තවම දහසයයි හපන්කම් පදාසයයි | Page 2 | සිළුමිණ

තවම දහසයයි හපන්කම් පදාසයයි

ක්‍රීඩාවට වගේම ඉගෙන ගන්න, සින්දු කියන්න, නටන්නත් දක්ෂයි

ගී ගයන්නට නටන්නට පමණක් නොව ඉගෙන ගන්නත් ඇය එක සේ හපන්කම් පාන්නීය. ඊටත් වඩා පිත්තෙන් පන්දුවෙන් බොහෝ හිත් ඇද ගන්නීය. ඇය අන් කවුරුත් නොව, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ අවුරුදු දාසයක් වයසැති විශ්මි ගුණරත්න නම් ලංකාවේ වේගවත්ම පන්දු යවන්නියයි. 

අයර්ලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ එමී හන්ටර් ලොව ළාබාලතම ක්‍රිකට් ක්‍රිඩීකාව වෙද්දී විශ්මි ගුණරත්න වයසින් වැඩිමහල් වන්නේ එමීට පමණක්ය. එමී උපන්නේ වර්ෂ 2005 ඔක්තෝම්බර් මස 16 වැනිදාය. අරුණ ගුණරත්න හා ධම්මිකා විජේතුංග යුවළට දාව විශ්මි උපන්නේ 2005 වර්ෂයේ අගෝස්තු මස 22 වැනිදාය. එසේ උප්පත්තිය ලබන විශ්මි ඇයට වඩා බොහෝ වයසින් වැඩි ක්‍රීඩිකාවන් සමඟ කරට කර සටන් වදින්නීය.

" අපේ පවුලේ බඩපිස්සී තමයි විශ්මි. දැන් බෝලේ පස්සේ දුවලා ගිහින් ඇල්ලුවාට එයා පුංචි කාලේ අක්කලා අයියලා සෙල්ලම් කරද්දි ඈතට වෙලා ඉන්නේ. හේතුව බෝලේ එයාගේ ඇගේ වැදිලා රිදෙයි කියන බයට.. " එලෙසින් කතාවට මුල පිරුවේ විශ්මිගේ ආදරණීය පියා, අරුණය. ඔහුට සිය දියණිය ගැන කියන්න බොහෝ දේ ඇත.

" දුව මුලින්ම ඉගෙන ගන්නේ අල්ගම ප්‍රාථමික විද්‍යාලයෙන්. ඇය ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙනවා ලකුණු 182ක් අරගෙන. ඊට පස්සෙයි ඇය ගම්පහ රත්නාවලී බාලිකාවට ඇතුළත් වුණේ. මමයි මගේ බිරියයි පාසල් කාලේ ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම මගේ ලොකු දුව නෙත්මි ගුණරත්න ක්‍රිකට් ක්‍රීඩා කළා. පුතා කවිෂ අනුපම, එයත් ක්‍රීඩාවට දක්ෂයි. අපේ පවුලම ක්‍රීඩාවට ළැදි නිසා වෙන්න ඇති විශ්මිත් දක්ෂතා දැක්වුවේ. එයා මුලින්ම මීටර 80 හා 100 ධාවන තරග සඳහා සම්බන්ධ වුණා. සබරගමුව පළාතේ පළමු වැනියා වුණා. ඒ වගේම දන්න දවසේ ඉඳලා එයා ලෙදර් බෝලෙට ආදරේ කළා. "

අරුණ ගුණරත්න සිය ආදරණීය දියණිය ගැන මතකය ආවර්ජනය කළේ එලෙසිනි. පිරිමි දරුවකු කුඩා කල සිට පන්දුව හා පිත්ත අතට ගැනීම සාමාන්‍ය දෙයක් වූවාට ගැහැනු දරුවකු පිත්ත හෝ පන්දුව අතට ගැනීම අසාමාන්‍ය දෙයක් ලෙස සිතන අය ද බොහෝය. එහෙත් විශ්මිගේ පවුලේ කිසිවකුට එය අරුමයක් නොවූයේ ඇයගේ පවුලේ සියලුදෙනාට ක්‍රීඩාව සමඟ සමීප සබැඳියාවක් තිබූ නිසා වන්නට ඇත.

"විශ්මිගේ අක්කා ක්ලබ් සෙල්ලම් කළා. ඒක දැකලා විශ්මිට ක්‍රිකට් ගහන්න ඕන කිව්වා. අපිට දුවගේ කැමැත්තට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි චූටි දුවව නිට්ටඹුව ක්‍රීඩා සමාජයට ඇතුළත් කළා. එතකොට දුවගේ වයස අවුරුදු 9යි. දුවගේ කෝච් වුණේ කේ.සී පෙරේරා සර්. එතුමා තමයි රත්නාවලි බාලිකා පාසලෙත් කෝච්. දුවගේ දක්ෂතා දැකලා සර් දුවව පාසල් කණ්ඩායමට ගත්තා. ඒ තමයි ආරම්භය. පාසල්

කණ්ඩායමේ අවුරුදු 19ක වයස දරුවෝ එක්ක ක්‍රීඩා කරනකොට විශ්මි දුව හය වැනි ශ්‍රේණියේ හිටියේ. මෙයාට ඒක ලොකු අභියෝගයක්. නමුත් ඒ පුංචි හිත හැම අභියෝගයක්ම ජය ගත්තා. ගයාන් මුණසිංහ කෝච් දුවට උදවු කළා. ඒ වගේම අනුෂ සමරනායක සර් වේග පන්දු පුහුණුකරු විදිහට කටයුතු කරනවා. ඔහු දුවව හදලා ගත්තා. ඒ නිසා එයාට ලංකාවේ කාන්තා ක්‍රිකට් පිලේ වේගවත්ම පන්දු යවන්නිය බවට පත් වෙන්න පුළුවන් වුණා.."

එලෙසින් ගමන අරඹන විශ්මි ඇයට වයස අවුරුදු 13ක් තිබියදී කුරුවිට විද්‍යාලයට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගන්නත් සීනීගම ක්‍රීඩා සමාජය හා එක්ව ලකුණු 112ක් ලබා ගන්නත් සමත් වන්නීය. ඇය කා අතරත් කතාබහට ලක් වන්නේ පොළොන්නරුව කනිෂ්ඨ විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා විස්මයජනක ලකුණු 417 නිසාය. එනිසාම ඇය අඩු වයසින්ම ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එකතු වීමට

වාසනාවන්තියක් වූවාය.

"දුව ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තේරුණා කියලා එවකට කණ්ඩායමේ පුහුණුකරු වූ ලංකා ද සිල්වා සර් මට කතා කරලා කිව්වා. විශ්මිව ජාතික කණ්ඩායමට තෝරා ගත්තා එමර්ජින් ස්කොඩ් එකට කියලා.ඉක්මනට පුහුණුවීම්වලට

එක්කගෙන එන්න කිව්වා. ඒ ආරංචිය නම් අපිව හරියට පුදුම කළා. ඒ 2020 වර්ෂයේ. ලෝක කුසලානයට තෝරා ගැනීමේ තරගවලට ජාතික කණ්ඩායම එක්ක විශ්මි සිම්බාබ්වේ ගියා. නමුත් කොරොනා හැදිලා ගහන්න බැරි වුණා. පස්සේ කොමන් වෙල්ත් ගියා මැලේසියාවට..."

ජාතික කණ්ඩායමට එක්ව චමරි අතපත්තු සමඟ ආරම්භක පිතිකාරිනියක වන්නට තරම් වාසනාවන්ත වූ විශ්මී, ගම්පහ රත්නාවලී බාලිකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වී වසර හතක් තිස්සේ පාසල් ශූරතාව දිනාගෙන සිටි දේවාතිරාජ පාසලේ නම්බුව රත්නාවලියේ නම්බුව බවට පත් කළාය.

මේ වෙද්දී ලොව හොඳම පිතිකාරිනියන් දහදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වූ චමරි අතපත්තු සමත් වී ඇත. ඇය මේ වන විට ශ්‍රී ලංකාවේ පන්දු වාර විස්සයි විස්ස තුළ ලකුණු 2000 පසු කළ පළමු ක්‍රීඩිකාව මෙන්ම පළමු ලාංකිකයා ද වේ. ඇය වැනි යකඩ ක්‍රීඩිකාවක සමඟ එකට හැප්පෙන්නට තරම් විශ්මි දක්ෂය. ඇය ඇයට වඩා වැඩිමහල් ක්‍රීඩිකාවන්ගේ පීඩනයට නතු වන්නේද නැතිවීම විශේෂත්වයකි.

"දුවට වඩා වැඩිමහල් අය එක්ක සෙල්ලම් කරද්දි බයක් පීඩනයක් දැනෙන්නේ නැද්ද කියලා අපි අහලා තියෙනවා. එයා කියන්නේ බයක් පීඩනයක් දැනෙන්නේ නැහැ, චමරි අක්කා උදවු කරනවා කියලයි. ඒ වගේම කවදා හරි දවසක ලෝක කුසලානය ලංකාවට ගේන්න එයා එයාගේ දක්ෂතා පාවිච්චි කරනවා කියලත් කියනවා.." යැයි ඇයගේ පියා කීවේ සිය දියණියගේ දක්ෂතා ගැන නිහතමානීව සතුටු වෙමිනි.

"පවුලේ බාලයා නිසා විශ්මි පොඩි කාලේ ඉඳලා හරි හුරතල්. ඒ වුණාට දඟ කළේ නැහැ , දකින දකින දේ ඉල්ලලා කරදර කරලා නැහැ . සාමාන්‍ය විදිහට ජීවත් වුණා. බෝනික්කෝ එක්ක සෙල්ලම් කළා. බෝල හෝ බැට් ඉල්ලලා කරදර කළෙත් නැහැ . නමුත් එයා ක්‍රීඩාවට වගේම ඉගෙන ගන්න සින්දු කියන්න, නටන්නත් දක්ෂයි. සාමාන්‍ය පෙළ

විභාගයට මුහුණ දුන්නා. හොඳින් සමත් වෙයි කියලා හිතනවා. එයාට ඕන වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒ නිසා බයෝ කරන්න හිටියේ, ඊට පස්සේ කිව්වා ගණිතය

විෂයන්ගෙන් උසස් පෙළ කරනවා කියලා. නමුත් ක්‍රීඩා කටයුතු එක්ක එයා අන්තිමට තීරණය කළා වාණිජ අංශයෙන් උසස් පෙළ කරනවා කියලා.

දවසක් මගේ අත කැඩිලා එයයි ලොකු දුවයි එකතු වෙලා තමයි ගෙදර වැඩ කළේ. ඒ වගේ දේවලුත් කරනවා..."

එසේ කියමින් අප සමඟ කතාබහට එක්වූයේ විශ්මීගේ මව, දම්මිකා විජේතුංග ය. විශ්මී ගේ ක්‍රීඩා කටයුතුවලට පහසුවක් වීම සඳහා ඔවුහු පදිංචි වී සිටි වරකාපොළ අල්ගම ප්‍රදේශයෙන් ගම්පහ ප්‍රදේශයේ පදිංචියට පැමිණියහ. එතැන් පටන් විශ්මිගේ ක්‍රිකට් ජීවිතයට මුල් තැන දුන්හ.

"විශ්මි උදේ පහට නැඟිටලා දවස් පහක් ප්‍රැක්ටිස් යනවා. හවස් වෙලා ගෙදර එන්නේ. සමහර දවස්වලට මහන්සියි කියලා ඇවිත් ටිකක් වෙලා නිදාගෙන තාත්තා එක්ක ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේම එයාලට හිතුණු දේ කන්න බොන්න බැහැ. තෙල් කෑම සම්පුර්ණයෙන් අඩු කරලා බත් අඩුවෙන් කන්නේ. වැඩිපුරම කන්නේ මස්, මාළු. එක වේලකට මස් ග්‍රෑම් 150ක් විතර කන්න ඕන. පෝෂ්‍යදායක ආහාර තමයි ගන්නේ. ශරීරයේ ශක්තිය එයා හරියට මේන්ටේන් කරනවා. කන්න ආසයි කියලා කැමති හැමදේම කන්නේ බොන්නේ නැහැ. කට පරෙස්සම් කරගන්නවා..."

විශ්මිගේ දින චර්යාව ගැන ඇයගේ මව එසේ පැවසුවාය. ගැහැනු දරුවන්ට ක්‍රීඩා සුදුසු නැතැයි මත දරන ඇතැමුන් සිටින සමාජයක විශ්මිගේ මවට පියාට ඒවා ගැන වගක්වත් නැත. ඔවුන්ට අවශ්‍ය දියණියගේ සතුටය.

"අපිට වැදගත් දුවගේ සතුට. ඒ නිසා එයාගේ කැපවීමට අපි ඉඩ දෙනවා. දුවට ඉස්සර හරියට කේන්ති යනවා. අපිත් බය වුණා එයාගේ වෙනස ගැන. නමුත් ක්‍රීඩා කටයුතු එක්ක එයාගේ සියලු දේ වෙනස් වුණා. මේ මාසේ අග කොමන්වෙල්ත් තරග තියෙනවා, එංගලන්තයේ. දුවත් ඒ සංචිතයට තේරෙයි කියලා හිතනවා. ඒ වගේම දුවව මේ මට්ටමට ගෙනාවේ රත්නාවලී බාලිකා විදුහලේ විදුහල්පතිනිය ‍ෙහ්මා

ජයවර්ධන මහත්මිය. එතුමිය පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න කැප වෙනවා. ඒවගේම පාසල් ක්‍රිකට් භාරව ඉන්න අනුෂා ගුණසේකර මිස්වත් දුවගේ කෝච් ගයාන් මුණසිංහ සර්වත් මතක් කරන්නම ඕන. දුවට දක්වන සහාය වෙනුවෙන් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාටත් ස්තූති කරනවා දුවට උදවු

කරනවට.."

අවසන් වශයෙන් විශ්මිගේ මව එසේ පැවසුවාය. විශ්මී යනු අනාගතයේ තවත් චමරි අතපත්තු කෙනකු විය හැකිය. එසේ දක්ෂතා දක්වන්නට විශ්මිට වාසනාව හිමි වේවා යන්න අපි ද ප්‍රාර්ථනා කරමු.

Comments