අහස උසට ඉහළ යන කර­වල මිල | සිළුමිණ

අහස උසට ඉහළ යන කර­වල මිල

 

රොසැල් ප්‍රනාන්දු වසර ගණනාවක් පුරා පිටකොටුවේ කරවල වෙළෙඳාම් කළ ව්‍යාපාරිකයෙකි.මේ වන විට රට තුළ පවතින ආර්ථික වාතාවරණය තම වෙළෙඳාම සදහා සෘජුවම බලපෑම් එල්ල කර ඇති බව අප සමඟ අදහස් දැක්වීමට එක් වූ ඔහු පෙන්වා දුන්නේය. දැන් 50%ක වෙළෙඳාමක්වත් දැන් සිදු වන්නේ නැත. සිල්ලර වෙළෙඳාම පමණක් නොව තොග වෙළෙඳාමද එසේමය.

 

වෙනදා කරවල කිලෝ එකක් මිලට ගත් පාරිභෝගිකයින් දැන් මිලදී ගනු ලබන්නේ ග්‍රෑම් 100,200 කි. ජීවන අරගලයට මුහුණ දිය යුතු නිසා තමන් ඇතුළු බොහෝ ව්‍යාපාරිකයින් අපහසුතා විද දරා ගනිමින් තවමත් වෙළදාමේ නිරත වී සිටියද, වෙළෙඳසැලේ සේවකයින්ගේ වැටුප් ගෙවා, විදුලි බිල, ප්‍රවාහන වියදම් ආදියද එක් කළ විට බොහෝ දිනවලදී කිසිදු ලාභයක් නැතුව පාඩුවට සිය ව්‍යාපාර කටයුතු සිදු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

වමේ සිට කර­වල තොග සහ සිල්ලර වෙළෙඳාමේ නිරත රොසැල් ප්‍රනාන්දු, රින්සි පෙරේරා, වීනස් ප්‍රනාන්දු සහ ඇන්තනි

කරවල තොග ව්‍යාපාරිකයෙකු වන වීනස් ප්‍රනාන්දුද තම ව්‍යාපාරික කටයුතු වලට මේ වන විට සිදු වී තිබෙන දුෂ්කර තත්ත්වය පිළිබදව පවසන්නේ ඉන්ධන අර්බුදය නිසා වෙනදා තරම් කරවල තොග අලෙවියට නො එන බවයි. මාළු ද හිග වීම නිසා කරවල වලට යම් ඉල්ලුමක් තිබුණත් කරවල හිඟකම හා මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති නිසා ව්‍යාපාරිකයින් පමණක් නොව පාරිභෝගික ජනතාවද දුෂ්කරතා වලට මුහුණ දෙමින් සිටින බවයි.

මීට අමතරව ප්‍රවාහන අපහසුතා හමුවේ කොළඹට පැමිණෙන ජනතාවද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව පැවසූ ඔහු වසර ගණනාවක් ව්‍යාපාර කටයුතු වල යෙදී සිටියත් මෙතරම් අපහසුවට හා දුෂ්කරතාවයන් මැද ව්‍යාපාර කටයුතු වල යෙදුණු වෙනත් යුගයක් නොතිබුණු බවද ප්‍රකාශ කළේය.

කරවල තොග වෙළෙඳාමේ නිරත වී සිටින තවත් ව්‍යාපාරිකයෙකු වන ඇන්ටන් ද අදහස් දක්වමින් පැවසුවේ පවතින ජීවන වියදම ජනතාවට දරා ගත නොහැකි වීම නිසා බොහෝ පාරිභෝගිකයින් මේ වන විට කරවල පරිභෝජනයෙන්ද ඈත් ව සිටින බවයි. ඉන්ධන මිල,ප්‍රවාහන දුෂ්කරතා වැනි හේතු මත මේ වන විට වෙනදා තරම් කරවල තොග වෙළෙදපොළ වෙත නො එන බවද පැවසූ හෙතෙම කරවල මිලදී ගැනීමට වෙනදා තරම් පාරිභෝගිකයින් පිරිසක් දැන් තම වෙළෙදසැල් වෙත නොපැමිණෙන බවද කීවේය. වෙනදා පුරුද්දට පැමිණෙන පාරිභෝගිකයින් පවා අඩු ප්‍රමාණයකින් යුතුව කරවල මිලදී ගන්නා බව පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් තම ව්‍යාපාර වලට කවර ඉරණමක් අත් වේදැයි බිය පළ කළේය.

කොළඔ කේසර් වීදියේ සිල්ලර කරවල ව්‍යාපාරිකයකු වන රින්සි පෙරේරා අදහස් දක්වමින් කියා සිටියේ තොග සහ සිල්ලර මිල වැඩිවීම හේතුවෙන් මේ දිනවල පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ අඩුවක් තිබෙන බවයි.

කරවල හිඟකම නිසා මිලත් දිනෙන් දිනම ඉහළ යන අතරම මේ දිනවල පවතින තෙල් හිඟය නිසා මුහුදු යාම සිදු නොවීම හේතුවෙන් එහි බලපෑම මාළු හා කරවල නිෂ්පාදන කෙරෙහි තදින්ම බලපා ඇති බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට ඇති බවද කීය. තෙල් ප්‍රශ්නයට නිසි විසඳුමක් ලැබුනොත් රටේ බොහෝ ප්‍රශ්න සදහා විසඳුම් ලැබෙන බවද කී ඔහු විශේෂයෙන්ම මේ වන විට සියලුම කර්මාන්ත කරගෙන යාමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇතැයිද කීය. මෙහිදී අපට වෙළෙදාම සදහා කරවල තොග මිලදී ගැනීමට පැමිණ සිටි පිළියන්දල සුමනදාස පීරිස් ද හමු වුණු අතර එහිදී අප සමග අදහස් දැක්වීමට එක් වුණු ඔහු ප්‍රකාශ කර සිටියේ කරවල මිල ඉහළ ගොස් ඇති නිසා ජනතාව වෙනදා තරම් කරවල හා වියළි හාල් මැස්සන් මිලදී නොගන්නා බවයි.

මේ නිසා සිල්ලර වෙළෙදාම සඳහා වෙනදා එක් සතියකට කිලෝ 10,20 රැගෙන ගියත් මේ වන විට එම ප්‍රමාණයන්ගෙන් අර්ධයකටත් අඩු ප්‍රමාණයක් සිල්ලර වෙළෙඳාම සඳහා රැගෙන යාමට තමන් ඇතුළු අනෙකුත් සිල්ලර වෙළෙදුන්ටත් සිදු වී ඇති බවයි.

 

Comments