මාලි අල්මේදා සිය ජීවිත කාලය පුරාම කර ඇත්තේ ගින්දරත් සමඟ සෙල්ලම් කිරීමකි. යුද සමයේදී ඡායාරූප ශිල්පියකු හැටියට කටයුතු කරමින් අවදානම් ජීවිතයක් ගත කළ ඔහුට අවසානයේ උරුම වූයේ අභිරහස් මරණයකි. ඔහු මරණයෙන් පසු යළි අවදි විය. ඔහු කල්පනා කරන්නට වූයේ තමා ඝාතනය කළේ කවුරුන්දැයි යන්නය. ඝාතන කණ්ඩායම්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ කුලියට ගත් මැරයන් ආදි වශයෙන් ඔහු ඝාතනයේ සැකකරුවන් දීර්ඝ වශයෙන් ලැයිස්තු ගත කරමින් යම්කිසි හෝඩුවාවක් සොයා ගැනීමට උත්සාහ කළේය. ඔහුගේ කැබලි වූ සිරුරේ කොටස් බේරේ වැවේ පාවෙමින් හෝ ගිලෙමින් පවතින අතරතුර මනස ඝාතකයන් සොයා යෑම ආරම්භ කළේය.
මතුපිටින් පෙනෙන්නේ යුද ඡායාරූප ශිල්පි මාලි අල්මේදා යනු ශෙහාන් කරුණාතිලකගේ මනසේ පරිකල්පනය වූ ෆැන්ටසියක් බවය. එහෙත් පසුගියදා ලන්ඩන් නුවරදී බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ඔහුගේ ‘The Seven Moons of Maali Almeida’ කෘතියට පාදක වන්නේ අසූව දශකයේ මෙරට ඇවිළී ගිය වාර්ගික යුද සමයේ ජීවත් වූ සැබෑ චරිත කිහිපයකම සංකලනයක් බව ශෙශාන් කරුණාතිලක කීවේ ‘සිළුමිණ’ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමිනි.
“මේ කෘතියෙන් කියැවෙන්නේ උතුරේ එල්ටීටීඊ යුද්ධයත් දකුණේ ජවිපෙ භීෂණයත් එක පෙළට ඇවිළී ගිය 1989 වසරේදී මෙරට සිදු වූ නොවිසඳුණු මිනීමැරුම් ගැනයි ”ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ම්ලේච්ඡත්වයත්, ඊට ගොදුරු වූ මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලඥයන් සහ සිවිල් වැසියන් ද ඊට පාදක වී ඇති අතර, එවකට ජවිපෙ භීෂණයත් ජනවාර්ගික යුද්ධත් අතරතුර මරණය වැලඳගත් රිචඩ් ද සොයිසා, රාජනී තිරණාගම සහ දයා පතිරණ සිය කෘතියේ ජීවත් වෙන චරිත බව ශෙහාන් වැඩිදුරටත් කීවේය.
ගාල්ලේ ඉපදී කොළඹ කොල්ලුපිටියේ සාන්ත තෝමස් ප්‍රාථමික විදුහලේ මූලික අධ්‍යාපන ලබා වැඩිදුර අධ්‍යාපනයට නවසීලන්තයට ගිය ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයෙන් පිදුම් ලබා ජාත්‍යන්තර කීර්තිය දිනූ විශිෂ්ට ලේඛකයකු බවට පත්වූ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ මෙරට දේශපාලන, සමාජයීය හා සංස්කෘතික වශයෙන් සිදුවූ වෙනස්කම් රැසකි. ඒ සියලු වෙනස්කම් අත්විඳිමින් ශෙහාන් කරුණාතිලක ගත කළේ ලේඛන කලාවත් සිය වෘත්තිය බවට පත් කරගත් වෙළෙඳ දැන්වීම් කලාවත් අතර දෝලනය වූ චරිතයකි. දශක දෙකකට වැඩි කාලයක් වෙළෙද දැන්වීම් නිර්මාණ ආයතනවල සේවය කළ ඔහු වරෙක ළමා පොත් රචකයෙකි. තවත් වරෙක ගී පද රචකයෙකි. ඒ වෙද්දී ලෝක ප්‍රකට ‘ද ගාඩියන්, නිව්ස්වීක්, නැෂනල් ජියොග්‍රැෆික්, විස්ඩන්, ද ක්‍රිකටර් සහ දි ඉකොනොමික් ටයිම්ස්’ පුවත්පත් සහ සඟරාවල විශේෂාංග ලේඛකයකු ලෙස ජාත්‍යන්තර සාහිත්‍යකරණයට පිවිස සිටි ශෙහාන්ට මුල සිටම තිබී ඇත්තේ ලේඛන කලාවට පුදුමාකාර ඇබ්බැහි වීමකි. තව තවත් නව නිර්මාණ ඔස්සේ ඉදිරියට යෑමේ පිපාසයකි.
47 හැවිරිදි ශෙහාන් කරුණාතිලක ජාත්‍යන්තර මට්ටමේ ලේඛකයකු ලෙස නැඟී සිටියේ 2010 වසරේදී ‘Chinaman: The Legend of Pradeep Mathew’ නමින් සිය කුලුඳුල් නවකතාව එළිදැක්වීමත් සමඟය. අසූව දශකයේ දී අතුරුදන්වූ ප්‍රදීප් මැතිව් නමැති ක්‍රිකට් ක්‍රීඩකයකු බේබදු මාධ්‍යවේදියකු වටා ගෙතුණු මේ කෘතියේ මුල් පිටපතම ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ පිරිනැමෙන ඉහළම සම්මානය වන ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූයේ ඔහු සතු ක්‍රිකට් ක්‍රීඩා දැනුමේ දිග පළල කොතෙක්දැයි කදිමට අවබෝධ කර දෙමිනි. පසුකාලීනව හිටපු සුපිරි දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවන තොරතුරු ඇසුරින් දකුණු ඉන්දියාවේ නිර්මාණය වෙමින් තිබූ ‘මුරලි 800’ සිනමා නිර්මාණයේ තිර රචනයට දායක වීමට ඔහුට ඇරයුම් ලැබීමට එය හේතුවක් ද විය. ඒ වන විට ඔහුගේ ‘චයිනමන්’ කෘතිය පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානයත් දකුණු ආසියාවේ සාහිත්‍ය සම්මානයත් දිනා තිබූ අතර, ක්‍රිකට් ක්‍රීඩකයන් සහ විචාරකයන් අතරත් නොමඳ ගෞරවයට පාත්‍ර වී සිටියේය.
‘මුරලි 800’ සිනමා නිර්මාණය ජනවාර්ගික යුද්ධය සහ ක්‍රිකට් ක්‍රීඩාව එකට යා කළ චිත්‍රපටයකි. මෙරට ජනවාර්ගික යුද්ධයක් පැවැති සමයේදී දමිළ ක්‍රීඩකයකුට බහුතර සිංහල ක්‍රීඩකයන්ගෙන් පිරුණු ක්‍රීඩා විවේකාගාරයක නිදහසේ සිටීමට පසුබිම නිර්මාණය වීමත්, මුරලිදරන්ට ජාත්‍යන්තර වශයෙන් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වූ අවස්ථාවන්හි ජාති භේදයෙන් තොරව මෙරට සියලු ජනතාව ඔහු වෙනුවෙන් නැඟී සිටීමත් ‘මුරලි 800’ චිත්‍රපටයේ තිර රචනයට දායකත්වය සැපයීමට ඔහු උනන්දු කර තිබිණි.
ශෙහාන් කරුණාතිලක The Seven Moons of Maali Almeida කෘතිය මෙන්ම Chinaman කෘතිය ද ලියා ඇත්තේ සැබෑ චරිත පාදක කර ගනිමිනි.
“එක චරිතයක් නෙවෙයි. චරිත ගොඩක්. The Seven Moons of Maali Almeida 89 නොවිසඳුණු මිනීමැරුම් පාදක වුණා වගේම Chinaman කෘතිය නිර්මාණය වුණේ අසූව දශකයේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු දඟපන්දු යවන්නන්ගෙන් ලැබුණු ආශ්වාදයෙනුයි” ශෙශාන් කීවේය.
ඔහු කෙතරම් දුරට ක්‍රිකට් ක්‍රීඩාවට ඇලී ගැලී සිටින්නේද යත් බුකර් සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු උත්සව ශාලාවේ අසුන් ගෙන සිටි සම්භාවනීය අමුත්තන් ඉදිරියේ කළ කතාවේදිත් ක්‍රිකට් ක්‍රීඩාව ඈඳා ගත්තේය.
“ළඟදී අපි නැමීබියාවට පැරදුණා. කමක් නැහැ. අපි කොහොම හරි විස්සයි20 ලෝක කුසලානය දිනා ගමු. ඇයි බැරි ?” ඔහු එසේ කීවේ සිංහල බසින් කතා කරද්දීය. දෙමළ බසින් ද වචනයක් දෙකක් ගළපා ගැනීමට ඔහුට හැකි විය.
බුකර් සම්මාන රාත්‍රියේදී ශෙහාන් විසින් සිදු කරනු ලැබූ කෙටි ආමන්ත්‍රණය මේ වන විට ජාත්‍යන්තර මට්ටමෙන් ජනප්‍රියත්වයට පත්වී ඇත. ඔහු මේ කතාව සිදු කරනු ලැබුවේ සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිතයා වූ චාල්ස් රජුගේ අග මෙහෙසිය කැමිලා පාකර් පසෙක සිටගෙන සිටියදීය.
බුකර් සම්මානයට පාත්‍ර වූ සිය කෘතියට පාදක වූ කතා තේමාව පිළිබඳවත් ඊට පාදක කරගත් චරිත පිළිබඳවත් ඔහුට කියන්නට බොහෝ දේ තිබිණි. එහෙත් ඊට සම්මාන රාත්‍රිය මෙහෙය වූ නිවේදිකාවගෙන් වරින් වර බාධා ඇති වූයේ ලබා දී තිබූ කාලය සීමා සහිත වූ බැවින් කතාව දිග්ගැස්සෙද්දීය. කෙසේ වුවත් ඔහු තමාට අවශ්‍ය දේ කියා ගත්තේය. ඉංග්‍රීසි බසින් ලොවට ආමන්ත්‍රණය කිරීමෙන් නොනැවතී ඔහු ශ්‍රී ලාංකික ජනතාවට සිංහල බසින් ද කතා කළේය. ඔහුගේ කතාව නිමාවට පත් වූයේ දෙමළ බසින් වාක්‍ය කිහිපයක් පැවසීමෙනුත් පසුවය.
“මේ පොත මම ලිව්වේ ඔගොල්ලන්ට. මේක දිනුමක්. රට පරාජය වෙලා ඉන්න මොහොතක. අද ලංකාවේ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. ඒ දුකෙන් ඔවුන්ව මුදා ගන්න මට හැකියාවක් නෑ. ඒත් අපි මේ ජයග්‍රහණය බාර ගමු.”
ශෙහාන්ගේ ජයග්‍රහණය ඔහු තමාටම ලඝු කර ගත්තේ නැත. සිය කෘතියට සහ ලේඛන දිවියට අත්වැල සැපයූ තවත් බොහෝ දෙනකු පිළිබඳ ඔහු සිහිපත් කළ අතර, ඔවුන්ට නොමඳ ස්තූතිය පිරි නැමීමට අමතක නොකළේය. ඉන් නොනැවතී බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුවට ඇතුළත් වූ සෙසු ලේඛක ලේඛිකාවන්ටත් ස්තූති කළේ ඔවුන් ද ජයග්‍රහණයේ කොටස්කරුවන් බව සඳහන් කරමිනි.
“මගේ සාක්කුවට වැඩිපුර ටිකක් පවුම් ලැබුණට අපි හැමෝම ජයග්‍රාහකයෝ තමයි.” ඔහු එසේ කීවද බුකර් සම්මානය සමඟ ඔහුට ලැබුණු පවුම් පනස්දහසක මුදල් ත්‍යාගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට වැඩිය. එය ‘The Seven Moons of Maali Almeida’ බිහි කිරීමට ශෙහාන් වසර ගණනාවක් පුරා ගත් වෑයමට ලැබුණු තුටු පඬුරකි. උණුසුම් හාදු හුවමාරුවකින් පසුව කැමිලා අග මෙහෙසිය බුකර් සම්මානය ශෙහාන්ගේ අත තැබීය. ශෙහාන් කරුණාතිලකගේ ප්‍රබන්ධ කෘතිය ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ගමන් මාර්ගයක පාඨකයා රැගෙන යන විශිෂ්ට කෘතියක් බවට අගය කරමින් එය සම්මානය සඳහා තෝරාගනු ලැබුවේ විනිසුරු මණ්ඩලයේ ඒකමතික තීරණයට අනුවය.
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ කෘතිය නාමිකව ශෙහාන්ගේ තුන්වැනි නවකතාව වූවද එය ඔහු මීට වසරකට පමණ පෙර එළි දැක්වූ chat with the dead කෘතියෙහිම දිගුවකි. එම කෘතියට පාදක වූ මාලින් ද කබලාන චරිතය The Seven Moons කෘතියට ඇතුළත් වන්නේ මාලි අල්මේදා ලෙසටය.
“මේ කතා දෙකම එකයි. පොත් දෙකම එකයි. The Seven Moons ජාත්‍යන්තර පාඨකයන් වෙනුවෙන් සංස්කරණය කළ පොතක්. අපි chat with the dead කෘතියේ සමහර කොටස් ඉවත් කරලා අලුතින් කොටස් ඇතුළත් කළා. කොවිඩ් වසංගතය කාලයේදී අපි හෙමින් හෙමින් ඒ දේවල් කරගෙන ගියා. අභිරහස් මිනීමැරුම්, ත්‍රාසජනක දේශපාලනය, අවතාර කතා වගේම තුන් කොන් ප්‍රේමයත් මම හිතන්නේ පාඨකයා ව්‍යාකූල කරන එකක් නෑ”
මාලිගේ තුන් කොන් ප්‍රේමය ඉතා අපූරු එකකි. The Seven Moons කෘතියේ ඝාතනයට ලක් වූ මේ ඡායාරූප ශිල්පියාට ජැකී නමින් නිල පෙම්වතියක් ද, ඩීඩී නමින් නිල නොවන මට්ටමෙන් පෙම්වතකු ද සිටින බැවින් මාලි අල්මේදා ස්ත්‍රී ඇසුරට මෙන්ම සමලිංගිකත්වයට ද ලොල් වූවකු බව පෙනේ. ඔහු සූදු අන්තුවකු බවත්, නොම්මර එකේ බේබද්දකු බවත් ශෙහාන් කල්තියාම පාඨකයාට හඟවා තිබිණි.
ඔහුගේ පළමු නවකතාව වූ Chinaman කෘතියෙන් කියැවෙන්නේ අතුරුදන් වූ ක්‍රිකට් ක්‍රීඩකයකු ගැනය. chat with the dead සහ The Seven Moons කෘතීන් අතුරුදන්වීම්, ඝාතනයට ලක් වීම් සහ යුද්ධය පාදක කරමින් ලියැවී තිබේ.
“Chinaman කෘතියට යුද්ධය ගැන එච්චර ඇතුළත් වෙලා නැහැ. ඒක අතුරුදන් වුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන කියන කතාවක්. The Seven Moons කතාවෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ යුද සමයේ ගත් කිසිවකු නොදුටු ඡායාරූප හෙළිදරව් කිරීමක් ගැනයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ සැඟවුණු සිද්ධීන් ගැන මට ලොකු උනන්දුවක් තියෙනවා.” අතුරුදන්වීම් සහ යුද්ධය නිරතුරුවම සිය කෘතීන් සඳහා පාදක කර ගැනීම පිළිබඳ ‘සිළුමිණ’ විමසා සිටිද්දීය.
“මාව උනන්දු කරවන හෝ ව්‍යාකූලත්වයට පත් කරවන දේවල් ගවේෂණය කරලා ලියන්නයි මම උත්සාහ ගන්නේ. ප්‍රශ්නය වෙන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හාරා අවුස්සා ඉන් පාඩම් ඉගෙන ගත යුතු ද නැතිනම් කවදාවත් ඒ වගේ දෙයක් සිද්ධ නොවුණු ගාණට ඒක සදහටම වළලලා දානවද කියන එකයි.
The Seven Moons of Maali Almeida කෘතියෙන් මම උත්සාහ ගත්තේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නයි.”ශෙහාන් අවසන් වශයෙන් සඳහන් කළේය. ඔහු නොකියා කියන්නේ The Seven Moons of Maali Almeida කෘතියෙන් ඔබ්බට ඔහුට ලෝකයාට සහ ලාංකික ජනතාවට පැවැසීමට තවත් බොහෝ කරුණු කාරණා ඇති බවය.
*********************
ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයට පාත්‍ර වීම මෙරට මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය අතර පසුගිය දින කිහිපයේදී වැඩිම කතාබහට සහ සංවාදයට ලක් වූ කාරණාව බවට පත්වූ අතර, ශ්‍රී ලාංකිකයකු එවැනි ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානයකින් පිදුම් ලැබීමේ ජයග්‍රහණය සහ සතුට කිසිදු ජාති භේදයකින්, ආගම් භේදයකින් පමණක් නොව පන්ති මට්ටමකින් තොරව සියලු දෙනාම එක සේ විඳ ගැනීම කැපී පෙනිණි. එසේ වුවත් මේ විශිෂ්ට සාහිත්‍යකරුවාගේ මුල් අවධියේ සිට ඔහු විසින් සිය මවුබිම සම්බන්ධව දැරූ විවිධ මතවාද නැඟෙන විවේචනයන් ද කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකිය.
විශේෂයෙන් ලන්ඩනයේදී බුකර් සම්මානය දිනා ගත් මොහොතේ සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිත චාල්ස් රජුගේ අගමෙහෙසිය කැමිලා පාකර් පසෙක සිටියදී ශෙහාන් විසින් සිදු කරනු ලැබූ ඇතැම් ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට ලක් කිරීමක් බව අවිවාදිතය.
ඔහු විසින් පැහැර හරිනු ලැබුවේ ආර්ථික වශයෙන් මේ වන විට අසීරු අවදියක් ගත කරමින් සිටින පසුබිමක ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය යළි ඉහළට ඔසවා තැබීමට ලැබුණු ඉතා විරල අවස්ථාවකි. පවතින දේශපාලන තත්ත්වය කුමක් වූවද ආර්ථික වශයෙන් දැඩි අස්ථාවර භාවයක සිට ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන රටක සාහිත්‍යධරයකු වශයෙන් බුකර් සම්මානය හරහා යළි ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ජාත්‍යන්තර තුළ නිර්මාණය කිරීමට ඔහු අසමත් වීම කනස්සල්ලට කරුණකි.
ශෙහාන් කරුණාතිලක අහිමි කළේ මෙරට ජනතාවට සහ විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තරය තුළ සිය ගරුත්වය රැක ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ද බුකර් සම්මානය හරහා ලැබූ විරල අවස්ථාවකි.
වසර ගණනාවක් පුරා අඛණ්ඩව ඔහු විසින් මෙවැනි ප්‍රකාශ සහ මතවාද ලෝකය හමුවේ තැබීමට කටයුතු කර ඇතැයි ද, ජනවාර්ගික යුද්ධය සහ එවකට සිදු වූ තරුණ තරුණියන්ගේ අතුරුදන්වීම් වස්තු බීජය කරමින් විවිධාකාරයේ නිර්මාණකරණයේ නිරත වීමේ නිදහස සහ අයිතිය ආරක්ෂා කරන අතරතුර විවිධ දේශපාලන කරුණු කාරණා මූලික කර ගනිමින් මව්බිමේ කීර්තිය ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම ගැන කිසිසේත්ම ඔහුට සමාවක් නම් දිය නොහැකිය.
ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයට පාත්‍ර වීමේ උණුසුම මැකී යෑමටත් පෙර මෙරට සමාජ මාධ්‍ය ජාලා හරහා වේගයෙන් සංසරණය වන එක්තරා වීඩියෝ පටයකට අනුව ඔහු මීට මාස කිහිපයකට පෙර එක්තරා ජාත්‍යන්තර සංවාදයකදී ශ්‍රී ලංකාව සොරුන්ගෙන් සහ ඝාතකයන්ගෙන් පිරුණු රටක් ලෙස හඳුන්වා දීමත්, විදුලිය සහ පෙට්‍රල් නැති බංකලොත් රටක් ලෙස ශ්‍රී ලංකාව ලේබල්ගත කිරීමත් උපන් බිමේ නියම උරුමක්කාරයකු සතු නොවන සාහසික මත දරන කරුමක්කාරයකුගේ ගති සොබාව මැනවින් නිරූපණය කරයි. ඔහු බුකර් සම්මාන එකක් නොව දහයක් දිනා ගත්තද මේ පාපයෙන් මෙන්ම ශාපයෙන් ගැලවෙන්නට ඔහුට කිසිසේත්ම නොහැකිය.