ක්‍රිකට් ගහන රටවල් රවටන හොර IPL මාෆියාව | Page 2 | සිළුමිණ

ක්‍රිකට් ගහන රටවල් රවටන හොර IPL මාෆියාව

ක්‍රිකට් ක්‍රීඩාවේ ඔට්ටු තැබීමේ ජාවාරම ජයටම සිදුවන්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට පමණක් නොව විදෙස් රටවල පැවැත්වෙන ක්‍රිකට් තරගවලටත් ඔට්ටු ඇල්ලීමෙන් එරට බොහෝ ක්‍රිකට් ඔට්ටු ජාවාරම්කරුවන් මඩිය තරකර ගනිද්දී තවත් පිරිසක් ‘අලුත් සෙල්ලමක්‘ පටන් ගෙන ඇත. 

ඊයේ පෙරේදා ගුජරාට් ප්‍රාන්තයේ එක්තරා ගම්බද පළාතකදී පොලිසිය වටලනු ලැබුවේ එවැනි අලුත් සෙල්ලමකි. එය ඔට්ටු තැබීම වෙනුවෙන්ම පැවැති ක්‍රිකට් තරගයකි. එය ‘හොර‘ අයිපීඑල් තරගාවලියකි.

ගුජරාට් ප්‍රාන්තයේ මෙහ්සානා දිස්ත්‍රික්කයේ එක්තරා පාළු මුඩු බිමක පැවැත්වෙමින් තිබූ ක්‍රිකට් තරගයක් පොලිසිය විසින් වටලනු ලැබුවේ යම්කිසි සැක කටයුතු සිදුවීමක් වන බවට ලද ඔත්තුවකටය. පුදුමය නම් එතැන ක්‍රිකට් තරගයක් පැවැත්වෙන බව ඊට කිලෝමීටර් කිහිපයක් දුරින් ජීවත් වූ ගම්වාසීන් පවා නොදැන සිටීමය.

හිරු සඳු යට කිසිදු රහසක් සදාකාලික නොවන බව ඔප්පු කරමින් එසේ හෙළිදරවු වී වූයේ රුසියාවේ සුදු අන්තුවන් පිරිසක් ගොනාට අන්දවා මුදල් ගැරූ මහ පරිමාණයේ වංචාවකි.

මේ වංචා සහගත ක්‍රිකට් තරගය පවත්වා ඇත්තේ මුළුමනින්ම රුසියානුවන් රැවටීම උදෙසාය. රුසියානුවෝ ක්‍රිකට් ක්‍රීඩාවට එහෙම පිටින්ම ආගන්තුක ජාතියකි. ඔවුහු ක්‍රිකට් පිළිබඳ මෙලෝ දෙයක් නොදනිති. එබැවින් ලෝක ප්‍රකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලිය ලෙස හුවා දක්වමින් ඒ සඳහා ඔට්ටු තැබීම සඳහා රුසියානුවෝ පොලඹවා ගැනීමට ජාවාරම්කරුවන් සමත් වී ඇත්තේ එය යූ ටියුබ් වෙබ් අඩවියේ විකාශය කරමිනි. රුසියාවේ සිටින ඔට්ටු තබන්නන් ඊට සම්බන්ධ වන්නේ සමාජ මාධ්‍ය හරහා නිර්මාණය කළ එක්තරා මෘදුකාංගයක් ඔස්සේය.

මේ සියල්ල සිදු කර ඇත්තේ ඉතා සූක්ෂම අයුරිනි. එය යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ සජීවි අයුරින් විකාශය කිරීමට ද කටයුතු යොදා තිබිණ. එමෙන්ම එය තනිකරම තාක්ෂණය මුසු කර ප්‍රතිනිර්මාණය කරනු ලැබූ වීඩියෝවකි.

සැබෑ සිදුවීම නම් මේ තරග පවත්වා ඇත්තේ දුහුවිලි සහිත මුඩු බිමක ප්‍රේක්ෂකයන්ගෙන් තොරවය. එහි තවත් තැනක එක්තරා පිරිසක් තරගය වීඩියෝ ගත කරමින් සිටින අතර, එහි තිරයේ යට සටහන්ව ඇති නිල් පැහැති තීරුවක සඳහන් වන්නේ පිතිකරුවන් දෙදෙනාගේ නම් සහ ඔවුන්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාවය. ඒ අසලම කණ්ඩායමේ සමස්ත ලකුණු සංඛ්‍යාව සහ ඕවර ප්‍රමාණය ද පෙන්නුම් කෙරේ. ඉන් කියැවෙන්නේ පළමුව පන්දුවට පහර දුන් ගාන්ධිනගර් චැලෙන්ජර්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 151ක ඉලක්කය චෙන්නායි ෆයිටර්ස් කණ්ඩායම හඹා යමින් සිටින බවය.

ක්‍රිකට් තණතීරුව ලෙස සකස් කර ඇත්තේ බිමට ඇණ ගැසූ සුදු පැහැති කාපට් එකකි. තරග විනිසුරුවරුන් ද ලකුණු ලබාගැනීම් සංඥා කරමින් සිටින අතර, පිතිකරුවන් හයේ පහරවල් සහ හතරේ පහරවල් එල්ල කරන බව පෙනේ.

විනිසුරුවරුන් කෙටි විවේකයක් ලබා දෙන අයුරු වීඩියෝ පටයේ සටහන් වන අතර, තරුණයෙක් අයිස් පෙට්ටියක් රැගෙන පිටිය මැදට දිව එනු පෙනේ. පන්දු රකින්නෝ විවේක ගනිති. සාමාන්‍ය ක්‍රිකට් පිටියට දක්නට ලැබෙන ආකාරයේ ප්‍රේක්ෂක ඔල්වරසන් හඬක් හෝ විස්තර විචාරකයන්ගේ සංවාද මේ වීඩියෝව තුළ පටිගත වී නැත. ඒවා ඒ මොහොතේ වෙනත් ස්ථානයක සිට ක්‍රියාත්මක වන පිරිසක් විසින් වීඩියෝ පටයට ඇතුළත් කරනු ලබන්නකි. 

මේ සැලසුමේ මහමොළකරු රුසියානු ජාතිකයකු බව මූලික පරීක්ෂණයේදී කියැවුණද, ඔහු එරට රැකියාවක නිරතව සිටි ගුජරාට් ප්‍රාන්ත වැසියකු බව පසුව අනාවරණය වී තිබිණි. සොයිබ් ඩව්ඩා නමැති මේ පුද්ගලයා කලක් රුසියාවේ රැකියාව නිරතව සිටි අයෙකි. ඔහු මැතකදී නැවත මවුබිමට පැමිණීමෙන් පසු මෙවැනි හොර අයිපීඑල් තරගාවලියක් පවත්වා එය සජීවි විකාශයක් ලෙස යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ මුදා හරිමින් රුසියාවෙන් ඔට්ටු ගෙන්වා ගැනීමේ කූට ජාවාරම සැලසුම් කර ඇතැයි පොලිසිය පසුව අනාවරණය කරගත්තේය. ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මොලිපූර් නගර වැසියෙකි.

ඔහු රුසියාවේ සිටියදී ක්‍රිකට් ඔට්ටු තැබීමේ ජාවාරම ඉගෙන ගෙන ඇත්තේ අසීෆ් මොහොමඩ් නැමැති තවත් පුද්ගලයකුගෙනි. ක්‍රිකට් තරගාවලියක් පවත්වා රුසියානුවන් ගොනාට අන්දවා ඔවුන්ගෙන් ඔට්ටු ගෙන්වා ගනිමින් මුදල් උපයා ගැනීමේ මාර්ගය සොයිබ්ට පෙන්වා දුන් අසීෆ් හොර අයිපීඑල් තරගාවලියක් පැවැත්වීමෙන් වැඩි වාසි සැලසෙන බැවින් එවැනි ආකාරයේ තරගාවලියක් පවත්වන ලෙස දැනුම් දී තිබේ.

සොයිබ් ඉන්දියාවට පැමිණීමෙන් පසු අසීෆ්ගේ උපදෙස් අනුව වැඩ පටන් ගත්තේය. ඔහු මුලින්ම ගුජරාට් ප්‍රාන්තයේ මෙහෙසානා ප්‍රදේශයේ අතහැර දමන ලද කුඹුරු යායක් කුලියට ගෙන එය ක්‍රිකට් පිටියක් බවට පත් කළේය. එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බව පෙන්වීමට සොයිබ් සහ පිරිස ඉඩම වටා විදුලි ආලෝකධාරා කුලුනු ඉදි කළේය. වීඩියෝ කැමරා කිහිපයක් ද සවි කළේය. ඔට්ටු තැබීමට අවශ්‍ය ආකාරයෙන් ජංගම දුරකතන මෘදුකාංගයක් හරහා සජීවි විකාශය ආරම්භ කළේය.

හොර අයිපීඑල් තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔහු තෝරා ගත්තේ ගුජරාට් ප්‍රාන්තයේ රැකියා විරහිත තරුණ පිරිසකි. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස රඟපෑමට කුලී පදනම මත සේවයට එක් කරගෙන සිටි අතර, ඔවුන්ට දෛනිකව ඉන්දීය රුපියල් 400 බැගින් ගෙවීමට පොරොන්දු වී ඇත.

තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් චෙන්නායි ෆයිටර්ස්, ගාන්ධිනගර් චැලෙන්ජර්ස් සහ පලන්පූර් ස්පෝර්ට්ස් කිංග්ස් ලෙස නම් කර ඇති අතර, ක්‍රීඩකයන්ට අවශ්‍ය ක්‍රිකට් ආම්පන්න සහ ක්‍රීඩා ඇ‍ඳුම් සොයිබ් විසින්ම සපයනු ලැබීය.

මේ තරග යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ විකාශය වෙද්දී රුසියාවේ සිටින අසීෆ් එරට බුකීකරුවන්ගෙන් ඔට්ටු මුදල් බාර ගනී. තරගාවලියේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන්ට සොයිබ් විසින් පණිවුඩ හුවමාරු යන්ත්‍ර (වෝකි ටෝකි) සපයනු ලැබීය. ඔට්ටු තැබීමෙන් පසු මේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර මඟින් විනිසුරුවන්ට සොයිබ්ගෙන් හෝ අසීෆ්ගෙන් උපදෙස් ලැබේ. ඒ මොහොතේදිම විනිසුරුවෝ පිතිකරුවාට හෝ පන්දු යවන්නාට අවශ්‍ය එම පණිවුඩ සපයති.

පන්දු යවන්නා යැවිය යුත්තේ මන්ඳගාමී පන්දුවක්ද නොඑසේ නම් වේගපන්දුවක්ද යන්නත්, පිතිකරුවා එම පන්දුවට දැවී යා යුතුද නොඑසේ නම් ලකුණු රැස් කළ යුතුද යන්නත් විනිසුරුවන්ට ලැබෙන පණිවුඩවලට අනුව ක්‍රීඩකයෝ කටයුතු කරති. තරගය පැවැත්වෙමින් තිබියදී ඇතැම් අවස්ථාවක මහමොළකරු සොයිබ්ගේ සෘජු දුරකතන ඇමතුම් පිතිකරුවාගේ හෝ පන්දු යවන්නාගේ සාක්කුවේ ඇති ජංගම දුරකතනයට ද ලැබේ. ඔවුහු පන්දුයැවීම හෝ පිතිහරඹයේ යෙදීම මොහොතකට නවත්වා සොයිබ්ගේ ඇමතුමට පිළිතුරු දෙති. එය පවා යූ ටියුබ් සජීවි විකාශයේ ප්‍රචාරය වන අතර, මේ ප්‍රයෝගකාරී ඔට්ටු තැබීමේ හොර අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේදී රුසියා ජාතිකයන් කොයිතරම් ගොනාට අන්දවා තිබේද යන්න ඉන් මැනවින් පැහැදිලිය.

රුසියානුවෝ මේවා නොදනිති. සැබැවින්ම දැනටත් රුසියාවේ පදිංචිව සිටින අසීෆ් මේ ඔට්ටු තැබීම ඉතා සාර්ථකව මෙහෙයවා අතිවිශාල මුදල් තොගයක් උපයාගෙන ඇති අතර ඒවා අසීෆ් හා සොයිබ් අතර බෙදී ගොස් තිබේ.

ගුජරාට් පොලිසිය මේ සිදුවීම හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ හොර අයිපීඑල් තරගාවලියක් පවත්වා ජාත්‍යන්තර ප්‍රජාව මුළා කළ පළමු සිදුවීම ලෙසිනි. ක්‍රීඩා පිටිය වටලා පොලිසිය සොයිබ් ඇතුළු සිවුදෙනකු සහ ක්‍රිකට් ආම්පන්න විශාල තොගයක් අත්අඩංගුවට ගත්තේය. එල්ඊඩී රූපවාහිනි යන්ත්‍ර කිහිපයක්. ලැප්ටොප් පරිගණකයක් සහ පණිඩුව හුවමාරු යන්ත්‍ර කිහිපයක් ඒ අතර විය. මේ සියලු උපකරණවල වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ තුනකට වැඩි බව පොලීසිය කීවේය. ඉන් පැහැදිලි වන්නේ රුසියානුවන් රටවා ක්‍රිකට් ඔට්ටු තැබීමෙන් සොයිබ් ඇතුළු පිරිස අතිවිශාල මුදල් ප්‍රමාණයක් උපයන්නට ඇති බවය. මොස්කව්, ට්වෙර් සහ වොරොනෙෂ් නගර ආශ්‍රිතව සිදු කර ඇති මේ හොර අයිපීඑල් ක්‍රිකට් ඔට්ටු සෙල්ලම ආරම්භ වී ඇත්තේ සැබෑ අයිපීඑල් තරගාවලිය නිමාවට පත් වීමෙන් දින කිහිපයකට පසුවය. ගුජරාට් පොලිසිය වටලනු ලැබූ අවස්ථාව වන විට හොර අයිපීඑල් තරගාවලියේ පැවැත්වෙමින් තිබුණේ අර්ධ අවසන් පූර්ව තරග බව අනාවරණය වී ඇත.

ඉන්දියාවේ තුරඟ තරග හැර වෙනත් ක්‍රීඩා සඳහා ඔට්ටු ඇල්ලීම නීතියෙන් තහනම්ය. එහෙත් එරට පොලිසියට අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ මහ පරිමාණයේ ඔට්ටු තැබීම් ඉන්දියාවේ ජයටම සිදු කෙරේ. මෙවැනි ඔට්ටු තැබීම්වලට ජාවාරම්කරුවන් පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩකයන් ද එක්වී සිටිති. අනූව දශකයේ දී ලොව ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රිඩකයෝ රැසක් ඔට්ටුකරුවන්ගේ වුවමනාවට මුදලට තරග පාවාදීමෙන් නීතියේ රැහැනට කොටු වූහ. ශ්‍රී ලංකාවේ ද එවැනි සිදුවීම් රැසක් වාර්තා වූ අතර, මේ සියලු ඔට්ටු තැබීම් පිටුපස ඉන්දීය ජාතිකයන් සිටින බව බොහෝ අවස්ථාවලදී අනාවරණය වී තිබිණි. 

බදුල්ලේ ක්‍රීඩාංගණයක යැයි හඟවමින් ඉන්දියාවේ මොහාලි නුවර එක්තරා ග්‍රාමීය ක්‍රිකට් ක්‍රීඩාංගණයක පසුගියදා පැවැත්වෙමින් තිබූ ක්‍රිකට් තරගාවලියක් වැටලූ මොහාලි පොලීසිය පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර, තවත් පුද්ගලයන් සය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ඉන්දීය පුවත් වාර්තා කළේය. ඉන්දියාවේ ව්‍යාප්තව ඇති බුකීකරුවන්ගේ අලුත්ම ක්‍රිකට් ජාවාරමක සුලමුල හෙළි කළ මේ විමතිය දනවන තරගාවලිය සම්බන්ධව වැඩි දුර විමර්ශන සිදු වෙමින් පවතින බව ද ඉන්දීය පුවත්පත් වැඩි දුරටත් වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ඉන්දියා ජාතිකයන්ගේ ඔට්ටු තැබීමේ තවත් කූට ජාවාරමක් මීට වසර දෙකකට පෙර අනාවරණය වී තිබිණ. බදුල්ල නගරය කේන්ද්‍ර කරමින් ඌව පළාත් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවූ තරගාවලියක් බවට පෙන්නුම් කරමින් මේ තරගාවලිය ඉන්දියාවේ මොහාලි නුවරට කිලෝමීටර් 16ක් ඈතින් පිහිටි සවාරා නමැති ගම්මානයක පවත්වා තිබිණි.

මොනරාගල හෝනට්ස්, යුනිලයන්ස් මහියංගණය, බදුල්ල සී ඊගල්ස් සහ වැල්ලවාය වයිපර්ස් නමින් කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වෙන බවට කාලසටහනක්ද අන්තර්ජාලයට මුදා හැරීමට බුකීකරුවන් කටයුතු යොදා ඇත. කිසිදු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහභාගි නොවු එම හොර තරගාවලිය ‘ඌව විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය’ නමින් ඉන්දියාවේ පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව දැන්වීමට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි.

ලැබුණු ඔත්තුවකට අනුව අදාළ ක්‍රීඩාංගණය පොලීසිය විසින් වටලනු ලැබූ අවස්ථාවේදී මෙරට හිටපු සුපිරි ක්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස් සහ ෆර්වේස් මහරූෆ් ඇතුළු තවත් ක්‍රීඩකයන් රැසකගේ නම් සටහන් වූ ක්‍රීඩා ජර්සිවලින් සැරසුණු පන්ජාබ් ප්‍රදේශයේ නාඳුනන තරුණ පිරිසක් ක්‍රීඩා කරමින් සිටියහ. මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ජාත්‍යන්තර වශයෙන් කවුරුත් හොඳින් හඳුනන අතර, එම ක්‍රීඩකයන්ගේ නම් සඳහන් ජර්සි හැඳ ක්‍රීඩා කිරීමට එම තරුණයන් කටයුතු කරනු ලැබුවේ එවකට ලොව පුරා ව්‍යාප්තව තිබූ කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවූ මුඛ ආවරණ නීතියට පින්සිදු වන්නටය. මුඛ ආවරණ ද පැලඳ ක්‍රීඩා කළ බැවින් ඔවුන් හඳුනා ගැනීම අපහසු විය.

ක්‍රීඩාංගණය වටලනු ලැබීමෙන් පසු මේ සම්බන්ධව කිසිවක් නොදන්නා බවත්, දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට එක්තරා පිරිසක් ක්‍රීඩාංගණය වෙන් කරවා ගත් බවත් එම ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරන ස්ට්‍රොක්ස් ක්‍රිකට් සංගමය නමැති ක්‍රීඩා සංගමයේ නිලධාරියකු පොලීසියට පවසා තිබිණ. එමෙන්ම කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් නරඹන්නන්ගෙන් තොරව තරගාවලිය පවත්වන බව ද තරග සංවිධායකයන් ප්‍රකාශ කළ බව එම ක්‍රීඩා සංගමයේ නිලධාරියකු පොලීසියට පවසා තිබිණි. එමෙන්ම එම ක්‍රීඩාංගණයේ තැනින් තැන තරගාවලිය සම්බන්ධව විවිධ දැන්වීම් පුවරු ප්‍රදර්ශන එල්ලා තිබූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායරූප එහි සටහන් විය.

ඌව විස්සයි 20 හොර ක්‍රිකට් තරගාවලිය යූ ටියුබ් වීඩියෝ වෙබ් අඩවියේ එක්තරා චැනලයක් ඔස්සේ සජීවිව විකාශය කිරීමට ද තරගාවලියේ සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබිණි. එමෙන්ම තරගාවලියේ සජීවි ලකුණු පුවරුව ‘ස්පෝර්ට්කීඩා’ නමැති ජනප්‍රිය වෙබ් අඩවියේ පන්දුවෙන් පන්දුවට යාවත්කාලීන වෙමින් තිබිණි. මේ තරගාවලිය ඉන්දියාවේ මහ පරිමාණයෙන් ව්‍යාප්තවී ඇති අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු තැබීමේ (online betting) ක්‍රමවේදය අනුව පැවැත්වූවක් බවත්, එය එරට බුකීකරුවන් විසින් සංවිධාන කරනු ලැබුවක් බවත් වැඩිදුර විමර්ශනවලින් අනාවරණය විය.

ඊයේ පෙරේදා ගුජරාට් පොලිසිය වටලනු ලැබුවේද එවැනිම හොර ක්‍රිකට් තරගාවලියකි. මින් පැහැදිලි වන්නේ ඉන්දියාවේ ඔට්ටු තැබීම උදෙසාම මෙවැනි හොර ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන බවකි. ලැබෙන ඔත්තු මත පොලිසිය ඒවා වටලන අතර හොර රහසේම පවත්වා නිමා කරන හොර තරගාවලි තවත් රැසක් තිබෙන්නට ඇත.

Comments