කලිග්‍යලා | Page 4 | සිළුමිණ

කලිග්‍යලා

ලිග්‍යලා යනු 1957 වසරේ නෝබල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද ඇල්බෑ කැමූ (1913 - 1961) විසින් ප්‍රංශ බසින් රචනා කරන ලදුව 1944 වසරේ මුද්‍රණයෙන් එළිදුටු මෙන් ම 1945 දී පැරීසියේ දී පළමුවරට වේදිකා ගත වූ Caligula නම් නාට්‍යයේ ස්ටුඅරට් ගිල්බට් විසින් කරන ලද ඉංගිරිසි පරිවර්තනයේ සිංහල පෙළයි.

මේ උධෘතය සිංහල පරිවර්තනයේ පෙරවදනෙනි:

‘කේයස් සීසර් කලිග්‍යලා (කලිගුලා) නමැත්තා රෝමයේ සීසර් නමින් රජවූ දොළොස් දෙනකු අතර තුන්වැන්නා විය. වයස 27 දී හෙවත් ක්‍රිව 37 දී රජපත් ඔහුට යහපත් පාලකයකු ලෙස වැසියන්ගේ ආදරය දිනාගත හැකි වූයේ පළමු මාස 8 තුළ පමණි. අනතුරු ව ක්‍රමයෙන් ඔහුගේ ක්‍රියා කලාපය වෙනස් විය. අවසානයේ ඔහු ලෝක ඉතිහාසයේ සඳහන් ක්‍රෑරතර පාලකයන් අතරින් ද නපුරුතම තැනැත්තා විය. කලිගුලා මිනිසකු නොව මෘගයෙකි‘ යි ඔහුගේ ඉතිහාස පුවත ලියූ ස්විටෝනියස් නමැති ලතින් ඉතිහාසඥයා පවසයි.

මෙසේ ඉතිහාසයට එක්වී ඇති කලිගුලා, නාට්‍යයකට හිමි පෞරුෂයක් ලෙස නිරූපණය කළේ කැමූ විසිනි. ඔහු කලිගුලාට නව අර්ථකථනයක් දෙයි. එහෙත් ඉතිහාසඥයන්ගේ ප්‍රධාන මත බොහොමයක් එසේ ම පිළිගනියි. කලිගුලා වීනස් දෙවඟන ලෙස ගැහැනු වෙස් ගැන්වීම හා මරණය තේමාව කොට කවීන් අතර හිටිවන කවි තරගයක් පැවැත්වීම ද ඉතිහාසඥයා හා කැමූ ද එකසේ පිළිගත් එවැනි ප්‍රධාන මත වෙයි. කලිගුලාගේ මනස අවුල් වූයේ ඔහුගේ පාදපරිචාරිකාවක වූ සිසනියා ඉනා බේතක් කැවීම නිසා ය’යි ස්වීටෝනියස් පවසයි. එහෙත් කැමූ ඒ මතය ගුරු කොට නොගනියි.’

කලිග්‍යලාගේ මනස අවුල් වන්නේ ඩ්‍රසිලා නම් ඔහුගේ සහෝදරියගේ මරණය නිසා බව නාට්‍යය ආරම්භයේ ම පාඨකයාට මෙන් ම ප්‍රේක්‍ෂකයාට ද වැටහෙනු ඇත. ඩ්‍රැසිලා සහ ඔහු අතර ව්‍යභිචාරී සබඳතාවක් වූ බව එහි සඳහන් ය.

නාට්‍යය අංක හතරකින් සමන්විත වන අතර ප්‍රධාන චරිත පහකි. කලිගුලා හෙවත් සීසර් හෙවත් කේයස්, ඔහුගේ යහන් සහායිකාව සිසනියා, සීසර් හා සමවියේ උගතකු වන චෙරියා, යොවුන් කවියකු වන සිෆියා, කලිගුලාගේ මිතුරකු වන හෙලකන් යනු ඔවුන් ය. මීට අමතරව මෙරියා සහ මියුසස් ද නම් සඳහන් නොවන වංශාධිපතින් තිදෙනෙක් ද සිටින අතර අධිරාජයකුගේ මාලිගාවට ගැළපෙන පරිදි අනෙක් චරිත කිහිපයක් ද සහභාගි වෙති.

ඩ්‍රැසිලාගේ මරණයෙන් පසු කලිගුලා මාලිගයෙන් අතුරුදන් වෙයි. නාට්‍යය ඇරඹෙන්නේ ඒ ගැන කෙරෙන කතා බහක් සමඟ ය. නොබෝ වේලාවකින් හදිසියේ ම කලිගුලා ශාලාවට ඇතුළු වේ. තමා සඳ සොයන්නට ගිය බවත් පොකුණ ළඟ දී අල්ලා ගන්නට ඔන්න මෙන්න කියා තිබිය දී සඳ තමා වෙතින් පලා ගිය බවත් ඔහු පවසයි.

කලිගුලාගෙන් වංශාධිපතින්ට මරණ තර්ජන එල්ල වන්නේ කොයි මොහොතේ ද’යි කිව නොහැකි ය. ඊට අමතර ව ඔහු ඔවුන්ට අවමන් සහගත ලෙසින් කථා කරයි. ඔවුන් ඒවා ඉවසා සිටින්නේ ඉතා අපහසුවෙනි. අහංකාර ලෙස අනුන් පහත් කොට සැලකීම කලිගුලාගේ චරිතයේ මුඛ්‍ය ලක්‍ෂණයකි.

ඔහු ප්‍රභූන්ගේ කුලවමියන් සයනයට කැඳවන්නේ රහසේ නොවේ. සිතුනොත් පුරුෂයා අබිමුව පවා සිය සිතැඟි අනුව ඕනෑම ස්ත්‍රියක් ඒ සඳහා කැඳවා ගෙන යන්නට ඔහු පසුබට නොවේ.

අසම්මත අයුරින්, විකාර ලෙස ලෝකය වෙනස් කළ යුතු ය සිතන්නෙකි ඔහු.

‘සිසනියා: අහස විධියට තියෙන අහස වෙනස් කරන්නට ඔයාට බෑ. නැවුම් තරුණ මුහුණක් රැලි වැටෙන එක නවත්තන්න ඔයාට බෑ. මිනිහෙකුගෙ හර්දය වස්තුව සීතල වෙන එක නවත්තන්න ඔයාට බෑ.

කලිගුලා: (ක්‍රමයෙන් කලබල වෙමින්) මට ඕන.... මට ඕන අහස මුහුදෙ ගිල්වල දාන්න. අවලස්සනකම ලස්සනත් එක්ක කවලම් කරල දාන්න. මට ඕන වේදනාව මිරිකල එයින් හිනාව එළියට ගන්න...’ 

කලිගුලා කියන්නේ මිනිසුන් ඔහුට වෛර කරන්නේ අන් කිසියම්ම හේතුවක් නිසා නොව තමා ඔවුන් ගර්හාවට පාත්‍ර කරන නිසා ය කියායි. ඝාතන කුමන්ත්‍රණයක් දියත්වේ. හෙලිකන් එය අධිරාජයාට හෙළි කරයි. කුමන්ත්‍රණය මෙහෙයවන්නේ සීෆියාගේ සහායයෙන් චෙරියා ය. ඔහු සියල්ල දැන සිටි නමුත් කුමන්ත්‍රණකරුවන්ට කිසිත් නොකරයි.

අවසානයේ දී කලිගුලා උමතු බවට පත් වන ස්වභාවයක් පෙන්නුම් කෙරේ. ඔහු ගෙල සිර කොට සිසනියා මරා දමයි.

දැන් සිය මරණ හෝරාව එළැඹ ඇති බව කලිගුලා වටහා ගනියි. ‘....ඒ වුණත් එය බොහොම සරලයි. මට සඳ ලැබුණ නම් ආදරය ඇති තරම් ලැබුණ නම් සියල්ල මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඇත්තට මගේ මේ පිපාසෙ කොහෙන්ද සංසිඳුව ගන්නෙ? මොන දෙවියෙක්, මොන මිනිස් හදවතක් මට මහා විලක තිබෙන ගැඹුර ලබා දෙනවාද? මේ ලෝකෙවත් අනිත් ලෝකෙවත් මගේ ශරීර ප්‍රමාණයට නිර්මාණය කරපු මොකවත් නෑ.

ඒත් මම දන්නවා, ඔබ වුනත් දන්නවා මට අවශ්‍ය වෙලා තියෙන්නේ විය නොහැකි දෙය විය හැකි දෙය කරන එක. මම ලෝකෙ සීමාවල්වල හෙව්වෙත් ඒකයි.’

කලිගුලා අසනීපයෙනි. පෙර තිබූ දිරිය හා ශක්තිය දැන් ඔහුට නැත. ඔහු දණින් වැටි සිටියි. හෙලකන් සහ සීෆියෝ පැමිණ සිරිවලින් ඇණ ඔහු මරා දමති. පණ අදින කලිගුලා හුස්ම හිරවී ගත් වනම සිනාසෙමින් යටි උගුරෙන් කෑ ගසයි ‘මට තාම පණ තිබෙනවා’

එසේ ය. දුෂ්ට පාලන එසේ මරා දැමිය නොහැකි ය. ඉන් කැමූ පෙන්වා දෙන්නේ දුෂ්ට පාලකයන් ලොවෙන් තුරන් කළ නොහැකි බව ය.

‘කලිග්‍යලා’ ජී. ඩබ්. නන්දිසේනයන්ගේ කෘතියකි.

Comments