දන්වදුල වත්ත මැදින් වැටී ඇති ගුරු පාර දිගේ පියමන් කළ සුනිමල් ගුරු පාරෙන් පහළ වෙල දෙසට ඉදිකර ඇති නෙත්ති කානුව දිගේ පහළට බැස්සේ එක හුස්මට ය. නෙත්ති කානුව අවසන් වෙන්නෙ කරන්වැරල්දෙණිය කුඹුරු යායෙනි. ඒ කුඹුරු යාය මැදින් තියෙන මහ නියරෙ දෙපැත්ත හැමදාමත් කැඩිලාය. කුඹුරු යායෙ වැඩ කරන කොරටු මුත්තා, බණ්ඩාර මාමා, ගුණපාල මාමා යන ගොවීන් හැමදාමත් කරන්නේ කොල්ලන්ට බැණ බැණ නියර බැඳීමය.
“නවයෙ දහයෙ වගේ පන්තිවල පැඟිරි විසේ කොල්ලො කීප දෙනෙකුම ඔය නියර ගැට්ට කඩන වැඩේට හවුල් කියලයි බොහෝ දෙනෙක් කියන්නෙ.”
“අනේ අම්මප මේ මගෝඩි කොල්ලන්ගෙ අඬු කඩනව දවසක මං” යැයි කියමින් කොරටු මුත්තා බොහෝ දිනවල තම තරහව පිටකර ගත්තද මුත්තට කොල්ලන්ගෙ අඬු කඩනව තියා ටොක්කක් අනින්නවත් ළංවෙන්න ලැබෙන්නේ නැත.
කොහොම වුණත් මේ මාමල මුත්තල දන්නෙ නෑ, කොල්ලො කුමක් නිසාද මේ නියර විතරක්ම.. ගැටි කඩන්නෙ ඇයිද කියා.
දවසක් නියරෙ අයින කඩල විනාශ කරල විතරක් නෙවෙයි, කිරිවැදීගෙන එන ගොයම් ගසුත් පදාසයක්ම පොඩිකර දාලා. මේක දැකපු ගුණපාල මාමට හොඳටම කේන්ති ගියා.
“අනේ දෙයියනේ, මේ වලත්ත කොල්ලො පාර බලාගෙන යනවද, උඩ බලාගෙන යනවද, එහෙම නැත්නම් මුංගෙ ඇස් පොට්ට වෙලාද ?” ආදි දේ කියමින් හේ ගොයම් පොඩි කළ කොල්ලන්ට දෙහි කපන්නට විය.
යායෙ තවත් නියරවල් කීපයක්ම තියෙනව මිනිසුන් ගමන් කරන. ගමේ හැම ගෙදරකටම වගේ යන්නෙ නියරවල් මතින්. නියරවල් මත පා ගැටීම නිසා ඒ මත තණකොළ වැවෙන්නෙ නෑ. නියර දෙපස කුඹුරුවලට ආවේණික පැළෑටි වැවිලා වැටක් වගේ. කිරිවදිනකොට ගොයම් කරල් නියර දෙසට නැමෙන්නෙ හරියට ගුණගරුක මිනිස්සු පරිණත වෙන්න වෙන්න නිහතමානි වෙනව වගේ. නියර දෙපැත්තෙන්ම කිරට නැමෙන ගොයම් පයට පෑගෙන එක වළක්වන්න ගොවි මහත්තුරු කරන්නෙ නියර අයින් දිගට කෝටු හිටවල ලණු අදින එක.
ගමේ කලාතුරකින් ගෙදරක පාපැදියක් තියෙනවා. ගමනක් ගිහින් ඇවිත් ගුරු පාර අවසන් වන තැන ඉඳල බයිසිකලේ කර මත තියාගෙනයි ගෙදරට යන්නෙ. සුනිමල්ගෙ තාත්තා නම් බයිසිකලේ ගුරු පාර අයිනෙ කිරි මාමලයි ගෙදර තමයි නතර කර තියෙන්නෙ. ඔහු කවදාවත් බයිසිකලේ ලොක් කරන්නේ නෑ. කිරි මාමටත් ගමනක් බිමනක් යන්න අවශ්‍ය වුණොත් යන්න කියල තමයි තාත්තා කියල තියෙන්නෙ.
ඉඳල හිටල දවසක සුනිමල් බයිසිකලේ අරගෙන නියර මතින් පැදගෙන ගෙදරට යන්න උත්සාහ කරනවා. ඒක ලේසි වැඩක් නොවේ. අතුරෙ යනව වගේ දෙයක්. පොඩ්ඩක් වේගය අඩාළ වුණොත් පය ගැහෙන්නෙ කෙළින්ම කුඹුරෙ. එහෙම සුනිමල් කීප වතාවක්ම බයිසිකලෙත් එක්කම කුඹුරට ඇදගෙන වැටිලත් තියෙනවා.
බයිසිකලෙන් වැටෙන විට සුනිමල්ට මතක් වෙන්නෙම ගොඩගෙදර වත්තෙ බේකරියෙ වැඩ කරපු කාලේ බයිසිකල් පුරුදු වුණ හැටි. බේකරියෙ තිබුණු රැලේ සහ හම්බර් යන වර්ගවල බයිසිකල් දෙක හැමදාමත් හොඳටම අබලන්. ප්‍රේම් පොල්ලට යටින් කකුල දාගෙන දන්වදුල වත්තෙ කෙළවර පොඩි අයියගෙ කඩේ ළඟින් නැග්ගම ගුරු පාර දිගේ බොරලු මතින් සල සල ගා කෑලි හෙල්ලෙද්දි වේගයෙන් පල්ලමට ඇදිල එන්නෙ පණ එපා කියල. කොහොම හරි එහෙම පුරුදු වෙලා පස්සෙ කාලේ පාන් ගෙඩි පනහක් හැටක් ගහපු මහ ලෑලි පෙට්ටියක් ලගේජ් එකේ බැඳගෙන කඩවල් ගානෙ පැද්දෙත් ඒ බයිසිකල් කටුවලින් තමයි. සුනිමල් පාන් පෙට්ටිය බයිසිකලේ බැඳගෙන කඩවල් ගානෙ ගිහින් ඒ කඩවලට පාන් බෙදල ආපසු එන්නෙ රෝස් පාන් ගෙඩි තුන හතරක් ඉතුරු කරගෙන. ඉස්කෝලේ ළඟින් එනකොට ඉන්ටවල්. සුනිමල් එනතුරු පාසල් මිදුලෙ විශාල මාර ගහ යට ඉඳගෙන වෙරළු ඇට තළල මද කමින් බලාගෙන ඉන්න අමරෙ, රාජෙ, ජිනේ, පේමෙ යාළුවො ටික “අන්න සුනිමලය එනෝ” කියාගෙන එක වැලට පාරට දුවන එක පුරුද්දක් වෙලා.
පහේ හයේ පන්තිවල ඉන්න කාලෙ මාස තුන හතර එක දිගට පාසල් නොගිය සුනිමල් බේකරියෙ වැඩට ගියා. ඒ බේකරියෙ වැඩ නොකළ පිරිමි ළමයෙක් ඒ ගමේ නැති තරම්. ඒ වැඩ කළා කියල මුදලක් හදලක් ලැබෙන්නෙ නෑ. පාන් කෑමටයි බයිසිකල් පැදීමටයි වහ වැටිලයි ඒ ජොබ් එක කරන්නෙ. ඒක ඉතින් බේකරි මුදලාලිටත් ගජ වාසියක්.
බේකරියෙ වැඩ කරන අතරතුර දවසක් දෙකක් සුනිමල් පාසලටත් යනවා. පාන් පිටි මෝලිය අනල අතේ නියපොතු අස්සේ රැඳුණු පිටිත් සමඟ පාසල් ගියාම ලොකු සර් කියන්නෙම “හා .... බක්කරේ කොහොමෙයි ඉතින්? උඹ පාන් පිටි පාගල පාගල එනව මෙතන යලට මහට” කියල.
කලාතුරකින් පාසල් ගියාට ගියපු දවසට සුනිමල් තමන්ගෙ හැකියාවල් පෙන්නනව. රචනා ලියන්න සුනිමල් ගජ හපනා. සිසුන් අරගෙන ආපු සහජ දක්ෂතා ඔපමට්ටම් කරල ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඉදිරියට තල්ලු කරන වැඩ ඇතැම් ගම්බද ගුරුවරුන් අතින් සිදු වුණේ නෑ. සුනිමල් පොත්පත්වල දැකල තියෙනව සමහර ක්ෂේත්‍රවල ඉහළටම ගිය අය කියනව ඒ අයගෙ දක්ෂතා හඳුනාගත් අහවල් ගුරුවරයා තමන්ට දුන් ඇගැයීම නැත්නම් තල්ලුව නිසා තමන් අද මේ ඉන්න තැනට ආ බව.
කෙසේ වෙතත් සුනිමල්ගෙ රචනාවල් බලාගෙන ලියල අනෙක් යාළුවොත් ජාමෙ බේරාගත්ත අවස්ථා තිබුණා. කන්වැරල්දෙණිය කුඹුරු යායෙ පුරන් වැඩ කරන කාලෙට නියරවල් මඩ තියල බැන්දම දවස් දෙක තුනක් යනකම් වේළෙන්නෙ නෑ. සමහරු නියරෙ යාන්තම් මඩ වේළෙන කොට ඒ මතින් ගමන් කරනවා. එහෙම ගියාම නියර විනාශ වෙනව කියල ඒ යන මිනිස්සු හිතන්නේ නෑ. එහෙම යන එක වළක්වන්න ගොවීන් කරන්නෙ නියරෙ මඩ තියල බැඳල නියර දෙකෙළවර කටු අතු සහ වැටකෙයියා ගස් තියල මාර්ග බාධක දාන එක.
එහෙම දවස්වලට සුනිමල්ලා කුඹුරට බැහැල නියර අයින දිගේ කුඹුරෙන් ගමන් කරන්නෙ හරිම ආසාවෙන්. එදාට මඩ නාගෙන මඩ කරියො වගේ තමයි ගෙදර යන්නෙ.
දවසක් සුනිමල් පාසල ඇරිලා කන්වැරල්දෙණියෙ නියර දිගේ තනියම ගමන් කරන කොට පිටිපස්සෙන් ආපු මිනිහෙක් සුනිමල්ගෙ පොත් බෑග් එක උදුරාගෙන දිවුවේ ගොදුරක් ඩැහැගත්ත කෑදර උකුස්සකු වගේ. ඒ මනුස්සය රහසිගතව පිටුපසින් පැමිණ පොත් බෑගය උදුරා ගත් නමුත් ඒ කටුඉඹුලෙ ගෙදර මද්දුමයා කියන වග සුනිමල් හඳුනාගත්තා.
ඒ බේබදු මනුස්සයා තමාගෙ පොත් බෑගය උදුරාගෙන ගියේ ඇයි දැයි බොහෝ කලක් යන තුරු සුනිමල්ට වැටහුණේ නෑ. ඒ සිද්ධියට සුනිමල්ගෙ පියා පොලිසිත් ගියා. අනුරාධපුරය පැත්තෙ දුෂ්කර ගමක දුප්පත් ගෙදරක පහේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටි ළමයෙකුගේ පොත් ටික රාත්‍රී ගෙට පැනපු නරුම මිනිසෙකු විසින් ගිනි තැබූ බව කියැවෙන ප්‍රවෘත්තිය ඇසීමෙන් ඒ සිද්ධියත් තමා මුහුණ පෑ සිද්ධියත් දෙකම එකම අරමුණකින් කරන ලද සැහැසිකම් බව පසු කලෙක ඔහුට අවබෝධ වුණා. ඉතින් මේ කියන කන්වැරල්දෙණියෙ නියර මාර නියරක්. හැබැයි සුනිමල් නම් ඒ නියර මතින් හරියට ඇවිදගෙන ගියා. කවදාවත් නියරෙ අයින කඩාගෙන කුඹුරට වැටිල නෑ. අන්න ඒකට අනිත් කොල්ලො... කන්වැරල්දෙණිය කුඹුරු යායට එක් පසෙකින් ඒ කියන්නෙ දන්වදුල වත්තට ඉදිරිපසින් තියෙන්නෙ කන්ද උඩ වත්තෙ ගෙදර.
ඒ ගෙදර හැඩකාර කෙල්ලො රොත්තක්ම ඉන්නව. ඉන්දු, චන්දි, ශාන්තිනී, චිත්‍රමාලා සහ ලතා කියල.
ඒ ගෑනු ළමයිනුත් සුනිමල්ගෙ පාසලටම යන අය තමයි. ඒ වුණාට ඒ ගෙදරට පවා කොල්ලන්ගෙ තියෙන්නෙ මාර ආකර්ෂණයක්. එහෙම නැත්නම් හිතනව ඇති අද චිත්‍රමාලල ඉස්කෝලෙ ගියේ නැතිව ගෙදර ඉඳගෙන මිදුලෙ තියෙන මල් ගස් අතරින් කන්වැරල්දෙණියෙ මහ නියර දිහා බලාගෙන ඉන්නව ඇති කියල.
සුමනපාල වික්‍රමආරච්චි