
මෙරට නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදයට බලපෑ මූලික හේතු සාධකයක් නම් ජාත්‍යන්තර වෙළෙඳාම වෙනුවට බාහිර මුල්‍ය පැත්තට අවධානය යොමු කිරීමයි. බාහිර මුල්‍ය යනු ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රධාන වූ විදෙස් විනිමය ගැටලුවයි. අභ්‍යන්තර මුල්‍ය යනු ආණ්ඩුවේ අය වැය අර්බුදයයි. වෙළෙඳාම දෙස අවධානය යොමු කළ අනෙකුත් ආසියානු රටවල් පිළිබඳ සැලකිලිමත් වීමේදී පෙනී යන්නේ වෙළෙඳ ශේෂය දියුණු කරගෙන හොඳ අය වැය මට්ටමක් පවත්වා ගෙන ඇති බවයි.
ආණ්ඩුවේ අභ්‍යන්තර මුල්‍ය අංශය, විශේෂයෙන් වියදම් අංශය කෙරෙහි අවධානය යොමු කළ රටවලවලට අය වැය දරුණු ප්‍රශ්නයක් විය. ලංකාව එවැනි රටකි. අය වැය හිඟය සහ වෙළෙඳ ශේෂයේ හිඟය විශාල ප්‍රශ්නයකි. මේ ආර්ථික අර්බුදයට වැටීමට මූලික ප්‍රශ්නය වෙළෙඳාම පිළිබඳ අවධානය යොමු නොකර වියදම් අංශයට යොමු වීමයි. එසේම අපි අපනයන ප්‍රවර්ධනය පිළිබඳ මෑත කාලීනව අවධානය යොමු කර නැත. අපනයනය ප්‍රවර්ධනය පිළිබඳ අවසාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ 1989 දීය. විශේෂයෙන් 1996න් පසුකාලීනව ආර්ථීක ප්‍රතිසංස්කරණ සිදු කර නැත. විදෙස් රටවලින් ණයට ගැනීම සහ වියදම් කිරීම සිදු විය. අර්බුද වැඩි දියුණු වී අර්බුද මතු වීමට යම් කාලයක් ගතවුවත් කඩා වැටීම් සිදු වන්නේ එකවිටය. පොදු තත්ත්වය එයයි.
ආපස්සට බැලීම අවශ්‍ය නොවුණත් අර්බුදයට වැටුණු ආකාරය තේරුම් ගත්තේ නම් අර්බුදයෙන් ගොඩ ඒමට ඇත්තේ ද එම මාර්ගයමයි. උඩු යටිකුරු වී ඇති අපේ ප්‍රතිපත්ති නිසි දිශානතියට හරවා ගත යුතුය. එයින් අදහස් කරන පැති දෙකක් වෙයි. එනම් වෙළෙඳාමට ප්‍රමුඛතාව දී ඒ ආශ්‍රිතව ඇති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුතුය. එහිදී අපිට අවශ්‍ය වෙන්නේ අපනයන වැඩි දියුණු කිරීමයි. ඒ සඳහා විදෙස් ආයෝජන නොමැතිව අපනයන වැඩි දියුණු කළ නොහැකිය. ඒනිසා විදෙස් ආයෝජනවලට ඉඩකඩ සැපයීම සහ අපේ අය වැය පාලනය කරගත යුතුය. ඒ අනුව උඩුයටිකුරු වි ඇති ප්‍රතිපත්ති හරි අතට හරවා ගැනීමට හැකි වෙයි.
ලෝකයේ මින් පෙර ආර්ථික අර්බුදවලට මුහුණ දුන් රටවල් ඇති අතර, එවැනි රටවල් දිගින් දිගටම අර්බුදවල පැටළී ඇත. එසේම එම අර්බුදවලින් ගොඩට පැමිණි රටවල් ද ඒ අතර වෙයි. ආර්ථික අර්බුදවලින් ගොඩ ඒමේ මාර්ගයට වැටුණ රටක් ලෙස ග්‍රීසිය හැඳින්විය හැකිය. ඔවුන් ඒ අර්බුදයෙන් ගොඩ ඒමේ ක්‍රියාමාර්ග ගනු ලැබිණි. එම රටවලට විදෙස් ණය ප්‍රශ්නය බරපතළ වන විට යුරෝපා මහ බැංකුව යුරෝපා හවුලේ අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා විශාල වශයෙන් උදවු කිරීමෙන් ග්‍රීසියට අර්බුදයෙන් එළියට ඒමේ හැකියාව ලැබිණි. අර්බුදය අනෙක් පැත්තට හැරවීමට අර්බුදයෙන් රට නිවැරදි දිශානතියට ගෙන ඒමට සිදු වූ ප්‍රධාන සාධකය එයයි. එමෙන්ම ග්‍රීසිය අනුගමනය කරන්නට වූ අනෙක් සාධකය නම් ආණ්ඩුවේ වියදම් විශාල ලෙස කපා දැමීමක් සිදු කිරීමය. එමඟින් වැටෙමින් තිබුණ ආර්ථීකය නැවත හරවා ගැනීමට ග්‍රීසියට හැකි විය. ග්‍රීසිය යුරෝපා හවුලට අයත් රටක් නිසා ප්‍රාග්ධනයට සීමා නැත. රටවල් අතර එහා මෙහා යෑමට හැකියාවක් ඇත. වෙළෙඳාමට වඩා එහා ගිය ඒකාබද්ධ වූ කලාපයක ඇති රටක් වන අතර, යුරෝපා හවුලේ රටවල් අතර විහිදී යෑම නිසා ඔවුන්ගේ ආර්ථික බර අඩුවී යෑම සිදු වෙයි. අපේ රටට එවැනි තත්ත්වයක් නැත.
විශේෂයෙන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහාම නොවූවද අපේ වැනි රටවල ඇති ආහාර අර්බුදය සහ මිල ඉහළ යෑම වැනි සාධක පිළිබඳ සැලකිලිමත් වෙමින් රටේ දේශීය කෘෂිකර්මය නඟා සිටුවීම අත්‍යවශ්‍යයි. පොහොර ප්‍රශ්නයෙන් සිදු වූ බලපෑම නිසා කෘෂි කර්මාන්තයේ යම් කඩා වැටීමක් සිදු විය. තේ, රබර් කර්මාන්ත වැඩි දියුණු වීම ද අවශ්‍යයි. අපනයන බෝග අංශයෙන් විදෙස් වෙළෙඳාමට පාඩුවක් සිදු වී ඇත. අර්බුදයෙන් ගොඩ ඒමට සහ කෘෂි අංශයෙන් ඇති ඉඩකඩ සීමා සහිතය. අපි කෙතරම් උත්සාහ දැරුවත් අපේ තේ නිෂ්පාදනය දෙතුන් ගුණයකින් වැඩි කිරීමට නොහැකිය. කෘෂිකර්මය මෙන්ම ඊට වඩා වේගයෙන් වැඩි වෙන කාර්මික සහ සේවා සැපයීම වැඩි දියුණු කර ගැනීම කළ යුතුය.
එමෙන්ම විදෙස් විනිමය උපයන සමාගම් පමණක් නොව තනි පුද්ගලයන් පවා මෙරටට ඩොලර් ගෙන ඒමට මැළිකමක් දක්වයි. ලංකාවේ දැනට සිටින ව්‍යාපාරිකයන් මුදල් රටින් පිටත වෙනත් රටවල බැංකුවල තැන්පත් කිරීමට උත්සාහ කරයි. මුදල් තමන්ගේ රටේ තැන්පත් කිරීමට සුදුසු නැත යන ආකල්පය ඔවුන්ට ඇති වූයේ ඇයි? මූලික ප්‍රශ්නය පවතින්නේ එතැනයි. මිනිසුන්ගේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නම් එය සොයා බැලිය යුතුයි. නීතී රීති පැනවීමෙන් විශ්වාසය ගොඩනැඟීමට නොහැකිය. ඒ විශ්වාසය ගොඩනැඟීමට හැකි වෙන්නේ අනෙක් රටවල් ඒ විශ්වාසය ගොඩ නඟා ගැනීමට කුමක් කළේ ද යන කරුණ පිළිබඳ සොයා බැලීමෙනි. ඒ රටවල් ඒ සඳහා කුමන ක්‍රියාමාර්ග අනුගමනය කළේද යන කරුණු දෙස විචාරශීලිව බැලීමෙනි. මෙරට ඩොලර් උපයන පුද්ගලයන්ට සීමා ඇති අතර, ඒ සීමා ඉවත් විය යුතුය. ඩොලරයට නිවැරදි වටිනාකමක් ලැබිය යුතුය. අස්ථාවරත්වයක්, අවදානමක් නොතිබිය යුතුය. එය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ සඳහා බලපාන නීති රීති රාමුව සහ අණ පනත් සකසා ගැනීමෙනි. අනෙක් පැත්තෙන් අපේ ඩොලර් ඉපැයීම වැඩි දියුණු කර ගැනීමෙනි. මේ කාරණා දෙක අනුගමනය නොකර ඩොලර් අර්බුදය විසඳිය නොහැකිය.
විදෙස් විනිමය ඉපැයීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස බොහෝ විට සංචාරක කර්මාන්තය ගැන සාකච්ඡා වෙයි. ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයට සුදුසු ස්ථානයකි. එහෙත් වෙනත් රටවල් සමඟ සසඳා බලන විට මෙරට එය දියුණු මට්ටමකට පැමිණ තිබේද යන්න ගැටලුවකි. අපේ හෝටල් කර්මාන්තය වැනි අංශ ගත් විට ඒවා බෙහෙවින් තරගකාරි මට්ටමක නැත. එහෙත් කලාපයේ අනෙක් රටවලට වඩා ඉහළ මට්ටමක ආගන්තුක සත්කාර අපේ රටේ වෙයි. එහෙත් සංචාරකයන් අපේ රටට ගෙන්වීමේදී වඩා වැඩි දියුණු වී ඇත්තේ කුමන අංශ ද යන්න ගැටලු සහගතය. අපේ රටේ සංචාරකයන්ට විවේකය ගත කිරීම සඳහා ගොඩ නැඟී ඇත්තේ මොනවාද යන්න ගැටලුවක් මතු වෙයි. ඔවුන්ගේ විවේකය ගත කිරීමට අපි ගොඩනඟා ඇත්තේ මොනවද යන්න මූලික වශයෙන් වටහා ගත යුතු බරපතළ ප්‍රශ්නයකි. අපි විසින්ම ගොඩ නඟා ගත් රටට ආවේණික සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා දේ සීමිතය. ඇතැම් රටවල් සංචාරකයන් ආකර්ෂණය කිරීමට බොහෝ දේ කරයි. අපේ රටේ මෙන් කිසිදු ස්වභාවික දේ නැති රටවලට පවා සංචාරකයන් ඇදී යෑමට හේතුව ඔවුන් එම තත්ත්වය රට තුළ ගොඩ නැඟීමයි. එවැනි රටවල සංචාරකයන්ට විනෝදය සහ විවේකයට සුදුසු පරිසරයක් ඇත. ඩුබායි වැනි රටවලට වසරකට මිලියන 15 හෝ 20කට අධික සංඛ්‍යාවක් සංචාරකයන් පැමිණෙයි. එම ආකර්ෂණයට හේතු අපි සොයා බැලිය යුතුය. සංචාරක කර්මාන්තය පිළිබඳ අපි ඉහළින් කතා කළ ද එය ඉහළ මට්ටමකට දියුණු කර නැත. ස්වභාවික සම්පත් සහ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර හැර අපි ඒ සම්බන්ධයෙන් ගොඩනඟන ලද කිසිවක් නැත.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම එනම් ද්විපාර්ශ්විය ණය ලබාගත් රටවල් තුනක් වෙයි. ඒ ජපානය, චීනය සහ ඉන්දියාවයි. පෞද්ගලික පාර්ශ්වයන්ගෙන් ගත් වාණිජ ණය සහ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවෙන් ගත් ණය යන ණය වර්ග දෙක වෙයි. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙයි. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ මේවා පිළිබඳ සහන කොන්දේසි ඇතුළත් කරගෙන ඉදිරියට ගෙවීමට ඇති ණය තුනී කර ගැනීමෙනි. කාලයක් පුරා ඉදිරියට රැගෙන යෑමෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා මිල පහළ වැටී පොලී අනුපාතය ඉහළ ගොස් තිබේ නම් සාකච්ඡා මාර්ගයෙන් ඒවාට සීමා පනවා ගැනීම කළ යුතුය. එසේ නොවන්නට අපිට විශාල පාඩුවක් සිදු වෙයි. මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඔවුන්ගේ කොන්දේසියකි.
රටක් ලෙස අපි ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පහළ වැටි ඇති නිසා ණය, බොල් ණය බවට පත් කිරීමෙන් සිදුවූ හානිය වැඩිය. ඊට වඩා දේපොළ විකුණා හෝ අපිට ඒ ණය ගෙවා ගැනීමට හෝ හිතවත් රටවල් සමඟ එකතු වී හෝ ණය ගෙවා ගැනීමට හැකියාව තිබුණත් මේ සියල්ල නොකර බොල් ණය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බොල් ණය කිරීමෙන් පසු අපේ ආර්ථිකයට විශාල හානියක් විය. එයත් අර්බුදයේ කොටසකි. මූල්‍ය අරමුදල විසින් අය වැය ප්‍රශ්නය විසඳා ගත යුතු බව ද පවසයි. ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීම සහ ආණ්ඩුවේ වියදම් අඩු කර ගැනීම මඟින් යම් පටි තද කරගැනීමක් කළ යුතු අතර, එසේ නොවන්නට අපි තවත් ණය අර්බුදයේ ගිලීම සිදු වෙයි. පසුගිය අතුරු අයවැය සහ ඉදිරියට පැමිණිමට නියමිත අයවැයෙන් ද ඊට අදාළ කරුණු ඇතුළත් කර ඇත. එය පමණක් ප්‍රමාණවත් නොවන අතර, විශාල සහ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තිබූ නමුත් ආණ්ඩුව එසේ නොකර මටසිලිටු ලිහිල් ක්‍රියාමාර්ග ගෙන ඇත. අර්බුදයේ ප්‍රමාණයට එය ප්‍රමාණවත් නොවෙයි. අනෙකුත් රටවල මෙන් ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට කඩිනමින් සිදු කිරීමට අපහසුය. එහි ප්‍රතිඵලයක් ලෙස අර්බුදයෙන් ගොඩ ඒමට අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අපේ රටේ ප්‍රමාද වීමක් ඇත.
සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ස්වයං රැකියා කරන්නන් ආරක්ෂා කළ යුතුය. මහජනතාවට නොමිලේ දීමේ සංස්කෘතියක් අපේ රටේ වෙයි. ලොකු මිනිසුන්, පොඩි මිනිසුන් තම තමන්ගේ ප්‍රමාණයට ආණ්ඩුවේ බදු මුදල් නොමනා ආකාරයට නාස්ති කරයි. ඒවා නැවැත්වීමේ නීති රෙගුලාසි සහිත වැඩ පිළිවෙළක් සැකසිය යුතුය. අර්බුදයෙන් ගොඩ ඒමට රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට පියවර ගත යුතුය.