ඔව් අපි සූදානම් | සිළුමිණ

ඔව් අපි සූදානම්

- අපිටත් ආණ්ඩුවක් හැදිය හැකි බව ජනතාවට ඔප්පු කරන්න අපි සූදානම්
- මේ අර්බුදය නිර්මාණයවීමේදී ආර්ථික පැතිකඩට වඩා ප්‍රබල වී ඇත්තේ දේශපාලන සංස්කෘතියයි
- ප්‍රගතිශිලි බලවේගයක් ලෙස ජවිපෙ දැන් සමාජගත වෙමින් පවතිනවා

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඔබේ පක්ෂයට ලබා දුන්නොත් අන්තර්වාර ආණ්ඩුවට නායකත්වය දෙන්න සුදානම් බව ඔබ ප්‍රකාශ කළා; ඒ අභියෝගය බාර ගැනීමට ඔබ සුදානම්ද?

ඒ අභියෝගය බාර ගැනීමට අපි සූදානම්. අද අපේ රටට අවශ්‍ය ස්ථාවර සහ විශ්වාසනීය පාලනයක්; අද පාර්ලිමේන්තුවේ ගොඩනැඟී ඇති පාලනය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් නැහැ. අපිට විශ්වාසනීය පාලනයක් ගොඩනඟන්න පුළුවන් බව විශ්වාසයි. අපේ යෝජනා දෙකක් තියෙනවා. මේ ගොඩනැ­‍ෙඟන අන්තර්වාර පාලනයට නිෂ්චිත දිනවකවානුවක් තිබිය යුතුයි; රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධූරය දැරීමට ජනවරමක් නැහැ. ඔහු සැලසුමක් ඉදිරිපත් කළේ නැහැ. අන්තර් පාලන ආණ්ඩුවක් ගොඩනැඟෙනවා නම්; කෙටිකාලීන වැඩසටහනක් ඇතුළත් විය යුතුයි. ආරම්භය අවසානය පැහැදිලි විය යුතුයි. අපි විශ්වාසනීය අන්තර්වාර පාලනයක් ගොඩනඟන්න ලෑස්තියි; මේ මොහොතේ මුහුණදී ඇති මූලීක ගැටලුවලට විසඳුම් සෙවීමත් ඉන් අනතුරුව නව ජනවරමින් ගොඩනැඟෙන ආණ්ඩුවකින්; මතුවී ඇති ගැඹුරු අර්බුදවලට විසඳුම් ලබාදීමටත් අපිට හැකියි. 

මාස හයකින් රට ගොඩනැඟීමට හැකි නම් ඔබට අගමැතිධූරය බාරදී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්වීමට සූදානම් බව ඔහු පැවැසුවා; ඔබ ඒ ආරාධනාව පිළිගන්නවාද?

ඔබ හිතනවද ඔහු ඉවත් වෙයි කියලා. ඔහු ඉවත් වන්නේ නැහැ. ඔහු ඉවත් කළ යුතුයි. ඔහු සාමාන්‍යයෙන් බලය වගකීමක් ලෙස සලකන නායකයෙක් නොවෙයි; ඔහු බලය එන්ජෝයි කරන කෙනෙක්. මේ පාලකයෝ බහුතරයක් අනිසි බලයක් එන්ජොයි කරනවා. අද මේ විශාල අර්බුදයක් පවතින අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය අපි දැක්කා; මේ අර්බුදයත් ඔහු වින්දනයක් කරගෙන ඉන්න කෙනෙක්. මම හිතන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා ගැනීමටවත් ජනවරමක් නැහැ. ඔහු නිසා මේ සමාජය යථා තත්ත්වයට පත් කරන්නේ කවදාද ඉන්පසුව මැතිවරණයකට ගිහින් ජනවරමක් අරගෙන ආර්ථීකයේ ගැඹුරු ප්‍රතිසංස්කරණවලට ඉඩදිය යුතුයි. මහනායක හිමිවරුන් නීතීඥ සංගමය කරන ලද ඉල්ලීම් අනෙකුත් දේශපාලන ව්‍යාපාරවල හැම ලියවිල්ලකම අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව මතුවෙලා තිබුණේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ ජනවරමක් නැති අගමැති කෙනෙක් වාඩිවෙලා ඉන්නවා. ඒ පුටුවෙන් නැඟිටින්න සූදානම් කියලා; අපි හිතන්නේ නැහැ. ඔහු ඉවත් වෙන්න සූදානම් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ ඉවත් කළ යුතුයි.

පවතින අර්බුදයෙන් මාස හයක් තුළ රට ගොඩගන්නා බව ඔබ ප්‍රකාශ කළා. ඒ සැලසුම් ජනතාවට ඉදිරිපත් කරන්න?

මේ අර්බුදය දිගුකාලීන ආර්ථීක ප්‍රතිපත්තිවල සහ දේශපාලනික සංස්කෘතික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක විදිහටයි මා දකින්නේ. රට ස්ථාවර කිරීමට සැලකිය යුතු කාලයක් අවශ්‍යයි. කොහොමද රාජ්‍ය ආදායම අනුව අය වැය පරතරය එසේම ආනයන අපනයන අතර පරතරය අඩු කරගැනීම,නිෂ්පාදනය ඉදිරියට ගෙනයාමට සහ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම, ආදායම් වියදම් අතර විෂමතා අඩු කර ගැනීම සඳහා දිගුකාලීන ආර්ථීක සැලසුම් අවශ්‍යයි. මේ තීරණාත්ම අවස්ථාවේදී ඉන්ධන ගෑස් ඖෂධ ආහාර ආදී මූලික සමාජ අවශ්‍යතා යථාවත් කර ගැනීමට කෙටිකාලීන සැලසුම් අප සතුයි. එනම් ණයක් ලබා ගැනීම, ගෙවිය යුතු ණය පස්සට දැමීම, විදෙස් ප්‍රේරණයන් වැඩි කර ගැනීම, සංචාරක ව්‍යපාරය වැඩි දියුණු කර ගැනීම, සහ පරිභෝජන රටාවේ වෙනසක් ඇති කර ගැනීම යන කරුණු පහ තුළින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකියාවක් ඇති වෙතැයි අපි විශ්වාස කරනවා.

ජත්‍යන්තරය සමඟ ඔබේ සබඳතා පිළිබඳ ජනතාවට පැහැදිලි කිරීමක් අවශ්‍යයි?

බොහො අය හිතන්නේ ජාත්‍යන්තර සබඳතා තියෙන්නේ පුද්ගලයන් මත කියලා. යාළුකම් මත ජාත්‍යන්තර සබඳතා පවත්වන්න බැහැ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී වැදගත් වෙන්නේ අවංක භාවයයි.; මහා බැංකුවේ ස්වාධීනත්වය නීතියේ විධානයේ ආධිපත්‍යයත් වංචා දූෂණ අවම කිරීම සඳහා ක්‍රියාකාරීම සැලසුමක් නැතුව IMF නොයායුතු බව ඇමරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවේ විදෙස් සබඳතා කමිටුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. සියලුදෙනා ඉල්ලන්නේ අවංකභාවය අපට මහ බැංකුවට බැඳුම් කර විකුණලා මුදල් ඉපයීමේ සූදානමක් නැහැ. නීතියෙන් සැඟවිලා ඉන්න අපිට නඩු නැහැ. වංචා දූෂණ චෝදනා නැහැ. විධිමත් අවංකභාවයෙන් යුතු රාජ්‍ය තන්ත්‍රික සබඳතා ඇති කරගත හැකිවන්නේ ජවිපෙට පමණයි. අද ලෝකයේ රාජ්‍ය තාන්ත්‍රීක ගනුදෙනුවලදී ප්‍රධාන සාධකය අවංකභාවයයි. ඉන්දියාවෙන් ජපානයෙන් රුසියාවෙන් ඇවිත් බේර ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලෝකයේ කිසිදු රටක් තවත් රටක් විසින් ගොඩඅරගෙන නැහැ. අර්බුදයකට පත්වූ සැම රටක්ම ගොඩ ගිහින් තියෙන්නේ ඒ රටේ සක්‍යතාව මනා ලෙස කළමනා කරණකරන ලද පාලනයකින් පමණයි. රට ගොඩගතයුත්තේ අපි විසින්මයි. අපි බලයට පත්වුවහොත් රට ගොඩනැඟීමට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගන්න ලෑස්තියි. අපිට මේ රට ගොඩනඟන්න පුළුවන් කියලා අපි හිතනවා.

ජනාධිපතිවරයා ඉවත් විය යුතුය යන සටන් පාඨය නියෝජනය කරන ඔබේ පක්ෂය ආණ්ඩුව බාරගන්න දැන් සුදානම් වන්නේ ජනාධිපතිවරයා එම ධූරයේ සිටියදී ද?

ඔහු ඉවත් විය යුතුයි. අනතුරුව පාර්ලිමේන්තුවේ නව ජනාධිපතිවරයෙක් පත් කරගත යුතුයි. මාස 6කට පමණක් රට බාර ගන්න අපි ලෑස්තියි. ඉදිරියේදී ජනවරමින් අපි මේ රට බාර ගන්නවා. කවර ජනාධිපතිවරයෙක් පත් වුවත් ඇමැති මණ්ඩලය පත් කර ගැනීම සහ කැබිනට් මණ්ඩලය පත්කර ගැනීම අපිට අවශ්‍යයි. නමුත් මේ ජනාධිපතිවරයා බලයේ එදිද්දි මේ රටේ ජනතාවට ආණ්ඩුවක් ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා මේ අය බලයේ සිටින තාක් කල් ජනතාව කිසිදු පාලකයෙක් විශ්වාස කරන්නේ නැහැ.

ඔබ සඳහන් කරන පරිදි මේ පාලකයන් කෙරෙහි තිබූ ඒ විශ්වාසය ජනතාවට නැතිවුණේ කොහොමද?

මෙවැනි ජාතික ව්‍යසනයකදී ජනාධිපතිවරයා අගමැති ජනතාව මුණගැසෙන්න අවශ්‍යයි. ඒවගේම ව්‍යාපාරික ප්‍රජාව අවශ්‍ය නිලධාරී පැලැන්තිය මුණගැසිලා; අර්බුදයෙන් ගොඩ ඒමට සැලසුමක් දියත් කළ යුතුයි. ගොවිජනතාව ධීවරයා මුණ ගැසිලා කෘෂිකර්මාන්තයේ ඇතිවෙලා තියන තත්ත්වය පැහැදිලි කළ යුතුයි. මේ අය ගුහාගත වෙලා ඉන්නේ

අර්බුදයෙන් ගොඩ ඒමට මේ ක්‍රමවේදයන් කිසිසේත් ම හරියන්නේ නැහැ. ගඟට පනින අම්මලා, තෙල් පෝලිමේ මැරෙන මිනිස්සු, කෝච්චිවල එල්ලිලා එන මිනිස්සු, ගොවිතැන් පාළුවෙලා බඩගින්නේ ඉන්න ගොවියෝ, නගර පාළුවෙලා ගිහින් තියෙන ආකාරය දැකලා නැතිව ඇති. ඒ නිසා මේ රටේ සැබෑ ස්වරූපයවත් අඳුරගන්න ඒ අයට බැරිව ඇති. රටේ සැබෑ ස්වරූපය දකින්නේ නැතුව විසඳුම් සොයා ගන්න බැහැ.

දේශපාලන සහ ආර්ථීක අර්බුදයට පවතින රජය පමණක් වගකිව යුතුයි කියලා ඔබ හිතනවාද? 

මේ අර්බුදය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ආර්ථික අර්බුදයක් කියලාවත් මේ ආණ්ඩුව දන්නේ නැහැ; ආණ්ඩුව හිතන්නේ මෙය ධන ඍණ ප්‍රශ්නයක් කියලා. මෙය ධන ඍණවලින් එහා ගිය ප්‍රශ්නයක්. සාර්ව ආර්ථිකයේ තිබුණ ගැටලු ආර්ථික දේහයටම බලපාලා තියෙනවා ඒ හරහා සමාජ ජිවිතයම කඩාවැටිලා.මිනිසුන්ගේ ආතතිය වැඩිවෙලා තියෙනවා. ප්‍රචණ්ඩත්වය වැඩිවෙලා කුසගිනි වැඩිවෙලා. මේ සියලු අංශවලට මේ බලපෑම් තියෙනවා. රට ගොඩගන්න රටේම පොදු ජනතාවගේ සිට රාජ්‍ය පාලකයා දක්වා එක් අරමුණකට ප්‍රතිසංවිධානය කිරීම පළමුවෙන් කළ යුතුයි. සක්‍යතාව අත්පත් කර ගැනීමේ පළමු පියවර එයයි. අපේ රටේ පිහිටීමත් සමඟ රටේ සංචාරක ව්‍යාපාරයේ යෝග්‍යතාවයන් වැඩිදියුණු කර, මානව සහ ස්වභාවික සම්පත් රටේ ශිෂ්ටාචාරයත් සමඟ ගළපා ගනිමින් නව ආර්ථික උපාය මාර්ගවලට අවතීර්ණ විය යුතු වන්නේ කෙසේද කියන කාරණාවත් සමඟ අපි අපේ සක්‍යතා මතු කරගත යුතුයි. අපේ අභිප්‍රාය බවට පත්විය යුත්තේ එයයි; පුරවැසියන් එම කැපවීමකරන්නයැයි ආරාධනා කරන්න පුළුවන් වෙන්නේ පාලකයාට ඒ ආදර්ශය දීමට හැකි වුවහොත් පමණයි. ඒ ශක්‍යතා අවදි කරගත හැකිවන්නේ ජවිපෙට පමණයි.

එජනිස රජය යටතේ 2004 වර්ෂයේදී ජවිපේ ප්‍රබල ඇමැතිධූර කිහිපයක් දරා තිබුණත් එම අමාත්‍යංශවල ප්‍රගතියක් අත් වී නැහැ නේද?

අපි එදා එම තීන්දුව ගත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමඟ රට ගොඩනඟන ප්‍රතිපත්තියකින් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට එවකට රට බෙදා වෙන් කිරීමේ සැලසුමක් තිබුණා. එය පරාජය පත් කිරීමටයි එදා අපි තීන්දුව ගත්තේ. මම කෘෂිකර්ම අමාත්‍යාංශය මාස දාහතරක් කළා. ලංකාවේ එතෙක් වී නිෂ්පාදනයේ වැඩිම අස්වැන්න බවට එම වසර පත් වුණා. අපි කිරි ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අත්පත් කර ගත්තා. මිල්කෝ ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කළා. එම අමාත්‍යාංශවල වංචා දූෂණ නාස්තිය නැති කළා.

ජවිපේ පෞද්ගලිකකරණය විරුද්ධ බවට මතයක් තියෙනවා. ඔබේ පාලනයක් යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතනයන් තවදුරටත් පවත්වාගෙන යනවද?

සමහර ආයතන රජය අත් හරින්න ඕන. සමහර ක්ෂේත්‍රවල රජයේ අයිතිය තබා ගත යුතුයි. විදුලි බලය සහ පෙට්‍රොලිම් වැනි ක්ෂේත්‍රවල රජය අයිතිය තබා ගත යුතුයි. අපිට දවසකට අවශ්‍ය වෙන්නේ ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000 එය කුඩා මාර්කට් එකක්. දවසකට විදුලිය මෙගාවොට් 40 අවශ්‍ය වෙන්නේ; බලශක්තිය අයිති කෙනා තමයි හෙට රට පාලනය කරන්නේ. ඒ නිසා ජාතික ආරක්ෂාවටත්,සෛවරීභාවයටත් විශාල තර්ජනයක් බලශක්ති ක්ෂේත්‍රය රජය අත්හැරිම. නමුත් සමාලෝචනය කරලා අනෙක් පාඩු ලබන ක්ෂේත්‍ර අත්හරින්න අපි සූදානම්

රාජ්‍ය අංශය රටට බරක්ද? එසේ නම් එය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයිද ?

රාජ්‍ය අංශය බර වුණේ කුමක් නිසාද? අද රාජ්‍ය අංශය බරවෙලා තියෙන් නේ උඩ තනතුරු වල නොවෙයි යට තනතුරුවලයි.දේශපාලන පත්වීම්. ඕනෑම ක්ෂේත්‍රයක් ගත් විට ඉහළ තනතුරුවලට යම් බඳවා ගැනීමේ පටිපාටියක් අනුව සිදුවුවත් පහළ ක්ෂේත්‍රයන්වලට දේශපාලන පත්වීම් ලබාදීම සියලු ආණ්ඩු යටතේ සිදු වුණා. ඒනිසා මේ රාජ්‍ය යාන්ත්‍රණය බර කලේ මේ පැවැති ආණ්ඩු දෙකයි. අපි ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. බලයක් තිබුණ අවස්ථාවලදීවත් අපි තනතුරු දීලා නැහැ. රට ගොඩ ගියොත් රට සමෘද්ධි භාවයට පත්වුවහොත් තමන්ගේ දරුවන්ට එය අත්පත් වෙන බව අපිත් එක්ක වැඩ කරන සියලු දෙනා දන්නවා . එහෙම වැඩ කරන පොදු ව්‍යාපාරයක් අපි ක්‍රියාත්මක කරන්නේ. ඒනිසා රාජ්‍ය යාන්ත්‍රණයේ බර අඩු කරන්න පුළුවන් වෙන්නෙත් අපිට විතරයි. රජයේ ආයතනවල පමණයි විශ්‍රාම වැටුපක් එනම් සමාජ ආරක්ෂණය හදලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් පෞද්ගලික අංශයට වඩා වැඩි කැමැත්තක් දක්වනවා රාජ්‍ය අංශයට. ඒනිසා අනෙක් සෑම අංශයකටම සමාජ ආරක්ෂණය පිළිබඳව වග කියනවා නම් මේ තරම් රාජ්‍ය අංශය බර වෙන්නේ නැහැ.

දැවෙන ආර්ථික අර්බුදයන්ට අන්තර්වාර ආණ්ඩු විසඳුමක් කියලා ඔබ හිතනවාද?

අන්තර්වාර ආණ්ඩුවකට හැකියාව ලැබෙන්නේ සමාජය යථාවත් කරගැනීම පමණයි. අන්තර්වාර ආණ්ඩුවකින් මේ අර්බුදයට විසඳුම් ලැබෙන්නෙ නැහැ. අර්බුදයෙන් ගොඩ එන්න ජනතාවගෙ ජනවරම සහිත පාලනයක් ඇති විය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ කවුරු බලයට ආවත් පසුවදා විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් ජනවරමින් ආණ්ඩුව හැදුණාම ස්වභාවයෙන්ම ජනතාව ප්‍රශ්න විසඳන්න ඒ ආණ්ඩුවට කාලපරිච්ඡේදයක් දෙනවා. මැතිවරණයක් පැවැත්වීමට තෙල් ගෑස් ලබාදීම පාසල් පද්ධතිය විවෘත කිරීම කාර්යාලය විවෘත කිරීම ගොවියාට යම් සහනයක් ලබාදීම ධීවරයාගේ බෝට්ටු ටික නැවත මුහුදට යෑවීම ගොවියා නැවත ගොවිපොළට යැවීම් වැනි මූලික කරුණු අන්තර්වාර පාලනයට කළ හැකියි. මේ ගැඹුරුතම අර්බුදයට අන්තර් පාලනයකට විසඳුමක් නැහැ.

ඔබ කියන ඒ ගැඹුරුතම අර්බුදයට එකම වගකිව යුත්තා මේ ආණ්ඩුව විතරයි ද?

මේ අර්බුදය නිර්මාණය වෙලා දශක හතරකට වැඩියි; මේ ආණ්ඩුව ආර්ථීක ප්‍රශ්නයක් කියලා මේ අර්බුදය ඌණනය කරන්න හදනවා; මේ ආර්ථික ප්‍රශ්න ද්වීතියයි. මේ ආර්ථික අර්බුදයේ ලොකුම අර්බුදය නිර්මාණය වූයේ මේ රටේ දේශපාලන සංස්කෘතිය නිසයි. ආර්ථික සැලැසුමකදී මුලින් කළ යුත්තේ ජනතාවට අත්‍යවශ්‍ය මූලීක දේ සම්පාදනය කිරීමයි. දේශපාලන සංස්කෘතිය විසින් වංචාව දූෂණය පෙරටු කර ගත්විට රටක් හැදෙන්නේ නැහැ.

මේ අර්බුදය නිර්මාණය වීමේදී ආර්ථික පැතිකඩට වඩා ප්‍රබල වී ඇත්තේ දේශපාලන සංස්කෘතියයි. මේ ක්‍රමවේදය වර්ධනය වූයේ අසුව දශකයේදීයි. පාලකයන්ට දිර්ඝ කාලීන සැලසුම් තිබුණේ නැහැ. අපිට අවශ්‍ය වන ඩොලර් උත්පාදනය කිරීමට සැලසුමක් තිබුණේ නැහැ. ඒ නිසා හිඟ ඩොලර් ප්‍රමාණය සපුරා ගත්තේ ණයක් අරගෙන හෝ රට විකුණලා. අසූවෙදිත් අපිට ඩොලර් හිඟයි. ණය අරන්, රට විකුණලා ඒ ණය පියව ගත්තා. වසර 2000 වනවිට ඒ තත්ත්වය දරුණුයි. 2020 වනවිට විකුණන්න දෙයක් නැතුව ගියා. කවුරුත් ණය දෙන්නේ නැතුව ගියා. මහබැංකුව සතුව ඩොලර් නැති තැනකට පත්වුණා. මේ අර්බුදය නිර්මාණය කළේ විනාශකාරී දේශපාලන සංස්කෘතියයි

ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලකරුවන්ගේ අරගලය ජවිපේ දකින්නේ කොහොමද?

එහි පොදු භාවයක් සහ ප්‍රගතිශිලි සටන් පාඨ තියෙනවා. අපේ රටේ දේශපාලනයට තරුණ කොටස් පසුගිය කාලයේ සහභාගි වුණේ නැහැ. දේශපාලනයට අවතීර්ණය වුණේ වැඩිහිටියෝ. තරුණ තරුණයන් සමාජජාලා ඇතුළේ හිටියා. ඒ අය ලෝකය දැක්කා. වැඩිහිටියන් විසින් ගනු ලැබූ දේශපාලන තීන්දු තරුණ කොටස්වල අනාගතය විනාශ කළා. මේ අරගලය තමන්ගේ අනාගතය වෙනුවෙන් කරන්නක්. වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් පිරුණු නීතියට යටත් නැති දේශපාලන සංස්කෘතියට ඔවුන් විරුද්ධවයි. දේශපාලන සංස්කෘතියට විරුද්ධ සටනක් එතැන තියෙන්නේ. දිර්ඝ කාලයක් අපි මේ සමාජයට ඉදිරිපත් කරන ලද මතවාදවලට යම් සමාජීය පිළිගැනීමක් එතැන තියෙනවා.

තරුණ රැඩිකල් කණ්ඩායම් වල ශිෂ්‍ය අරගල ව්‍යාපාර සාර්ථක වුවත්; ඔවුන් දේශපාලනික සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පමණක් පෙනී සිටියත් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ගැන කතා කරන්නේ නැත්තේ ඇයි ?

මේ පවතින ක්‍රමවේදයන් වෙනස් කරන්න අවශ්‍යයි. මේ රටේ අධ්‍යපනයේත් අනිවාර්ය වෙනසක් විය යුතුයි. අපිට විශාල මානව සම්පත් තියෙනවා. මේ මානව සම්පතත් සමඟ ඉදිරියට යා යුතුයි. ලෝකයට අවශ්‍ය වන ශ්‍රමිකයන් බිහිකර ගත යුතුයි. අධ්‍ය­ාපනය සෞඛ්‍ය සහ ක්‍රිඩා තුළින් ඉදිරියට යන ධෛර්ය සම්පන්න මිනිසුන් නිර්මාණය කළ යුතුයි. දියුණු මානවයෙක් ගොඩනැඟෙන අධ්‍යපනයක් යළි ගොඩනැඟීම අත්‍යවශ්‍යයි.

ප්‍රගතිශිලි දේශපාලන පක්ෂයක් ලෙස දුෂණයට වංචාවට එරෙහි වීම පිළිබඳ ජනතාව තුළ පැහැදිමක් තිබුණත් ඡන්දයකදී ජන්ද පදනමේදී යම් පසුබෑමක් පසුගිය කාලය පුරා සිදුවුණා නේද?

ඇත්තටම පොදුවේ ගත්තාම අපිට ජනතාව කැමැතියි. නමුත් ඒ අය අපිට ඡන්දය දෙන්නේ නැහැ. එයට හේතුව අප මොන අර්ථකථනයන් දුන්නත් ජනතාව ඡන්දය දෙන්න යන්නේ සම්ප්‍රදායික විදිහට ආණ්ඩුවක් හදාගන්න. නමුත් ජවිපේ ආණ්ඩුවක් හදන පෙනුණේ නැහැ. ආණ්ඩුවක් හදන්නේ නැතිනම් අපිව ඡන්දයට අදාළ වෙන්නේ නැහැ . අපි කොච්චර හොඳ වුණත් ආණ්ඩුවක් හදන්න පුළුවන් අයට මිනිසුන් ඡන්දය දෙනවා.

දැන් ඔබ ආණ්ඩු හදන්න සූදානම්. එසේනම් ඉදිරි මැතිවරණයකදී ඔබේ ඡන්ද පදනමේ යම් වෙනසක් වෙයි කියලා ඔබ හිතනවාද?

ඔව්. අපිටත් ආණ්ඩුවක් හැදිය හැකි බව ජනතාවට ඔප්පු කිරීමට අපි සූදානම්. එසේ නම් අපි ප්‍රගතිශීලි බලවේගයක් ලෙස සමාජගත විය යුතුයි. අපේ ආණ්ඩුවක් කොයි වගේද කියලා සමාජයේ ප්‍රතිනිර්මාණය වෙලා නැහැ. ජවිපෙ ආණ්ඩුවක් මේ වගේ කියලා අපි පෙන්විය යුතුයි. බාහිරපාර්ශ්ව නොවෙයි; අපි ඒ වෙනුවෙන් අර්ථකථනයන් දිය යුතුයි. අපේ ආණ්ඩුවක් කොයිවගේද කියලා ප්‍රතිනිර්මාණය කර ඉදිරියේදී අපි පෙන්වන්න සූදානම්.

ඔබේ පක්ෂය ඉන්දියානු විරෝධි පක්ෂයක් බවට ඇතැමුන් චෝදනා කරනවා; ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීමට දේශපාලනික වශයෙන් රටට අහිත කරයි නේද?

යථාර්ථය ඉන්දියාව සමඟ ගැටුම්කාරී දේශපාලනයක් හෝ ආර්ථික ප්‍රතිපත්තියකට අපිට යන්න බැහැ. ඉන්දියාව ඉන්නේ විශාල භූදේශපාලනික ගැටුමකයි. ඒ නිසා මේ භූදේශපාලනික ගැටුමට අපේ රටේ භූමිකාව ඉතා වැදගත්. අපේ සංවර්ධන මාවත යථාර්ථවාදීව ගැට ගැසී තියෙන්නේද ඉන්දියාවත් සමඟයි.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments