
ගෝල්ෆේස් අරගලයට මාස දෙකක් නැතිනම් දින 62ක් පිරුණේ ඉකුත් ජුනි 09 වැනි බ්‍රහස්පතින්දායි. එදින සාමකාමී අරගලයට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වී මසක් සපිරුණු දිනයි. මේ වන විට අරගලකරුවන්ගේ උද්යෝගය යම් පමණක අඩුවක් පිළිබිඹු වන බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් අරගල භූමියේ සිටිනා පිරිස් මෙන්ම රටපුරා සිටිනා අරගලයට සහාය දක්වන්නන් පවසන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවකි.
ඉකුත් 09 වැනිදා ‘ඇසට ඇස ලෙයට ලෙය‘ නමින් ලේ හා ඇස් දන් දීමේ වැඩසටහනක් අරගල භූමියේ ක්‍රියාත්මක වූයේ අරගලයට එල්ලවූ ප්‍රහාරයට මසක් සපිරීම නිමිත්තෙනි. එදින අප අරගල භූමියට ගියේ එහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමක් සඳහායි. අරගලයට එක්වූ බොහෝ තරුණ ප්‍රජාව එදින ලේ දන් දීමේ වැඩසටහනට එක්ව සිටියහ. ඔවුහු පවසන්නට වූයේ,
“එදා මැයි 09 වැනිදා නිරායුද මේ අරගල භූමිය ම්ලේච්ඡ පිරිසක් විසින් යුද පිටියක් කළා, එදා ප්‍රචණ්ඩත්වය වැපිරූ අයට ඕනැ කළේ අපේ ලේ, මස්, ඉතින් අපි අපේ ලේ දෙන්න සූදානම් බව අද පෙන්වනවා. ඒ විතරක් නෙවේ, අපි කියන්නෙ වෛරය. විනාශය සියලු දෙනාම අවසන් කළ යුතුයි. අපි සෑම දෙයක්ම ලබාගත යුත්තේ සාමයෙන්. සමඟියෙන්. ඒ නිසා අපි අද රුධිරය විතරක් නෙවේ. අපගේ දෙනෙත් ඇතුළු වෙනත් අවයවත් දන් දීමට සූදානම්.“
රට තුළ පැන නැඟුණු ආර්ථික අර්බුදයෙන් උත්සන්න වූ කෘෂි ප්‍රශ්නය, ඉන්ධන සහ ගෑස් අර්බුද සමඟ ජනතා උද්ඝෝෂණ තැන තැන ඇරැඹුණේ මීට මාස තුන-හතරකට පෙරදියි. අනතුරුව එම උද්ඝෝෂකයන්ගේ විරෝධතා ප්‍රබල විරෝධතාවක් දක්වා උත්සන්න වූයේ ඉකුත් මාර්තු මස 31 වැනිදායි. ඒ එදින රාත්‍රි විරෝධතාකරුවන් මිරිහානේ පිහිටි ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නිවෙස වටලමින් සිදුකළ විරෝධයයි. ඒ විරෝධතා සමඟ අප්‍රේල් 02 වැනිදා වෙද්දී රටපුරා හදිසි නීතිය පනවමින් සමාජ මාධ්‍ය ජාලා තහංචියක්ද පනවන්නට වූයේ ජනතා විරෝධය මැඬලීමටයි. ඒ අතරේ රජයේ කැබිනට් මණ්ඩලයද ඉල්ලා අස්වන්නට වූයේ ජනතා විරෝධය තීව්‍ර වූ හෙයිනි.
එලෙස ඇරැඹි විරෝධතාකරුවන්ගේ අරගල ඉකුත් අප්‍රේල් 09 වැනිදා ගාලු මුවදොර පිහිටි උද්ඝෝෂණ භූමිය කේන්ද්‍ර කරගෙන සිදුකරන අරගලයක් දක්වා දියත් කරන්නට වූයේ 'Go Home Gota' යන නාමය පෙරටු කරගෙනයි. මේ වන විට මාස දෙකක් පිරෙන අරගල භූමිය බිහි වන්නේ එලෙසිනි.
ජනපති ලේකම් කාර්යාලයට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කර අරගල භූමියේ ස්ථාපිත ප්‍රධාන පීඨිකාවේ අප යන විටත් තරුණයන් පිරිසක් සටන් පාඨ කියමින් අරගලයේ යෙදිණි. ඒ අසල සිටි අරගලයට සහාය දක්වන්නන් පවසන්නට වූයේ ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ඉවත්ව යන තුරු අඛණ්ඩව අරගලය සිදු කරන බවයි. “ව්‍යවස්ථා සංශෝධන... ඇමැති මරු කිරීම් අපට වැඩක් නැහැ... අපේ එකම අරමුණ ජනපතිවරයා ඉවත් වනවා කියන කාරණයයි... ඒ වගේම අදට මාසයක් වෙනවා මේ ස්ථානයට ප්‍රහාරයක් එල්ල කරලා... තවමත් අපට ප්‍රහාරය එල්ල කළවුන් නිසි ලෙස අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු වෙන්නෙ නෑ... නමුත් අපේ අරගලයට සහාය දැක්වූ 2700කට වඩා අත්අඩංගුවට ගෙන හිර ගෙවල්වල දාලා... අපි කියන්නෙ නීතිය හැමෝටම සර්ව සාධාරණ විය යුතුයි...“
ගෝල්ෆේස් අවට පෙදෙස අව් රශ්මියෙන් නැහැවී ගොසිනි. අරගලකරුවන්ගේ විරෝධතා පුවරු, නොයෙක් ආකාරයේ නිර්මාණ, විරෝධතාකරුවන් විරෝධය පළ කරමින් දැක්වූ අදහස් පුවරු සෑම තැනෙකමය. අවට සෑම තැනෙකම විරෝධතා කූඩාරම් රැසකි. අරගල භූමියේ ස්ථාපිත අරගලයට සහාය දක්වන ආබාධිත රණවිරුවන්ගේ කූඩාරමක්ද විය. ඒ තුළ තිස් වසරක සාපලත් එල්ටීටීඊ ත්‍රස්තවාදි අරගලයෙන් අත්පා අහිමි ආබාධිත රණවිරුවෝ කිහිප දෙනෙක් සිටියහ. ඔවුන් රටේ විවිධ පෙදෙස්වලින් පැමිණි අයයි. ත්‍රස්තවාදී අරගලය ජය ගත් ආකාරයෙන්ම මෙකී අරගලයද ජයග්‍රාහීව නිම වනතුරු ඔවුන්ගේ සහාය අඛණ්ඩව ලබා දෙන අප සමඟ පැවැසුවේය. එසේම ආබාධිත රණවිරුවන් වැඩිදුරටත් පවසන්නේ, අපි යුද්ධය වෙනුවෙන් අතපය පූජා කළා... ඒ විතරක් නෙවේ... අපේ සහෝදර රණවිරුවෝ ජීවිත පූජා කළා... එහෙම ජීවිත පූජා කරලා... අතපය පූජා කරලා අපි හිතුවේ අපට ලස්සන රටක් හිමි වෙයි කියලා... අද වන විට අපේ පවුල් පිටින් සිටින්නෙ කුමන හෝ පෝලිමක... ඒකයි අපි මේ අරගලයට සහාය දෙන්නෙ... මේ රට තුළ වෙනසක් සිදු කිරීමට... “
ත්‍රස්තවාදී අරගලයේදී ඇස්, ඉස්, මස්, දන් දුන් එකී රණවිරුවන් රට තුළ වෙනසක් සිදු කිරීම සඳහා පළමු පියවර ලෙස දකින්නේ ජනපතිවරයා ගෙදර යැවිය යුතුය යන්නයි. රට වැටී තිබෙන අගාධය අනුව එකී පිරිස ප්‍රාර්ථනා කරන රටට යහපත් හෙට දවස ඉන් උදාවේද යන්න ප්‍රශ්නාර්ථයකි. ඊට හොඳම උදාහරණය පාකිස්ථානයයි. පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූයේ එල්ල වූ දැඩි විරෝධතා නිසාවෙනි. ඔහුගේ ඉවත්වීමත් සමඟ පාකිස්ථානය කබලෙන් ළිපට වැටුණාක් මෙන් තත්ත්වයකට පත්ව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද සහායක් නොලැබෙන තත්ත්වයක් උදාවී ඇති වටපිටාවක් හේතුවෙනි.
බණ්ඩාරනායක පිළිරුව අවට භූමියේ අරගලයේ ඇතැම් කූඩාරම්, ඉදිකිරීම් පාළුවට ගොසිනි. ගෝඨාගෝගම පාසලේද කිසිවෙක් නොවීය. අඛණ්ඩ සත්‍යග්‍රහ අට්ටාලයද එසේමය. ග්‍රාම සේවක නිල නිවෙසද එලෙසය. බොහෝ කූඩාරම්හි එකා දෙන්නා සිටිනු පෙනේ. ඔවුනගේ ඇතැමෙක් පොතපත කියවති. තවත් පිරිස් නිදි යහනේ පසුවෙති. අඳ ගොළු අයවලුන්ගේ කූඩාරමේ කිහිප දෙනෙක්ම සිටිති. ඔවුහු නොයෙක් සටන් පාඨ පෙන්වමින් අඛණ්ඩ විරෝධතාවේ නිරතව සිටි.
අරගල භූමියේ සැරිසරන අපට පිළිබිඹු වන්නේ මේ වන විට අරගල භූමිය යම් ආකාරයක නිහඬ බවක් උසුලන ආකාරයකි. ඊට යම් ලෙසකින් මාස ගණනාවක් පුරාවට ඇදී යන අරගලයක් නිසාවෙන් අරගලකරුවන්ට දැඩි විඩාවක් ගෙන දී ඇද්ද? නැතිනම් අරගලයේ එක් එක් පාර්ශ්වකරුවන් අතර පවත්නා පරස්පරතා ද? පසුගියදා අරගලයේ පිරිසක් ජනපතිවරයා සමඟ සාකච්ඡාවකට ගිය බවත් සැල විණි. එහෙත් අරගලයේ සැබෑ පාර්ශ්වකරුවන් එවැනි කිසිඳු සාකච්ඡාවකට නොගිය බව අරගලයේ පාර්ශ්වකරුවෙක් වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන රතිඳු හෙවත් රැට්ටා පැවැසුවේය.
කෙසේ හෝ මේ වන විට අරගලයේ පාර්ශ්වකරුවන් පොදු එකඟතාවක් උදෙසා එකඟත්වයක් පළ නොකිරීමත් අරගලයට නිසි නායකත්වයක් නොලැබීමත් අරගලයේ යම් පමණක උදාසීන බවකට හේතු වී ඇති බවක් පෙනේ.
ඡායාරූප - රුවන් ද සිල්වා