බුකර් සම්මානය දිනූ පොතේ හිමිකරුවා ශෙහාන් ද? රාජ්පාල් ද? | සිළුමිණ

බුකර් සම්මානය දිනූ පොතේ හිමිකරුවා ශෙහාන් ද? රාජ්පාල් ද?

නීතිඥ රාජ්පාල් අබේ­නා­යක සහ ප්‍රවීණ ලේඛක ශෙහාන් කරු­ණා­ති­ලක

මා යැවූ අත්පිටපතෙන් කරුණු අරගෙනයි ඔහුගේ කෘතිය රචනා කර තිබෙන්නේ
- නීතිඥ රාජ්පාල් අබේනායක

The Seven Moons of Maali Almeida’ කෘතිය මඟින් ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයට පාත්‍ර වීම මෙරට විද්යුත්, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අතර පසුගිය කාලය තුළ වැඩිම අවධානයක් දිනාගත් සහ කතාබහට ලක් වූ මාතෘකාව බවට පත් වී තිබුණි. වසර දහයකට පමණ පසුව ශ්‍රී ලාංකිකයකු මෙවැනි ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානයකින් පිදුම් ලැබීම කාගේත් සතුටට හේතු විය. එසේ වුවද පසුගියදා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, නීතිඥ රාජ්පාල් අබේනායක මාධ්‍යවේදියකු සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ මෙම කෘතිය තමන් විසින් 2011 වසරේදී ශෙහාන් කරුණාතිලක අතට පත් කළ නවකතාවේ අත්පිටපතේ අන්තර්ගතය අමු අමුවේ පිටපත් කර නිර්මාණය කළ කෘතියක් බවයි. මෙම ප්‍රකාශයත් සමඟ නැවතත් ශෙහාන්ගේ කෘතිය පිළිබඳ විවාදාත්මක පරිසරයක් නිර්මාණය වී තිබේ. එබැවින් 'සිළුමිණ' අපි ඔවුන් දෙදෙනා සමඟ මේ පිළිබඳව කතිකා කිරීමට අදහස් කළෙමු.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, නීතීඥ රාජ්පාල් මලින්ද අබේනායක සන්ඩේ ඔබ්සර්වර් හා ඩේලි නිව්ස් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකි. එමෙන්ම ලක්බිම ඉංග්‍රීසි පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකි. මේ වනවිට හෙතෙම නිදහස් ලේඛකයකු ලෙස පුවත්පත්, සඟරා, වෙබ් අඩිවිවලට සිය දායකත්වය ලබා දෙන අතර පූර්ණකාලීනව නීතීඳ වෘත්තියට පිවිස සිටී.

‘The Seven Moons of Maali Almeida’ නවකතාව ඔබේ අත් පිටපතකින් සැකසූ කෘතියක් බවට ඔබ චෝදනා කරන්නේ කුමන පදනමක් මතද?

මම 2009 වසරේ ලියා අවසන් කළ නිර්නාමික නවකතාවක අත් පිටපතක් 2011 වසරේදී ඉතාම සද් භාවයෙන් ශෙහාන්ගේ අදහස් දැනගැනීම පිණිස ඔහු අතට පත් කළා. මට වෙලාවක් තිබුණෙ නැහැ ප්‍රකාශකයෝ පස්සේ යන්න. ශෙහාන්ට ඔවුන් සමඟ සම්බන්ධතා පැවති නිසා මෙය මුද්‍රණය කිරීමට අයකු සොයා දෙන මෙන් මා ඔහුගෙන් ඉල්ලා සිටියා. ඒ කෘතියෙන් කරුණු අරගෙනයි ඔහු තමන්ගේ කෘතිය රචනා කර තිබෙන්නේ. ඔහු මේ විදියෙ කැත වැඩක් කරයි කියලා මම හිතුවෙ නැහැ. සමහරු මගෙන් අහනවා ඇයි දුන්නේ කියලා.

‘The Seven Moons of Maali Almeida’ නවකතාව පළ වී කාලයක් ගියාට පසුවයි බුකර් සම්මානය ශෙහාන්ට හිමි වුණේ. එතෙක් නිහඬව සිටි ඔබ දැන් මේ චෝදනාව කරන්නේ ඇයි?

ඕක මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්. එයාගේ පොත් හොයාගෙන කියවන්න තරම් ඔහු මහා ගත්කරුවකු නොවෙයි. මම එයාගෙ මෙහෙම පොතක් පළ වුණා කියලවත් කොහේවත් අහල දැකල තිබුණේ නැහැ. මම දන්නෙත් නැහැ. දැනගන්න මට හේතුවකුත් නැහැ. මේක බුකර් සම්මානයට තරග වදිනවා කියලා පත්තරවල ප්‍රවෘත්ති පළ වුණා. නමුත් ඒ වෙලාවෙවත් මම මේ පොත කියෙව්වේ නැහැ. මේ ත්‍යාගය පිරිනමන්න සුමානයකට දෙකකට ඉස්සෙල්ල තමයි ඒ ප්‍රවෘත්තිය වුණත් පළ වුණේ. ඒ කාලය තුළ මේ පොත කියවන්න මට වුවමනා වුණේ නැහැ. බුකර් තෑග්ග එයාට හම්බ වුණයි කියලා ප්‍රවෘත්ති පළ වුණාම ඒ ගැන ලොකු කතා බහක් රට තුළ ඇති වුණා. ඒ ගැන ලියපු කතා කරපු කවුරුවත් ඒ වෙද්දි ඒ පොත කියවල තිබුණ කියලා මම හිතන්නේ නැහැ. මේ තෑග්ග දුන්න නිසා තමයි හුඟක් අය මේක අරන් කියෙව්වේ. ඒක තමයි ස්වභාවය. මම අරන් කියෙව්වෙත් ඊට පස්සේ.

ඔබ පොත අරන් කියෙව්වට පස්සේ මොකද හිතුණේ?

මං පොත අරන් කියෙව්වම තමයි දැක්කේ මම ඔහුට යැවූ අත්පිටපතේ අන්තර්ගතය සම්පුර්ණයෙන්ම පිටපත් කර තිබෙන බව. මේ වගේ පොතක අන්තර්ගතය පරිපූර්ණ වෙන්නේ නැහැ මගෙන් ගත්ත කරුණු නැතිව. ඒ තරමට මගේ කෘතියේ වැදගත් කරුණු තිබුණා.

ශෙහාන්ගේ කෘතියේ අන්තර්ගතය තුළ ඔහු පිටපත් කර ඇති තැන් ඔබේ කෘතියේ අන්තර්ගතය හා සසඳමින් පැහැදිලි කළොත්?

එක්තරා කාල පරිච්ඡේදයක රට තුළ පැවති ආන්දෝලනාත්මක සිද්ධි දාමයන් මගේ කෘතිය තුළ අන්තර්ගත වී තිබුණා. උදාහරණයකට මිනිස් ඝාතන, අතුරුදහන් කිරීම්, බලෙන් පැහැරගෙන යෑම්, වෑන්වල දාගෙන යෑම් ආදී ත්‍රස්තවාදී තත්ත්වයක් පිළිබඳ. ඒ වගේම ඒකට ප්‍රතිචාර වශයෙන් පොලිසියෙන්, හමුදාවෙන් පැහැර ගෙන යෑම්, වෙඩි තියලා සමූහ මිනීවළවල් තුළ වළ දැමීම ආදී කාරණා ඒ තුළ අන්තර්ගතව තිබුණා. ඒවා ආණ්ඩුව පැත්තෙනුත් වුණා, අනික් පැත්තෙනුත් සිදු වුණා. මගේ කෘතියේ අන්තර්ගතය සකස් වී තිබුණේ එවැනි කරුණුවලින්. මේ කතාව කියන්න මගේ කෘතිය තුළ ඒ සඳහා මම විවිධ චරිත ගොඩනැඟුවා. එහිදී ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගත කරන ආකාරය පවා මා විසින් ගොඩනැඟුවා. ඒ කරුණු පවා ශෙහාන්ගේ කෘතිය තුළ මම දැක්කා.

ඒ චරිත ඔබ සත්‍ය ජීවිත පාදක කරගෙනද ගොඩනැඟුවේ?

නැහැ; අදාළ සිදුවීම් මුල් කරගෙන ප්‍රබන්ධ චරිත නැත්තම් මන:කල්පිත චරිතයි මා විසින් ගොඩනැඟුවේ. ගැටලුව වන්නේ මා විසින් එලෙස ගොඩනැඟූ චරිත පවා ඔහු සිය කෘතියට යොදා ගෙන තිබුණා.

ඔබ කියන්නේ ඔබේ කෘතියේ පෙනෙන චරිත ඒ අයුරින්ම ඔහු විසින් පිටපත් කර ඇති බවද?

නැහැ; පොඩි පොඩි වෙනස්කම් කරමින් ඉතා සියුම් ලෙස එය ප්‍රබන්ධ කර තිබෙනවා. එය බොහෝම සූක්ෂ්ම ආකාරයට ඉතා කූට ලෙස මෙහි අන්තර්ගතයට එක්කර තිබෙනවා. මම මෙහෙම කිව්වම සමහරු හිතනවා ඔහුගේ පොතයි මගේ පොතයි එක හා සමාන වෙන්න ඕන කියලා. ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමේ නීතිය අනුව කෘති දෙක එක වගේ වෙන්න ඕන කියල දෙයක් නැහැ. ප්‍රකාශන හිමිකම් උල්ලංඝන නීතිය අනුව යම් යම් තැන්වලින් නෙමෙයි එක පොඩි වාක්‍යක් ගෙඩි පිටින් අරගෙන තිබුණත් ඒක වැරැද්දක්. එක කරුණක් ගත්ත නම්, ජේදයක් ගත්ත නම් අපි ඒක වැරදීමකින් වුණා කියලා අමතක කරමු. නමුත් මෙයා එහෙම නෙමෙයි; ඡේද ගෙඩි පිටින් අරන් වෙනස් කරලා තියෙනවා. මං කලින් සඳහන් කළ පසුබිමයි, චරිතයි ඒ ඔක්කොම ගෙඩිය පිටින් අරන් පොඩි පොඩි වෙනස්කම් කරලා තමන්ගේ වගේ ඇතුළත් කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් ඔබ නීතිය ඉදිරියට යන්න ලෑස්තියිද?

ඔව්, මම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඒ ක්‍රියාමාර්ග මොනවද කියලා මේ මොහොතේ අනාවරණය කරන්න අදහස් කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මගේ උපාය මාර්ගය හෙළි කිරීමට මේ අවස්ථාව නෙමෙයි. මගේ අද තරගයේ සැලැස්ම මේ විදියයි කියලා, දසුන් ශානක ක්‍රීඩා පිටියට එන්න කලින් කියන්නේ නැහැනෙ. ඒ වගේ මමත් මගේ සැලසුම් සකස් කරමින් තිබෙනවා. නමුත් මේ වනවිට පොත් දෙකම නීතිඥවරුන් සහ විචාරකයන් අතට පත් කර තිබෙනවා. ඔවුන් පවා කියන්නේ බොහොම සූක්ෂ්ම ආකාරයට මගේ අන්තර්ගතය පිටපත් කර ඇති බවයි. එය ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමක් විදියට ඔවුන් පිළිගන්නවා.

සාමාන්‍යයෙන් ඔබ ලියා ඇති කතුවැකි සහ ලේඛන කියෙව්වාම පේන දෙයක් තමයි, එහි අන්තර්ගතය තුළ අපේකම, සිංහල බෞද්ධ සංස්කෘතිය සහ රට ගැන ලොකු වටිනාකමක් එක්කරමින් තමයි කතා බහ කරන බව. එහෙත් ශෙහාන්ගේ කෘතියේ අන්තර්ගතය තුළ එවැනි හැඟීමක් අපට ජනනය වෙන්නේ නැහැ. ඔහු පොදු සංස්කෘතික පරාසයකට යනවා. මේ පරස්පරය ගැන ඔබේ අදහස කුමක්ද?

බොහොම ස්තූතියි! මගේ ලේඛන පිළිබඳ ඔබේ තක්සේරුව ගැන. අපි සිංහල බෞද්ධ මිනිස්සු විදියට ඒ ගැන අපට වටිනාකමක් තිබෙනවා. ඒ වගේම අනෙක් ප්‍රජාවන් සමඟ සාමකාමීව සහජීවනයෙන් ජීවත් වෙන්න ඕන කියන එකයි මගේ අදහස. ඒත් මම මහ ජාතියට නිගා වෙන විදියට මගේ ලේඛන ඉදිරිපත් කරන්නේ නැහැ. කතුවැකි ගත්තත් වෙනත් පුවත්පත් ලේඛන ගත්තත් එහෙමයි. නමුත් මේවා නවකතා; ඒවා දේශපාලන වාසි ගන්න ලියන ඒවා නෙමෙයි. එහි අන්තර්ගතයේ දේශපාලනයක් නැහැ කියල මම කියන්නේ නැහැ. කෙසේ නමුත් මගේ නවකතාවේ කුමන ජාතියකටවත් ගරහන විදියේ දෙයක් අන්තර්ගත වී නැහැ.

නමුත් ශෙහාන්ගේ කෘතියේ වෙන දේවල් එයා අන්තර්ගත කර තිබෙනවා. මේ පොත් දෙක සර්ව සමාන නැහැ කියලා මම කලින් කිව්වේ ඒකයි. මම කියන්නේ මගේ අන්තර්ගතය, සැකිල්ල සහ තොරතුරුමය වශයෙන් වැදගත් අංග චරිත ඔහු විසින් අරගෙන, ඒවා උඩට එයාගෙ අදහස් දාල තියෙනවා. ඒ නිසා ඒ තුළ රටට එතරම් හොඳ නැති සමහර දේවල් එයා ඊට එක්කර තිබෙනවා. ඒ දේවල් මගේ අදහස්වලට සම්බන්ධයක් නැහැ.

අපි කතා කළ සෙසු කරුණු පසෙක තබා නවකතාවක් ලෙස ඔබ මේ කෘතිය දකින්නේ කොහොමද?

නවකතාවක් විදියට එය හොඳ කෘතියක්. සමහර තැන්වල අපේ හමුදාවල කීර්ති නාමයට හානි කර තැන් තිබෙනවා කියා සමහරු කියනවා. නමුත් ඒවා එතරම්ම උලුප්පා පෙන්වා ඇතැයි මා දකින්නේ නැහැ. එනිසා එය ඇතැමුන් කියන ආකාරයේ සිංහල බෞද්ධ විරෝධී කෘතියක් ලෙස මා දකින්නේ නැහැ. මගේ කෘතියේ අන්තර්ගතයත් එහෙම තමයි. එනිසා වැරදි ක්‍රියාවක් කළා වුණත් ස්වාධීනව බලද්දී සාහිත්‍ය කෘතියක් ලෙස මම එය අගය කරනවා.


ඔහු කියන ලේඛනය හා මගේ කෘතිය වෙන වෙනම අරන් කියවන පාඨකයකුට එහි පවතින පරස්පරතා ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් 
- ප්‍රවීණ ලේඛක ශෙහාන් කරුණාතිලක

දකුණු ලක ගාලු පුරවරයේ ඉපිද කොළඹ කොල්ලුපිටියේ සාන්ත තෝමස් ප්‍රාථමික පාසලින් මූලික අධ්‍යාපන ලැබූ ශෙහාන් කරුණාතිලක වැඩිදුර ඉගෙනීම සඳහා නවසීලන්තයට ගියේය. ලේඛන කලාව සිය වෘත්තිය බවට පත් කරගත් හෙතෙම වෙළෙඳ දැන්වීම්කරණයේ නියැළිණි. වසර 20ට වැඩි කාලයක් වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ නිරත වූ ඔහු ඒ අතරතුර ළමා කෘති රචනයට පිවිසියේය. එසේම ගී පද රචකයකු මෙන්ම ලෝ ප්‍රකට ‘ද ගාඩියන්, නිව්ස්වීක්, නැෂනල් ජියොග්‍රැෆික්, විස්ඩන්, ද ක්‍රිකටර් සහ 'දි ඉකොනොමික් ටයිම්ස්’ ආදී පුවත්පත් සහ සඟරාවල විශේෂාංග ලේඛකයකු ලෙස ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා සිටියේය. ලේඛන කලාව සිය ජීවිතය කරගත් ශෙහාන් විවිධ අවස්ථාවල ඒ වෙනුවෙන් ඇගයුමට පාත්‍ර විය.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී රාජ්පාල් හා ඔබ අතර පැවතියේ කවර සම්බන්ධයක්ද?

අනෙක් මාධ්‍යවේදී මිතුරන් මෙන් ඔහු මා කලක පටන් ඔහු දැන සිටියා.

2009 ඔහු විසින් ලියූ කෘතියක අත් පිටපතක් මුද්‍රණය කර ගැනීමට සහායකයකු සොයා ගැනීම සඳහා 2011දී ඔබට දුන් බව රාජ්පාල් පවසනවා. එය ඇත්තක්ද ?

ඔහු මට ඊමේල් පණිවිඩයක් මඟින් පිටු 56ක රචනාවක් එවා තිබුණා.

රාජ්පාල්ගේ කෘතියේ අන්තර්ගතය හා බුකර් සම්මානය දිනාගත් කෘතියේ අන්තර්ගතය අතර සමානකමක් තියෙනවාද? 

කිසියම් පුද්ගලයකු අනීතිකව කරන චෝදනාවක් මත ශ්‍රී ලංකාව සහ එහි ලේඛකයන් සඳහා සැමරුම් අවස්ථාවක් විය යුතු මොහොතක මාව මේ විදියෙ ප්‍රශ්න කිරීමකට ලක්කිරීම කනගාටුදායකයි. මම ඒ ගැන හරිම කලකිරීමක ඉන්නේ. ඔහු කියන ලේඛනය හා මගේ කෘතිය වෙන වෙනම අරන් කියවන පාඨකයකුට මේ දෙකේ පවතින පරස්පරතා ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වේවි. ඒ වගේම එහි දෘෂ්ටිය සකස් වී තිබෙන ආකාරයත් මගේ කෘතියේ දෘෂ්ටිය සකස් වී ඇති ආකාරයත් අහසට පොළොව වගේ වෙනස්.

රාජ්පාල් අබේනායකගේ කෘතියේ අන්තර්ගත කරුණු ඔබ විසින් සිතාමතා කොපි කර වෙනත් වචනවලින් ලියා ඇති බවට ඔහු චෝදනා කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

මම ඔහුගේ නිර්මාණය කොල්ලකා ඇති බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි. එසේම එම චෝදනාව නින්දා සහගතයි. එය මුළුමනින්ම හෙළා දකිනවා. තමන්ගේ රටේ මනුස්සයෙක් ජාත්‍යන්තරව ඇගයීමට ලක් වුණාම ඒ ගැන සතුටු නොවී කුහක විදියට කටයුතු කරන අයත් ලංකාවේ සිටින බව මේ හරහා ලෝකය දැනගනීවි. මගේ ‘The Seven Moons of Maali Almeida’ නවකතාවේ කතා වස්තුව විෂය 2011 වසරේදී ඔහු මා වෙත එවූ පිටු 56ක නමක් නැති ‘නවකතාවකින්’ ‘සොරාගත්’ බවට ඔහු කියනවා නම්, ඔහුගේ ප්‍රකාශය පදනම් විරහිතයි වගේම අපහාසාත්මකයි. ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් මේ විදියට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීම ගැන මම දැඩි කනස්සල්ලට පත් වෙනවා. ඒ වගේම මෙම චෝදනාවලට පදනම් වූ ලේඛනය ඔහුගෙන් ඉල්ලා ගෙන මේ පිළිබඳව සොයා බලා අදහස් දක්වන ලෙස මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ කෘතියට නිමිත්ත වුණේ කුමක්ද?

දේශපාලන ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ යුද ඡායාරූප ශිල්පියකු ගැන නවකතාවක් පිළිබඳ අදහසක් මගේ හිතේ තිබුණා. උතුරේ ඇවිළී ගිය එල්.ටී.ටී.ඊ යුද්ධයත් දකුණේ ජවිපෙ භීෂණයත් 1989 වසරේදී මෙරට සිදු වූ නොවිසඳුණු මිනීමැරුම් ගැනත් මගේ ඔළුවට ආවා. ඒ අනුව එල්.ටී.ටී.ඊ සටන් බිමට යන ඡායාරූප ශිල්පියකු මරණයට පත්වී, නැවත ඔහුට ලැබෙන වරමක් අනුව මළවුන්ගේ ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ ගත කරන සතියක කාලය තුළ සිදු වන සිද්ධි මාලාවක් විදියට මේ පෙළ රචනා වුණා.

ඔබ කෘතිය සඳහා තොරතුරු ලබාගත් මූලාශ්‍ර මොනවාද?

මගේ ජීවන අත්දැකීම්, ඒ කාලයේ පුවත්පත්වල පළ වූ ලිපි ලේඛන, පොත්පත් සහ මා ගවේෂණය කළ කරුණු මේ සඳහා ඉවහල් වුණා.

රාජ්පාල් පවසනවා මෙම පොත ඔහු කියවූයේ ඔබට සම්මානය ලැබීමෙන් පසුව බව. එනිසා ඔහු ඊට ප්‍රථම මේ පිළිබඳ නොදැන සිටි බවත් නැත්නම් මීට ප්‍රථම ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවත්?

ඒ ප්‍රශ්නය මට අදාළ නැහැ. ඒක ඔහුගේ හෘදය සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක්.

ඔබ මින් පෙර පළ කළ කෘතියක් නැවත ලිවීමෙන් මේ කෘතිය නිර්මාණය කළ බව ප්‍රකාශ කර තිබුණා?

ඔව්, ඒ chat with the dead කෘතිය.

නව කෘතිය හා එහි අන්තර්ගතය වෙනස් වන්නේ කෙසේද?

මේ කතා දෙකම බොහෝ දුරට සමානයි. ‘The Seven Moons of Maali Almeida’ නවකතාව ජාත්‍යන්තර පාඨකයන් වෙනුවෙන් සංස්කරණය කළ එකක්. ඒ සඳහා ‘Chat With The Dead’ කෘතියේ සමහර කොටස් ඉවත් කරලා අලුතින් කොටස් ඊට ඇතුළත් කළා.

කොවිඩ් වසංගතය පැතිරුණු කාලයේදී මට ඒ කටයුතු කරගෙන යන්න කාලය ලැබුණා. ප්‍රචණ්ඩ දේශපාලනයත් එක්ක බැඳුණ අභිරහස් මනුෂ්‍ය ඝාතන අවතාරයක් මඟින් පාඨකයා ව්‍යාකූල නොවන ආකරයට ප්‍රබන්ධ කරන්න වෙහෙස ගත්තා. මෙය ‘Chat With The Dead’කතාවෙන් වෙනස් වන්නේ ඒ අනුවයි.

රාජ්පාල් ගේ ලේඛන තුළ සිංහල බෞද්ධ මතවාදය පිළිබඳ කිසියම් නැඹුරුවක් තිබෙනවා. නමුත් ඔබේ කෘතියේ එවැන්නක් නැහැ.

නිවැරදියි. මගේ කෘතිය හා ඔහුගේ චෝදනාව අතර පරස්පරය වටහා ගන්න තිබෙන එක් ප්‍රබල නිර්ණායකයක් තමයි එය.

ඔහු පවසනවා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව?

එය තමයි විය යුත්තේ. තමන්ට අසාධාරණයක් වී ඇත්නම් එය නීතිය මඟින් විසඳා ගත යුතුයි. මම දැනටමත් ඔහු සිය විද්යුත් තැපෑලෙන් මා වෙත එවූ ‘නවකතාවේ’ අත්පිටපත මගේ නීතිඥයන් අතට පත් කර තිබෙනවා.

Comments