කවි සිළුමිණ | Page 2 | සිළුමිණ

කවි සිළුමිණ

රන්මිණි නිධා­නය

දැල්වෙන පහ­න්සිල මෙන් ජීවි­තය කෙටී
හැත්තෑ වසක් උන් කරු­ම­යක ගැටී
වම් අත කකුල පණ නෑ සැත්ක­මක හැටී
නිව­හන සිරි ගෙයක් වී කල් ගෙවමි වැටී

අනු­රා­පුර, පොළො­න්නරු, කිරි වෙහෙ­රෙහි ද
මහි­යං­ග­ණය, සිරිපා, කඳු මුඳු­නෙහි ද
කළු­තර බෝධියේ, කැල­ණිය වෙහෙ­රෙහි ද
සිහිවේ එදා කළ පිංකම්, මා කොහි ද

සැප දුක බෙදා­ගෙන නෑ මිතු­රන් අතර 
මා කල්ගත කලක් පුළු­වන් ද නිතර
මගෙ පොඩි පවුලෙ සාමා­ජි­ක­යන් අතර
කැප­විය හැකි කෙනෙක් නෑ මට මං විතර

පාසල්, දහම් පාසල් ගිය ළපටි වියේ
කළ කී සියලු දේ සුන්දර මතක තියේ
පන්සල කඨින පෙර­හැර ගම කරන තුයේ
කන­ගා­ටු­වක් නෑ, මා දැන් මහලු වියේ

නොසිතූ පරිදි අවු­රුදු දොළ­හ­කට පෙර
දඹ­දිව යන්ට ලැබුණා ලොකු පින කි තිර
ඒ මහ­ණීය කුස­ලය පර­ලො­වට බර
රන්මිණි නිධා­න­ය­කැයි මා සිතමි දුර

සිරි­සෝම කළු­කීර්ති


මාතු­ගාම සෙව­ණැල්ල


සිත පෙළනා අන්ධ­කාර සිතු­විලි
නිමා කර­ලයි ඔබෙ දිගු හස­රැලි
සිත තෙමා පිරි­ම­දිනා කොඳ කැකුළී
ඔබම තමයි මගෙ දිවි සැනසී
සසර කතර මැද පීඩි­තව සිටිනා සඳ
අත අත නෑර මා සමඟ දුක් ගැහැට විඳ
නේක පිරි­පත් අව­මන් සෝ සුසුම් මැද
ඔබයි එන්නී පසු­ප­සින් සෙව­ණැල්ල ලෙද
රෝග පීඩා දුක්ඛ ගංඟා සමඟ පිහිනා
මාර­යාට පවා නොබි­යව සර­දම් කරනා
ඔසු පැන් පිරිත් පැන් කර­මින් නිබඳ පොවා
ඔබයි සංසාරේ දුක් විඳින්නී මා නමිනා
මා රැක මාතු­ගාම ව ඔබ පිරූ පිරු­මන්
හද ලෙන තුළ පවතී බිතු සිතු­වම් රූ මෙන්
මතු අත්භ­ව­යෙකු උප­න්නොත් මේ ලෝකේ
ඔබම පතමි නොවෙ­නස් ඉර හඳ මෙන්

නයන්ත ජගත් පුංචි­හේවා


පරි­සර මිහිර

නිලට නිලේ තුරු ලිය මන බැන්දේය
මිහි­කත සිඹ සිඹ මඳ නල ඇදේය
පිය­කරු උදෑ­ස­නක පිනි බිඳු බැදේය
සිතක කවි සිතු­විලි රොද බැදේය

ඇළ දොළ ගංගා සිලි සිලියේ ගල­නවා
කෙත් වතු සරු සාරව ඈතට පෙනෙ­නවා
ඈතින් මෑතින් විහඟ කුජ­නය සව­නට ඇසෙ­නවා
පරි­සර මිහි­රි­යාව සිතට ගතට සතුට ගෙනෙ­නවා

සිඳු රළ පෙළ වෙරළෙ හැපී දිවෙ­නවා
කඳු වටා මීදුම් සළු එතී දඟ කර­නවා
සම­නල රෑන් රෑන් මල් මත රඟ දෙනවා
පරි­සර මිහි­රි­යාව සිතට ගතට සතුට ගෙනෙ­නවා

සුනේත්‍රා ප්‍රේම­සු­න්දර


සින්න­තම්බී


මානි­පායි සින්න­තම්බි
කොළඹ ආවේ පුංචි කාලේ
හොඳම යාළුවෝ එදා ඉඳන් අපි
කොට­හේනේ හතේ වත්තේ...
රාකඩ පේළියේ ඔස­රිය ඇඳ­ගෙන
මුරුක්කු, වඩ, කඩල වික්ක
හැඩ­කාර, කට­කාර සෙල්ලම්මා
සින්න­ත­ම්බිගෙ අම්මා...
කොළොම් තොටේ නගර සබේ
ලොකු ලොකු මහ­ත්තැ­න්ලාට
බත් පිඟන් බෙදූ සෙල්ල­යියා
සින්න­ත­ම්බිගෙ අප්පා...
සින්න­තම්බි ඒ කාලේ
මගේ කරේ පල­න්දාපු
ශිව දේව ඇට මාලය
අද මගේ ගෙලේ නොති­බු­ණාට...
සින්නට මම තෑගි දුන්නු
සුදු යකඩ බෝ කොළ මාලය
සින්නාගේ පපුව මැද
අදත්... මේ දැනුත්
සුදට සුදේ දිලි­සෙන හැටි....!

ගොංගි­තොට සරත්


කඳු­ළක්

පාළුව තනි­කම
රුදුරු ලෙසින් එන
මුළු ජීවි­ත­යම
වසා ඇති...
සැන­සුම ගෙන දෙන
සෙනෙ­හස බිදු­වක්
දෙනෙ­තට හමු වන
ඉමක නැති...
සෙනෙ­හස නොමැ­තිව
පෙම් කළ වර­දට
දිවි­යම කඳු­ළට
වෙලා ගැති
අප වෙනු­වෙන් අප
ඉපදි ඇති මුත්
දෛවය ආසිරි
පතා නැති...

ආරි­ය­ලතා දහ­නා­යක


සම­රමු විරු විකු­මන්

විකුම් රවුළු තෙද පැතිරූ දිනේ පටන්
උතුම් අභය පණ්ඩුක පෙළ පතේ සිටන්
දැකුම් තබා දිනු බිම හද­වතේ කොටන්
රැකුම් පිණිස පසුබා නැත කළා සටන්

සැහැසි සතුරු බල­මුළු බිඳි­මින් පොරණේ
වහසි බිණුව නිව­ටුන් පලවා හැරුණේ
සදිසි මිහිඳු සේමයි අසි­පත් දැරුණේ
හදිසි නොවෙමු පසසු රණ­ගොස වරුණේ

පලා පැහැය දිදුල රුවන් ලක් දෙරණේ
දූලා මුතු මැණික් වෙත­ටද ලොබ බැඳුණේ
නෙළා රැගෙන යන්නට ඵල­බර රිසිනේ
හෙළා බැලුම් නොර­ටුන් මේ වෙත ඇදුනේ

කෙම්බිම මෙයයි සුර­පුර අසි­රිය රැඳුණු
පින්බිම සීක­ඩව ආගම් කුල බෙදුණු
රන්බිම උරුම රැක­ග­න්නට යුද වැදුණු
උන් බිම වැලඳ ගති අත­හැර දිවි තුරුණු

විදර්ශා පති­රත්න


පුතුණේ මේ රට ඔබගේ

සිනිඳු වලා පෙති වියන් බඳි­නවා
රන් කොත් පෙළ රැක­ව­රණ සද­නවා
සුදු බුදු රැස් දිය දෝර ගල­නවා
බෝ පත් ආසිරි පවන් සල­නවා
ඉර මල පුදින මේ රට ඔබගේ
සඳ­මල හිනැ­හෙන මේ රට ඔබගේ
උල්පත් දලු­ලන කඳු රැලි සිරසේ
මේ රට ඔබගේ මේ රට ඔබගේ
දෙරණ වැලඳ ගෙන දෝතින් පුතුණේ
රන්සුණු වන් පස පෙර­ළණු පුතුණේ
ඩා මුතු වරුසා සද­මින් පුතුෙණ්
රන් මුතු වරුසා සද­මින් පුතුණේ

පුෂ්ප­ලතා විද්‍ය­ලං­කාර


එය හොඳම කවි­යකි

හදෙහි බිතු තෙරපා රුදාදී
කවි පුතකු බිහි­ක­රනා මොහොතේ
ඉනු­වේද කවි නෙනට කඳු­ළක්
දුක­ටද සතු­ටට ද
නැඟුණේ එම කඳුළ
කිව නොහැකි වුවද
හොඳම කවි­යකි ඒ

එම්. චන්ද්‍ර­පාල


ඇවිද යන්නම් නුඹේ වී


මහ­මෙ­රක් ආදරේ තැවරූ
නෙතඟ බැල්මක තුරුලු වී
නොකී දහ­සක් කතා ඇතිරූ
දෙතොල් පෙති ළඟ නතර වී
නුරා­වෙන් පිරි නෙතඟ මැතිරූ
ප්‍රේමයේ ඉම වහන් වී
ඇවිද යන්නම් සෙනෙහෙ වැපුරූ
ආත්මය මත නුඹේ වී...
කොපුල් තල මත දෙතොල් තවරා
ආදරේ උණු­සුම තියා
ගැහෙන ළමැදේ නළල අතුරා
සෙනෙ­හසේ රස තැන් සොයා
සවන් යුග මත සුසුම් තවරා
උම­තු­වෙන් පෙම් කවි කියා
ජීවිතේ නුඹ නමින් තවරා
ළඟින් ඉන්නම් නෙත් පියා...

විරාජ් හෙට්ටි­ආ­රච්චි


අම්මා

රළු සයුරේ පහන් තරුව බඳු
මහ කතරේ සෙව­ණැල්ල බඳු
මඳ සුළගේ මෘදු පින්න බඳු
අම්මා නුඹයි මා නිර­තුරු නැමැදු
කතර කතර ගෙවුණ කාල බිඳු
මෙනෙහි කරයි ඔබෙ ගුණ විරිදු
නිම වුවද ඔබෙ පෙම මෙබඳු
නිම නොවේ මත­ක­යන් නිබඳු

කේ.ඩී.සාරා උද­යං­ගනී


මිහි­ක­තගේ කඳුළු

උදා­ගි­රින් හිරු කුම­රුන් ලොවට වඩින්නේ
තුරු­ලිය නෙක වන විහ­ඟුන් සැමත් සිටින්නේ
සොඳුරු පියුම් යළි පිබිදී දසත රැදෙන්නේ
සොබා­සි­රිය මේ ලෙස­ටයි ලොවට කියන්නේ

හරිත යාය දස අත යළි යළි විහි­දෙන්නේ
මුව ගෝනුන් නොවේද එහි රසය ලබන්නේ
හෝ ගාමින් මහ සයු­රත් බලා සිටින්නේ
රළ­පෙළ අතරේ අපුරු රටා මවන්නේ

ජල කෙළි කර­මින් මින් රළ පීනා යන්නේ
කෙමෙන් කෙමෙන් කාලය ගත­වෙන්නේ
මුළු ලෝකෙම දැන් හැල්මෙ ගමන් කරන්නේ
මිහි මඬලේ රුව ගුණ ටික ටික වියැ­කෙන්නේ

මනු­සත් දරු­වනි මා දෙස කිම නොබ­ලන්නේ
මිහි­කත් මව සිහින් හඬින් කඳුළු සලන්නේ
උණු කඳු­ළින් මුළු ලොව දැන් සේදී යන්නේ
මිහි­කත රැකු­මෙන් නොවෙද ලොව දිදු­ලන්නේ

පවිත්‍රා නානා­ය­ක්කාර


යසෝ­ද­රා­වක් වු බිරි­යට

නැති බැරි­කම් මැද හිතේ දුක දරා­ගෙන
නිහ­ඬ­වම දුක විඳින හන්දා
දර දිය ඇද­ගෙන මේ තරම් වෙහෙ­සෙන්න
නුඹට තව පුළු­වන්ද මන්දා
තනි නොත­නි­යට මගෙ හිටිය පුන්සඳ වගේ
දිරිය දුන් ජීවි­තය කැන්දා
දෙව්ලො­වට වැඩිය මගෙ අම්මා වෙනු­වට
දැන් නුඹයි මට මගේ අම්මා

ප්‍රිය­රාජ් සිල්වා


පුතුණි!

සත සහස් කල්ප­යක් බව සසරෙ සැරි­සරා
නත­ර­වුණු මිනිස් ලොව නැඟේ ගිනි බුර­බුරා
චිත­කයේ දවෙන වට මගේ මුල් මුනු­පුරා
හතර රිය­කක පොළොව ලොකු පුතුට වෙන්කළා

ලේ කඳුළු දහ­දි­යෙන් අට­ව­ගත් නිව­හනේ
ජීවි­තය දුටුව අඩු­නැ­තුව මා පිය සෙනේ
මා අතින් නැත කිසිත් දරු­ව­නට අඩු­වුණේ
නෑ ගෙදර ලොකු පුතා කාලෙ­කින් පැමි­ණුණේ

කැදැ­ල්ලක් හදා­ගෙන මහ­ගෙ­යින් වෙන් වෙලා
හිටි­යාට අම්මාගේ උණු­හු­මට ළංවෙලා
බත්ක­ටක් කන්න ලොකු පුතා එන මං බලා
තවම ඇය හිඳි­නවා නැත පැතුම් සුන්වෙලා

නුඹ විසින් හැදිය යුතු සෙහොන් පළ මා අතින්
රඹ කඳක් සිටු­වලා සැර­සු­වෙමි ගොක් පතින්
මට කිසිත් උරුම නැත මා හැදුව සම්ප­තින්
කවුද මා ගෙන යන්නෙ පුතුණි හෙට කර­ම­තින්

තල්ග­ම්පල ගුණ­සේන


හැලියේ බත ඉදෙන තුරු

නෙක - නෙක ගැටලු බාධක මතු වුණු විටදී
විසඳා ගත යුතුය නිසි කල නිසි පරිදි
තීරණ තනිව ගෙන වැඩ­කළ විට වැරදී
දිවි මඟ කරන සට­නෙදි නිත­රම පරදී

කළ­යුතු - නොකළ යුතු - කිව යුතු නොකිව යුතූ
හරි දෙය, වැරදි දෙය, පටලා නොගත යුතූ
ඇස දුටු පම­ණින්ම නොසොයා නියම තතූ
පිළි­ගනු එපා වැන­සෙයි ජීවි­තය මතූ

සම­බර යුග දිවිය මධු­රස ගුලා­වකී
සිරි­කත වසඟ කළ හැකි හොඳ ඉනා­වකී
ගුටි බැට අඬ දබර ඇති තැන අපා­යකී
සම­ගිය සතුට රැඳී පැල දෙවි විමා­නෙකී

සැක­යෙහි බීජ හද කුටි­යෙහි තිබෙන තුරූ
පවු­ලෙහි සම­ගි­යට මාවත කපනු බොරූ
පව­සමි මේක උප­මා­වකි කනට හුරූ
"අඹු සැමි බේද හැලියේ බත ඉදෙන තුරූ"

ඒ. විතා­රණ


මල් සරෝ

සම­පාත අද­හස්
නොග­ළපා හද­වත්
විද­තොත් මල් හී
බැඳෙන පම­ණින්ම ලිහෙ­තැයි
ගලයි අතො­රක් නැතිව පැමි­ණිලි
මල්සරෝ...
චිරා­ගත නැකතෙ පිළි­ගත්
අපේ අත්සන් දෙකක් සිරි­මත්
මගේ කඳු­ළින් බොඳ­වෙලා ගොස්
වෙන් වෙලත් දැන් ගෙවී වස­රක්

ලාල් කළු­ත­රගේ


මතක සුවඳ


පසන් වු අතී­තය එක් මිහිරි සිහි­න­යකි
වස­න්තය සිනාසී මලවි නික්මුණු සෙයකි
නිසං­සල වී ලොවම අඳුර වැල­පෙන ලෙසකි
අසන් කඳු­ළින් ගයන සෙනෙ­හසේ ගීත­යකි

සරා­විත් සසර මඟ දිග සිනා­සෙන ලෙසක
පුරා දම් පාරමී හමු­වුණේ පෙර දිනෙක
අරා සිහ­සුන් කිරුළු සෙනෙහෙ බර වූ ලොවක
පරා­දී­සය බිඳි තැවුල් සපි­රුනි සිතක

එකම ඉත්තක මලකි බමර රැව් සුව සැදී
මක­ර­න්ද­යෙන් පිරී වික­සි­තව සුවඳ දී
නෙත පැතුම් බොඳ වෙවී අම පහස ගියෙ සිඳී
අකල් වැස්සක් නැඟී ගිලි­හුණේ හද බිඳී

බොඳ සිහි­න­යක් නොවී මතක සුව­ඳක් වෙසින්
බිඳවා සුසුම් කඳුළු බැඳුණු සිත් අනු­හ­සින්
අඳවා දෙනෙත් සොඳුරු රූ දසුන් සෙනෙ­හ­සින්
සඳ මගේ ඔබ යළිත් සිනා­සෙන් පෙර ලෙසින්

ශාරිකා කරු­ණා­ති­ලක


අම්මා ගිහින් තුන් මසක්

මත­කයි කුඩා සන්ධියේ එල්ලී දෑත
හුර­තල් වුණා සෙනෙ­හස විඳ පින්සාර
දෝතට ගත්තා මල් කැකු­ළක් විල­සේම
නුඹෙ ආදරේ අම්මේ මහ­මෙර සේය

දරු­වන් හය දෙනෙක්
උන් මට වැඩි නෑය
ආඩ­ම්බ­රෙන් කීවේ නුඹ හැම­දාම
නැහු­ණත් මුළු දවස
පෙන්නුවේ නැහැ වෙහෙස
අපි නැළ­වුණා
හිනැ­හෙන නුඹෙ ඇස් ගාව

අපි ලොකු වුණා, කාලය පියඹා ඈත
කුරි­රුය සොබා­දම අව­නත නැත අපට
යන්නට ගියා නුඹ එක් මහ රෑක
පාළුයි අම්මේ ගෙවූ ඒ හැම දින අපට
දැන් තුන්ම­සකි අම්මේ නුඹ නැතිව
නෙත ඉකි­ග­සයි කඳු­ළැලි වාවනු බැරිව
අප අත් හරිනු බෑ කිව්වේ බොරු­ව­ටද
සුර­ලොව සිටන් ඇවි­දින් ගන්නට බැරිද?

කාන්ති කණ්ඩම්බි


රිදුම්


පමා­වෙන තර­මට හිත
තවත් තනි­කඩ වුණා
ලොවට රහ­සින්
අන් ළඳුන් විල­සට
මටත් කඳුළු සැලුණා
හිත රිදුණු තැන් වැඩි නමුත්
ලස්ස­නම දවස් ඒ මතකෙ තිබුණා
අතී­තය පසු­කර වත්මන ද නොතකා
හිත තවත් දුරක ඇදුණා
සිහින වැල් මත පිපුණු මල්
හඬා නොදො­ඩාම මියැ­දුණා
ගෙවී ගිය කාලය අතී­තෙන්
සොයා මමත් මෙතැ­නම සිර­වුණා

නිපුනි සන්ධ්‍යා රුද්‍රිගූ


දිය පොද

හිරු මලයි දැවෙන්නේ පලු මාර ගස් අතර
දෑත සිප වැල­ඳ­ගෙන පිපෙයි කර­ගැට නිතර
ඇතා වැටි මොර­යායේ දවාලා හිරු දහර
කව­දාද තාත්තේ තෙමෙන්නේ වැහි අතර
රණ­වරා දිය­පො­දින් උගුර කට තෙමෙන්නේ
පන්හෙ­විලි ගෙපැල යට හෙට දවස හොයන්නේ
හොට බරියො රෑ දෙගොඩ දඬු වැටයි කඩන්නේ
ලොවම නිදි­ගත් රැයක හඳට කවි කියන්නේ
කනාටු සුළඟේ එතී වැහි වලා ගිහින් දුර
නුඹ නැකත් බල­න­වද අහ­ස්තල වැහි බිනර
බොර­ඹ­යත් දිය රහිත මහ­ලුව ඇත වැතිර
වැහි වලා නැති­දාට කුමට දේදුනු අඹර

චන්ද්‍ර­සිරි මුණ­සිංහ


දැක්ම

මාස ගණ­නක් වැස්ස එක දිගට නොනැ­වතී
පසු පසින් ලුහු­බැඳි හැම තැනම එති එතී
දකි­න්නට අමා­රුයි සැනසු මෙහි හිත­වතී
කර බිඳෙන කොඳු කැඩෙන දුක්ගි­නිය විඳ නැතී

බිම් බරක් බර බිමින් තැබු පමණි එම කරේ
සිය දහක් එබ­ඳු­බර පොදි නැවත ගොනු කෙරේ
සිතූ මුත් දොර­ක­ඩට ළංවෙන්න සුර­පුරේ
කළ තරම් පවු­ව­ලට අපා­යට දොර හැරේ

මට අයත් වැඩ කොටස මම කරමි පසු නොබා
ඔබත් ඉන් පුර­වන්න ඹබේ මල්ල ඔබ ඹබා
කන් යොමා නෙත් විදා දැන ඇඳින ලෝසුබා
ඉහ­ළන්න තල් අත්ත නැති තැනදි වැහි කබා

මැන්ඩිස් රාජ­ක­රුණා


ප්‍රාර්ථ­නාව


ගිනි රස්නේ
විඳ විඳ
ගන අඳුරේ
අත ගා ගා
මා දකින
සුබ රුව
ඔබයි
නොවේවා!
ඔබට මා
එහි
අනිත් පස

ජය­සිරි මුණ­සිංහ


විය­පත් අවු­රුද්ද

අඩ­සිය වසක් පසු­කර ජීවන ගමනේ
අසූව දස­ක­යත් පහු කර­ලයි ඉන්නේ
ගැට­වර තුරුණු මැදි­විය පසු­කර ඉන්නේ
සිටි­යත් එදා මෙනි බක් මහ සුව දැනුණේ

නව දම්ප­තින් තුරු­ලිය කල එළි වන්නේ
සියො­තුන් නටයි ඒ මත ගී ගය මින්නේ
මා දං හිඹුටු බෝවි­ටියා සොය මින්නේ
ලඳු­වල දුව පැනපු හැටි සිහි­යට එන්නේ

මල් මල් ගවුම් පොඩි ඇඳ­ගෙන රංචු ගැසී
ඔන්චි­ල්ලාව ළඟ වාරම් ගයපු හැටී
චග්ගුඩු කියා වෙල් එළියේ දුවපු හැටී
ඒ හඬ තවම දුර ඈතින් කනට වැදී

සීතා ජය­සු­මන


කණ කොක් සුද

හඬ ඉමි­හි­රිය - කුරි­රුය - දරු­ණු­මය අත
දෙතො­ලෙහි ගලයි මී පැණි පිරි සිනහ වත
ලේ මාපිල් - පොළොං - කුණ­කටු - දෙබර දත
හද­වත පුරා - තුන්යම බඳින බණ පොත

සිරි­කත වඩ­ම­ව­න්නට අප වෙතට නිතී
පිය­විලි එළ­න්නට දෑතම කමත කිකී
කට­යුතු අතර පා පර­හිත නිතර ගතී
බොරු වළ­වල් කපයි - ජම්මේ පුරුදු ඇතී

රස ගුණ දැනෙන්නේ කත් මලු කන කොටය
මහ ගිනි කඳක මුල ඇත්තේ අළු යටය
දුර දිග නුදුටු සඳ ජීවන මඟ කොටය
කණ කොක් සුද පෙනෙන්නේ ඉගි­ළෙන විටය

රණ­ගල සම­ර­සේන

Comments