ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­න­යත් සුදු අලින්ගේ පාරා­දී­ස­යක්ද? | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­න­යත් සුදු අලින්ගේ පාරා­දී­ස­යක්ද?

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියා කුසලාන තරගාවලියේ රාජකාරී කටයුතු සඳහා යෑමට අනුමැතිය ඉල්ලා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කළ නිලධාරීන් 7 දෙනකුගේ නම් ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත් වී ඇත. අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව ඒ සඳහා අනුමැතිය නොලැබූ එම ලැයිස්තුවේ වැඩිම අවධානයට ලක් වූ කාරණාව වන්නේ ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට අයත් එම නිලධාරින්ට ‘අතේ වියදමට‘ රුපියල් කෝටි 30කට අධික මුදලක් වැය කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කිරීමය.

 

පසුගිය අගෝස්තු මස 26වැනිදා සිට මේ මස 12 වැනිදා දක්වා දින 17ක කාලයක් සඳහා දිනකට අමෙරිකා ඩොලර් 650 බැගින් නිලධාරීන් 7 දෙනකුට ‘අතේ වියදමට‘ ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබූ අතර ඊට අමතරව ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් ප්‍රවේශපත් සහ ඩුබායි නුවර තරු පන්තියේ හෝටලයක නවාතැන් පහසුකම් සලසා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ එම ලිපියෙහි සඳහන් වේ.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගගෙන් ‘සිළුමිණ‘ විමසා සිටියේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන මෙරට ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරීන්ට එම තරගාවලියට යෑමට අනුමැතිය නොදීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳය.

‘අපි අනුමැතිය නොදුන්නා නෙවෙයිනේ. මුලින් ඉදිරිපත් කරපු ලැයිස්තුවට අනුව ක්‍රිකට් සභාපති, ලේකම් වගේම ප්‍රධාන විධායක නිලධාරීටත් අපි අනුමැතිය දුන්නා. මේ හැම කෙනාටම දවසේ වියදමට ඩොලර් 650 ගාණේ අතට දෙනවා. හැමෝම යන්න ඕන නෑනේ. අනික මේ ලංකාවට ඩොලර් නැති කාලයක්. එහෙම තියෙද්දී මෙච්චර ඩොලර් කන්දරාවක් වියදම් කිරීමේ අවශ්‍යතාව මොකක්ද? ඔක්කොම ගණන් ටික එකතු කරලා බැලුවම රුපියල් කෝටි 40කටත් වැඩි මුදලක්. මේ විශාල මුදල් නාස්තිය තමයි අපි වැළක්වුයේ.‘ අර්ජුන රණතුංග ‘සිළුමිණ‘ට කීවේය.

ජාතික ක්‍රීඩා සභාවට තිබූ අනෙක් ගැටලුව වන්නේ ආසියා කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට තේරීම් කමිටු සාමාජිකයකු ඇතුළත්ව සිටියදී, ජාතික ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ප්‍ර මෝද්‍ය වික්‍රමසිංහ විධායක කමිටුවේ සෙසු සාමාජිකයන් සමග දිනකට ඩොලර් 650 බැගින් අතේ වියදමට මුදල් ගෙන ඩුබායි යෑමට සූදානම් වීමය.

ඕනෑම තරග සංචාරයකදී කණ්ඩායම සමග තේරීම් කමිටුවේ සාමාජිකයකු එක්වන අතර, මෙවර ඩුබායි බලා ගිය කණ්ඩායමට ඇතුළත් වූයේ හේමන්ත වික්‍රමරත්නය. ඔහු සිය රාජකාරිය සඳහා ඩුබායි හි රැඳී සිටින කාලය ඇතුළත ගුවන් ප්‍රවේශපත් සහ නවාතැන් පහසුකම් හැරුණු විට දිනකට ලැබෙන දීමනාව ඩොලර් 75ක් බව කියැවේ. තත්ත්වය එසේ තිබියදී තේරීම් කමිටුවේ ප්‍රධානියා ද දිනකට ඩොලර් 650 බැගින් වරප්‍රසාද ලබමින් ඩුබායි යෑමට සූදානම් වීම ජාතික ක්‍රීඩා සභාව විමතියට පත් කළ කරුණක් බව අර්ජුන කීවේය.

එය එසේ නම් මෙවර සංචාරයට පමණක් නොව මීට පෙර ද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විවිධ කටයුතු සඳහා විදෙස්ගතවීමට වැය කළ ඩොලර් ප්‍රමාණයත්, ඒ සඳහා සහභාගී වූ නිලධාරීන් ඇතුළුව සංචාරයේ තොරතුරු සොයා බැලීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීමකි.

තවත් අතකින් බැලූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එවැනි සංචාරවල නිරතවීම වැදගත් කාරණාවකි. ද්විපාර්ශ්වික තරග සංචාර සාකච්ඡා කිරීම, නව ජාත්‍යන්තර තරගාවලි මෙරට පැවැත්වීමට යෝජනා ඉදිරිපත් කිරීම් සහ එම යෝජනා පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පෞද්ගලික අනුග්‍රාහකත්වය සොයා ගැනීම් සඳහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ එවැනි සංචාර මනා පිටුවහලක් වනු ඇත. මෙවර ආසියා කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරීන් ඩුබායි යෑමට නියමිතව සිටියේ ද එවැනි කරුණු රැසක් සම්බන්ධව සාකච්ඡා කිරීමට බව ජාතික ක්‍රීඩා සභාව අනුමැතිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබිණි. එසේ වුවත් ක්‍රීඩාවේ උන්නතිය මෙන්ම අතිවිශාල මුදල් නාස්තියක් සිදු නොවීමට වගබලා ගැනීම ද ක්‍රිකට් ආයතනයේ වගකීමකි.

අර්ජුන කියන්නේ යම්කිසි ආයතනයකින් මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම පිළිබඳ සොයා බැලීමත්, ඒ සඳහා නව නීති සකස් කිරීමත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ ද අවධානය යොමු විය යුතු බවකි.

‘විදෙස් සංචාරවලදී ඔය කියන දීමනාව ඒ කාලයේ තිබුණේ ඩොලර් 250ක් විදිහට. මම ඉන්න කාලේ ඒක ඩොලර් සියයකට අඩු කළා. ප්‍රමෝද්‍ය හැරුණම මේ යන අනිත් හැමෝම ක්‍රිකට් ආයතනයේ ඡන්ද තියෙන පුද්ගලයන්. එවැනි දීමනාවක් සහිතව සියලු වරප්‍රසාද යටතේ ඔවුන්ට විදෙස් සංචාරවලට යන්න අවස්ථාව දෙන්නේ ඒ නිසයි. ‘ අර්ජුන රණතුංග එසේ චෝදනාවක් ද ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැය කරනු ලබන්නේ මහජන මුදල් හෝ රජයේ මුදල් නොවූවද අර්ජුන කියන්නේ මෙරට සියලු ආයතන රටේ නීතියට යටත් බවය. ක්‍රීඩා සංගම් සියල්ල ක්‍රීඩා පනතට අනුව කටයුතු කළ යුතු බවය. ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් නම් පසුගිය කාලයේ කෝප් කමිටුවට ඉදිරිපත් වූයේ ඇයිදැයි ඔහු විමසා සිටියේය.

රටේ පවතින දරුණු ආර්ථික අර්බුදය මැද මෙවැනි විශාල ප්‍රමාණයක මුදල් නාස්තියක් වැළැක්වීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ක්‍රියාවක් බවත් කී අර්ජුන, ආසියා කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම සම්බන්ධවත් ක්‍රිකට් ආයතනයට චෝදනා කර සිටියේය.

‘රටට ඩොලර් අවශ්‍ය මොහොතක දැන් ‘විසිට් ශ්‍රී ලංකා‘ කියලා ස්ටිකර් ගහලා ඩුබායිවල පෙන්නුවාට වැඩක් නෑ. ආසියා කුසලාන තරගාවලිය අපේ රටේ තිබ්බා නම් ඔය සංචාරකයෝ ඔක්කොම එන්න තිබුණා.

අද වෙනකල් සංචාරක අමාත්‍යාංශය මේ ගැන කිසිම ප්‍රකාශයක්වත් නිකුත් නොකිරීමෙන් පැහැදිලි වෙන්නේ ක්‍රිකට් ආයතනය ඇතැම් දේශපාලකයනුත් අල්ලගෙන ඉන්න බවයි.‘ අර්ජුන එසේ පැවැසීය. ඉදිරියේදී අධිතාක්ෂණ මධ්‍යස්ථානය හරහා අතිදක්ෂ ක්‍රීඩකයන් සියදෙනකු පෝෂණය කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නොමැතිව අපහසුතාවට පත්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

‘අපිට මාසෙකට රුපියල් ලක්ෂ 100ක් ඕනා. ඒකට ගෙවන්න සල්ලි නෑ. මෙගොල්ලෝ කෝටි 40ක් වියදම් කරනවා ඩුබායි ගිහින් විනෝද වෙන්න.‘ අර්ජුන කියා සිටියේය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘සිළුමිණ‘ට වාර්තා වූ විධිමත් ක්‍රමයට ක්‍රිකට් ආයතනයට උපදේශකවරු පත් නොවීම පිළිබඳ අර්ජුනගෙන් කළ විමසුමේදී ඔහු සඳහන් කළේ ක්‍රිකට් ආයතනයට පත් කළ උපදේශකවරුන් සහ විදෙස් ජාතික ක්‍රිකට් අධ්‍යක්ෂවරුන් පිළිබද සොයා බැලීමත්, එවැනි ගිවිසුම් තිබේ නම් ඒවා ක්‍රිකට් ආයතනයෙන් ගෙන්වා ගෙන නිරීක්ෂණය කිරීමත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීමක් බවත්ය.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහුගේ මාසික වැටුප අමෙරිකා ඩොලර් 18,000ක් බවත්, ක්‍රිකට් අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කරන බව කියන විදෙස් ජාතිකයකුගේ දින සියයේ දීමනාව අමෙරිකා ඩොලර් ලක්ෂ 3ක් බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘සිළුමිණ‘ට වාර්තා කළේය.

එහෙත් පසුගිය කාලය ඇතුළත මේ දෙදෙනාම වැඩි කාලයක් සිටියේ විදෙස්ගතව බව ද වාර්තා වේ. මේ වනවිටත් ඔවුන් දෙදෙනා විදෙස්ගතව සිටින අතර, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යවනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිත තෝරා ගැනීමේ කටයුතු සඳහා අදාළ උපදේශකවරයා සහභාගි වන්නේ සූම් තාක්ෂණය ඔස්සේ බව ද ආරංචි මාර්ග සඳහන් කළේය. ‘මේ දෙන්නම ලංකාවේ නෑ. වැඩි හරියක් ඉන්නේ පිටරට.‘ ක්‍රිකට් ආරංචි මාර්ග ද එම තොරතුරු තහවුරු කළේය. මේ අනුව බලද්දී ක්‍රිකට් ආයතනය යනු ‘සුදු අලින්ගේ පාරාදීසයක්‘ දැයි කෙනකුට සිතෙන්නට බැරි නැත.

 

Comments