්ධව වැඩ කළා කාලයක්. දැනට රබර් සම්බන්ධයෙන් මට අවුරුදු 20ක විතර අත්දැකීම් තියෙනවා. දැන් අත්වැසුම් සම්බන්ධව වැඩ කරනවා. දැන් අවුරුදු 5ක් මම මෙතැන

DIPPED ආයතනයට සම්බන්ධ වෙන තනතුර කුමක්ද?

මම ආවෙ මෙහෙයුම් අධ්‍යක්ෂ විදියට. අවුරුදු 3කින් මට නියෝජ්‍ය කළමනාක­ාර අධ්‍යක්ෂ තනතුර ලැබුණා. ලබන ජනවාරි 01 වැනිදාට මට කළමනාකාර අධ්‍යක්ෂ විදියට උසස්වීමක් ලැබෙනවා. මම මීට පෙර වැඩ කළ ආයතන දෙකටම වඩා මේක විශාල ආයතනයක්. අපි රටවල් 70කට විතර නිෂ්පාදන යවන 3000ක් විතර සේවකයන් නඩත්තු කරන ආයතනයක්.

මොනවද ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය

එක හැරවුම් ලක්ෂ්‍යයක් තමයි මම කළමනාකාර පුහුණු වෙන්නෙක් ලෙස රිචඩ් පීරිස් එකට එකතු වුණු එක. දෙක තමයි එංගලන්තෙ ඉඳල මෙහෙට එන්න තීරණය කිරීම. මට එක දවසෙ රස්සා දෙකක් ලැබුණා. මම තෝරා ගත්තේ රිචඩ් පීරිස් එකේ පුහුණු කළමනාකරණ තනතුර. මම පුහුණු වෙන්නෙක් විදියට ගියාට වැඩ කළේ පුහුණු වෙන්නෙක් විදියට නොවෙයි. මට අවස්ථාව දුන්නා හැම අවුරුද්දකම උසස්වීම් ලබන්න. අධ්‍යක්ෂ කෙනෙක් දක්වා මම අවුරුදු 8ක් වගේ කාලෙකදී ආවා.

ඉක්මනින් දියුණු වෙන්න ඔබට බලපෑම් කළ සාධක මොනවද?

අවස්ථාවක් ආවම බෑ කියන්නෙ නැතිව ගන්න ඕන. දැන් මට ගොඩක් අවස්ථා ලැබුණනෙ. ඒ එක අවස්ථාවක හරි මම කිව්වා නම් බෑ, මට අමාරුයි, මට බැරිවෙයි, කැම්පස් යන ගමන් කරගන්න පුළුවන් වෙයිද කියලා මම අද මෙතැන නෑ. මම අවස්ථාව ගත්තා. ඒවගේම මම අධ්‍යාපන කටයුතුත් ඒවට සමගාමීව කළා. අපි හිතන්න ඕන දේ තමයි, හොඳ දේ අමාරුයි. අපි සුවපහසු කලාපවල (Comfort Zone) ඉන්න නරකයි.

ඔබ අධික වැඩ කරන්නෙක්

අනිවාර්යයෙන්. මම උපාධිය කරද්දි ඒ එක්කම චාර්ටඩ් කළා. චාටඩ් කළ නිසා CIMA කරන්න ඕන නෑ කියලා මම හිතුවෙ නෑ. ඒකත් කළා. මම උගැන්වුවා. පාසලෙන් පටන් ගත්ත ඉගැන්වීම මම මේ කොවිඩි කාලය එනතෙක්ම කළා. වරලත් ගණකාධිකාරී විභාගවලට මම උගන්වනවා. ගොඩක් අය හිතන්නෙ වරකට එකයි කරන්න පුළුවන් කියලා. සමහරු ඔක්කොම ඉවර වෙලා තමයි රැකියාවකට යන්න හිතන්නෙ. වැඩ දෙක තුනක් එකට කරන්න කැමැති නෑ. සුවපහසු කලාපවල සැපට ඉන්නයි කැමැතියි. හැබැයි තරුණ කාලෙ කියන්නෙ ගොඩක් ශක්තිය තියෙන කාලයක්; වැඩ කරන්න පුළුවන් කාලයක්. මිනිස් ධාරිතාවේ සීමාවක් නෑ. අපි මානසිකවයි කූඩු හදා ගන්නෙ.

ගොඩක් වැඩ එකට කරද්දි එක වැඩක්වත් හරියට කරගන්න බැරි වුණොත් කියන බය තියෙන අය වෙනුවෙන් මොනවද ඔබට කියන්න තියෙන්නෙ.

එහෙම එකක් නෑ කියලා මම ඔප්පු කරලා තියෙනවා. වැඩ කරන්න කරන්න අපිට වැඩ පුළුවන් වෙනවා. අනික වැඩ කරන්න, ඉදිරියට එන්න වයස කියන එක බලපාන්නෙ නෑ. සමහරු හිතනවා තනතුරුවලට එන්න ඕන වයසත් එක්ක මුහුකුරා ගිහින් කියලා. කළමනාකාර අධ්‍යක්ෂ කෙනෙක් නම් වයස වෙන්න ඕන වගේ මත අපට තියෙනවා. පරිණතකම කියන්නෙ වසය නොවෙයි. තමන් කරන වැඩේ නිසියාකාරව කරන්නෙ කොහොමද කියන එක විතරයි වැදගත්. මගේ ජීවිතය ගත්තොත් කෙටි කලක් ඇතුළත දිගු ගමනක් ආ කෙනෙක්. ඒකෙදි මට සාර්ථකත්වයට බලපෑම් කළේ හරි තීරණය හරි වෙලාවෙ ගත්ත එක.

ගොඩක් අය රැකියා මාරු කරමින් තමයි උඩට එන්නෙ. ඔබ අවුරුදු ගණන් එකම තැන වැඩ කරනවා. මොකද්ද හේතුව

ඒක මම අනුමත කරන දෙයක් නොවෙයි. මම ඉඳපු හැම ආයතනයකම මම අඩුම තරමෙ අවුරුදු 6ක්වත් හිටියා. ඒ ආයතනයේ තනතුරුවලින් ඉදිරියට එන්න, ආයතනයේ ස්වභාවය හඳුනාගන්න කාලයක් යනවා. ඒවගේම අපි අපිට බාර දෙන ජොබ් එක විතරක් කරලා මදි. අපි යන තනතුරට අදාළ වැඩේ විතරක් කරලා උඩට එන්න බෑ. අපි අපිට තියෙන විවිධ හැකියාවන් පෙන්නන්න ඕන. එහෙම කරන්න නම් වැඩ කරන්න ඕන. දෙන දේ විතරක් කරලා හිටියොත් කොහොමද ඉදිරියට යන්නෙ. ළඟ ළඟ රැකියා මාරු කිරීම අසාර්ථකත්වයට හේතුවක්. තර්කානුකූලව තමයි තීරණ ගත යුතු වෙන්නෙ.

තමන්ගෙ සේවකයන් එක්ක තියෙන ගනුදෙනුව කොයි වගේද?

මම විශ්වාස කරන ලොකුම දේ මිනිස් හැකියාව. අපිට කොයිතරම් යන්ත්‍ර සූත්‍ර තිබුණත්, මොන තාක්ෂණ දියුණුව කළත් ආයතනයක් ඉදිරියට යනවද, පිටුපසට යනවද කියන එක තීරණය කරන්නෙ එ් ආයතනයේ සමස්ත සේවකයන්. සුළු සේවකයාගේ සිට ඉහළම කළමනාකාරීත්වය දක්වා හැම සේවකයෙක් ම ආයතනයකට වැදගත්. තමන්ගේ සේවකයන්ගේ හැකියාවන් හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ අනුව ඒ අයගෙන් වැඩ ගන්න ඕන. මම නිතරම හිතන දෙයක් තමයි මම එක්ක ඉන්න කණ්ඩායම තමයි හොඳම කණ්ඩායම කියන එක. එයාලත් දියුණු කරන්, ආයතනයත් දියුණු කිරීමයි කළ යුතු වෙන්නේ. අපි ආයතනවලට ආයෝජන කරනවා වගේම සේවකයන්ටත් යම්කිසි ආයෝජනයක් කරන්න ඕන. ඒ අයව විශ්වාස කරලා කණ්ඩායමක් විදියට ඉදිරියට යන්න ඕන. එයාලව දියුණු කරන්න පුළුවන් දේවල් හදන්න ඕන. අපෙන් ඒ අයට ඉගෙන ගන්න දෙයක් තියෙන්නත් අවශ්‍යයයි. එතකොට තමයි ආයතනය වගේම සේවකයනුත් දියුණු වෙන්නෙ.

කවුද ඔබේ ජීවන සහකාරිය 

ඇය දිලිනි වීරසිංහ. මට ඇය හමුවුණේ විශ්වවිද්‍යාලෙදි. අපි 2006 විවාහ වුණා. ඇය මනෝවිද්‍යා උපදේශකවරියක්. ඇයට මනෝ උපදේශනය සම්බන්ධ ඇගේම ආයතනයක් තියෙනවා.

දරුවන් ගැන

අපට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. දියණියක් සහ පුත්තු දෙන්නෙක් ඉන්නවා.

පොත් කියවන්න කැමැතිද?

මම පොත් කියවනවට වඩා කැමැති චිත්‍රපට බලන්න. ගොඩක් ඇත්ත සිද්ධි පදනම් කරගත් චිත්‍රපට බලන්න මම කැමැතියි.

සංචාරය කරන්න කැමැති කොහේද?

මම ගොඩක්ම ආසයි ඇවිදින්න. සාමාන්‍යයෙන් නුවරඑළිය, දඹුල්ල, පොලොන්නරුව වගේ පැතිවලට කැමැතියි. නිතර සංචාරය කරනවා.

නිදහස් වෙලාවට මොකද කරන්නෙ

ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ දවස්වල මම ගොඩක් ආර්ථිකය සම්බන්ධ දේවල් ගැන වීඩියෝ බලනවා, අධ්‍යයනය කරනවා.

බ්‍රෑන්ඩඩ්ද පාවිච්චි කරන්නෙ

ඔව්. බොහෝ දුරට.

ආපහු හැරිලා බලද්දි මොකද හිතෙන්නෙ

මම ආව ගමන ගැන මට සතුටක් තියෙනවා. ඒක එක්තරා විදියක කැපවීමෙන් ආ ගමනක්. හැරිලා බලද්දි මගේ ගමන හදාගන්න මම කළ කැපවීම් ගැන සතුටක් දැනෙනවා.

සේයාරූ - ශාන් රූප­ස්සර

Comments