කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

මට හිතුන ජනකවි

 

ට්‍රැක් තුනකින් පාරට ගල් දමන්නේ

ජේසීබී සද්දෙට නිදි කැඩෙන්නේ

අප්පච්චිත් පාරේ වැඩ කරන්නේ

මධුවිත තොල තෙමන් හැන්දෑවට එන්නේ

 

වෙල් යායේ ගොයම වේළී තියෙන්නේ

පෝර නැති නිසයි පාරට බසින්නේ

ග්‍රොසරි වලත් මිල අහසට නඟින්නේ

කොයි එකටත් නැති අපිමයි තැළෙන්නේ

 

චූන් පාන් එන හඬ නැත ඇහෙන්නේ

ත්‍රීවිල් එකත් පා‍ෙර් නැත පෙනෙන්නේ

හෝටල් මිල දුටුවිට පපුව දන්නේ

සාක්කුව තමයි ගින්දර දල්වන්නේ

 

කේ.ජී. සංඝදාස

 


පන්සිළුය අපගේ

 

ලොවේ පතළ ගාන්ධර්ව අපදානෙකි

සුගැයුම ලාංකීය කැඩපත වී

භාරතයේ ශිල්ප ලබා රටක් දිනූ

"අමරදේව" නම් වූ අපගේ පන්සිළු

 

පැටිවියේදි වයලීනය තිළිණ ලබා

පියවර තැබුවේ භාත්ඛණ්ඩෙ සරසවියට

පද්ම ශ්‍රී, පණ්ඩිත්, ආචාර්ය, මැග්සසියේ

මුක්තහාර ගෙල පැලඳූ උපහාරේ

 

මහකන්දක් තරණය කර සුනිල් සරත් සමඟ

එසැණ කවිය ගීයක් විය ඒ ගමනේ

ඇයි කළේ යමෙක් ආලේ බණත් කියා

නළුවෙක් වී අපිස් දිවියෙ තපස ලබා

 

හන්තානේ කඳු මුදු සිසාරා

පෙම්වතුනගෙ ස්නේහයේ ස්වර ඇසුනා

ප්‍රේම තටාකේ පිහිනා ගුවන්විදුලි ගී නළුවේ

පරිකල්පන වේදිකාව ජයගත්තේ

 

නන්දසිරි හෙට්ටිආරච්චි


අනුස්මරණය

 

කනත්ත පාරේ

ගිය අය සිහිකර

තනියම වැනෙනා

සුදු කොඩියක්

 

එම්.චන්ද්‍රපාල


සුරතල් දියණී

 

හින­ැහෙමින් මා වටා

දෙඅත් පොඩි තළමින්

විටෙක ඔබ මොබ වැටී

වැටි වැටී නැඟිටිමින්

විඩාබර දෙනෙතට ගතට

අස්වැසිල්ලක් සේ

නුඹ දකින්නට නොවෙද

ම සිත ඉකිබිඳින්නේ

වෙන සැපක් කුමකටද

නුඹ ඉන්න තුරාවට

නුඹත් සරි මගෙ පණත් සරි

මගෙ ලොවේ රජ කුමරියේ

 

මේනකා ජයසිංහ


හිමි පුතු වියෝව

 

සාමය සතුට සෙනෙහස හැමදින පාලා

යන්නට ගියා ඔබ අප සෝ ගින්නේ දාලා

කොපමණ ඉවසුවත් සැනසිල්ලේ ඉමු කියලා

කෙලෙසද දිවි ගෙවන්නේ දුක්ගිනි ඉවසාලා

 

නොසිතූ විටෙක ඔබ අප දා දුක් ගින්නේ

ගියෙ ඇයි හිමියනේ පුතුණේ අප අතහැර ගියේ

ඔබේ මවත් සොයුරියත් සැම වැලපෙන්නේ

අකල් වියෝවකි පුතු, සොහොයුර ඔබට වු‍ණේ

 

කිසිකල මෙවන් දුක්බර වේදනාවන්

ඇතිවෙන්නට එපා සසරේදී මෙවන්

පින් පමුණුවමු පිය පුතුහට පතා නිවන්

ඔබ දෙදෙනා නැවත සසරක අප සමඟින්

 

සෝමා කුමාරි බණ්ඩාරනායක


භෞතිකවාදය

 

භෞතික හෘද සන්තානයෙන්

"මම" යන්න ඉවතහල

සංවේදී ස්වාධීන මල් කැකුළු

සදාචාරයේ නිරුවතේ

කඩතුරා ඉරද්දී

හිතවාදී භෞතිකවාදියෝ

මෛත්‍රිය කුලියට ගෙන

ලාන්සර්, කොරොල්ලා පුරෝගෙන

රතු පලස පිය මනිද්දී

හඬා වැටුණේ මෛත්‍රියේ

ප්‍රතිරූපය වූ දයාව ය

 

රුවිනී දමයන්ති


වනිතාභිමාන

නීල වරල පිට මැදට වැටෙන්නේ

පීර පීර හැඩ වෙන්න නොවේ

කෙතේ කොරටුවේ වැඩ කරනා විට

ඔබේ හිසට හිරවරණ සදන්නයි

 

දුරුතු මහේ පුන් සඳට සදිසි වත

කුංකුම ගා හැඩ වෙන්න නොවේ

හදේ සොඳුරු ඔබ පිළිබිඹු කරමින්

උදේ හවස සිරියාව නඟන්නයි

 

ලේඛකයන් සිත්තරුන් රසිකයන්

හටම ඇරුණු අරමුණක් නොවේ

ජාතික ජීවය සුරකින ලලනිය

මිහිපිට මහිමය වෙන්නයි

 

සිරී පතිරණ


අත් පා මෙහෙවර

ගිම්හාන රතු නෙළුම මිලානව ගියාවෙන්

සන්තාප සෝ සුසුම සුවඳවත් වුණාවෙන්

'ආදරය' සිවු අකුරු පොකුරුපත දිලීමෙන්

මෝදුවී සුදු පියුම යුග නයන සිනාසෙන්

 

විසුරුවා පරඬලා උඩු සුළං හමාපන්

මඟවසා මල්රේණු බුමුතුරුණු එළාපන්

තටුසලා ගංහිසින් මල් අත්තෙ වසාපන්

පමා ඇයි කුරුල්ලනි නැවුම් ගී ගයාපන්

 

ගඟ පෙරටු මං තනා ඇදෙන රඟ බලා සිට

වෙරළබඩ වන වදුල මල්පොට්ටු අවදි කොට

"දිරි ගනුව - වෙර වඩව" ඔවා මිණි දෙවන විට

ඉදිරියට මිස නොයයි අන් දෙසක මගේ රට

 

ජයම්පති අල්ගම


අපරිමිත ආදරයේ සලකුණ

 

කුඹුරු කොටලා හන්දි රිදුනත් වේදනා හැමදාම හිරකර

හවස ගෙදරට ගොඩවුණේ ලොකු දුවේ කියමින් ඉස්සර

කහට උගුරක් හදලා දුන්නත් හෙව්වේ නැහැනේ සක්කර

රටල ඉන්නල කුස පිරෙව්වත් බතක් කෑවෙම රත්කර

 

නැටුම් ටීචර් කෙනෙක් වෙන්නට ලොකුම හීනය මැවුවාම

පුහුණු වෙන්නට පිඨ යන බව ඇඟිලි ගැනලා කිවුවාම

උතුම් දළදා සමිඳු පිහිටයි කියා ඇසුණා වැන්දාම

තාත්තා තුටු වුණේ දරුවන් දියුණුවට යන හින්දාම

 

දුවලා දෙන්නත් එකම පුතාත් ගෙදර නැති බව හිත හිතා

ඉන්න මොහොතේද කතා කළේ මං අහන්නට දුක සැප කතා

පත්වීම් දෙන දවස බව කියු විගසින් සුභ පතා

ගෙදර එනකොට තාත්තා නිදි තිබුණි දෙන වට මල් ගොතා

 

සමන් කේ. අබේරත්න


කඨින

"අයං වස්සාන කාලෝ"

දැන් අහවරයි

එළැඹෙන්නේ

"අයං බිස්නස් කාලෝ"

පාලිත නාරංගොඩ


මානය

පිඬු සිඟා වැඩියෙමි

මෙහෙණවර වෙත ඇදුනෙමි

එකත්පස්ව හිඳ ගතිමි

පා පියන ඇරියෙමි

දෑස් යොමු කළෙමි

දැනුණි සිතට අපුලක්

ස්වාමි දියණියක වුයෙමි

පියකරු දරුවන් ලදිමි

මහරු දිවියක් ගෙවුවෙමි

රූරා වැටෙයි කඳුළු බිඳු

සිතට වෙර ගත්තෙමි

සිහිය උපදවා ගත්තෙමි

මානය හඳුනාගතිමි

භික්ෂාව වැලඳුවෙමි

ජේ.ජී.රණතුංග


මතකය

 

පිච්ච මල සුවඳයි

පිපෙන්නේ රැයකයි

සඳ එළිය සොඳුරුයි

ගලන්නේ බිමටයි

පිනි බින්දු සිසිලයි

රැඳෙන්නේ මලකයි

කළුවරද එළියයි

ඔයා හිත ළඟමයි

තුරු ලතා සෙලවෙයි

රූ රටා අන්දයි

වෙරළු මල් නැළවෙයි

කවුරුදෝ කොඳුරයි

 

සමන් චන්දන කුමාරසිංහ


උපන් දින සුබ පැතුම්

 

ඉපදුන දිනේ සිට තනි නොකරම ඔබව

මැණිකක් රකින ලෙස රකිනෙමි ළෙන්ගතුව

දවසින් දවස වැඩෙනා සඳ පිවිතුරුව

සතුටින් ඉපිල යයි මගෙ හද නිරතුරුව

 

කොඳමල් සිනාසී ගෙවෙනා ළමා විය

නෙකමල් පිබිදිලා ගෙනදෙයි රූසිරිය

පෙම්බර පුතේ ඔබෙ සුරතල් ළමා විය

සතුටින් ගෙවන්නට දෙන්නෙමි මගෙ සවිය

 

මවු පරපුරට මැණිකක් වූ මගෙ පුතුනේ

ඔබ පැමිණියේ දෙවියන් දුන් වරම ගෙනේ

මා සිතූ විලස ඔබ යන බැව් සිතට දැනේ

එය මහමෙරකි සුරතල් මගෙ පුතු හිරුනේ

 

රසංගිකා සංජීවනී පින්නවල


සොඳුරුතම ඉසිඹුවක්

 

ඇඟිලි තුඩු තෙරපෙද්දි උරහිසට

රත් පැහැති දෙතොළඟින්

කෙඳිරියක දැවටෙනා

ආදරේ නාමයෙන් තැනු

සුන්දරම යාමයක

සෙනෙහසක් නොමැතිවුණු

වියරු ගිනි පහසක

නුඹේ සුසුම් ගෙල මතින්

දැනී නොදැනී සෙමින්

ඇතිල්ලී යන මොහොත

නුඹෙ දෙතොල් කිරි තුඩක

නැවතෙනා වෙලාවේ

කිටි කිටියෙ මුළු ගතම

හිරි වැටුණ මොහොතෙදී

ඇසුනාද හද ගැහෙන විලාපය

ඉල්ලන්නෙ උතුරනා ආදරය

නොඇසේද සෙනෙහසේ ඉකිබිඳුම

නුඹේ සුවඳ සයන මත විසිරුවා ගිය සැණින්

ඒ රිදුම් පිරිමැදුම් ඉවසනා වෙලාවෙදි

ආදරය නිසාවෙන් සිසිලකින් ළතෙත් විය

යළිත් මතුයම් දිනක

නොඑන බව දැන දැනත්

ආදරය නොමැති බව දන්න මුත්

ආදරය නිසාවෙන් ඉවසුමුත්

ආදරය නිසාමම ජීවිතේ එක් වරක්

ආදරය පුරවගත් සොඳුරුතම ඉසිඹුවක්

 

ඉරාණි නිල්මිණී අබේකෝන්


මගේ නොවෙනා නුඹ

 

වැවක් අද්දර හයිය වෙන්නට

වැව් බැම්ම තනි රකිනා

සඳත් අද්දර තුරුලු වෙන්නට

තරු පොකුරු ඇඟිලි ගැන්නා

මටත් කොච්චර හිතක් තිබුණද

නුඹ ගැන හිතනා

අදත් නිතරම හොයලා බැලුවට

ඇත්තමයි නුඹ මගේ නොවෙනා...

මුකුළුයි නුඹ මට ගඟ දොළ පාර

හොඳ හැටි එය දැන උන්නා

රූ පරදනා සීගිරි ළඳුන් දැක

නුඹව මම සම කරලා

හිත් දැලට හඳ පායා ආ ලෙස හිත්

සොරොව්වෙන් ආදරේ උතුරා

කොහේදෝ යන යෝධ ඇලකට

නුඹේ හිමිකම නුඹම ලිව්වා

වැවේ අද්දර මං තාම මුමුණනවා කඳුළු

මහවැලියටත් ලියුම් ලිව්වා ඇවිත් කිවිඳු

සිමා මායිම් බිඳ දා වැස්සත් බක් මහා වැහි කඳුළු

මින්නේරි වැව මං දරා ඉන්නේ නුඹේ හැඩරූ

 

තරිඳු කහවත්ත


ඔවා මිණි

 

මිනිසා සතෙකු මෙන් ආ එළියට කැලයෙන්

මිනිසෙකු මරයි මිනිසා පිළිබඳ සැකයෙන්

දහමය ලොවේ වටහා ගත යුතු සිහියෙන්

අවිගත් කෙනා වැනසෙයි දවසක අවියෙන්

 

නොපෙනෙයි සුළඟ කෙනකුට ළඟටම ආවත්

හෙළිවෙයි ඇත්ත බොරුවෙස් ගෙන රඟ පෑවත්

ජය අත්වේ සිතා කොපමණ පොර කෑවත්

වයිරය වයිරයෙන් නොනිමෙයි කවදාවත්

 

තිබුණත් සයුර රළ පිට රළ බඳින රොද

තිබහට වතුර ගෙනදෙයි පොඩි ගෙදර ළිඳ

කුමටද සොයන්නේ අන් උදවියගෙ ඇද

තම අඩු පාඩු පිළිබඳ විමසුමය හොඳ

 

දුසිරිත් බිරිඳ ගැන ඇයි සිත අසහනය

ඉවරයි හබය පෑ විට මැදහත් ගුණය

හෙට විසඳන්න නොසිතනු පැන නැඟි පැනය

අද විය හැකිය ඔබගේ අන්තිම දිනය

 

කුරුඳුකුඹුරේ නන්දසිරි


තරු

 

දිලි දිලි නිවෙනා

නිවි නිවි දිලෙනා

සිත සිතා නිවනා

බල බලා තුටු වනා

ගලා යන සැඩ පහරක වැටුණත්

අකීකරු ඝන මේඝයක සැඟවුණත්

කුරිරු සැඩ සුළඟකට නතු වුවත්

ගනඳුරක මිණි කුළක් සේ

දිලෙත් තරු

ලෙහෙන කුලෙන් ගත් අපරිමිත උත්සාහයෙන්

සම්බුලාවන් විලස තිර අදිටනින්

කුස නිරිඳුන් ලැබදුන් දිරියෙන්

සඳ හිරු සමඟින්

මෙදියක එළිය කරත් තරු

 

ධම්සිරි නිරිඇල්ල


ආවර්ජනය

 

"අම්මි මට කිරිපැණියි බතුයි ඕනෑ" කියා

අනේ මගෙ කිරි පුතා උදේ පාසල් ගියා

කිරි පැණියි බතුයි මම පුතුට මේසේ තියා

මඟ බලා සිටියෙමි පුතා දැන් එයි කියා

 

අද වගේ එදත් හිරු සඳු ලොවට පෑවුණා

රෑ වුණා එළි වුණා රෑ වුණා එළි වුණා

තාත්තා පුතු සොයා උමතුවෙන් දුවනවා

අඬනවා අඬනවා අදත් මම අඬනවා

 

ඇම්.ප්‍රේමා වෑදණ්ඩ


අප්පච්චී

 

මහ මෙරක් වෙලා නොසැලී සිටියා

හිරු සඳු මෙන් ආලෝකය දුන්නා

මඳ පවනක් ලෙස සිසිලස දන්නා

නිවන් දකින මගෙ අප්පච්චී

 

වෙදදුරු නොදෙනා කසාය දුන්නා

ගුරුවරයකු සේ පහදා දුන්නා

සඟ රුවනක ලෙස ඔවදන් දුන්නා

නිවන් දකින මගෙ අප්පච්චී

 

විටෙකදී අම්මා කෙනකු වුණා

විටෙකදි අඹ යහළුවකු වුණා

සොයුරු පෙමින් හද සොඳුරු වුණා

නිවන් දකින මගෙ අප්පච්චී

 

කුලරත්න එම්. රත්නායක


දඩයක්කාරයාගේ මතක සුවඳ

 

වන්නියේ පිපුණ මල නවගත්තේගම රටම

හඳුනන කලාකරුවකු විය හැම දෙනම

පෙන් වූ කුසලතා සාහිත ගැන දැනුම

මම වෙමි එදාටත් වැඩියෙන් අද පුදුම

 

"සුද්දිලා" තවම මුදලාලිට ණය වෙනවා

"සංසාරණ්‍ය අසබඩ" දුක වැඩි වෙනවා

වනයට ආදරය කළ "දඩයක් කරුවා"

පැවැත්මට පමණ දඩයම ගෙන යනවා

 

"ක්ෂීර සාගරය කලඹා" ගිය හන්දා

"සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

"සාරදාගේ මංගල්‍යය" තිබු හින්දා

"සාංකාව" ගැන ඔබ ලීවද මන්දා

 

සරසවියෙන් අතරමගදි නික්ම ඇවිත් හිතුමතේට

දිවි සැරියේ රස බැලුවේ යෞවනයේ කොලු විසේට

"සුභ යස" මෙන් " පණ්ඩුකාභ" "පුස්ලෝඩං" හරි පදමට

රඟ දක්වා වේදිකාව හැඩ කෙරුවේ යස අගේට

 

දාහත් වසරක් ගියමුත් ඔබ මතකයේ තව තියෙනවා

උපැස් යුවළ හිස්වැස්මත් කොණ්ඩය දෙපසින් පෙනෙනවා

සාහිත ලොව කලා අඹරේ නුඹේ නාමය නිති රැකෙනවා

"සංසාරන්‍ය අසබඩ" අප දවසක හමු වෙනවා

 

බිමල් හේරත් මුදලි නායක


දෙපා කවි!

 

ඊයේ පැවත්වුණ රැස්විමෙ ගම්මානේ

තේ සංග්‍රහයක්ය දෙන ලද මං ගානේ

කකුලක් බකල වපරැස් ඇති කැත නැන්දා

කිසිවෙක් සරණයට ඇය ගෙන නැත කැන්දා

 

වෙන්වුණ නිසා ඇය තරහෙන් ඉඟ ගස්සා

හදවත වියැළුණා - ඔහු පෙම් ගඟ ඉස්සා

පන්සල වෙතට ගොස් ඔහු ඇසු බණ මන්දා

කෙල්ලක් දෙස බලා සිටියා මන බන්දා

කියවා රස වින්ද පසු මෙම දෙපා කවි

ජාතියෙ දියුණුවට හදවත් කපා දෙව්

 

නාලිනී පනංගල


තාත්තේ

 

නුඹේ පොඩි පැටවු එක්ක

මහගිරිදඹ නඟින කොටමයි

ඒ ඉර වැහී කළු ගැහී

අත්වැල බිඳී ගියෙ තාත්තේ...

ඉරත් නැවතුනා එතැනම

ජීවිතේ පාඩම කටපාඩමින් කියා දුන්

තාත්තා නුඹ

ඒ අත්වැලමයි අම්මා අරගෙන

අපට අත්වැල වුණේ...

ඒ සඳත් කන්දට මුවාවී

හදගැස්ම වැඩි වුණේ

ඉරහඳත් වැසී ගිය පසු වලාකුළින්

ඉතින් කෝ එතැන ජීවිතය...

තාත්තේ නුඹ කියා දුන් පාඩමයි

අම්මා කියා දුන් මඟ නොමඟමයි

අපිට ගුරු වුණේ ජීවිතය දකින්නට

ඒ අනුහසින් සිරසා නමා

දණ නමන්නෙමු ඒ මහා කඳු පාමුල

ඔබ සිහිකර හද බැතිනා...

 

නිහාල් ගුණවර්ධන

නත්තල වෙනු­වෙන් සැක­සෙන ‘නත්තල් කවි සිළු­මිණ’ සඳහා දැන් නිර්මාණ භාර ගැනේ. ඔබේ කවි නිර්මාණ‘ නත්තල් කවි සිළු­මිණ’
සිළු­මිණ, ලේක්හ­වුස්,
කොළඹ - 10 යන ලිපි­න­යට එවන්න.
දුරකතනය 011 2429265

Comments