
අපේ රටේ පවතින මේ ආර්ථික අර්බුදය ඩොලර් අර්බුදයක් ලෙස විග්‍රහ කිරීම උචිත නොවෙයි. මේ ආර්ථික අර්බුදය සංචාරකයන්ගේ නොපැමිණීම හෝ කොවිඩ් වසංගතය නිසා හෝ ඇති වූවක් ලෙස විග්‍රහ කළ නොහැකියි; මේ පවතින ආර්ථික සමාජ දේශපාලනික අර්බුදයේ ආරම්භය 1977 වූ විවෘත ආර්ථිකය නමින් හැඳින් වූ විවෘත වෙළෙඳාම මත පදනම් වූ ක්‍රමවේදය නිසා ඇති වූවක් ලෙස පැහැදියි කිරීම වඩාත් සුදුසු වෙයි. වෙළෙඳාම ප්‍රචලිත කිරීම ණය මත පදනම් වූ; නාගරික ඉදිකිරීම් මත සංවර්ධන වේගය සහ ආර්ථික වර්ධන වේගය පෙන්නුම් කරන දේශීය නිෂ්පාදන පද්ධතිය කඩා වට්ටන මොඩලය නිසා මේ අර්බුදය නිර්මාණය විය. මේ අද ඇති වී ඇති අර්ථික ඉරණම අත්වී වීමට වඩා ප්‍රබල හේතුව එයයි. දේශීය නිෂ්පාදන පද්ධතිය කඩා වැට්ටීම, ආනයනයන් දිරිමත් කිරීම, සහ අපනයන ආදායම් තුළින් ආනයන පියවා ගැනීම පිළිබඳ කතිකා අද ගොඩනඟනු ලබයි. රටේ පැවැති නිෂ්පාදන පද්ධතිය කඩා වැට්ටීම තුළ අපනයන ආදායම වර්ධනය වීමක් සිදු නොවෙයි. පාරිභෝජන රටාව වෙනස් වී වැඩි පරිභෝජනයකට හුරුවීම සහ අපනයන මත ලැබෙන ආදායම වියදමට වඩා අඩුවීම දිගින් දිගටම සිදුවිය.
මේ රටේ වර්ෂ 1977 ආරම්භ වූ මේ ගමනේ අපනයන ආදායම මෙන් දෙඟුණයක් ආනයනය සඳහා අද වැය වෙයි. දළ වශයෙන් වෙළෙඳ හිඟය ඩොලර් මිලියන දසදහසක් වෙයි. එය පියවා ගැනීම සිදුවන්නේ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේරණයන් මඟින්; සංචාරක කර්මාන්තයෙන් ලැබෙන කුඩා විදෙස් විනිමය සහ ණය මඟිනි. සංචාරක කර්මාන්තය අපි ස්ථානගත කළ තැනෙහිද වරදක් වෙයි. ඒ නිසා අද වන විට එම ආදායම ද අඩු මට්ටමක පවති. නිෂ්පාදන පද්ධතිය ක්‍රමානුකූලව කඩා වැට්ටවීම සහ ආනයනයන් දිරිමත් කර ජාවාරම්කරුවන්ට බදු සහන ලබාදීම, දේශීය නිෂ්පාදන කඩා වැටීමට ප්‍රධාන හේතුව වෙයි. මේ රටේ වත්මන් පාලකයන්ගේ පිටට පමණක් මෙහි වගකීම පැවැරීමට ඇතැම් පිරිස් උත්සාහ කරනු ලබයි. වංචාව, දූෂණය ඉතා පැහැදිලිව බොහෝ ආණ්ඩුවල පැවැතිණි. එම ක්‍රියාවලිය දිගටම සිදුවීමේ අනිසි ප්‍රතිඵල අපි අත්විඳිමින් සිටිමු. එනම් අඛණ්ඩව වංචා දූෂණ තුළින් මේ තත්ත්වය වර්ධනය වූවා යැයි කිව හැකියි.
ඒ හොරකම, වංචාව සහ දූෂණය මේ ආර්ථික මොඩලය ඇතුළේම පවතින අංගයකි. මේ ආර්ථීක මොඩලය සකස් වී ඇත්තේද ජාවාරම්කරුවන්ට සහ හොරුන්ට සොරකම් කිරීමට හැකියාව ලැබෙන පරිදිය. එනම් අනවශ්‍ය ණය ලබා ගැනීමේ ඉඩහසර සහ බදු අඩු කරමින් ජාවාරම්කරුවන්ට හොරකම් කිරීමේ හැකියාව මේ ක්‍රමවේදය තුළම නිර්මාණය කර ඇත. විදෙස් ණය ලබාගෙන අනවශ්‍ය යටිතල පහසුකම් දිරිමත් කරමින් ඒ මඟින් කොමිස් ලබා ගැනීමට හැකියාව ලැබෙන ආර්ථිකය මොඩලයක් නිර්මාණය වීම මෙහි තවත් අංගයකි. හොරකම වංචාව දූෂණය නැති කිරීමේ අවකාශය හිමි වන්නේද මේ ආර්ථික මොඩලය වෙනස් කිරීමෙනි. දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කරන, දේශීය කෘෂිකර්මාන්තය දිරිමත් කරන, දේශීය පරිභෝජන රටාවක් හුරු කරන ඉන්ධන ඇතුළු අනෙකුත් පාරිභෝජන භාණ්ඩ සහ සේවා යම් ආකාරයකට සීමා කරන ආර්ථික මොඩලයක් අපි නිර්මාණය කිරීම ස්වේච්ඡාවෙන් කළ යුතු කාර්යයකි.
අද පවතින විශාලතම ගැටලුව බලශක්තිය සහ ඉන්ධනයි. ලෝකයේ පවතින අඩුම මිල සහිත ඉන්ධන කාර්යක්ෂමතාව සහිත වාහන ආනයනය කරයි; අඩු මිලට ඒ සුපිරි පැලැන්තියට ඉන්ධන ලබා දීම සිදුවෙයි. සැමට එකම සහනාධාරය හිමිවෙයි. එය වෙනස් විය යුතුයි. ඉන්ධන සහනාධාරය යනු වැඩිම ඉන්ධන භාවිත කරන පිරිසට ලැබෙන වරප්‍රසාදයක් බවට පත්ව ඇත. සහනාධාර ලබාදීමේදී බලශක්තිය සහනාධාරය පොදු සහනාධාරක් ලෙස ලබාදීම නොකළ යුතුයි. එය දිළිඳු ජනතාවට පමණක් ලැබෙන සහනාධාරයක් විය යුතුයි. එනම් පොදු ප්‍රවාහනය සඳහා තෙල් පිරිවැයට අනුව සැපැයිය යුතුයි. ඒ නිසා අඩු පරිභෝජනය කරන දිළිඳු ජනතාවට සහනාධාර ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
දේශීය නිෂ්පාදකයන් දිරිමත් කළ යුතුයි. ඔවුන්ට සාධාරණ මිලක් නියම කළ යුතු අතර තරගකාරීව ආනයනික නිෂ්පාදන දිරිමත් නොකළ යුතුයි. ආනයනයන් අධෛර්යවත් කළ යුතුයි. එය දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීමට අනිවාර්ය සාධකයක් ලෙස කළ යුතුයි. ආනයනික භාණ්ඩ මිල අඩු කර සහනාධාර ලබාදී අපේ රටට ආනයනය කිරීම සිදු වෙයි. බොහෝ විට කෘෂිකර්මික නිෂ්පාදන සහ නිමි භාණ්ඩ විශේෂ වෙයි. අපේ රටේ නිෂ්පාදනවලට ඒ සඳහා සහනාධාර ලබාදීමෙන්; අපේ නිෂ්පාදකයන්ට එම භාණ්ඩ මිල සමඟ තරග කිරීමට නොහැකි නිසා නිරායාසයෙන්ම මෙරට නිෂ්පාදන පද්ධතිය කඩාවැටීම සිදු වෙයි. ඒ නිසා උපාය මාර්ගික වශයෙන් වැදගත්. මේ ප්‍රධාන කර්මාන්ත ආශ්‍රීතව ආනයනික ද්‍රව්‍යවල මිල දේශීය නිෂ්පාදනවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින ලෙස බදු පැනවීම සිදු කළ යුතු අනිවාර්ය කාර්යකි.
ආනයනිකවල මිල දේශීය කර්මාන්ත නිෂ්පාදන මිලදී ගැනීමට පෙලඹීමක් එමඟින් සිදුවෙයි. වෙළෙඳපොළ ඉල්ලුම ආරක්ෂා කර ගත යුත්තේ එවැනි ආකාරයකටය. එසේම සැපැයුම් අංශයට කොතෙක් ණය ලබා දුන්නද ඉල්ලුම් අංශයෙන් දිරිමත් කිරීමක් කළ යුතුයි. රජය මිලදී ගැනීම්වලට සෑමවිටම සේවා සහ භාණ්ඩ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාව දිය යුතුයි. එවැනි මැදිහත්වීමක් රජය කළ යුතුයි; එවිට දේශීය නිෂ්පාදනවලට වඩා ආනයනිකයන්ට ප්‍රමුඛතාව දීමෙන් දේශීය වෙළෙඳ පොළ පුළුල් නොවෙයි. දේශීය කර්මාන්තකරුවන්ට සේවා සපයන්නන්ට රජය සහය දීම අනිවාර්යෙන් කළ යුතුයි. එසේ නොකොට රජය අඩු මිලට භාණ්ඩ ආනයනය කිරීමෙන් දේශිය කර්මාන්තකරුවා නැඟිටීමක් සිදු නොවෙයි.
සංවර්ධන බැංකු පද්ධතියට නැවත පණ දීම වඩා කාලෝචිතය. සුළු සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයවල වහල්භාවයට පසුගිය කාලය පුරා පත්වී තිබිණි. එම ආයතන කිහිපයක් මේ පිරිස සුරාකෑමට ලක් කරයි. මේ පිරිස්වලට වහල්භාවයෙන් මිඳීමට සහ දිළිඳුභාවයෙන් නැඟී සිටීමට මේ මඟින් අවකාශයක් ලබාදීමට රජය මැදිහත් විය යුතුයි. අද පවතින තත්ත්වය අනුව එම පිරිස්වලට රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදීමට ඒ අවස්ථාව හිමි නොවෙයි.
ඒ නිසා ක්ෂුද්‍ර මුල්‍ය වෙළෙඳපොළ අනිවාර්යෙන් පාලනයට රජය මැදිහත් වී යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. සමෘද්ධි, ග්‍රාමීය, රජයේ සහ ගොවි ජන බැංකු මඟින් කුඩා නිෂ්පාදකයන්ට අඩු පොලියක් යටතේ ණය ලබා ගැනීමේ අවකාශ ලබාදිය යුතුයි.
ආනයනික කෘෂිකර්ම භාණ්ඩ අධෛර්යමත් කිරීමට දේශිය නිෂ්පාදන දිරිමත් කිරීමට නම් වෙළෙඳපොළේ තරගකාරීත්වයේදී දේශීය නිෂ්පාදකයාට වාසි සැලසෙන ආකාරයට බදු පැනවිය යුතුයි. ආහාරවලට පනවන බදු රජය වෙනත් වියදම්වලට බැර නොකර ඒ අර මුදලකට බැර කළ යුත්තේ අඩු ආදායම් ලාභීන්ට ආහාර සලාක ලබා දීමටයි.
අපේ පරිභෝජන රටාව අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු සේම ආහාර සංස්කෘතිය වෙනස් කිරීමට පෙලඹීමක් කළ යුතුයි. දේශීය ආහාර ප්‍රතිපත්තියක් රජයේ ආයතනයන් මඟින් හඳුන්වාදීමක් කළ යුතුයි. කුඩා සැපැයුම්කරුවන්ටත් එමඟින් අවකාශය හිමි වෙයි. පරිභෝජන සංස්කෘතිය වෙනසක් කර දේශීය කෘෂිකර්ම නිෂ්පාදනය දියුණු කළ නොහැකිය. නිෂ්පාදකයාට බලය ලැබෙන සමූපකාර සමිති මඟින් වෙළෙඳපොළ ශක්තිය විය යුතුයි. කෝප්සිටි සතොස ආයතනය වැනි ආයතනයන් අත්‍යවශ්‍ය දේශීයව ද්‍රව්‍ය මිලදී ගැනීම සහ ආනයනය කර තොග පවත්වාගෙන යෑමට වැනි දේ සඳහා වඩා අවධානය යොමු කළ යුතුයි; මහජනයාට සාධාරණයක් ඉටුවීමක් එමඟින් සිදුවෙයි. එසේම රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධ ව්‍යපෘති ලෙස මේ රටේ දේශීය කර්මාන්ත නගාසිටුවීමට කටයුතු කළ යුතුයි. පුද්ගලික අංශයට මේ ව්‍යාපාරිකයන් නඟාසිටුවීමට ප්‍රමුඛතාවය දිය යුතුයි. විදේශීය ආයෝජකයන් මේ කර්මාන්ත සඳහා යොමුවන තෙක් සිටිමට වඩා දේශීය කර්මාන්ත කරුවන් මෙවැනි කර්මාන්ත සඳහා දිරිමත් කළයුතුයි.
දේශීය ආයෝජකයන්ට විදේශවලින් ණය ගන්න පහසුකම් සලසා දී බැංකුවලින් කොටස් මිලදී ගැනීමේ අවකාශය සැලසිය යුතුයි. එවැනි ආර්ථික මොඩලයක් අපිට සැකසිය හැකියි. රජයේ දෙපාර්තමේන්තු විසින්ම කර්මාන්ත සඳහා ආයෝජනය කළ යුතුයැයි නියතයක් නොවෙයි. ප්‍රාග්ධනය රැස් කරගැනීම සඳහා රජය යම් කොටස් ප්‍රමාණයක් රඳවාගෙන මහජනයාට කොටස් විකිණීමක් කළ හැකියි. වසා දැමු කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගැනීම අද වනවිට අනිවාර්ය සාධයකයක් බවට පත් වී ඇත. ඒ සඳහා ව්‍යාපාරිකයන්ට ආරාධනා කිරීමක් රජය මැදිහත් වීමෙන් හෝ කළ යුතුයි.
මේ රටේ ග්‍රැෆීට් මඟින් අපි ග්‍රැෆින් බවට පත් කර අපනයන කළහොත් එමඟින් අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් ඉපැයීමට හැකියාව ලැබෙයි. ඩොලර් මිලියන 100 ක් විතර වැය කර කර්මාන්ත ශාලාවක් ඉදිකළ හැකි අතර ඒ සඳහා ලෝකයේ විශාල වෙළෙඳපොළක් අද විවෘත වී ඇත. ඊළඟට ඛණිජ වැලි, ටයිටේනියම් ආකාරයට අප පිටරටවලට යැවීම සිදුකරයි. ඛණිජ වැලි සහ ග්‍රැෆයිට්වලින් අපි වටිනාකම් එකතු කිරීමේ කර්මාන්ත පද්ධතිය සකස් කළහොත් අපේ වෙළෙඳ හිඟය සම්පූර්ණයෙන්ම පියවීමේ හැකියාවක් ඇත. අවුරුද්දට ඩොලර් මිලියන දසදහසක් පමණ ඒ මඟින් ඉපැයීමේ හැකියාව ඇත. ඒ පිළිබඳව විද්වතුන් පර්යේෂණ කර වාර්තා සකස් කර ඇත.
එසේම දේශීයව එප්පාවල පොස්පේට් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට වැය වන මුදල වසරකට පොස්පේට් ආනයනය කරන වියදම හා සමාන වෙයි; එය ආරම්භ කිරීමට විද්වතුන් හා දක්ෂයෝ අපේ රටේ වෙයි. පුද්ගලික අංශය දිරිමත් කර තුන්වෙනි පාර්ශ්වය දිරිමත් කර සහන දී ආණ්ඩුවත් එහි කොටස් මිලදී ගැනීමේ යම් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. පිටරටින් සහනාධාර ලබාගැනීමේ ක්‍රමවේදයක් හැර පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීමට මෙම ආර්ථික මොඩලය වෙනස් කිරීමට කිසිවකු සූදානම් නොවීම මෙහි බරපතළ කාරණාවයි.
සිමෙන්ති ආදී වසා දැමූ කර්මාන්ත අනිවාර්යෙන්ම නැවත විවෘත කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. ඒවායේ කොටස් මහජනයාට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. එසේම පුද්ගලික අංශයට කොටස් දීමට හැකියාව ඇත. බැංකු පද්ධතිය හරහා ඒවායේ කොටස් ලබා ගැනීමට හැකියාව ඇත. නැවත ඒ කර්මාන්ත ශාලා ජාතික ප්‍රමුඛතා ව්‍යාපෘති නැවත පටන් ගැන්වීම කළයුතුයි. සීනි, ටයර් කඩදාසි, රෙදිපිළි යනාදී නැවත ස්ථාපිත කළ යුතුයි. එසේම ග්‍රැෆීන් කර්මාන්තශාලාව සහ ටයිටේනියම් නිස්සරණ කර්මාන්තශාලා ආරම්භ කළ යුතුයි.
මෙරට පාඩු ලබන රජයේ ආයතනයන් පිළිබඳව කතිකාවන් ඇතිවිය. රජයේ ආයතනයක් පාඩු ලබන්නේ නම් ඒ අනිවාර්යෙන්ම කළමනාකරණයේ වරදක් අනුව සිදුවෙයි. ඒ සඳහා කළමනාකරණයක් සිදුවිය යුතුයි. ප්‍රතිව්‍යුහගත කිරීමකට වඩා මෙවැනි ආයතනයන් කළමනාකරණට සහය දිය යුතුයි. ඒවායේ අක්‍රමිකතා සොයා බැලීම හා සහාය දීම සඳහා ස්වාධීන රාජ්‍ය ආයතනයක් සකස් කළ යුතුයි. එසේම පාර්ලිමේන්තුවෙ කෝප් සභාව මඟින් ද මේ අක්‍රමිකතා සොයා බැලිය යුතුයි. මේ ආයතනවල සිදුවන දූෂණ වංචා හෙළිදරව් කර ගත යුතුයි. ආයතනයන් පාඩු ලැබූ පමණින් පුද්ගලිකකරණවැනි වැරදි වැඩපිළිවෙළකට යායුතු නැත.
කෘෂිකර්මාන්තය ගත්විට වෙළෙඳපොළ ප්‍රධාන වෙයි. සහල් ආනයනය කර වීම සඳහා අඩු මිලක් ගෙවන්නේ නම් දිරිමත් නොවෙයි. ඒ නිසා ගොවියාට සාධාරණ මිලක් ලැබීම පූර්ව කොන්දේසි විය යුතුයි. වීවලට සහතික මිලක් අවශ්‍යයි. වෙළදපොළට විශාල වශයෙන් සපයන අහාර ද්‍රව්‍ය ඒවටත් යම් සාධාරණ අවම මිලක් අවශ්‍යයි. ආනයනික ද්‍රව්‍යවලට බදු පැනවීම අවශ්‍යයි; ආනයන දිරිමත් කිරීම් නොකළ යුතුයි.
අපේ කෘෂිකාර්මික යටිතල පහසුකම් පද්ධතිය වැඩිදියුණු කළ යුතුයි. කුඩා වාරිමාර්ග 35000 ක් පමණ මෙරටෙහි වෙයි. මේ බිඳවැටුණ ගොවි සංවිධානවල, ස්වෙච්ඡා සංවිධානවල සහය ලබාගෙන වසර දෙකක් තුනක් තුළ සම්පූර්ණයෙන් යථාවත් කිරීමක් කළ හැකියි. ඒ වැව් ආශ්‍රිත වගාවන් දියුණු කිරීමේ ක්‍රමවේදයන් ඇති කළ යුතුයි. ලෝකයේ වැඩිම ජලාශ ගණත්වයක් ඇති රටක් ලෙස ඒ යටිතල පහසුකම්වලින් අපි නියම පළ නෙළා ගත යුතුයි. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවයකි. වෘත්තිමය ගොවියා වළපල්ලට යැවීමේ ගොවියාට ගොවි තැන අප්‍රසන්න කරන ක්‍රියාවන් සහ උපදෙස්වලින් පාලන තන්ත්‍රයන් ඉවත් වී විෂයානු බද්ධ දැනුම් ඇති පිරිසක් යොදා ගෙන කෘෂි කර්මාන්තය විධිමත් කළ යුතුයි.
නිෂ්පාදන පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට නවීන තාක්ෂණය යොදා ගත හැකියි. එහිදී එම නිෂ්පාදන පද්ධතියේ ප්‍රතිඵලදායකත්වය වැඩි කිරීමට තාක්ෂණය ඉවහල් වෙයි. කර්මාන්ත දියුණු නොවන තැන තාක්ෂණය යොදා ගැනීමද අවම වෙයි. අපි නවීන ක්‍රමවේදයන් අත්හදා බලමින් ඉදිරියට යා යුතුයි. ඒ සමඟම දේශීය කර්මාන්ත රැක ගැනීමද කළ යුතුයි. නිෂ්පාදනය සඳහා තාක්ෂණය අවශ්‍යයි.
මේ පවතින ආර්ථික මොඩලය සම්පූර්ණයෙන් වෙනස් නොකර මේ රටේ අර්බුදය විසඳිය නොහැකිය. දේශීය නිෂ්පාදන ආරක්ෂා කර, දේශීය ගොවියා හා කර්මාන්තකරුවා දිරිමත් කරන ආර්ථික මොඩලයක් අවශ්‍යයි. එසේම පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීම අනිවාර්ය සාධකයකි. රටේ සම්පත් විභවය මත පදනම් වූ කර්මාන්ත පද්ධතිය නැවත ආරම්භ කළ යුතුයි. විදේශ ආයෝජනකරුවන් නොව දේශීය කර්මාන්තකරුවා දිරිමත් කරන ආර්ථික මොඩලයක් නිර්මාණය කළ යුතුයි. ඒ අනුව දේශීය නිෂ්පාදන පද්ධතිය වර්ධනය කිරීමෙන් මේ අර්බුදය ජයග්‍රහණය කිරීම කළහැකිය.