
වර්තමානයේ මෙරටේ විශාල ආර්ථික සමාජීය අර්බුදයක් මතුවී තිබේ. රටේ කුමන පර්ශ්වයන්ගේ වරදින් වුවද එය සිදුවී හමාරයි. එසේ නම් චුදිතයන් සෙවීම නොව මේ අර්බුද හරහා උද්ගතවී ඇති ගැටලු විසඳිය යුත්තේ කෙසේ ද යන්න සෙවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමකි. පාර්ලිමේන්තුව වැටලීමෙන්, ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමෙන්, රාජ්‍ය දේපොළට හානි කිරීමෙන් ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකිය. රටේ පවතින ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය වෙනස් කිරීම මේ සඳහා විසඳුම නොවෙයි. පවතින ආර්ථික ගැටලුවට විසඳුම එය නොවන බව ප්‍රායෝගිකව ඔප්පු වී හමාරය.
මේ අරගල කරන පිරිස කිසිදු දිනයක රට පාලනය නොකළ පිරිසකි. එහෙත් බලය අත්පත් කර ගැනීමේ පිපාසාවකින් පෙළෙති. ඔවුන් විසින් බලය අත්පත් කරගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිත කරන්නේද මේ රටේ පසුගිය වසර 74ක පාලන කාලයයි. වසර 74 පාලන කාලය තුළ සියලු පාලකයන් විසින් රටේ ධනය නාස්ති කළ බව අරගලකරුවෝ පවසති. මෙතෙක් මතු නොවූ අර්බුදයට මූලික හේතුව පැනනැඟුණේ ඩොලරය පා කිරීමෙනි. රටක අර්බුදයක් ඇතිවූ විට ආවේගශීලිව ක්‍රියා කිරීම අරගල කිරීම සිදු නොවිය යුත්තකි. කළ යුත්තේ මේ ගැටලුවලට විසඳුම් සෙවීමයි. එම පිරිස මේ කිසිදු ගැටලුවකට නියත විසඳුම් ඉදිරිපත් නොකරන අතර සටන් පාඨ සහ උද්ඝෝෂණ කිරීම පමණක් කරති. ඒ පිරිසට නිසි ලෙස ප්රශ්නය තේරුම් ගැනීමට නොහැකි වී ඇත. බඩු මිල ඉහළ යෑම, බඩු හිඟ වීම යනු ප්රශ්නය නොවෙයි; ඒවා ප්රශ්නවල අතුරු ප්රතිඵලයි. ඒ අයට මේ ප්‍රශ්නවලට විසඳුම් නොමැති නම් බලය පමණක් ඉල්ලීම වරදකි.
ප්රජාතන්ත්රවාදී පාලන බලයක් ලංකාවේ පවතී. එවැනි ආණ්ඩු ක්‍රමයක් තුළ බලහත්කාරයෙන් බලය ලබා ගැනීමට නොහැකියි. එය කිරීමට නොහැකි බව 1971 සහ 1988 වකවානුවේ දුටුවෙමු. කැරලි ගැහුවද බලය ලබා ගැනීම කළ නොහැකිය.මෙවර අරගලය තෙවැනි කැරැල්ලයි. එහි ක්‍රමවේදයේ සහ ස්වරූපයේ වෙනසක් මේ අවස්ථාවේ අරගලයේ පැවැතිණි. නමුත් ඒ කිසිම අවස්ථාවක රාජ්‍ය බලය හිමිකර ගැනීමට නොහැකි විය. කුමන හෝ ගැටලුවක් රටේ ඇති වුවහොත් එනම්; බඩු මිල ඉහළ යාම විරැකියාව වැනි හේතු පාදක කර ගනිමින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය අත්පත් කර ගැනීම මේ පිරිස්වල උත්සාහය සහ අභිප්‍රායයි. මෙහි නායකත්වය දුන් අය පසුගිය මාස කිහිපය තුළ නැවත වතාවක් IMF සහ බදු ප්රශ්නය, විශ්‍රාම වයස සීමාව වැනි ගැටලු ඉදිරියට ගෙන අරගල කිරීමට උත්සහ කරති. මේ අය ක්‍රියාත්මක කරන්නේ අරගලයේ මුවාවෙන් බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියයි. එනම් රාජ්‍ය බලය ඩැහැ ගැනීමයි. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය පිළිබඳව මේ රටේ මිනිසුන්ට විශ්වාසයක් ඇති අතර මේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය ආරක්ෂා කළ යුතුයි යන ආකල්පයේ අප සියලු දෙනා සිටිය යුතුයි. ජනතාවගේ මනස තුළ තවමත් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වී ඇති නිසා අරගලයෙන් ලබා ගන්නා බලයට වඩා මිනිසුන් ප්රජාතන්ත්රීය පාලන ක්‍රමයට හිස නමයි. මේ සියලුම අරගල අද වනවිට අසාර්ථක වීමට හේතුවද එයයි.
මෙවර අරගලයට කිසිදු නායකත්වයක් නොතිබිණි. මිනිසුන් මුළාවට දමා මේ අරගලය සිදුකළ අතර එයට නිසි නායකත්වයක් ඉදිරිපත් නොවිණි. මෙවැනි දේශපාලනික අර්බුද රට තුළ නිර්මාණය කරමින් අරගල කිරීම ඒ අයගේ වෘත්තිය බවට පත් වී ඇත. එසේම ප්රජාතන්ත්රවාදය රාමුව විනාශ කර වාමාශික දේශපාලනික ක්‍රමවේදයක් නිර්මාණය කිරීම ඒ අයගේ අභිප්‍රායයි. නමුත් වාමාශික ක්‍රමවේදය ලෝකයේ අසාර්ථක වූවක් ලෙස සනාථ වී ඇත. එවැනි බලකඳවුරු ඇති කරගත් රටවල් පවා අද වන විට දක්ෂිණාංශික වී ඇත්තා සේම එම රටවල් ධනවාදී ආර්ථීක ක්‍රමයකට පරිවර්තනය වී ඇත. ඊට සරල උදාහරණ ලෙස වියට්නාමය, චීනය, රුසියාව ගත හැකිය.
මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති බව ජාත්‍යන්තරය හමුවේ පෙන්වීමට අරගලකරුවෝ උත්සාහ දරති. එහෙත් මේ වන විට හිටපු ජනාධිපති ඉවත්වී ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයෙක් පත්වී ඇත.
ඔහුට පාර්ලිමේන්තුවේ 134ක බලයක් ලැබී ඇති අතර එය ජනතා මතයයි. මන්ත්‍රීවරුන්ගේ බලය යනු ප්‍රජාතන්ත්‍රික රටක දේශපාලනික ක්‍රමවේදය වෙයි. අරගල කිරීමෙන් නොව ඔවුන්ට ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමෙන් ලැබුණු ජනබලයකි. පාර්ලිමේන්තුවේ ස්ථාවර රාජ්‍ය පාලන ක්‍රමයක්, යන්ත්‍රණයක් ඇත. අරගලකරුවන් සඳහන් කරන කරුණක් වන්නේ ආණ්ඩුවට ප්‍රශ්න විසඳීමට නොහැකි බවකි. ලෝක ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් සියයට සියයක් ජනතා ප්‍රශ්න විසඳා නැති අතර එය අපේ රටටද පොදු වෙයි.
අපි ආමන්ත්‍රණය කළ යුත්තේ අපේ රටේ දැවෙන ප්රශ්නවලටයි. පසුගිය මාස කිහිපයට වඩා අද සාධනීය තත්ත්වයකට රට පත්ව ඇති බව අපි පිළිගත යුතුය. මේ වන විට භාණ්ඩ මිල යම් තරමින් පහත වැටී අපිට ජීවත්වීමට හැකි පරිසරයක් උදා වෙමින් තිබේ. රට ගොඩනැඟීමට අර්බුදය යථා තත්ත්වයට පත් කර ගැනීමේ පළමු වැනි පියවර ලෙස IMF යා යුතුයි. එයින් සහනදායි ආමන්ත්‍රණයක් රටට අවශ්‍ය වී ඇත. ඒ සඳහා අවශ්‍ය වටපිටාව රට තුළ සැකසීම අනිවාර්ය කාර්යයකි. IMF සහනාධාර නොලැබීම විශාල ගැටලුවකි. මේ අවස්ථාවේදී IMF හැර විකල්පයක් නොමැත. මක්නිසාදයත් IMF සමඟ ගනුදෙනු කිරීම ඉතා වැදගත් වන අතර ඒතුළින් අනෙක් රටවලට විශ්වාසයක් ගොඩනැඟෙයි. එසේ නොවන්නට කිසිදු විදෙස් මුල්‍ය ආයතනයකින්, බැංකුවකින් ණයක් ලබා ගැනීමේ හැකියාව නැති වෙයි. එවිට නැවත වරක් විදේශ විනිමය අර්බුදයකට රට ඇදවැටෙයි. රුපියල අවප්‍රමාණ වීම යළිත් ආරම්භ වෙයි. අරගලකරුන්ගේ අරමුණ ලංකාවේ විදෙස් විනිමය, භාණ්ඩ ආනයනය කිරීම, ඩොලර් හිඟයක් ඇති කිරීම ආදියයි. මේ හේතු නිසා ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම සිදු වෙයි. ඒ හරහා උද්ධමනය ඇති වෙයි. ඒ තැනට රට පත් වුව හොත් බඩගින්නට එරෙහි අරගලය ආරම්භ වෙයි. එහෙත් මින් පෙර එක් එක් සමාජ කණ්ඩායම් විසින් අරගලයක් ලෙස ගෙන ගියේ ඇතැම් දේශපාලන පක්ෂවල ආවේගයයි. ඒ ආවේග අඛණ්ඩව අරගල ඉදිරියට ගෙනයෑමට නොහැකි නිසා සාගතයක් ඇති කිරීමෙන් නැවත වරක් ජනතාව කුපිත කිරීම අරගලකරුවන්ගේ අරමුණයි.
ඒ සඳහා මේ අය කෘතිම ක්‍රම ඇති කිරීමට උත්සාහ කරයි. ආහාර ඖෂධ ගෑස් හිඟ වූ කල ජනතාව කුපිත වීමට පටන් ගනී. රටේ විශාල අර්බුදයක් නිර්මාණය කර ඒ අයට අවශ්‍ය වෙන්නේ මේ කෘත්‍රිම අරගලය මඟින් නැවත වරක් රට අස්ථාවර කිරීමයි. ඒ අයගේ අරමුණ ජනතාව එක තැනකට ගෙන ඒමටයි. ඒ සඳහා මිනිසුන්ට සාගතය ගැන බියක් ඇති කර මිනිසුන් පාරට බැස්සීමට උත්සාහ කරයි. රාජ්‍ය බලය අල්ලා ගැනීමට නම් IMF අඩපණ කළ යුතුයි. එවිට සියලුම දේවල් අඩපණ වී යයි. ඒ අනුව මෙරට හුදකලා කිරීම ඔවුන්ගේ අරමුණයි.
රට වැසියන් ලෙස මෙවැනි අවස්ථාවල ජනතාව සබුද්ධික විය යුතුයි. අරගල කිරීමෙන් කිසිදු දෙයක් නොලැබෙන බවට අපට ඉතිහාසයේ අත්දැකීම් ඇත. අරගල කිරීමෙන් ප්රජාතන්ත්රවාදී රාමුවේ වෙනසක් නොවෙයි. මේ රටේ විධායක සහ ව්‍යවස්ථාදායකය සාර්ථකව ක්‍රියාත්මක වෙයි. එසේ නම් යළිත් ප්‍රශ්නයක් නිර්මාණය කිරීම අවශ්‍ය නොවෙයි. අපිට අවශ්‍ය පවතින යථාර්ථයට, පවතින ගැටලුවට මුහුණ දීමයි.
එසේ නම් ඩෙලර් වැඩි කිරීමට ක්රමෝපායන් සෙවීමට අවශ්‍ය වෙයි. ඒ සඳහා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කළ යුතුයි. එසේ ම විදෙස් ප්‍රේරණ වැඩි කර ගත යුතුයි. සංචාරකයන්ට මේ අරගලකරුවන් අපේ රට ගැන දෙන ප්‍රතිරූපය ඉතාමත් පහත් වෙයි. ලංකාවේ ළමුන්ට මන්දපෝෂණය, ආහාර හිඟය, ඖෂධ නොමැති වීම, පිළිබඳව මාධ්‍ය යොදා ගනිමින් ප්‍රචාරය කරයි. මේවා පැතිර වීමෙන් රටක් ලෙස අපි විශාල අගතියකට සහ අපකීර්තියකට පත්වෙයි.
ලංකාව අද අපකීර්මත් රටක් බවට පත් කර ඇත්තේ අරගලකාරයන්ගේ කූට උපාය ඔස්සේය. මේවාට සහය දෙන රාජ්‍ය නොවන සංවිධාන ඇත. ලංකාවේ කීර්ති නාමය විනාශ කිරීම මේ අයගේ අභිප්‍රායයි. ලංකාවට සංචාරකයන්, විදෙස් ප්‍රේරණයන් සහ ආයෝජකයන් ඒම එමඟින් වැළකෙයි. මේ අය රටේ ප්‍රජාතන්ත්‍රවදී ක්‍රමය විනාශ කරයි. බලය ලබා ගැනීමේ නොහැකියාව නිසා රාජ්‍ය බලය ගැනීමට නොහැකි නිසා මේ පිරිස විසින් වසර 74ක අසාර්ථකභාවය පිළිබඳ පවසමින් ජනතාව රැවටීමට උත්සාහ කරයි. රට ගොඩගැනීම මිස ජනතාගේ මනස විනාශ කිරීමෙන් ගැටලුවලට විසඳුම් සෙවීම නොකළ යුතු බව ඔවුන් වටහා ගත යුතු ය. ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිරූපය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ යුතුයි. රටේ ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න කර ජනතාවට විශාල පීඩාවකට පත් කිරීම එහි අපේක්ෂාවයි. මිනිසුන්ගේ මනස වෙනස් කරමින් අරගලවලට සම්බන්ධ කරගෙන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඒකරාශී කර ගනිමින් ආණ්ඩුව පෙරළීම මේ අරගලකරුවන්ගේ අරමුණකි.
මේ රාජ්‍ය විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් සෙවීමට අපරාධ යුක්ති කොමිසමක් හෝ ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි. මිනිසුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය, නිදහස, දේශපාලන අයිතිය ආරක්ෂා කිරීමට නම් මේ ත්රස්ත්රවාදී කණ්ඩායම්වල අරගල පිළිබඳ ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙයි. මේ සඳහා ජනතාව කුපිත කළ දේශපාලන පක්ෂ සංවිධානවලට එරෙහිව කටයුතු කළ යුතුයි. එසේ නොවන්නට මෙරටේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට නොහැකි වෙයි. අරගල කිරීම නොව කළ යුත්තේ සාමූහිකව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම බව ඔවුන් පැහැදිලි කරගත යුතුය. අරගල අවසානයේ හිමිවූ දෙයක් නොමැති අතර මනෝරාජික ආකල්ප නිසා අහිමි වූ ජිවිත සහ දේපළ විශාලය.
විශේෂයෙන් මානෝවිද්යාත්මකව බැලූවිට සිදු වූ හානියක් නම් අරගල කිරීම ජනතාවගේ මනසට ඇතුළු වී මිනිසුන්ගේ මනස විශාල ලෙස අවුල් වීමයි. කුඩා කරුණුවලට පවා වීදි බසින ජනතාවක් ඒ මඟින් ගොඩනැඟිණි. සියලු දේට අරගල කිරීම හෝ ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම අරගලයේ අතුරු ප්රතිඵලයයි. ප්රචණ්ඩ ලෙස කෑගැසීම පමණක් ඒ අයගේ රාජකාරියයි. දියව් දියව් යන වචනය මේවනවිට මෝස්තරයක් බවට පත්කර ගෙන ඇත. යුතුකම් මඟහැරී ඇත.
රටක විනය ඉතාමත් වැදගත් වෙයි. රටක විනය පිරිහීමෙන් පාසලක්, කාර්යාලයක්, ආයතනයක් පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකියි. පොදු කාරණාවලදී යමක් කිරීමට නොහැකි වන ලෙසට මේ අය අරගලය සාමාන්‍යකරණය කරමින් පවතියි. මේ ප්රශ්නය දෙස අපි ආර්ථිකම දෘෂ්ටි කෝණයෙන් පටු ආකාරයට නොබලා සමස්තයක් ලෙස බැලිය යුතුයි.ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට නම් විදේශ විනිමය ලැබෙන මූලාශ්‍ර මඟින් නැවත ගොඩනැඟිය හැකිය. නමුත් ජනතාවගේ සමාජ ආකල්පයන් වෙනස් කිරීමේ මෙහෙයුමක අවශ්‍යතාව පවතී.
අපේ රටේ දේශපාලනය සහ ආණ්ඩු ක්‍රමය පිළිබඳ විශ්වාසය තහවුරු කරගත යුතුයි. මේ සම්බන්ධයෙන් විශාල මෙහෙයුමක් අවශ්‍යයි. ඉහළ ගිය භාණ්ඩ මිල පහත වැටෙනතුරු බලා සිටීම ආණඩුවෙන් යම් සහනාධාර ලැබෙන තුරු බලා සිටීම නොව වැඩ නොකර සිටීම නොව කළ යුත්තේ රට ගොඩනැඟීමයි. මිනිසුන් යම් ඵලදායි වැඩපිළිවෙළකට යොදවන මාර්ග සොයා ගත යුතුයි. උද්ඝෝෂණ සහ අරගලවලට යහපත් ක්‍රියාදාමයක් නොවන බව ජයග්‍රහණය කළ හැක්කේ වැඩ කිරීමෙන් බවත්, උද්ඝෝෂණ නුසුදුසු දෙයක් ලෙස පාසල් මට්ටමේ සිට අධ්‍යපන ආයතන රැකියා ආයතන යන විවිධ මට්ටම්වලට මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් අවශ්‍යයි.
ඒ සමඟම රටේ දේශපාලනය පිරිසිදු කළ යුතුයි. එසේ ම රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කළ යුතුයි. එසේ නොවන්නට කිසිදු දිනයක මේ රට ගොඩනැඟිය නොහැකියි. වංචා දූෂණය අකාර්යක්ෂමතා ආයතනීකරණය වී ඇති රටවල් අතර අපේ රට සිටීමද කනගාටුවට කරුණකි. මේ දූෂණය නාස්තිය හොරකම වංචාව අයුතු ලෙස බලය යෙදවීම ආයතනගත වී ඇත. රටක් දියුණු කිරීමට එය කිසිසේත් සිදු නොකළ යුතුයි.
පවතින ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීම සිදු කළ හැකි වුවද වංචාව, දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව, පගාව, ඒකාධිපතිවාදය ආයතනගත වී ඇත. ශ්‍රී ලංකා රජයට විරුද්ධව කළ කුමන්ත්‍රණ අරගල යැයි ලඝු කොට සීමා කළ යුතු නැත. රාජ්‍යයකට එරෙහිව කළ කැරල්ලක් ලෙස මෙය අර්ථ දැක්විය යුතුයි. මිනිසුන්ගේ මානසිකත්වය යහපත් තත්ත්වයට ගෙන ඒමට නම් මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් කළ යුතුයි. රාජ්‍ය ආයතනවල වංචා දූෂණ ආයතනීකරණය වී ඇත. මේ තත්ත්වයෙන් රට මුදා ගත යුතුය.
මේ සියලු පාර්ශ්වයන් සහ ආයතනයන් පිළිබඳ යම් මෙහෙයුමක් කර විසඳුමක් සෙවීම අනිවාර්ය වෙයි. එසේ නොකොට අපේ රට ඉදිරියට යා නොහැකියි. ඩොලර් සෙවීමට උපාය මාර්ග සෙවීමෙන් විදෙස් විනිමය අර්බුදය විසඳිය හැකි අතර මෙරට රුපියල් අර්බුදය ආයතන පුද්ගලීකරණය කිරීමෙන් හෝ දේශීය ආර්ථික උපාය මාර්ග මඟින් හෝ විසඳිය හැකිය. එයින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට විසඳුම් සෙවීම සිදු වුවද එමඟින් සමාජීය තත්ත්වය වෙනස් නොවෙයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට උත්සාහ කළද මේ අරගලය යැයි කියා ගන්නා ක්‍රමන්ත්‍රණ හරහා ඇතිවන සාමාජීය ගැටලු පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව විශාල අවධානයක් යොමු කළ යුතුයි.