
මුදල්, අර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දරිද්‍රතාවෙන් පහළට වැටුණු ජනතාවට මූලික පහසුකම් සපයා දීම ඉලක්ක කර ගනිමින් සකස් වූ අයවැයක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට පැවැසීය.
මේ වන විට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 70% ක් සහන අපේක්ෂා කරන අතර ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරමින් සකස් වූ අයවැයක් බවටත් එහිදී අදහස් පළ විණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ, මෙවර ඉදිරිපත් කරන අයවැයේ මූලික අරමුණ 2023 ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ඉලක්ක කර ගැනීම බවත්, ඒ අනුව 2024 වන විට දැනට පවත්නා අර්බුදයෙන් හා උද්ධමනයෙන් මිදී සමෘද්ධිමත් දේශයක් ඇති කිරීම බවත්ය.
2023 වසරට අදාළ වූ අයවැය නොවැම්බර් 14 වැනි සඳුදා පස්වරු 1.30 ට මුදල්, අර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් 15 වැනිදා ආරම්භ කෙරෙන අතර, දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වැනිදා පස්වරු 5 ට පැවැත්වෙයි. විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදාට යෙදී තිබේ.