පහේ කඩඉම ජයගත් ලේක්හවුස් හපන්නු | සිළුමිණ

පහේ කඩඉම ජයගත් ලේක්හවුස් හපන්නු

ශිෂ්‍යත්වලාභීන් 17 දෙනා අතරින් වැඩිම ලකුණු ලැබූ එනම් 194ක් ලබා ගත් සිළුමිණ කර්තෘ මාණ්ඩලික අමිල මලවිසූරියගේ දියණිය වන කොළඹ විශාඛා විදුහලේ ගනුලි අමල්මි සිසුවිය ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව. ජනමාධ්‍ය අමාත්‍යංශයයේ ලේකම් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාක­ාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට ද මෙහි වේ.

- වසර 22ක සිට ශිෂ්‍යත්ව සමත් ලේක්හවුස් සේවකයින්ගේ දරුවෝ ඇගයුමට
- ලේක්හවුස් සේවක දරුවෝ 17දෙනෙකුට අතපුරා තෑගි
- ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් 25,000ක් වටිනා ප්‍රාර්ථනා ඉතුරුම් සහතිකපත්

සර සියයකට වඩා වැඩි කාලයක් පුරා මෙරට පාඨකයන්ගේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය තොරතුරු සම්පාදකයාගේ කාර්යභාරය ඉටු කරමින් සිටින ලේක්හවුස් ආයතනය තම සේවකයන් වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ අප්‍රමාණය. එම ප්‍රතිලාභ අතරින් එක් සුවිශේෂ අංගයක් වන්නේ සේවක දරුවන්ගේ අධ්‍යාපන දක්ෂතා ඇගැයීමයි. 

ලේක්හවුස් සේවක දරුවන් අතරින් පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් අගය කරමින් ත්‍යාග ලබාදීමට ඇත්තේ වසර 22කට වඩා වැඩි ඉතිහාසයකි. පසුගිය කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමනු ලැබූ ශිෂ්‍යත්වය සමත් දරුවන් ඇගැයීමේ අවස්ථාව පසුගියදා ආයතන නිලධාරි මණ්ඩලය විසින් සේවකයන් වෙත උදා කර දෙනු ලැබීය. ඒ අනුව 2020 වසරේ දී පහ වසරේ ශිෂ්‍යත්වය සමත් වූ ලේක්හවුස් සේවක දරුවන් 17දෙනකු අගයමින් ත්‍යාග ප්‍රදානය කළ අතර එම අවස්ථාවට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ.

ජනමාධ්‍ය අමාත්‍යංශයයේ ලේකම් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂ අනූෂ පැල්පිට ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ලේක් හවුස් විධායක නිලධාරීන්ද ඊට සහභාගී විය.

මේ උත්සව අවස්ථාව වෙනුවෙන් 2020 වසරේදී ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් සහ ඔවුන්ගේ මවුපියන් ආයතනය වෙත කැඳවා තිබූ අතර දරුවන් වෙනුවෙන් සුවිශේෂී ත්‍යාග සූදානම්ව තිබිණි. එම ත්‍යාග අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් 25,000ක් වටිනා ප්‍රාර්ථනා ඉතුරුම් සහතිකපත් මෙන්ම මෙරට වෘත්තිය ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ගෝලීය සන්නාම දෙකක් වන CIMA, ACCA යන ආයතන, සණස සංවර්ධන බැංකුව, ඇට්ලස් ආයතනය, සී.අයි.බී ආයතනය, විජය ප්‍රඩක්ට්ස් ආයතනය සහ චෙලෝ ඩෙයරි ප්‍රඩක්ට්ස් ආයතනය දරුවන්ට ත්‍යාග ලබා දීමට එක් විය.

දරුවන්ගේ නර්තනාංගයන්ගෙන් ද, කතා සහ ගීත ගායනාවලින්ද උත්සව අවස්ථාව අලංකාර වූ අතර, ඔවුන්ගේ දෝත පිරෙන්නට ත්‍යාග ලබා දුන්නේ ඉදිරි අනාගතයේ අධ්‍යාපනය තවත් සාර්ථක කර ගනු වස් ඔවුන් තව තවත් දිරිමත් කරමිනි. උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ අපේ රටේ රැකියා වෙළෙඳපොළ තුළ රැකියා තිබෙන නමුත්, එම රැකියාවලට සුදුසුකම් සහිත රැකියා අපේක්ෂකයන් නොමැති වීම ගැටලුවක් බවයි.

‘උගතුන් රැසක් සිටිනවා. සිටින උගතුන්ට ලබා දීමට රැකියා නැත්නම්, තිබෙන රැකියාවලට උගතුන් බිහි නොවන්නේ නම්, එය අධ්‍යාපනය තුළ තිබෙන ප්‍රශ්නයක්. ‘යනුවෙන් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ අධ්‍යාපනයේදී දරුවන්ට නිසි මඟපෙන්වීමක් කළ යුතු බවයි.

‘මානව සම්පත තමයි කෙටි කලකින්ම දියුණු කළ හැකි වන්නේ. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් විද්‍යා, තාක්ෂණ නවොත්පාදන බිහි කළ හැකියි. තොරතුරු සාක්ෂරතාව අපි ඉහළ දමාගත යුතුයි. අනගාරික ධර්මපාලතුමා සඳහන් කළ පරිදි ඉංග්‍රීසි භාෂාව ඇතුළු විදේශීය භාෂා දෙක තුනක් ඉගෙනීමට දරුවන් කටයුතු කළ යුතුයි. ලෝකය ජය ගැනීමට එය හේතුවක් වනවා‘ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් උත්සව සභාව අමතමින් පවසා සිටියේය.

ලේක්හවුස් සභාපතිවරයා උත්සව සභාව අමතමින් විශේෂයෙන් පැමිණ සිටි දරුවන් ආමන්ත්‍රණය කරමින් පවසා සිටියේ අධ්‍යාපනය බෙදා ගැනීමට දරුවන් කටයුතු කළ යුතු බවයි. ‘දරුවන් අධ්‍යාපනයේදී ආත්මාර්ථකාමී නොවිය යුතුයි. පහේ ශිෂ්‍යත්වය සමත්වීම ජීවිතයේ එක් පියවරක් පමණයි. පන්තියේ කරන වැඩ හොඳින් අවබෝධ කරගෙන, දවසකට පැයක් දෙකක් සෙල්ලම් කරලා, මාපියන් කියන දේ අහලා ඉගෙනීම් කටයුතු කළ යුතුයි.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර හිටපු ඇමැතිවරයා තමයි ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කළේ. එතුමා මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ආරම්භ කළා. ගම්වල දරුවන්ට උසස් අධ්‍යාපනය එමඟින් ලබා ගැනීමට තමයි එතුමා මේ අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කළේ. ඒ නිසා තමයි ග්‍රාමීය දරුවන් රෝයල්, ආනන්ද, නාලන්ද විද්‍යාලවලට පැමිණ ඉගෙනීම් කටයුතු සිදු කරන්නේ. තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදුකර මෙරටින් නොගොස්, රටට ආදරය කරන පුද්ගලයන් විදිහට රටට වැඩක් කරන්න කියලා මම මේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.‘ යනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට පැමිණ සිටි දරුවන් අමතා විශේෂයෙන් පවසා සිටියේය.

මෙහිදී තවත් විශේෂ ආරාධිතයන් කිහිපදෙනකුද උත්සව අවස්ථාව ඇමතූ අතර දරුවන්ට චෙලෝ ඩෙයරි ප්‍රඩක්ට්ස් ආයතනයෙන් විශේෂ සංග්‍රහයක් ද හිමි විය.

මෙවැනි ඇගැයීම් උත්සව බොහෝ ආයතනවලට ආගන්තුක වුවද ලේක්හවුස් ආයතන සේවකයන්ට නම් එසේ නොවන්නේ ආයතනය සේවකයන්ට බොහෝ වරප්‍රසාද ලබා දෙන බැවිනි. මේ සම්බන්ධව සිළුමිණට විශේෂයෙන් අදහස් දක්වමින් සහකාර සාමාන්‍යාධිකාරී (අරමුදල් පාලන) ඩී.එම් දනසේන පවසා සිටියේ ලේක්හවුස් ආයතනය වසරක් පාසා තම සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් තවත් ප්‍රතිලාභ රාශියක් ලබා දෙන බවයි.

ඒ අතරට සෑම සේවක දරුවකුටම පොත් පාර්සලය බැගින් ලබා දීම, සපත්තු මිලදී ගැනීම සඳහා නොමිලේ වවුචර ලබා දීම, අලුත් අවුරුද්දට ඇඳුම් සඳහා තෑගි වවුචර් ලබා දීම මෙන්ම සේවක දරුවකු විශ්වවිද්‍යාල වරම් හිමි කර ගත්තේ නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තෙක් මූල්‍ය ශිෂ්‍යත්වයක් ලබාදීම යනාදිය උදාහරණ වශයෙන් දැක්විය හැකි බවයි.

මේ ප්‍රතිලාභ ලබා දීමේදී සේවක සුබසාධක අරමුදල් අංශය මෙන්ම අනෙකුත් අංශවල ද සේවක දායකත්වය නොඅඩුව ලැබෙන බව සිහිපත් කර සිටි සහකාර සාමාන්‍යාධිකාරී (අරමුදල් පාලන) දනසේන මේ උත්සව අවස්ථාවන් මෙන්ම අනෙකුත් ප්‍රතිලාභ පිරිනැමීමේ අවස්ථාවන් සාර්ථක කර ගැනීමට උරදෙන සේවක මහත්ම මහත්මීන්ටත්, මේ ප්‍රතිලාභ අඩුවක් නොමැතිව සේවකයන්ට ලබා දීමට කටයුතු කරන ආයතන නිලධාරී මණ්ඩලයටත් විශේෂ ස්තුතිය පිරිනැමුවේය. උත්සව අවස්ථාවට සහභාගී වූ දරුවන්ට ලේක්හවුස් ආයතනයේ එක් එක් අංශවලට අදාළව පුවත්පත් මුද්‍රණය පිළිබඳවද අවබෝධයක් ලබා දීමට කටයුතු කළ අතර, ත්‍යාගවලින් පිරුනු දෑත් සහ සතුටින් පිරුනු සිත් ඇතිව දරුවෝ යළි තම නිවෙස් බලා ගියහ.



ඡායාරූප: නිශ්ශංක විජේරත්න සහ වාසිත පටබඳිගේ

Comments