
රන්මිණි නිධානය
දැල්වෙන පහන්සිල මෙන් ජීවිතය කෙටී
හැත්තෑ වසක් උන් කරුමයක ගැටී
වම් අත කකුල පණ නෑ සැත්කමක හැටී
නිවහන සිරි ගෙයක් වී කල් ගෙවමි වැටී
අනුරාපුර, පොළොන්නරු, කිරි වෙහෙරෙහි ද
මහියංගණය, සිරිපා, කඳු මුඳුනෙහි ද
කළුතර බෝධියේ, කැලණිය වෙහෙරෙහි ද
සිහිවේ එදා කළ පිංකම්, මා කොහි ද
සැප දුක බෙදාගෙන නෑ මිතුරන් අතර
මා කල්ගත කලක් පුළුවන් ද නිතර
මගෙ පොඩි පවුලෙ සාමාජිකයන් අතර
කැපවිය හැකි කෙනෙක් නෑ මට මං විතර
පාසල්, දහම් පාසල් ගිය ළපටි වියේ
කළ කී සියලු දේ සුන්දර මතක තියේ
පන්සල කඨින පෙරහැර ගම කරන තුයේ
කනගාටුවක් නෑ, මා දැන් මහලු වියේ
නොසිතූ පරිදි අවුරුදු දොළහකට පෙර
දඹදිව යන්ට ලැබුණා ලොකු පින කි තිර
ඒ මහණීය කුසලය පරලොවට බර
රන්මිණි නිධානයකැයි මා සිතමි දුර
සිරිසෝම කළුකීර්ති
මාතුගාම සෙවණැල්ල
සිත පෙළනා අන්ධකාර සිතුවිලි
නිමා කරලයි ඔබෙ දිගු හසරැලි
සිත තෙමා පිරිමදිනා කොඳ කැකුළී
ඔබම තමයි මගෙ දිවි සැනසී
සසර කතර මැද පීඩිතව සිටිනා සඳ
අත අත නෑර මා සමඟ දුක් ගැහැට විඳ
නේක පිරිපත් අවමන් සෝ සුසුම් මැද
ඔබයි එන්නී පසුපසින් සෙවණැල්ල ලෙද
රෝග පීඩා දුක්ඛ ගංඟා සමඟ පිහිනා
මාරයාට පවා නොබියව සරදම් කරනා
ඔසු පැන් පිරිත් පැන් කරමින් නිබඳ පොවා
ඔබයි සංසාරේ දුක් විඳින්නී මා නමිනා
මා රැක මාතුගාම ව ඔබ පිරූ පිරුමන්
හද ලෙන තුළ පවතී බිතු සිතුවම් රූ මෙන්
මතු අත්භවයෙකු උපන්නොත් මේ ලෝකේ
ඔබම පතමි නොවෙනස් ඉර හඳ මෙන්
නයන්ත ජගත් පුංචිහේවා
පරිසර මිහිර
නිලට නිලේ තුරු ලිය මන බැන්දේය
මිහිකත සිඹ සිඹ මඳ නල ඇදේය
පියකරු උදෑසනක පිනි බිඳු බැදේය
සිතක කවි සිතුවිලි රොද බැදේය
ඇළ දොළ ගංගා සිලි සිලියේ ගලනවා
කෙත් වතු සරු සාරව ඈතට පෙනෙනවා
ඈතින් මෑතින් විහඟ කුජනය සවනට ඇසෙනවා
පරිසර මිහිරියාව සිතට ගතට සතුට ගෙනෙනවා
සිඳු රළ පෙළ වෙරළෙ හැපී දිවෙනවා
කඳු වටා මීදුම් සළු එතී දඟ කරනවා
සමනල රෑන් රෑන් මල් මත රඟ දෙනවා
පරිසර මිහිරියාව සිතට ගතට සතුට ගෙනෙනවා
සුනේත්‍රා ප්‍රේමසුන්දර
සින්නතම්බී
මානිපායි සින්නතම්බි
කොළඹ ආවේ පුංචි කාලේ
හොඳම යාළුවෝ එදා ඉඳන් අපි
කොටහේනේ හතේ වත්තේ...
රාකඩ පේළියේ ඔසරිය ඇඳගෙන
මුරුක්කු, වඩ, කඩල වික්ක
හැඩකාර, කටකාර සෙල්ලම්මා
සින්නතම්බිගෙ අම්මා...
කොළොම් තොටේ නගර සබේ
ලොකු ලොකු මහත්තැන්ලාට
බත් පිඟන් බෙදූ සෙල්ලයියා
සින්නතම්බිගෙ අප්පා...
සින්නතම්බි ඒ කාලේ
මගේ කරේ පලන්දාපු
ශිව දේව ඇට මාලය
අද මගේ ගෙලේ නොතිබුණාට...
සින්නට මම තෑගි දුන්නු
සුදු යකඩ බෝ කොළ මාලය
සින්නාගේ පපුව මැද
අදත්... මේ දැනුත්
සුදට සුදේ දිලිසෙන හැටි....!
ගොංගිතොට සරත්
කඳුළක්
පාළුව තනිකම
රුදුරු ලෙසින් එන
මුළු ජීවිතයම
වසා ඇති...
සැනසුම ගෙන දෙන
සෙනෙහස බිදුවක්
දෙනෙතට හමු වන
ඉමක නැති...
සෙනෙහස නොමැතිව
පෙම් කළ වරදට
දිවියම කඳුළට
වෙලා ගැති
අප වෙනුවෙන් අප
ඉපදි ඇති මුත්
දෛවය ආසිරි
පතා නැති...
ආරියලතා දහනායක
සමරමු විරු විකුමන්
විකුම් රවුළු තෙද පැතිරූ දිනේ පටන්
උතුම් අභය පණ්ඩුක පෙළ පතේ සිටන්
දැකුම් තබා දිනු බිම හදවතේ කොටන්
රැකුම් පිණිස පසුබා නැත කළා සටන්
සැහැසි සතුරු බලමුළු බිඳිමින් පොරණේ
වහසි බිණුව නිවටුන් පලවා හැරුණේ
සදිසි මිහිඳු සේමයි අසිපත් දැරුණේ
හදිසි නොවෙමු පසසු රණගොස වරුණේ
පලා පැහැය දිදුල රුවන් ලක් දෙරණේ
දූලා මුතු මැණික් වෙතටද ලොබ බැඳුණේ
නෙළා රැගෙන යන්නට ඵලබර රිසිනේ
හෙළා බැලුම් නොරටුන් මේ වෙත ඇදුනේ
කෙම්බිම මෙයයි සුරපුර අසිරිය රැඳුණු
පින්බිම සීකඩව ආගම් කුල බෙදුණු
රන්බිම උරුම රැකගන්නට යුද වැදුණු
උන් බිම වැලඳ ගති අතහැර දිවි තුරුණු
විදර්ශා පතිරත්න
පුතුණේ මේ රට ඔබගේ
සිනිඳු වලා පෙති වියන් බඳිනවා
රන් කොත් පෙළ රැකවරණ සදනවා
සුදු බුදු රැස් දිය දෝර ගලනවා
බෝ පත් ආසිරි පවන් සලනවා
ඉර මල පුදින මේ රට ඔබගේ
සඳමල හිනැහෙන මේ රට ඔබගේ
උල්පත් දලුලන කඳු රැලි සිරසේ
මේ රට ඔබගේ මේ රට ඔබගේ
දෙරණ වැලඳ ගෙන දෝතින් පුතුණේ
රන්සුණු වන් පස පෙරළණු පුතුණේ
ඩා මුතු වරුසා සදමින් පුතුෙණ්
රන් මුතු වරුසා සදමින් පුතුණේ
පුෂ්පලතා විද්‍යලංකාර
එය හොඳම කවියකි
හදෙහි බිතු තෙරපා රුදාදී
කවි පුතකු බිහිකරනා මොහොතේ
ඉනුවේද කවි නෙනට කඳුළක්
දුකටද සතුටට ද
නැඟුණේ එම කඳුළ
කිව නොහැකි වුවද
හොඳම කවියකි ඒ
එම්. චන්ද්‍රපාල
ඇවිද යන්නම් නුඹේ වී
මහමෙරක් ආදරේ තැවරූ
නෙතඟ බැල්මක තුරුලු වී
නොකී දහසක් කතා ඇතිරූ
දෙතොල් පෙති ළඟ නතර වී
නුරාවෙන් පිරි නෙතඟ මැතිරූ
ප්‍රේමයේ ඉම වහන් වී
ඇවිද යන්නම් සෙනෙහෙ වැපුරූ
ආත්මය මත නුඹේ වී...
කොපුල් තල මත දෙතොල් තවරා
ආදරේ උණුසුම තියා
ගැහෙන ළමැදේ නළල අතුරා
සෙනෙහසේ රස තැන් සොයා
සවන් යුග මත සුසුම් තවරා
උමතුවෙන් පෙම් කවි කියා
ජීවිතේ නුඹ නමින් තවරා
ළඟින් ඉන්නම් නෙත් පියා...
විරාජ් හෙට්ටිආරච්චි
අම්මා
රළු සයුරේ පහන් තරුව බඳු
මහ කතරේ සෙවණැල්ල බඳු
මඳ සුළගේ මෘදු පින්න බඳු
අම්මා නුඹයි මා නිරතුරු නැමැදු
කතර කතර ගෙවුණ කාල බිඳු
මෙනෙහි කරයි ඔබෙ ගුණ විරිදු
නිම වුවද ඔබෙ පෙම මෙබඳු
නිම නොවේ මතකයන් නිබඳු
කේ.ඩී.සාරා උදයංගනී
මිහිකතගේ කඳුළු
උදාගිරින් හිරු කුමරුන් ලොවට වඩින්නේ
තුරුලිය නෙක වන විහඟුන් සැමත් සිටින්නේ
සොඳුරු පියුම් යළි පිබිදී දසත රැදෙන්නේ
සොබාසිරිය මේ ලෙසටයි ලොවට කියන්නේ
හරිත යාය දස අත යළි යළි විහිදෙන්නේ
මුව ගෝනුන් නොවේද එහි රසය ලබන්නේ
හෝ ගාමින් මහ සයුරත් බලා සිටින්නේ
රළපෙළ අතරේ අපුරු රටා මවන්නේ
ජල කෙළි කරමින් මින් රළ පීනා යන්නේ
කෙමෙන් කෙමෙන් කාලය ගතවෙන්නේ
මුළු ලෝකෙම දැන් හැල්මෙ ගමන් කරන්නේ
මිහි මඬලේ රුව ගුණ ටික ටික වියැකෙන්නේ
මනුසත් දරුවනි මා දෙස කිම නොබලන්නේ
මිහිකත් මව සිහින් හඬින් කඳුළු සලන්නේ
උණු කඳුළින් මුළු ලොව දැන් සේදී යන්නේ
මිහිකත රැකුමෙන් නොවෙද ලොව දිදුලන්නේ
පවිත්‍රා නානායක්කාර
යසෝදරාවක් වු බිරියට
නැති බැරිකම් මැද හිතේ දුක දරාගෙන
නිහඬවම දුක විඳින හන්දා
දර දිය ඇදගෙන මේ තරම් වෙහෙසෙන්න
නුඹට තව පුළුවන්ද මන්දා
තනි නොතනියට මගෙ හිටිය පුන්සඳ වගේ
දිරිය දුන් ජීවිතය කැන්දා
දෙව්ලොවට වැඩිය මගෙ අම්මා වෙනුවට
දැන් නුඹයි මට මගේ අම්මා
ප්රියරාජ් සිල්වා
පුතුණි!
සත සහස් කල්පයක් බව සසරෙ සැරිසරා
නතරවුණු මිනිස් ලොව නැඟේ ගිනි බුරබුරා
චිතකයේ දවෙන වට මගේ මුල් මුනුපුරා
හතර රියකක පොළොව ලොකු පුතුට වෙන්කළා
ලේ කඳුළු දහදියෙන් අටවගත් නිවහනේ
ජීවිතය දුටුව අඩුනැතුව මා පිය සෙනේ
මා අතින් නැත කිසිත් දරුවනට අඩුවුණේ
නෑ ගෙදර ලොකු පුතා කාලෙකින් පැමිණුණේ
කැදැල්ලක් හදාගෙන මහගෙයින් වෙන් වෙලා
හිටියාට අම්මාගේ උණුහුමට ළංවෙලා
බත්කටක් කන්න ලොකු පුතා එන මං බලා
තවම ඇය හිඳිනවා නැත පැතුම් සුන්වෙලා
නුඹ විසින් හැදිය යුතු සෙහොන් පළ මා අතින්
රඹ කඳක් සිටුවලා සැරසුවෙමි ගොක් පතින්
මට කිසිත් උරුම නැත මා හැදුව සම්පතින්
කවුද මා ගෙන යන්නෙ පුතුණි හෙට කරමතින්
තල්ගම්පල ගුණසේන
හැලියේ බත ඉදෙන තුරු
නෙක - නෙක ගැටලු බාධක මතු වුණු විටදී
විසඳා ගත යුතුය නිසි කල නිසි පරිදි
තීරණ තනිව ගෙන වැඩකළ විට වැරදී
දිවි මඟ කරන සටනෙදි නිතරම පරදී
කළයුතු - නොකළ යුතු - කිව යුතු නොකිව යුතූ
හරි දෙය, වැරදි දෙය, පටලා නොගත යුතූ
ඇස දුටු පමණින්ම නොසොයා නියම තතූ
පිළිගනු එපා වැනසෙයි ජීවිතය මතූ
සමබර යුග දිවිය මධුරස ගුලාවකී
සිරිකත වසඟ කළ හැකි හොඳ ඉනාවකී
ගුටි බැට අඬ දබර ඇති තැන අපායකී
සමගිය සතුට රැඳී පැල දෙවි විමානෙකී
සැකයෙහි බීජ හද කුටියෙහි තිබෙන තුරූ
පවුලෙහි සමගියට මාවත කපනු බොරූ
පවසමි මේක උපමාවකි කනට හුරූ
"අඹු සැමි බේද හැලියේ බත ඉදෙන තුරූ"
ඒ. විතාරණ
මල් සරෝ
සමපාත අදහස්
නොගළපා හදවත්
විදතොත් මල් හී
බැඳෙන පමණින්ම ලිහෙතැයි
ගලයි අතොරක් නැතිව පැමිණිලි
මල්සරෝ...
චිරාගත නැකතෙ පිළිගත්
අපේ අත්සන් දෙකක් සිරිමත්
මගේ කඳුළින් බොඳවෙලා ගොස්
වෙන් වෙලත් දැන් ගෙවී වසරක්
ලාල් කළුතරගේ
මතක සුවඳ
පසන් වු අතීතය එක් මිහිරි සිහිනයකි
වසන්තය සිනාසී මලවි නික්මුණු සෙයකි
නිසංසල වී ලොවම අඳුර වැලපෙන ලෙසකි
අසන් කඳුළින් ගයන සෙනෙහසේ ගීතයකි
සරාවිත් සසර මඟ දිග සිනාසෙන ලෙසක
පුරා දම් පාරමී හමුවුණේ පෙර දිනෙක
අරා සිහසුන් කිරුළු සෙනෙහෙ බර වූ ලොවක
පරාදීසය බිඳි තැවුල් සපිරුනි සිතක
එකම ඉත්තක මලකි බමර රැව් සුව සැදී
මකරන්දයෙන් පිරී විකසිතව සුවඳ දී
නෙත පැතුම් බොඳ වෙවී අම පහස ගියෙ සිඳී
අකල් වැස්සක් නැඟී ගිලිහුණේ හද බිඳී
බොඳ සිහිනයක් නොවී මතක සුවඳක් වෙසින්
බිඳවා සුසුම් කඳුළු බැඳුණු සිත් අනුහසින්
අඳවා දෙනෙත් සොඳුරු රූ දසුන් සෙනෙහසින්
සඳ මගේ ඔබ යළිත් සිනාසෙන් පෙර ලෙසින්
ශාරිකා කරුණාතිලක
අම්මා ගිහින් තුන් මසක්
මතකයි කුඩා සන්ධියේ එල්ලී දෑත
හුරතල් වුණා සෙනෙහස විඳ පින්සාර
දෝතට ගත්තා මල් කැකුළක් විලසේම
නුඹෙ ආදරේ අම්මේ මහමෙර සේය
දරුවන් හය දෙනෙක්
උන් මට වැඩි නෑය
ආඩම්බරෙන් කීවේ නුඹ හැමදාම
නැහුණත් මුළු දවස
පෙන්නුවේ නැහැ වෙහෙස
අපි නැළවුණා
හිනැහෙන නුඹෙ ඇස් ගාව
අපි ලොකු වුණා, කාලය පියඹා ඈත
කුරිරුය සොබාදම අවනත නැත අපට
යන්නට ගියා නුඹ එක් මහ රෑක
පාළුයි අම්මේ ගෙවූ ඒ හැම දින අපට
දැන් තුන්මසකි අම්මේ නුඹ නැතිව
නෙත ඉකිගසයි කඳුළැලි වාවනු බැරිව
අප අත් හරිනු බෑ කිව්වේ බොරුවටද
සුරලොව සිටන් ඇවිදින් ගන්නට බැරිද?
කාන්ති කණ්ඩම්බි
රිදුම්
පමාවෙන තරමට හිත
තවත් තනිකඩ වුණා
ලොවට රහසින්
අන් ළඳුන් විලසට
මටත් කඳුළු සැලුණා
හිත රිදුණු තැන් වැඩි නමුත්
ලස්සනම දවස් ඒ මතකෙ තිබුණා
අතීතය පසුකර වත්මන ද නොතකා
හිත තවත් දුරක ඇදුණා
සිහින වැල් මත පිපුණු මල්
හඬා නොදොඩාම මියැදුණා
ගෙවී ගිය කාලය අතීතෙන්
සොයා මමත් මෙතැනම සිරවුණා
නිපුනි සන්ධ්‍යා රුද්‍රිගූ
දිය පොද
හිරු මලයි දැවෙන්නේ පලු මාර ගස් අතර
දෑත සිප වැලඳගෙන පිපෙයි කරගැට නිතර
ඇතා වැටි මොරයායේ දවාලා හිරු දහර
කවදාද තාත්තේ තෙමෙන්නේ වැහි අතර
රණවරා දියපොදින් උගුර කට තෙමෙන්නේ
පන්හෙවිලි ගෙපැල යට හෙට දවස හොයන්නේ
හොට බරියො රෑ දෙගොඩ දඬු වැටයි කඩන්නේ
ලොවම නිදිගත් රැයක හඳට කවි කියන්නේ
කනාටු සුළඟේ එතී වැහි වලා ගිහින් දුර
නුඹ නැකත් බලනවද අහස්තල වැහි බිනර
බොරඹයත් දිය රහිත මහලුව ඇත වැතිර
වැහි වලා නැතිදාට කුමට දේදුනු අඹර
චන්ද්‍රසිරි මුණසිංහ
දැක්ම
මාස ගණනක් වැස්ස එක දිගට නොනැවතී
පසු පසින් ලුහුබැඳි හැම තැනම එති එතී
දකින්නට අමාරුයි සැනසු මෙහි හිතවතී
කර බිඳෙන කොඳු කැඩෙන දුක්ගිනිය විඳ නැතී
බිම් බරක් බර බිමින් තැබු පමණි එම කරේ
සිය දහක් එබඳුබර පොදි නැවත ගොනු කෙරේ
සිතූ මුත් දොරකඩට ළංවෙන්න සුරපුරේ
කළ තරම් පවුවලට අපායට දොර හැරේ
මට අයත් වැඩ කොටස මම කරමි පසු නොබා
ඔබත් ඉන් පුරවන්න ඹබේ මල්ල ඔබ ඹබා
කන් යොමා නෙත් විදා දැන ඇඳින ලෝසුබා
ඉහළන්න තල් අත්ත නැති තැනදි වැහි කබා
මැන්ඩිස් රාජකරුණා
ප්‍රාර්ථනාව
ගිනි රස්නේ
විඳ විඳ
ගන අඳුරේ
අත ගා ගා
මා දකින
සුබ රුව
ඔබයි
නොවේවා!
ඔබට මා
එහි
අනිත් පස
ජයසිරි මුණසිංහ
වියපත් අවුරුද්ද
අඩසිය වසක් පසුකර ජීවන ගමනේ
අසූව දසකයත් පහු කරලයි ඉන්නේ
ගැටවර තුරුණු මැදිවිය පසුකර ඉන්නේ
සිටියත් එදා මෙනි බක් මහ සුව දැනුණේ
නව දම්පතින් තුරුලිය කල එළි වන්නේ
සියොතුන් නටයි ඒ මත ගී ගය මින්නේ
මා දං හිඹුටු බෝවිටියා සොය මින්නේ
ලඳුවල දුව පැනපු හැටි සිහියට එන්නේ
මල් මල් ගවුම් පොඩි ඇඳගෙන රංචු ගැසී
ඔන්චිල්ලාව ළඟ වාරම් ගයපු හැටී
චග්ගුඩු කියා වෙල් එළියේ දුවපු හැටී
ඒ හඬ තවම දුර ඈතින් කනට වැදී
සීතා ජයසුමන
කණ කොක් සුද
හඬ ඉමිහිරිය - කුරිරුය - දරුණුමය අත
දෙතොලෙහි ගලයි මී පැණි පිරි සිනහ වත
ලේ මාපිල් - පොළොං - කුණකටු - දෙබර දත
හදවත පුරා - තුන්යම බඳින බණ පොත
සිරිකත වඩමවන්නට අප වෙතට නිතී
පියවිලි එළන්නට දෑතම කමත කිකී
කටයුතු අතර පා පරහිත නිතර ගතී
බොරු වළවල් කපයි - ජම්මේ පුරුදු ඇතී
රස ගුණ දැනෙන්නේ කත් මලු කන කොටය
මහ ගිනි කඳක මුල ඇත්තේ අළු යටය
දුර දිග නුදුටු සඳ ජීවන මඟ කොටය
කණ කොක් සුද පෙනෙන්නේ ඉගිළෙන විටය
රණගල සමරසේන