
ජනතා අරගලයකින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය සටහන් කළ ඓතිහාසික අවස්ථාවක් ලෙස ඔබ මේ අරගලය හඳුන්වනවා? එසේ නම් රටේ ඉදිරි දේශපාලන ගමන් මඟ කෙසේ විය යුතුයිද?
පසුගිය 09 වැනිදා සිදුවීමත් සමඟ ජනතා පරමාධිපත්‍ය බලය සනිටුහන් වෙලා තියෙනවා. වසර 74ක් ලියැවිලා තිබූ දේශපාලන ඉතිහාසයට වඩා වෙනස් ආකාරයකට දිගහැරීමක් එනම් අභ්‍යාසගත කිරීමක් සිදුවෙලා තියෙනවා. ජනතා අරගලයේ අභිප්‍රායන් අභිලාෂ සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදුවිය යුතුයි. මේ සිදුවීම නියත වී ඇත්තේ ව්‍යවස්ථාපිත බලයක් හරහා නොවෙයි. මේ බලය ගොනුවී ඇත්තේ ව්‍යවස්ථාවෙන් පිට තිබූ ජනතා බලයක් සහිතවයි. මෙය ප්‍රජාතන්ත්‍රිකව ජනතාව ගොඩනඟන ලද බලයක්. ඒනිසා මේ දිග හැරීම රටේ අලුත් නීතියක් සහ සම්මුතියක් බවට පත්විය යුතුයි.
අසාධාරණ දේශපාලන අවශ්‍යතා සඳහා සම්පාදනය කරන ලද නීති හකුළාගත යුතුයි. ජනතා පරමාධිපත්‍ය බලය සහ සමාජ ආර්ථික දේශපාලනික අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙය නීතියක් බවට පත් කළ හැකියි. පාර්ලිමේන්තුවෙන් පිටත වන ව්‍යවස්ථාපිත බලයක් දක්වාම මේ ක්‍රියාවලිය ඉදිරියට යා යුතුයි. ජනතා අභිප්‍රායන් ඉටු කරන සම්මුතිවාදි ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි. මේ අය හිතනවා තවත් බලයේ ඉන්න පුළුවන් කියලා. ඒ ජනවරම දැන් අහෝසියි. මෙතෙක් සම්බන්ධ නොවූ නව ජනතා මතවාදයන් අභිප්‍රායන් ඉටු වී තියෙනවා
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පවත්නා ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ඊළඟ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කවරකු විය යුතුයිද?
මෙහි පැති දෙකක් තියෙනවා, එකක් තාක්ෂණික පැතිකඩ; අනෙක දේශපාලනික පැතිකඩ. පවතින ව්‍යවස්ථාවේ තාක්ෂණික ක්‍රියාවලියට අනුව ව්‍යවස්ථාවේ යම් ප්‍රතිපාදන තියෙනවා. අපි ඒ කථිකාවට මේ දේශපාලන අරගලය සීමා කරන්න ගියොත් ජනතා අරගලයේ අභිප්‍රායන් වෙනත් පැත්තකට ගමන් කරනවා. අරගලයයි ප්‍රමුඛ කරගත යුත්තේ. තාක්ෂණික උත්තර තිබුණත් දැනට මාස කිහිපයකට පෙර සිට ක්‍රමවේදයට විරුද්ධව නව ක්‍රමවේදයන් ගොඩනැඟී තියෙනවා. ඒ නව ජනතා බලය සක්‍රීයභාවයට පත්වෙලා තියෙනවා. ඒ බලයයි දැන් බලාත්මක විය යුත්තේ. ඒ ඍජු බලයට අනුරූපීව සම්මුති ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි. ඒ සම්මුතිවාදී ආණ්ඩුවේ කවුද ජනාධිපති අගමැති කියලා වැදගත් කමක් නැහැ; සම්මුතියයි වැදගත් වෙන්නේ.
ඔබ කියන පාර්ලිමේන්තු සම්ප්‍රදායට පරිබාහිර ජනතා බලය ගොඩනැඟිය යුත්තේ කෙසේද?
ප්‍රජාතන්ත්‍රීය රටක ප්‍රබල වෙන්නෙ ජනතා පරමාධිපත්‍ය බලයයි. පැහැදිලිවම ව්‍යවස්ථාපිත නීති දේව වාක්‍යයකින් හැදිලා තියෙන දෙයක් නොවෙයි. මෙය සමාජයේ නිර්මාණයක්. එය ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා වෙනස් කළ හැකියි. බලයේ රැඳෙන්න ප්‍රජාතන්ත්‍ර විරෝධි ව්‍යවස්ථාවක් හදාගෙන තියෙනවා. ඒවා නීතියක් බවට පත් කරගෙන තියෙනවා. ඒනිසා ඊට වඩා පුළුල් දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා මුඳුන් පමුණුවා ගැනීමට ජනතාව මැදිහත් වීම රටේ නීතිය බවට පත්විය යුතුයි. එය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු අතර එය රටේ නීතිය බවට පත් විය යුතුයි. අලුත් ජනතා ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවෙන් පිට ජනතාවාදී ක්‍රමවේදයක් අපි අනුගමනය කළ යුතුයි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යන මේ සංකල්පය ඇතුළේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය නොවන බවද ඔබ කියන්නේ?
පැහැදිලිව ම ඔව්. අපි එය අත්දැකීමෙන් දන්නවා. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි සිස්ටම් එක මේ ආකාරයට තියෙද්දී; ඡන්දය දීලා පැත්තකට වෙලා ඉන්න පිරිසක් බවට පත් නොවී දෛනිකව තමන්ගේ දේශපාලන කටයුතු අභ්‍යාස කරන ජනතාවක් අවශ්‍යයි. ඒ සඳහා යම් ව්‍යුහයක් අවශ්‍යයි. ගම, නගරය, ගොවිබිම, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පොදු න්‍යාය පත්‍රයක් අනුව සක්‍රියව ක්‍රියාත්මක විය යුතුයි. අපි වසරකට කලින් කිව්වා අරගලය තමයි විසඳුම කියලා. පාර්ලිමේන්තුවෙන් පමණයි සියල්ල කරන්න පුළුවන් කියලා හැමෝම හිතුවා. ව්‍යවස්ථාවේ නැති පාර්ලිමේන්තුවේ නැති විශාල ක්‍රියාවලියක් ආදේශ වෙලා ප්‍රතිඵල ලැබී තියෙනවා.
පාර්ලිමේන්තුවෙන් එළියේ ගොඩනැඟෙන බලය කොහොමද සංවිධානාත්මකව සහ ව්‍යුහාත්මක කල්පවත්නා බලයක් බවට පත්කරන්නේ කියන කරුණ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. හුඟක් අයගේ අදහස වුණේ මේ අරගලය අපේ රටේ ජනතාවට ජයග්‍රහණය කරන්න බැරි බවයි; නමුත් නව වැනිදා දසලක්ෂ ගණනින් ජනතාව ප්‍රජාත්නත්‍රීය අයිතිය සහ අරගලය සාර්ථක කරගත්තේ කෙසේද කියලා අපි දැක්කා. මේ පාර්ලිමේන්තුවේ පිට බලය මේ ආකාරයට ව්‍යුහාත්මකව ශක්තිමත් විය යුතුයි. මේ ගොඩනැඟෙන බලය සංවිධානාත්මක කල්පවත්නා බලයක් විය යුතුයි; ජනතාවට ආර්ථික දේශපාලනික ක්‍රියාවලියට ඍජුව මැදිහත් විය ක්‍රියාවලියක් විය යුතුයි. පාර්ලිමේන්තුවෙන් පිට බලය දේශපාලන ක්‍රියාවලියක සක්‍රීය දායකත්වයක් විය යුතුයි.
බලයේ සිටින කිසිදු දේශපාලන බලකඳවුරකට නැවත ආණ්ඩු පිහිටුවන්න බැරි බව ඔබ කියනවා. එසේ නම් රටට සමාජවාදි මතවාදය දරන වාමවාදි දේශපාලන කදවුරක අවශ්‍යතාව ද ඔබ මතු කරන්නේ ?
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දිගුකාලීන ඉලක්කය ලාංකේය සමාජවාදය ගොඩනැඟීමයි. දිගුකාලීනව රටේ ජනතාව මුහුණ දිලා තියෙන සියලුම ප්‍රශ්නවලට විසඳුම සමාජවාදී සමාජ ක්‍රමයක් තුළ තියෙනවා. මේ අර්බුදවලට කල් පවත්නා විසඳුම සමාජවාදයයි. ජනතාව ඒකාබද්ධ කරන ඉහළ සිට පහළට ගොඩනැඟෙන කවුන්සිලයක් ගොඩනැඟිය යුතුයි. අරගලයේ අභිප්‍රාය පදනම් කරගත් ජනතාවාදී ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් අපි අද දකිනවා. ඒ සියලු ජනකොටස්වලින් ඒකරාශීවූ කවුසිලයත් සමඟ අලුතෙන් ගොඩනැඟෙන ජනතාවාදි ව්‍යවස්ථාවක් සමඟ ජනතාවට ගනුදෙනු කළහැකි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. ඒ අවසන් ජයග්‍රහණය දක්වා අරගලය පෙරමුණ ගත යුතුයි. එහිදී ගොඩනැෙඟන තාවකාලික ආණ්ඩුව සමඟ කටයුතු කරමින් ඉතා ඉක්මනින් මේ ප්‍රතිසංස්කරණයන් රට තුළ ඇති කළ යුතුයි. ඒ සඳහා යන්න වෙන්නේ පියවර ගණනාවක් පසුකරමිනුයි.
මේ ක්‍රමවේදය අනුගමනය කිරීමේදී ලැබෙන විසඳුම් සැබැවින්ම සමාජවාදී විසඳුම් විය හැකියි. සමාජවාදයට යන්න කලින් එයින් පිටතත් තියෙනවා විසඳුම්. ඒ ක්‍රමවේදය ඇතුළේම ජනතා ජයග්‍රහණ කළ හැකි ක්‍රමවේදයක් තියෙනවා. එතැනට යායුතු වන්නේ අඛණ්ඩව අරගලය සංවිධානාත්මකව, ව්‍යුහාත්මකව රඳවා තබා ගැනීම තුළ පමණයි. ජනමත විචාරණයක් මඟින් ජනතාවගේ ගැටලු විසඳිය යුතුයි. ජනමත විචාරණයක් කැඳවීමේ බලයක් ජනතාවට දිය යුතුයි; ජනමතයක් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. එය වෙනස් වෙනවා. එවිට ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයට ජනතාවගේ බහුතර කැමැත්තෙන් නීතියක් බවට පත් කළ යුතුයි. ජනතාවාදී ව්‍යවස්ථා ජයග්‍රහණය කිරීම සමාජවාදයට මෙහා ලබාගත හැකි ජයග්‍රහණයන්.
සමාජවාදය බිහිවූ රටවලත් එය බිඳ වැටුණා. ලෝකයම නව ලිබරල්වාදී සමාජ ක්‍රමයකට ගමන් කරද්දි සමාජවාදය යනු මතවාදයක් පමණයි කිව්වොත්?
ඇතැම් රටවල පැවැති සමාජවාදය ගැන අපිටත් විවේචන තියෙනවා. සමාජවාදය කියන්නේ හැදුවාට පස්සේ කොයි දවසකවත් වෙනස් නොවෙන දෙයක් නොවෙයි. එයට ජනතාව සහභාගි වෙමින් ශක්තිමත් කළ යුතුයි. මේ නූතන තාක්ෂණික ලෝකයත් සමඟ අපිට ඒ ගමන යා හැකියි. උදාහරණයක් ලෙස අපේ රටේ සුපිරි ලාබ ලබන ධන කුවේරයන්ගේ ඒ ලාබ බෙදිලා යන ක්‍රමවේදය සැකසිය යුතුයි. මේ වෙනස් විය යුතු ක්‍රමවේදය සහ වෙනස් වන ක්‍රමවේදයටයි අපි කියන්නේ විද්‍යාත්මක නව සමාජවාදය කියලා. ශ්‍රමිකයන් ඉතාමත් දුෂ්කර කොන්දේසි මත වැඩ කළත් ලැබෙන වැටුප ගැන තෘප්තිමත් නැහැ. අපි තෘප්තිමත් නම් නිෂ්පාදන ඵලදායිතාව සියගණනින් වැඩිකරගන්න පුළුවන්. එනම් නිෂ්පාදන ජනක හැකියාව මේ පවතිනවාට වඩා දහස් ගුණයකින් වැඩිවෙනවා.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේ ව්‍යාවස්ථාවෙන් ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාවාදී ව්‍යවස්ථාවක් ගොඩනැඟිය යුත්තේ කෙසේද?
ජනමත විචාරණයක් අවශ්‍යයි. අරගලය තුළින් ඉදිරිපත් වූ යෝජනා මාලාවෙත් මේක තියෙනවා. අවුරුද්දක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි. නීති රාමුවෙන් එහාට ගිහිල්ලා රැඩිකල්වාදි ක්‍රමයකට යා යුතුයි. එහි සමාරම්භයක් නව වැනිදා සිදුවුණා. ජනතාවගේ ප්‍රශ්න කතා කරන ජනතාවට ප්‍රජාතන්ත්‍රීය අයිතිය දෙන ව්‍යවස්ථාවක් මේ තියෙන නීතියෙන් පරිබාහිරව සැකසිය යුතුයි. අතීතයෙත් ව්‍යවස්ථා පරච්චින්න කරපු අවස්ථා මේ රටේ තිබුණා.
සියලු ජාතීන්ගේ මූලික අයිතින් සුරැකීමට ඒකාබද්ධ සම්මුතියක් කෙසේ නිර්මාණය කළ යුතු ද?
අපේ රටේ ජාතිවාදය සහ ජාතික පීඩනයක් තියෙනවා. ප්‍රමාණයෙන් සුළුතර වූ දෙමළ සහ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතික පීඩනයක්, ආගම්වාදය, කුලවාදය සහ විවිධ සමාජ වුවමනාවන් ඇති ජනතාවට එරෙහි යම් පීඩනයක් තියෙනවා. මේ සියල්ල ගත් විට අරගලයේ එක් දිශානතියක් විය යුත්තේ ජනතාවාදී ව්‍යවස්ථාවකින් මේ ක්‍රමය වෙනස් කිරීමයි.
දෙමළ සහ මුස්ලිම් ජනතාවට ශ්‍රී ලාංකිකයන් සේ සලකන මගේ රට කියන හැඟීම ඇතිවන තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. 1977 ඊනියා නිදහසෙන් පසු බලයට පත්වූ සියලු පාලකයන් විසින් බලය පවත්වා ගැනීමට ජාතිවාදය ඇවිළුවා. සියලු පාලකයන් දෙමළ මුස්ලිම් සිංහල යන රේඛා වලින් ජනතාව බෙදීමක් කළා. ඔවුන් තම දේශපාලන බලය තහවුරු කර ගන්න මේ ඒ ආකාරයට කටයුතු කරනවා. මේ දේශපාලන ක්‍රමයට අපි නැවතීමේ තිත තියන්න ඕන.
සියලුදෙනාට ලාංකිකයෙක් යන මානසිකත්වයට ඇති කළ යුතුයි. එවිට රට ගොඩනැඟිමේ ක්‍රියාවලියට සියලුදෙනාගේ සක්‍රීය දායකත්වය ලැබෙයි. බහුතරයක් වුණ සිංහල ජනතාව මේ සඳහා පෙරමුණ ගත යුතුයි. දෙමළ මුස්ලිම් සියලු ජන කොටස්වල සැකය අවිශ්වාසය දුරුවිය යුතුයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලන සංස්කෘතික සමාජමය අයිතිවාසිකම් රැකෙන ව්‍යවස්ථාවක් ගොඩනැඟෙන්නේ නැඟීම අනිවාර්ය සාධකයක්. පොදු මහජනතාවගේ ක්‍රමවේදයකට ප්‍රජාතන්ත්‍රීය ව්‍යවස්ථාවක් ගොඩනඟන ක්‍රමවේදයකට අපිට යා හැකියි. පොදු ජන පෙරමුණට අද බලයක් නැහැ. තුනෙක් දෙකක බලය ලබාගත් පොදු ජන පෙරමුණේ මැන්ඩේට් එක මේ වනවිට සහමුලින්ම අවසන් වෙලා තියෙනවා. මේ නව ව්‍යවස්ථා ක්‍රමවේදය ගොඩනැෙඟන්නේ ජනතාව තුළින්මයි. පටු දේශපාලන අරමුණු උදෙසා කටයුතු කරන දේශපාලඥයන්ගේ වුවමනාවන්ට නොවෙයි.
ඔබ කියනවා 2/3 බලය ලබාගත් පොදු ජන පෙරමුණේ මැන්ඩේට් එක අවසන් කියලා. ජනවරමින් පත් වූ රජයක් ලෙස ඔවුන්ට පාර්ලිමේන්තු කාලය අවසන් වන තෙක් රැඳී සිටීමට නීතියෙන් ප්‍රතිපාදන තියෙනවා නේද?
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරන නීතිවේදීන් සහ විශේෂඥයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා; මේ සමාජ අරගල උතුරින් ගොඩනැගිල්ල තියෙන සම්මුතිය දෙස බලන්න කියලා. නීතිය කියන්නේ කුමක්ද, නීතිය කවුද හැදුවේ, නීතිය තමන්ගේ දේශපාලන වුවමනාවන් ඉෂ්ට කර ගැනීමට වෙනස්විය යුත්තේ කොහොමද කියලා බැලිය යුතුයි. මිනිසුන්ගෙ ප්‍රජාතන්ත්‍රීය අයිතින් වෙනුවෙන් ඇයි අපි නව නීති රීති ගේන්නේ නැත්තෙ. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය අදටත් තියෙනවා. නමුත් ඒ සංයුතිය එදා තිබුණා කියලා ඒ ජනවරම අදත් තියනවා කියලා කියන්න බැහැ. එය ජනතාව වෙනස් කළා. ඒ ජනවරම අහෝසි වෙලා කියලා අද අපිට ඉතාම පැහැදිලියි. ඒනිසා පොදු ජන පෙරමුණේ ආණ්ඩු කරපු අයට ඒ ජනවරම නැහැ. යම් සාධාරණ ජනවරමක් ප්‍රකාශයට පත් කිරීමට නම් මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න අවශ්‍යයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට අපි නව නීතිරීති ගේන්න අවශ්‍යයි. එසේ නම් යම් සාධාරණ ජනවරමක් ප්‍රකාශයට පත් වීමට නම් මේ මැතිවරණය ක්‍රමය වෙනසකට ලක් විය යුතුයි. මැතිවරණයකට යන්න කලින් නව ව්‍යවස්ථාව ඇතුළේ මැතිවරණ ක්‍රමවේදයන් පවා වෙනස් වීමට ලක් වෙන්න ඕන. එතෙක් ගොඩනැඟිය යුත්තේ සංක්‍රාන්ති ආණ්ඩුවක් පමණයි.
පෙරටුගාමි පක්ෂය මේ අරගලයේ පෙරමුණ ගත් අදිසි හස්තය සහ පෙරගමන්කරුවා බවට මතයක් තියෙනවා. ඔබ එයට නායකත්වය දුන් නායකයා කිව්වොත් නිවැරදිද?
ඒ ක්‍රෙඩිට් එක පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට ගන්න බැහැ. එය ජනතාවගේ අරගලයක්. අපි මේ අරගලය ආරම්භයේ සිට අද දක්වා සක්‍රීය දායකත්වයක් දෙමින් විශාල කැපවීමකින් කටයුතු කළා. ඒ වගේම රටක් හිරිවැටිල තිබුණ වෙලාවේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොල්ලන්න බැහැ කියපු වෙලාවේ අපි ඒ අදූරදර්ශී පාලනයට විරුද්ධව 2019 සිට අපි මේ අරගලය අඛණ්ඩව නිමග්න වෙලා ඉන්නවා. අරගලය සම්බන්ධව අපේ තියෙන විශ්වාසය සහ ජනතාව සම්බන්ධව අපේ තියෙන විශ්වාසය අපි මොහොතකටවත් අතහැරියේ නැහැ. ඡන්දෙකට කලින් ජනතා බලවේග තුළින් අරගලයේ ජයග්‍රහණය සනිටුහන් කළ යුතුයි කියන තැන අපි හිටියා. මේ අරගලය නැතුව අපිට ඉදිරියට යන්න බැහැ. යම් සන්ධිස්ථානයකටයි අරගලය ඇවිල්ලා තියෙන්නෙ. තවදුරටත් යන්න තියනවා. මේ අරගලයට සුජාතභාවයක් ඇවිල්ලා තියෙනවා. අරගලය සම්බන්ධයෙන් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. අදිසි බලවේගයක් ලෙස නෙවෙයි; අපි සැබෑ සක්‍රිය දායකත්වයක් මේ සඳහා ලබා දුන්නා; අපි ක්‍රියාකාරීව කටයුතු කළා.
ප්‍රමුඛ වුණේ ජනතාව. ඒ නිසා මෙය ජනතාවගේ අරගලයක්. ධනේශ්වර දේශපාලනඥයෝ ජනතාව පෝලිම්වලට හුරුකරනවා. මේ හුරුවීමට ජනතාව පුරුදු වෙනවා. දේශපාලන ව්‍යාපාර තියෙන්නෙ ඒ හුරු වීමට ඉඩ නොදී නැවත වතාවක් මේ අරගලය ඉදිරියට අරගෙන යෑමටයි.
රටේ මතුවී ඇති දේශපාලන ආර්ථික සහ සමාජීය ප්‍රශ්න විසඳීමට පෙරටුගාමි පක්ෂයේ යෝජනා කවරේද?
සමාජවාදී වැඩපිළිවෙළක් යටතේ අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පාලන ක්‍රමය අනිවාර්යෙන් වෙනස් විය යුතුයි. අපේ යෝජනා තියෙනවා. මේ තාවකාලික සංක්‍රමණ අවදියේදී විශාල අර්බුදයක් මතු වූ අවස්ථාවේදී කවුරු හෝ කිව්වොත් කෙටි කාලීන විසඳුම් තියෙනවා කියලා එය අසත්‍යයක්. යම්කිසි කාලයක් යනවා. රටේ ආර්ථික දේශපාලන අර්බුදය නිසා දේශපාලන තන්ත්‍රය වෙනස්කම් ඇතිවෙලා තියෙනවා. දේශපාලන තන්ත්‍රය වෙනස්කම් කර තාවකාලික සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැඟීමේදී ජනතාවට මූලික වශයෙන් ආර්ථික සහන ලබා දිය යුතුය. ආර්ථිකය හැසිරවීමට දේශපාලන ස්ථාවරත්වය අනිවාර්යයෙන් අවශ්‍යයි. තාවකාලික සම්මුතිවාදී ආණ්ඩුවක් හැදිය යුත්තේ දේශපාලන ස්ථාවරත්වයකින් පසුවයි. හොරාගත් මුදල් ලබා ගැනීමටත්, ධන කුවේරයන්ට විශාල බදු අය කෙරෙන අනුක්‍රමික බදු ක්‍රමයකුත් සම්පාදනය කළ යුතුය. ජාතික ආර්ථිකය නඟා සිටුවන්න ක්‍රමවේදයක් සහ රටට ගැළපෙන කෘෂිකර්මික ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට ප්‍රාමාණික විද්වතුන්ගෙන් උපදෙස් ලබාගත යුතුයි. විදුලිය ජලය ඉන්ධන යන ක්ෂේත්‍රයන්වල අනුක්‍රමික ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. මෙවැනි ක්‍රමවේදයන් වලින් යම්කිසි කාලයක් අපිට යන්න වෙනවා.
රටේ තරුණ ජවය ඒකරාශි වී සිටින මොහොතක කොහොමද ඔවුන් නිසි අරමුණුගත කරන්නේ?
මෙතරම් කැප කිරීමක් කරපු අරගලයේ දැන් යම්කිසි යෝජනා මාලාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. දේශපාලන ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ සඳහා මාසහයකට හෝ වසරකට සීමාවූ අදහස් මතුවෙලා තියෙනවා. තරුණයන්ගේ දේශපාලන අභිප්‍රායයන් ඉදිරියට එන්න නම්, එය මුදාහරින්න නම්, ප්‍රජාතන්ත්‍රීය ආර්ථික සමාජීය අයිතිවාසිකම් සුරැකෙන නිදහසක් ගොඩනැඟිය යුතුයි. මේ ඉදිරිපත් වූ යෝජනා මාලාව නායකත්වයේ තියාගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. සියලුම තරුණ කොටස් ඒ සඳහා ඒකරාශි විය යුතුයි. ඉන් අනතුරුව ඔවුන්ගේ සංස්කෘතික ජීවිතයේ සියලු විභවයන් මුදාහරින්න පුළුවන් වට පිටාවක් සැකසිය යුතුයි.
මෙවැනි තත්ත්වයක් යටතේ IMF ක්‍රියාකාරිත්වය තවදුරටත් ඍණ මට්ටමකට පැමිණේද?
IMF කිසිදු දවසක අපේ රටට ආදරෙන් අපේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙලා නැහැ; මුළු ඉතිහාසය පුරා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා. ඔවුන්ගේ වෙළෙඳපොළ ධනවාදය සියල්ල විකුණන, සියල්ල විකිණෙන ආර්ථික ක්‍රියාවලියක් උදෙසායි ක්‍රියාත්මක වෙන්නේ. අධ්‍යාපනයට, කෘෂිකර්මයට රජයේ තියෙන මැදිහත්වීම ඉවත් කර ගැනීම, මුල්‍ය ක්ෂේත්‍රයට තියෙන සීමාමායිම් ඉවත් කරගැනීම සම්බන්ධ මෑතකාලීන ඒ අයගේ යෝජනා වලින් අපිට පේනවා.
මේ අරගලය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද ?
මේ රටේ මුළු ඉතිහාසයක් පුරා අපි දැක්කා මාධ්‍යවේදීන් ඝාතනය කරපු ආකාරය. දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධව අතුරුදහන් වීම්, ඝාතනය කිරීම් සම්බන්ධව කිසිම සාධාරණයක් ඉටුවෙලා නැහැ. සිංහල මුස්ලිම් සහ දෙමළ යන සියලු මාධ්‍යවේදීන්නට මේ දුර්දාන්ත පාලනය කොහොමද සැලකුවෙ කියලා අපි දැක්කා. ඔවුන්ගේ අවශ්‍යතා අනුව වන්දිභට්ටකම් කරන මාධ්‍යවේදීන්ට එක විදිහකුත්, නිදහස් අදහස් දරන මාධ්‍යවේදීන්ට තවත් ක්‍රමයකුත් මේ අය අනුගමනය කරනවා. මාධ්‍ය මර්දන ඉතිහාසයක් අපි දැකලා තියෙනවා. ඊයේ පෙරෙයිදා අපි දැක්කා මාධ්‍යවේදීන් අරමුණු කරගෙන සැලසුම් සහගතව, අරමුණු සහගතව ප්‍රහාරයක් එල්ල කළා. අපි එය තරයේ හෙළා දකිනවා. සීමිත පිරිසක් හිටපු ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හරිම අභව්‍යයයි. නැවත බලයේ ඉන්න කුපිත කිරීමේ අරමුණු ඇතිව කරන ලද ප්‍රහාරයක්. ප්‍රචණ්ඩත්වය සහ ජාතිවාදය වපුරලා ජනතාව කුපිත කිරීමට උත්සාහ කරන ආකාරය අපි දැක්කා. මේ අයගේ මේ උපක්‍රමවලට රැවටෙන්න එපා කියලා ජනාතවට කියනවා. මේ ජයග්‍රහණය කරපු සාමකාමි බලය ගැන අපි විශ්වාසය තියමු. මේ බලයට ප්‍රචණ්ඩකාරි ක්‍රමන්ත්‍රණකාරි මර්දනයන් පරාජය කරන්න පුළුවන්.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න