“මම මැරෙන්නේ රිය අනතුරකින්” දික්කසාද වූ අලුතම ඩයනා තැබූ සටහන | සිළුමිණ

“මම මැරෙන්නේ රිය අනතුරකින්” දික්කසාද වූ අලුතම ඩයනා තැබූ සටහන

 

යනා කුමරිය මෙලොවින් සමුගෙන මේ ගෙවෙන්නේ විසිපස්වැනි වසරය. 1997 අගෝස්තුවේ 31 වැනිදා පැපරාසි නමින් හඳුන්වනු ලබන හඹා ගොස් ඡායාරූප ගැනීමේ වෘත්තියේ නිරතව සිටින ඡායාරූප ශිල්පින්ගෙන් මිදීමට සිය පෙම්වතා වූ ඩොඩී අල්ෆෙයිඩ් සමග පැරිස් නුවර අධික වේගයෙන් ගමන් කරමින් සිටි මෝටර් රථය උමං මාර්ගයකදී අනතුරට ලක්වීමෙන් පසු බරපතළ තුවාල ලබා පැරිස් නුවර විශ්වවිද්‍යාලීය රෝහලේදී ජීවිතය හැර ගිය ඇගේ මරණයේ වේදනාව එංගලන්ත ජනතාවගේ හදවත්වල වසරක් පාසා අලුත් වන්නේ මේ කාලයේදීය. එසේ අලුත් වන්නේ ඇය කෙරෙහි උපන් අසීමිත සෙනෙහසත්, ඇගේ මරණයෙන් උපන් දැඩි ශෝකයත් නිසාම පමණක් නොව අදටත් අබිරහසක් බව ඇතැමුන් කියන මේ මරණය සම්බන්ධව සැකයට තුඩුදෙන රහස් කන්දරාවක් වසරින් වසර හෙළිදරව් වන නිසාය.

 

ඩයනා කුමරියගේ හදිසි මරණය සමස්ත ලොවම තැතිගැන්මට ලක් කළ සිදුවීමකි. මිය යන විට ලොව වඩාත්ම ජනප්‍රිය රජ කුමරිය බවට පත්ව සිටි ඩයනාගේ මරණයට හේතු වූ කරුණු කාරණා පිළිබඳ වරින්වර විවිධ වාර්තා එළි දැක්වෙන අතර, සෑම වාර්තාවක්ම නිමා කර ඇත්තේ තවදුරටත් කුතූහලය ඉතිරි කර තබමිනි.

ඊයේ පෙරේදා සුප්‍රකට ‘චැනල් 4‘ රූපවාහිනී නාළිකාව විකාශය කරනු ලැබුවේ තවත් එවැනි වාර්තාවකි. ඒ හැරුණු විට ඩයනාගේ මරණය ඝාතනයක්දැයි සැක සිතෙන ආකාරයේ තොරතුරු තවත් පුවත්පත් සහ වෙබ් අඩවි ගණනාවක් පුරවා දමා ඇත. ඒ සෑම වාර්තාවක්ම පාඨකයා හමුවේ ඉතිරි කර තබන්නේ ඩයනා කුමරියගේ මරණය ඝාතනයක්දැයි යන පැනය පමණි.

ඩයනා මෙන්ම ලෝක ප්‍රකට තවත් පුද්ගලයන් රැසකගේම හදිසි මරණ සම්බන්ධව මෙවැනි තර්ක විතර්ක රැසකි. ඒ හා බැඳුණු කුමන්ත්‍රණවාදී න්‍යායයන් බොහෝය. ලොව පුරා ජනප්‍රියත්වයට පත් පුද්ගලයන්ගේ අකල් මරණ සම්බන්ධව දශක ගණනාවක් තිස්සේ සිදු කෙරෙන එවැනි කුමන්ත්‍රණ න්‍යායයන් (conspiracy theories) බොහෝය. කුතුහලය මුසු මෙවැනි කුමන්ත්‍රණ න්‍යයයන් දශක ගණනාවක් ඈතට විහිදී යන්නකි. අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි, රෙගේ ගී රජු බොබ් මාලේ, රොක් ඇන්ඩ් රෝල් ගී රජු එල්විස් ප්‍රෙස්ලි, පොප් ගී තරුව මයිකල් ජැක්සන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් තවත් ලෝක ප්‍රකට පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ හදිසි මරණ සහ ඝාතන සම්බන්ධව හෙළිදරවු නොවූ අතිශය වැදගත් කරුණු රැසක් මේ න්‍යායයට ඇතුළත් ය. නොවිසඳුණු අභිරහස් ඝාතන ලෙස ඉතිහාසයට වැළලී ගිය බොහෝ සිදුවීම් නැවත හාරා අවුස්සා ලොවට හෙළිදරවු කරන මෙවැනි කුමන්ත්‍රණ න්‍යයයන් සඳහාම ලොව පුරා නොම්මර එකේ විශාරදයෝ සිටිති. ඩයනාගේ මරණය සම්බන්ධව මතුවී ඇත්තේ ද එවැනි තත්ත්වයකි.

ඇය ජීවත්ව සිටි කාලයේ එංගලන්තයේ පමණක් නොව සමස්ත යුරෝපයේම ඡායාරූප ශිල්පීන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට පත්ව සිටි අතර, පුවත් මවන්නියක ලෙසත් ප්‍රකටව සිටියාය. එබැවින් චාල්ස් කුමරුගෙන් දික්කසාද වීමෙන් පසු ඊජිප්තු ජාතික කෝටිපති ව්‍යාපාරික ඩොඩී අල්ෆෙයිඩ් සමග පෙමින් බැඳීම යුරෝපයේ මාධ්‍යයට රස මසවුලක් වී තිබිණි. ඇය මියගියේ එවැනි පැපරාසි වර්ගයේ ඡායාරූප ශිල්පීන්ගෙන් මිදී පලා යමින් සිටියදීය. ඒ අතරතුර රජ පවුලට අවමානයක් ගෙනදීමේ වරදට එළිසබෙත් මහරැජනගෙත්, චාල්ස් කුමරුගෙත් උදහසට ලක්ව සිටීමද අවධානයට යොමු වී තිබිණි. එබැවින් ඇගේ මරණය විවිධ මානයන් කිහිපයක් ඔස්සේ පරික්ෂණ සිදු කිරීමට තරම් ඉතා සංකිර්ණ වූ කාර්යයක් බවට ද පත් විය.

ඇගේ 25 වැනි අනුස්මරණ සංවත්සරයේ උණුසුම කරළියට එක් වන්නේ මිය යෑමට වසරකට පමණ පෙර ඇය විසින් සිය මරණය රිය අනතුරකින් සිදුවනු ඇතැයි පුරෝකතනය කරමින් ලියා තැබූ බව කියන සටහනක් පිළිබඳ අනාවරණය කරමිනි. වැදගත්ම කාරණාව වන්නේ මේ සටහන ඇගේ මරණය සිදුවී වසර 6ක් යනතුරුම මරණය පිළිබඳ පරික්ෂණ කටයුතු සිදු කළ විමර්ෂකයන්ට බාර දී නොතිබීමය. ඒ අනුව මෝටර් රථයේ අධික වේගය, රියැදුරු හෙන්රි පෝල් බීමත්ව සිටීම සහ මරණයට පත් වූ තිදෙනාම ආසන පටි පැලඳ නොසිටීම වැනි කරුණු ඉස්මතු කරමින් ද, වඩාත් අත්‍යවශ්‍ය කරුණු යටපත් කරමින් ද ඩයනා කුමරියගේ මරණයේ විමර්ශන කටයුතු සිදු වූ බවට කරුණු මේ වන විට අනාවරණය වී තිබේ.

ඩයනාගේ සටහන පිළිබඳ පළමුව හෙළිදරවු කරනු ලැබුවේ ‘චැනල් 4‘ රූපවාහිනී නාලිකාව ඔස්සේය. ‘ඩයනා විමර්ශනය - පැරිස් නුවරදී සිදු වූ මරණය ‘ නමින් පසුගියදා විකාශය වූ මේ වාර්තාමය වෘත්තාන්තමාලාවට ඇතුළත්ව තිබූ මේ අනාවරණය නම් කර ඇත්තේ ‘මිෂ්කොන් සටහන‘ නමිනි. එසේ නම් කර ඇත්තේ එම සටහන පිළිබඳ හෝඩුවාව චැනල් 4 රූපවාහිනි නාලිකාවට සැපයූ බව කියන පුද්ගලයාගේ නම මිෂ්කොන් වීම නිසාය. මිෂ්කොන් මේ හෝඩුවාව සොයාගෙන ඇත්තේ ඩයනා කුමරියගේ පෞද්ගලික ලේකම්වරයා සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

චැනල් 4 රූපවාහිනි නාලිකාව ඉන් අඟවා ඇත්තේ ඩයනාගේ මරණය පසුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවය. එය රජපවුලට සම්බන්ධ බවට සාක්ෂි කිසිවක් නොතිබුණද චැනල් 4 වැනි සූක්ෂම විමර්ශන කටයුතු සිදු කරන ආයතනයකට කතාව පුළුල් කිරීමට එය හොඳටෝම ප්‍රමාණවත් විය.

ඩයනාගේ සටහන වසර 6ක් පුරා කෙතරම් දුරට අභිරහසක් වූයේදැයි පසක් වන්නේ ඇගේ පුතුන් දෙදෙනා වන විලියම් සහ හැරී කුමරුවන්ද ඒ පිළිබඳ නොදැන සිටි බව වාර්තා වීම නිසාය. මේ පිළිබඳ පසුව ප්‍රකාශයක් සිදු කළ මෙට්‍රොපොලිටන් පොලිසියේ හිටපු කොමසාරිස් ජෝන් ස්ටීවන්ස් කියා ඇත්තේ ඩයනාගේ සටහන වාර්තා වීමත් සමඟම එය විමර්ශකයන්ට බාර දුන් බවය. එහෙත් ඒ සඳහා වසර 6ක් ගත වූ බවත් ඔහු පිළිගෙන තිබේ. ඊට හේතු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ එම සටහන එතරම් වැදගත් වනු ඇතැයි තමා නොසිතූ බව මිෂ්කොන් ප්‍රකාශ කර තිබීමය. කෙසේ වුවත් ඩයනාගේ සටහන පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසු රජපවුලේ හදිසි මරණ පරික්ෂකවරයා කළ ඉල්ලීම මත එම සටහන ඔහුට ලබා දීමට පසුව කටයුතු කළ බව මෙට්‍රොපොලිටන් පොලිසියේ හිටපු කොමසාරිස් ජෝන් ස්ටීවන්ස් නිදහසට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඩයනාගේ මරණයේ කුමන්ත්‍රණ න්‍යයයට වැඩිම වටිනාකම සපයනු ලැබුවේ ඇගේ පෙම්වතාගේ පියා වන හැරඩ්ස් සමූහ ව්‍යාපාරයේ හිමිකරු මොහොමඩ් අල් ෆෙයිඩ් විසිනි. තම පුතුගේ සහ පෙම්වතියගේ මරණයට බ්‍රිතාන්‍ය රජ පවුල වගකිව යුතු බව මුලින්ම ප්‍රකාශ කළේ ඔහුය. ඉන් නොනැවතී මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු බ්‍රිතාන්‍ය රජයෙන් දැඩි ඉල්ලීමක් ද කර තිබිණි. ඉන් හැඟවෙන්නේ බොහෝ අය නොදන්නා අමුතු කාරණා කිහිපයක්ම ඩයනාගේ පෙම්වතාගේ පියා හොඳින්ම දැන සිටි බවය. අනෙක් අතට ඔහු තම පුතුගේ පෙම් පළහිලව්වට පූර්ණ ආශිර්වාදය ද ලබා දී තිබූ බවය.

රිය අනතුරින් මිය යන විට ඩයනා කුමරිය ගැබ්ගෙන සිටි බව මොහොමඩ් අල් ෆෙයිඩ් තරයේම විශ්වාස කළේය. තම පුතුට දාව ඩයනා කුමරිය මව් පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් පසුවූ බවත්, රජපවුලට එය අනාවරණය වීම මේ රිය අනතුරට හේතු වන්නට ඇති බවත් ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබිණි. එපමණක් නොව චාල්ස් කුමරු, ඔහුගේ පියා වන පිලිප් කුමරු සහ ඩයනාගේ සොහොයුරිය වන සාරා කුමරිය මේ ඝාතනයට සම්බන්ධ බවට ද ඔහු තරයේම විශ්වාස කළේය.

කුමන්ත්‍රණ න්‍යායයට පදනම වැටුණේ මේ කරුණු මතය. එය ජීවමාන වූයේ රිය අනතුරු සිදුවන විට ඩයනාගේ සහ ඩොඩීගේ විවාහ ගිවිස ගැනීමේ මුදු හුවමාරුවට දින නියම වී තිබීමෙනි. මොහොමඩ් අල් ෆෙයිඩ් නැගූ චෝදනා අතුරින් ඩයනා කුමරිය මිය යන විට ගැබිනියකව සිටි බව අධිකරණය පසුව ප්‍රතික්ෂේප කර තිබිණි. එය සිදුවූයේ ඩයනාගේ මරණ පරික්ෂණය සිදු කළ පැරිස් නුවර මරණ පරීක්ෂකවරයා විසින් බාර දෙන ලද වාර්තාවකට අනුවය. එබැවින් ඩයනා කුමරිය ඩොඩී සමඟ විවාහ වීමේ සූදානමකින් පසුවූ බවට පළවූ අල් ෆෙයිඩ් ප්‍රකාශයත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඩයනාගේ මරණය ඝාතනයක් බවට අනුමාන කෙරෙන තවත් වාර්තාවක් කරලියට එක් වූයේ 2003 වසරේදීය. එය නිකුත් වූයේ කලක් ඇගේ ප්‍රධාන මෙහෙකරු ලෙස කටයුතු කළ පෝල් පියුරල් විසින් සිදු කරනු ලැබූ අනාවරණයක් සමගිනි. ඔහු කියා ඇත්තේ තමා ඝාතනය කරනු ඇතැයි බියකින් යුතුව ජීවත්වන බවට ඇය විසින් සටහනක් ලියා තැබූ බවය. ඇය එම සටහන ලියා ඇත්තේ 1996 වසරේදි චාල්ස් කුමරුගෙන් දික්කසාද වූ විගසමය. පසුව රජපවුල මේ කරුණ දැඩි විවේචනයට ලක් කරමින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබිණි. රජපවුලේ ප්‍රකාශකයා එම සටහන ප්‍රසිද්ධියට පත් කර තිබූ අතර, එහි සඳහන් වූයේ ඇය යම්කිසි මානසික විකෘතිතාවකින් පෙලෙන බව රජපවුලේ විශ්වාසය වී ඇති බවය.

එහෙත් එවැනි ලඝු කිරීමකින් ඩයනා කුමරියට නින්දා අපහාස කිරීම බ්‍රිතාන්‍ය ජනතාව සම්පූර්ණයෙන්ම හෙළා දැක තිබූ අතර, ඊට ප්‍රතිවාර වශයෙන් එම සටහනට අමතරව ඇය විසින් ලියන ලද තවත් සටහන් රැසක් කරළියට සේන්දු වූයේ අධික වේගයෙනි.

එහි එක් සටහනක සඳහන්ව තිබුණේ චාල්ස් කුමරුගෙන් දික්කසාද වීම තම ජීවිතය අන්තිම අවදානමට ඇද වැටුණු සිදුවීමක් බවකි. එමෙන්ම ඔහුට කැමිලා කුමරිය විවාහ කරගැනීමේ අවස්ථාව සලසාලමින් තමා අභිරහස් රිය අනතුරකින් මිය යෑමට ඉඩ ඇති බවකි. කුමන්ත්‍රණ න්‍යායයට අනුව ඉන් කියැවෙන්නේ ඇය රිය අනතුරු බියකින් සිය ජීවිතයේ අවසන් කාලය එහෙම පිටින්ම ගෙවා දැමූ බවය.

එක් අතකින් බැලූ විට ඩයනාගේ රිය අනතුර සහ ඉන් පසුව සිදුවු ක්‍රියාකාරකම් සියල්ලම කුතූහලයට සහ සැකයට භාජනය වන්නකි.

පළමුවැන්න රිය අනතුර කිසිදු ආරක්ෂක කැමරාවක සටහන් නොවීමය. ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්‘ පුවත්පත 2006දී පළ කළ විමර්ශනාත්මක ලිපියකට අනුව ඇගේ රිය අනතුරු සිදුවූ පැරීසියේ උමං මාර්ගයේ සීසීටීවී කැමරා 14ක්ම සවි කර තිබුණද, ඒ කිසිදු කැමරාවක මේ මාරක රිය අනතුර පටිගත වී නැත.

තවත් වැදගත් කරුණක් වන්නේ ඩයනා කුමරිය ගමන් කරමින් සිටි මර්සිඩීස් බෙන්ස් රථය අනතුරට ලක්ව කුඩුපට්ටම් වීමට පෙර තවත් මෝටර් රථයක ගැටී ඇති බවට කරුණු වාර්තා වීමටය. එය සුදු පැහැති ෆියට් ඌනෝ වර්ගයේ මෝටර් රථයක් බවටද කරුණු අනාවරණය වී තිබේ. එහෙත් අදාළ වාහනය සොයා ගැනීමට ප්‍රංශ පොලිසිය කළ පුළුල් උත්සාහයන් සියල්ල අසාර්ථක විය. ඩොඩීගේ පියාගේ විශ්වාසය වන්නේ ද බෙන්ස් රථය උමං මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් කණුවේ ගැටීමට මුල් වූයේ මේ ෆියට් මෝටර් රථය බවය. ඔහු කියන්නේ සැබැමින්ම ෆියට් මෝටර් රථය ඩයනා ගමන් ගත් බෙන්ස් රථයේ වුවමනාවෙන්ම හප්පා එය කොන්ක්‍රීට් කණුව දෙසට අධික වේගයෙන් තල්ලුවීමට ඉඩ හැරිය බවය.

කෙසේ වුවත් රජපවුලේ නිල පිළිගැනීම ලැබී ඇත්තේ ඩයනාගේ මරණය සම්බන්ධව කළ නිල පරික්ෂණ වාර්තාවටය. පවුම් මිලියන 14ක් වැය වූ බව කියන මේ පරික්ෂණ වාර්තාව පුද්ගලයන් 300කගේ පමණ සාක්ෂි මත පදනම්ව පොලිස් නිලධාරීන් 14 දෙනකු එක්ව අවසන් කර තිබිණි. එහි අවසන් නිගමනය වන්නේ මෙය අනාරක්ෂිත රිය පැදවීමක් මත සිදු වූ මාරක අනතුරක් බවය. රියැදුරු අධික ලෙස බීමත්ව සිටීමත්, මරණයට පත් වූ පුද්ගලයන් තිදෙනාම ආසන පටි පැලඳ නොසිටීමත් මරණයට හේතු වූ බව එහි සටහන් වී තිබිණි.

ඒ මොහොතේ මර්සිඩිස් බෙන්ස් රථයේ පුද්ගලයන් සිවුදෙනකු ගමන් කළ අතර, ජිවිතය බේරා ගැනීමට තරම් වාසනාවන්ත වූයේ ඩයනාගේ ආරක්ෂකයා වූ ට්‍රෙවර් රීස් ජෝන්ස් පමණි. එවකට ඩොඩීගේ හැරඩ්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස කටයුතු කළ ට්‍රෙවර් මේ වන විට පදිංචිව සිටින්නේ අමෙරිකාවේය. රිය අනතුරින් ලද බරපතළ තුවාල හේතුවෙන් ඔහු දින දහයක්ම සිහිසුන්ව සිටියේය. රිය අනතුර සිදුවන විට සැබැවින්ම ආසන පටි පැලඳ සිටියේ ඔහු පමණි. පසුකාලීනව ඔහු රිය අනතුර පිළිබඳ කළ එකම ප්‍රකාශය වූයේ තමාට මතක හෝටලයේ සිට බෙන්ස් රථයට ගොඩවීම පමණක් බවය. ඔහු ප්‍රතික්ෂේප කළ එකම කරුණ රියැදුරු හෙන්රි පෝල් බීමත්ව සිටි බවක් ඔහුට නම් දැනුණේ නැති බව පමණි.

ඩයනා කුමරියගේ මරණයට රාජකීය පවුලට අපවාද විඳින්නට සිදු වූයේ ඇගේ මරණය රජ පවුලේ කුමන්ත්‍රණයක් බවට පළවන්නට වූ මතිමතාන්තර නිසාම නොව චාල්ස් කුමරු හා විවාහ වූ දිනයේ සිටම ඇගේ ජීවිතය ශේක්ෂ්පියර්ගේ නාට්‍යයක අවසානය මෙන් එහෙම පිටින්ම දුක්ඛාන්තයක් වීම නිසාය. ඇරත් රාජකීය සම්ප්‍රදායට පයින් ගසා නිදහස් හා කෙළිලොල් ජීවිතයක් ගත කළ ඩයනා කුමරිය කෙරෙහි එළිසබෙත් මහ රැජන මෙන්ම ඔටුන්න හිමි චාල්ස් කුමරු ද එකල පසුවූයේ දැඩි කෝපයෙන් යුතුව බව බ්‍රිතාන්‍ය ජනතාව හොඳින්ම දැන සිටීම නිසාය. ඇය නම් ඒවා පවුමකටවත් මායිම් නොකළාය. කොහොමත් ඩයනා කුමරිය නිරන්තරයෙන්ම සිටියේ ජනතාවගේ පැත්තේය. එය ද රජ පවුලේ සිත් ගත්තේ නැති කාරණාවකි.

ඩයනා කුමරිය දික්කසාද වූයේ ඇය රජ මාළිගාවේ තනිවෙද්දී චාල්ස් කුමරු සිය පැරැණි පෙම්වතිය කැමිලා මුණ ගැසීමට නිතර නිතර යන්නට වූ නිසාය. එනිසාම උපන් කළකිරීම තවදුරටත් ඉවසාගැනීමට නොහැකි නිසාය. එබැවින් චාල්ස් කුමරු හා දීග කෑ කාලය ඇගේ ජීවිතයේ අවාසනාවන්තම කාලපරිච්ඡේදය වූවාට කිසිදු සැකයක් නැත.

එබැවින් ඩයනාගේ මරණය කුමන්ත්‍රණ න්‍යායයට අයිති වූවත් නොවූවත්, ඇයට මේ ඉරණම අත්වන්නට ඔටුන්න හිමි කුමාරයා මෙන්ම මහ රැජන ද හේතු වූ බව දැන් ප්‍රසිද්ධ රහසකි. ඇගේ ඛේදජනක මරණයට ඔවුන් වගකිව යුත්තන් වූවත්, නොවූවත් වසරකට වතාවක් සෑම ගිම්හානයකදීම යළි යළිත් අලුත් වන පොදු ජනතාවගේ කුමරිය හෙවත් ඩයනාගේ මරණයේ ශාපය ඔවුන් පසුපස හඹා එනු ඇත. ජෝර්ජ් රජ්ජුරුවෝ සොහොනෙන් නැගිට ආවත් ඒ සාපයෙන් නම් ගැලවෙන්නට බැරිය.

 

Comments