සෙනෙවි මුදලාලි! | සිළුමිණ

සෙනෙවි මුදලාලි!

සෙනෙවි මුදලාලි එම ලී බඩු සාප්පුව තුළ සෑහෙන වෙලාවක් රස්තියාදු වුණේය. කාලය නාස්ති කරන්නට ඔහු තුළ කිසිදු කැමැත්තක් නැත. එහෙත් කිසිදු සේවකයකු පැමිණ කරුණු විමසන බවක් පෙනෙන්නට නැත. එහි සේවකයෝ වෙනත් ගනුදෙනුකාරයන් වෙත ශීඝ්‍රයෙන් ඇදී යති. ඔවුනට මහත් ගරුසරු ඇතිව කතා කරති. එබඳු සැලකිල්ලක් සෙනෙවි මුදලාලිට නැත. මීට විනාඩි පහළොවකට පමණ පෙර වයසක සේවකයකු පැමිණ ටිකක් ඉන්න යැයි කියා ගියද ඔහු තවම ආපසු පැමිණියේ නැත.

මෙහෙම කොහොමද ව්‍යාපාර කරන්නෙ යැයි වරෙක ඔහුට සිතිණි. තමන් කිසිවකු හඳුනන්නේ නැතැයි තව වරෙක ඔහුට සිතිණි. කාගේත් සැලැකිල්ල බොරු සෝබනකාරයන්ට යැයි තවත් වරෙක ඔහුට සිතිණි.

තමන් හුදෙකලා සටනක නිරත සෙබළකුදැයි ඔහු තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා සිටියේය. ඇඳුම, පෙනුම, උගත්කම මේ සටනේදී වැදගත් සාධක බව ඔහු තේරුම් ගත්තේය. එහෙත් තමන්ගේ පරණ ක්‍රමයට ඔහු ආදරය කළේය. ඒ ක්‍රමය ඔහුට නරකක් සිදු කර නැත.

සෙනෙවි මුදලාලිගේ ඊළඟ පියවර වූයේ ලී බඩු සාප්පුවේ අයිතිකාර මහත්තයා හමුවීමය. ලොකු මිනිසුන් හමුවීම පිළිබඳ යම් කුකුසක් හිත තුළ පැවතියද තමන්ගේ කටයුත්ත ඒ සියල්ලට වඩා වැදගත් බව මුදලාලි සිතයි. ඔහු ඊට අනුව පියවරක් ඉදිරියට තැබුවේය. අයිතිකාර මහත්තයා වීදුරු කාමරයක ගණන් හිලව් පරීක්ෂා කරමින් සිටියේය. සෙනෙවි මුදලාලි ඉතා සෙමෙන් දොර ඇරගෙන කාමරයට ගොස් අයිතිකාර මහත්තයා ඉදිරිපිට බයාදු ලෙස පෙනී සිටියේය. කාමරයෙන් හඳුන්කූරු සුවඳක් විහිදෙයි.

“මොකද උන්නැහැ උදේ පාන්දර? ආධාර එහෙම නම් බෑ!”

“නෑ සෑර් අපේ නංගිගෙ මංගල්ලෙ නොවැ!”

“උන්නැහැ මාව අඳුරනවද?”

“අපුච්චේ සෑර් දන්නෙ නැත්තෙ කවුදෑ!?”

“එතකොට බඩු ගන්ඩද ආවේ?”

“එහෙමයි සෑර්! නංගිට බඩු ටිකක් දෙන එක යුතුකමනෙ සෑර්!”

“මේ කෑල්ලෙ නම් තියෙන්නෙ ටිකක් ගණන් වැඩි ඒවා...මොකද කරන්නෙ?”

“ගණන කීය ගියත් කමක් නෑ සෑර් මං ළඟ සල්ලි තියෙනවා!"

අයිතිකාර මහත්තයා ස්වකීය අරුම පුදුම ගනුදෙනුකරුවා දෙස දෑස් හීන් කොට බලා සිටියේය. ඔහු සරම ඇඳගෙන සිටින්නේ කොටටය. කමිසයේ බොත්තම් පිළිවෙළට දමා නැත. මුහුණ රවුම්ය. හීන් උඩු රැවුලක් තිබේ. මෝඩ ගැමියකුගේ පෙනුම ඔහු කෙරෙන් පළ වෙයි. අයිතිකාර මහත්තයාගේ පරණ මතකය අවදි විය. ඔහු ඉතා සෙමෙන් සෙනෙවි මුදලාලිගේ අතක් අල්ලා ගත්තේය.

“මේ අර සෙනෙවි මුදලාලි නේද?”

“එහෙමයි සෑර්! ඒ මං තමා!”

“කලින් කියන්ඩ එපායැ මුදලාලි!”

සෙනෙවි මුදලාලිගේ මුහුණෙන් පළ වූයේ ආඩම්බරකාර එහෙත් ලැජ්ජාශීලි හැඟීමකි. තමන් ගැන දන්නා ලොකු මිනිසුන් ද ඇතැයි ඔහු අවසන් ලෙස සිතා ගත්තේය. ගනුදෙනුව ඉතා හොඳින් සිදු විය. සෙනෙවි මුදලාලි තම නැඟණියගේ දෑවැද්ද වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක ලී බඩු මිලට ගත්තේය. ගනුදෙනුව අත්පිට මුදලට සිදු විය. සෙනෙවි මුදලාලි අත තිබූ පන් මල්ලෙහි මුදල් තිබිණි.

ටික වේලාවකින් සෙනෙවි මුදලාලිගේ ලොරියක් පැමිණියේය. එහි සේවකයෝ තිදෙනෙක් උන්හ. ඔවුහු කිසිදු කතාබහකින් තොරව බඩු සියල්ල ලොරියට පටවාගෙන පිටුපස භාග දොර වසා දැමූහ. සෙනෙවි මුදලාලි සරම කැසකවා පන්මල්ල ද සීරුවට තබාගෙන ලොරියේ පිටුපසට ගොඩවූයේ දොරේ එල්ලෙමින්ය. ඒ මොහොත නිරීක්ෂණය කළ කෙනකුට එකක් පැහැදිලි වෙයි. එනම්, සෙනෙවි මුදලාලි යට ඇඳුමකට හුරු වී නැති බවය. ලී බඩු සාප්පුවේ සේවකයෝ පුදුමයෙන් ඒ දෙස බලා උන්හ.

සෙනෙවි දෙකේ පන්තියෙන් පසු ඉස්කෝලයෙන් කට්ටි පැන්නේය. ඔහු අවුරුදු නවය වන විට කුලියට පොල් ලෙලි ගසන්නට පටන් ගත්තේය. ඉන්පසු පලා කොළ එකතු කරගෙන පොළට ගියේය. ඉන් ඔහුට සෑහෙන ලාභයක් ලැබිණි. අවුරුදු දහසය වන විට සෙනෙවි ගම් සභා හන්දියේ කඩයක් දමා ගත්තේය. අවුරුදු තුනක් යන විට රෙදි කඩයක් දමා ගත්තේය. ඒ ආසන්න නගරයේය. එතැන් සිට වසර දහයක් ගත වන්නට පෙර දිස්ත්‍රික්කය පුරාම ඔහුගේ ව්‍යාපාරික ස්ථාන බිහි විය. සෙනෙවි මුදලාලි කෝටිපතියකු වුව අකුරු ලියන්නට බැරිය. යාන්තමින් අත්සන ගසා ගත හැකිය. එහෙත් ඔහුට කියවන්නට පුළුවන. ඔහු දිනපතාම සිංහල පුවත්පතක් ගෙන එහි මුල සිට අග දක්වා ම කියෙවුවේය.

සෙනෙවි මුදලාලි කෝටිපතියකු වුව උගත් සමාජය ඔහුව ගණන් ගත්තේ නැත. සෙනෙවියා, මෝඩ මුදලාලියා, පෙරේතයා, හපුටුවා, ඔල්මොරොන්දමා වැනි යෙදුම් ඔහු සඳහා යෙදී තිබිණි. බැංකුවක උසස් තනතුරක් දැරූ අමරසිංහ, සෙනෙවි මුදලාලි සමඟ එකට ඉස්කෝලේ ගිය සම වයස්කාරයෙකි. දෙදෙනා මිතුරන් සේ පෙනී සිටින්නේ වුව හිත යටින් තරහය. මුදලාලිට අමරසිංහ ඇල්ලුවේ නැත. අමරසිංහට මුදලාලි ඇල්ලුවේ ද නැත. මුදලාලි සිතා සිටියේ අමරසිංහ උගත් මෝඩයකු හැටියටය. අමරසිංහ සිතා සිටියේ මුදලාලි සල්ලිකාර මෝඩයකු හැටියටය.

නැඟණියගේ මංගල්‍යයෙන් පසු ගමේ අවුරුදු උත්සවයක් සංවිධාන කිරීමේ වගකීම සෙනෙවි මුදලාලි වෙත පැවරී තිබිණි. මඟහැර යන්නට වුවමනාවක් තිබුණද මුදලාලිට එය කළ නොහැකි විය. ඔහු සුපුරුදු උත්සවය ජයටම කරන්නට හිතා ගත්තේය. උත්සවය සඳහා දැන්වීමක් පළ කළ යුතු විය. මුදලාලි එය ලියන පිළිවෙළ දන්නේ නැත. අවසන් ලෙස ඔහු අමරසිංහගේ පිහිට පැතීය.

සෙනෙවි මුදලාලි අමරසිංහ ගෙදරට කැඳවා ඔහුට හොඳින් සංග්‍රහ කළේය. කෑම බීම, අතුරුපස යන සියල්ල තිබිණි. සෙනෙවි මුදලාලි හැමවිටම අමරසිංහ සෑර් යැයි අමතමින් ඔහුට ඕනෑවටත් වඩා ගරුසරු කළේය. එහෙත් අමරසිංහ සිය මිත්‍රයට ගරු කළේ නැත. ඔහු සෙනෙවි ලෙසින් මුදලාලි ඇමතූ අතර ඇතැම් විට අයිෂෙ කියා කතා කළේ ය. එවිට සෙනෙවි මුදලාලි වැඩිපුර සෑර් කියන්නට පටන් ගත්තේය. අන්තිමට සෑර් යන්න කරදරයක් වී තිබිණි.

“ඈ සෙනෙවි තමුසෙ මොකටද මට සෑර් කියන්නෙ!?”

“අනේ නෑ සෑර්! මං ඔය ඕනෑම බල්ලකුට සෑර් කියල මගේ වැඩේ කරගන්නවා!”

අමරසිංහ නිහඬ විය. ඔහු කිසිදු කතාබහක් නැතිව දැන්වීම ලියන්නට පටන් ගත්තේය.

Comments