
දෙදහස් විසි දෙකේ මැයි මස නව වැනිදා මෙරට ඉතිහාසයට එක්වූ කිසිදා මකා දැමිය නොහැකි ‘කළු‘ දිනයකි. 1983 කළු ජූලිය සිහි ගැන්වූ එදින සිදු වූයේ කුමක්ද යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එය මුළුමහත් රටවැසියන්ම කම්පාවට පත් කළ දිනයකි.
රටක් ලෙස ආර්ථික වශයෙන් ගැඹුරු අගාධයකට වැටි සිටින මොහොතක ඇතැම් දේශපාලනඥයන්ගේ අනුවණ ක්‍රියා ඔස්සේ ප්‍රචණ්ඩත්වය වැපිරීමෙන් එදින සිදු නොවිය යුතු බොහොමයක් දෑ මේ වන විට සිදුවී අවසානය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ දැකබලා ගැනීමට ඉකුත් 9 වැනිදා දින අරලියගහ මන්දිරයට පැමිණි පොදු ජන පෙරමුණේ ප්‍රාදේශිය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් දින කීපයක සිට අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවේ යෙදී සිටි පිරිසටත් මාසයක කාලයක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටි නිරායුධ අරගලකරුවන්ටත් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ මුළු රටම ප්‍රචණ්ඩත්වයට ගමන් කළේ විනාඩි කිහිපයක් ගතවෙද්දීයි. එම තත්ත්වයද කිසිසේත්ම අනුමත කළ නොහැකි ම්ලේච්ඡත්වයකි.
![]() |
මරණයට පත් පොලිස් පරික්ෂක රංගන ප්‍රනාන්දු |
එහිදී ප්‍රචණ්ඩත්වය දෝරේ ගලා ගියේ බස්නාහිර පළාත මුල්කොට ගෙන බව පසුව පොලිස් මූලස්ථානයේ නිවේදනයෙන්ද පිළිබිඹු විය. ඒ අනුව බස්නාහිර පළාත තුළදී මියගිය සංඛ්‍යාව 06ක් වෙද්දි මුළුමනින්ම ගිනි තැබූ නිවාස සංඛ්‍යාව 8කි. දේපළ හානිවූ නිවාස සංඛ්‍යාවද 23කි. ඊට අමතරව ගිනි තැබූ වාහන සංඛ්‍යාව 29ක් සහ බස්නාහිර පළාත තුළදී හානිවූ වාහන ප්‍රමාණය 15කි. බස්නාහිර පළාතේත් කොළඹ දිස්ත්‍රික්කය එහි ප්‍රමුඛස්ථානයක් ගත් බව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මනා ලෙස පිළිබිඹු විය.
ගෝල්ෆේස් අරගලකරුවන්ට ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඇතැම් විද්යුත් නාළිකා ඔස්සේ එම දසුන් සජීවී ලෙස ප්‍රචාරය වීමත් සමඟ කොළඹ නගරයේ විශේෂයෙන් කොම්පඤ්ඤවීදිය, මරදාන, බම්බලපිටිය, කොල්ලුපිටිය, වැල්ලවත්ත මාලිගාවත්ත, බොරැල්ල ආදි පෙදෙස්වල ජීවත්වන අයවලුන් මෙන්ම ඇතැම් කාර්යාල සේවකයන්ද අරගලකරුවන්ට පහර දුන් අයවලුන්ට පහර දෙමින් ප්‍රචණ්ඩත්වය පතුරුවන්නට එක්රොක් වූයේ ක්ෂණයෙනි. ඒ සඳහා වට්ස්ඇප් සමූහ, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සියලු සමාජ මාධ්‍ය ජාලා භාවිතයෙන් ඔවුහු තැන තැනට රොක් වන්නට වූයේ සිය ගණනනි. ඊට ගත වූයේද ඉතාම කෙටි කාලයකි.
අරගලකරුවන්ට පහර දුන් පිරිස් හට මුල්ම ප්‍රහාරය එල්ල වී තිබුණේ ප්‍රහාරයෙන් විනාඩි කිහිපයක් ගතවෙද්දී බම්බලපිටිය සහ වැල්ලවත්ත ප්‍රදේශවලදියි. ඔවුන් හට තැන තැනට රැස්වූ පිරිස් විසින් පහර දී තිබුණේ එකී පිරිස්හි අත්පා ගැට ගසා විදුලි කණුවල බඳිමිනි. ඔවුහු අරගලකරුවන්ට පහර දීමෙන් පසු ගම්බිම් බලා යෑමට තැත් කරද්දී එම පහර කෑමට ලක්වී තිබිණි. එම දසුන්ද ක්ෂණිකවම සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නට වූයේ ප්‍රචණ්ඩත්වය රට පුරා පැතිර යමිනි.
![]() |
අරගලයට සහයවූවන් ගිනි තැබූ මොරටුව නගර සභාවේ රථ 11න් කිහිපයක් |
ඒ අතරේ කොළඹ නගරයේ තැන තැන ප්‍රචණ්ඩත්වය පතුරුවමින් අරගලයට සහයවූවන් ප්‍රචණ්ඩ ලෙස හැසිෙරමින් නන්දෙසින් කොළඹ නගරයට පැමිණ තිබූ බස්රථ ඇතුළු මැති ඇමැතිවරුන්ගේ රථවාහනවලට පහර දෙමින් ගිනි තබන්නට වූයේ කිසිදු ඉවක්-බවක් නොමැතිවයි.
අරලියගහ මන්දිරයට පිටුපස දෙසින් පිවිසෙන කොළඹ නවම් මාවතේ ඒ වන විට නවතා තිබූ බස් රථ, මැති ඇමැති රථවාහනවලට පහර දෙමින් ගිනි තබන අතරේ තවත් රථවාහන කිහිපයක් බේරේ වැවටද පිරිස් එක්රොක් වී තල්ලු කරන්න විය. පසුව දැකගන්නට ලැබුණේ බේරේ වැව තුළ එලෙස තල්ලු කරන ලද බස්රථ සහ ජීප් රථ ඇතුළු රථවාහන 10කට වඩා ඇති සෙයකි.
එලෙස ප්‍රචණ්ඩත්වය ලැව්ගින්නක් සේ ගෝල්ෆේස්, කොල්ලුපිටිය, බම්බලපිටිය ප්‍රදේශ පුරා පැතිර යද්දී පොලිසිය තත්ත්වය පාලනය කිරීම සඳහා මුලින්ම පොලිස් ඇඳිරිනීතිය පනවන්නට වූයේ කොළඹ උතුර, මධ්‍යම සහ දකුණ පොලිස් කොට්ඨාස වෙතයි. තත්ත්වය එන්න එන්නම උත්සන්න වෙද්දී එය බස්නාහිර පළාතටත් අනතුරුව රට පුරාමත් ව්‍යාප්ත කෙරිණි. ප්‍රචණ්ඩ ලෙස හැසිරුණ පිරිස් හට කොටු වූ පිටතින් කොළඹ නගරයට පැමිණ සිටි පිරිසක් බේරේ වැවට තල්ලුකොට බොහෝ වේලාවක් වැව තුළ තබාගෙන සිටිනු දක්නට ලැබුණේ සජීව දර්ශන සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කරමිනි. ඒ අතර වැඩිහිටි වයෝවෘද්ධ කාන්තාවන්ද සිටිනු පෙනිණි. ප්‍රචණ්ඩකාරීන් රටේ නීතිය අතට ගෙන කොළඹ නගරයේ තැන තැන ප්‍රචණ්ඩත්වය පතුරවමින් බස්රථ විශාල ප්‍රමාණයකට පහර දෙමින් ගිනිතබා තිබිණි. ඒ අතරේ එලෙස නීතිය අතට ගත් ප්‍රචණ්ඩකාරීන්ගේ ග්‍රහණයට පොලිස් නිලධාරින්ද කොටුවිණි. සීසීටීවී කැමරාවක ද සටහන් වී තිබුණේ එක් පොලිස් නිලධාරියෙක් ප්‍රචණ්ඩකාරි පිරිසකගෙන් දිවි ගලවා ගැනීමට වැටි වැටි දිවයන ආකාරයයි. එසේම මාලිගාවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සහ තවත් නිලධාරියෙක් එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිසකට කොටුවී තිබිණි. අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාට එකී ප්‍රචණ්ඩකාරීන් බරපතළ ලෙස පහර දී ඇත. ඔහුගේ දිවි බේරාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් පිරිසකි. එම ප්‍රහාරය නිසා එකී පොලිස් නිලධාරියා නාරාහේන්පිට පොලිස් රෝහලටද ඇතුළුව ප්‍රතිකාර ගැනිණි. ඔහු ගමන් කළ මෝටර් රථයටද ගිනි තබා තිබුණේ අළු ගොඩක් බවට පත් කරමිනි. එසේම ප්‍රචණ්ඩකාරින් විසින් අරගලකරුවන්ට පහර දුන් දිනට පසු දිනද ප්‍රචණ්ඩත්වය වපුරමින් බස්නාහිර පළාත තුළ සිටින ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ඔහුගේ පෞද්ගලික සහකාර, පොලිස් අධිකාරි දසනායකට අරලියගහ මන්දිරයට පිටුපස දෙසින් පිවිසෙන නවම් මාවතේදී පහර දුන්නේ නීතිය තඹ දොයිතුවකට මායිම් නොකරමිනි.
කොළඹට පැමිණි පිරිස් හට පහර දෙමින් ඔවුන් පැමිණි බස්රථ ඇතුළු රථවාහනවලට ගිනිබත් කරමින් පැවැති ප්‍රචණ්ඩත්වය අතරේ බොහෝ කොල්ලකෑම්ද වාර්තා විණි. ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමත් සමඟ අරලියගහ මන්දිරයට පැමිණි බස්රථයක් එදින සවස් යාමයේ නැවත ගම්බිම් බලා ගමන් කරමින් තිබියදී මාලිගාවත්තේ දී ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිසකට කොටුවී තිබිණි. පසුව එකී පිරිස් විසින් එම බස්රථය ‘මස්‘ කර ඇත්තේ යකඩ ගොඩක් පමණක් ඉතිරි වන ලෙසිනි.
කොළඹට පැමිණි පිරිස් හට පමණක් පහර දෙමින් ඔවුන් පැමිණි බස්රථ ඇතුළු රථවාහනවලට පහර දෙමින් ගිනි තබමින් පැවැති ප්‍රචණ්ඩත්වය පැය කිහිපයක් ගතවෙද්දී කොළඹ නගරයෙන් අවට නගර දක්වාද ව්‍යාප්ත වන්නට ගත වූයේ කෙටි කාලයකි. ඒ අනුව මහරගම නගර මධ්‍යයේදී පිරිසක් පැමිණි එවැනි බස්රථයක් ප්‍රචණ්ඩකාරීන් විසින් පහර දී නගර මධ්‍යයේ පෙරළා දැමීය. ඒ අතරේ අධිවේගී මාර්ග පිවිසුම් අසලට සිය ගණනින් රොක්වෙමින් එම පිරිස් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණේ එම ස්ථානවලින් යන-එන රථවාහන පරීක්ෂා කරමින් එකී පිරිස්හටද පහර දෙමිනි. එම පහර දීම්ද පොලිස් නිලධාරින් බලා සිටියදී සිදු වූයේ වල් වැදුණු නීතියක් රට තුළ ස්ථාපිත කරමිනි.
එවැනි පිරිසකට එදින සවස් යාමයේ කොට්ටාව අධිවේගී පිවිසුම අසලදී කොටුවූ කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල විණි. ඒ සමඟම එම ප්‍රහාරයෙන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මියගිය බවටද සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නට ද විය. කෙසේ හෝ ඔහුට එල්ල වී තිබුණේ බරපතළ ප්‍රහාරයකි. එසේම ඔහු ගමන් ගත් රථයද ගිනිබත් කර තිබිණි. මන්ත්‍රීවරයා මේ වන විටත් එල්ලවූ ප්‍රහාරය නිසා වූ බරපතළ තත්ත්වය හේතුවෙන් හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළුව ජීවිතයත් - මරණයත් අතර සටනක සිටී. ඔහුගේ රියැදුරා ද ප්‍රහාරයට ලක්වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාධ්‍යයට කීවේ,
“මං සර්ට කිව්වා අපි කොළඹ ඉඳිමු කියලා... ඒත් සර් කිව්වා නෑ අපි යමු... අපට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මමනේ ගෝටා ගෝ හෝම් කියලා මුලින්ම කිව්වේ කියා... පස්සේ අපි එද්දී කොට්ටාව අධිවේගී මඟ ළඟදි පිරිසකට කොටු වුණා. එතැන හිටිය තරමක් වැඩිහිටි තරුණ පිරිසක් අපට යන්න කිව්වා. ඒත් ළාබාල තරුණ කණ්ඩායමක් යන්න දෙන්න බෑ කියලා සර්ටයි මටයි නිකරුණේ පහර දීලා වාහනෙත් ගිනිබත් කළා...“
කොළඹ නගරය සහ අවට තැන තැන ගිනිබත් වෙමින් පැවැති තත්ත්වය සවස් වෙද්දී රට පුරා පැතිර යමින් මිනිස් ඝාතන වාර්තා වන්නට විය. ඒ අනුව පළමු මිනිස් ඝාතන සිද්ධිය එදින සවස සැලවූයේ නිට්ටඹුව නගරයෙනි. ඝාතනය වූයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඇතුළු තිදෙනෙකි. එලෙස මිනිස් ඝාතන ද සිදු වෙමින් ප්‍රචණ්ඩත්වය රටපුරා දලුලා වැඩෙද්දී ප්‍රචණ්ඩකාරීන් විසින් මැති ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවෙස්ද ඔවුනගේ ඥාති හිතෛෂීන්ගේ නිවෙස්වලටද ගිනි තබමින් විනාශ කරන්නට විය. එය ඉතාම ම්ලේච්ඡ සහගත සහ විශාල දේපළ හානියක් දක්වා ඔඩු දුවන්නට ගතවූයේ ඉතාම කෙටි කාලයකි.
ප්‍රචණ්ඩකාරීන් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පණිවිඩ යවමින් ‘ලොකේෂන්‘ සඳහන් කරමින් දහස් ගණනින් රැස්ව ඒ විනාශකාරි ක්‍රියා සිදු කර ඇති බව පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
එහිදී කොළඹ සහ අවට සිටින මැති ඇමැතිවරුන් අතර ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, ප්‍රේමනාත් සී. දොළවත්ත මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ බත්තරමුල්ල තලාහේනේ පිහිටි නිවෙස මෙන්ම කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා, කැස්බෑව නාගරික මන්ත්‍රී පණ්ඩිතරත්න මෙන්ම කැස්බෑව නගරාධිපතිගේ ඥාතිවරියකගේ නිවෙසක්ද ගිනිබත් කරමින් කොල්ලකා තිබූ බවත් එම ඥාතීහු මාධ්‍යයට පැවැසූහ. තවද මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ විල්ලෝරාවත්තේ පිහිටි නිවෙස මෙන්ම මොරටුව නගර සභාවේ ඔහුගේ කාර්යාලය ඇතුළු දේපළවලට සහ රථවාහන 11ක්ද ප්‍රචණ්ඩකාරීන් ගිනිබත් කර තිබුණේ ‘මන්දබුද්ධිකයන්‘ ලෙසිනි.
![]() |
නවම් මාවතේදී ගිනිබත් වූ රථයක කොටස් ගලවන පුද්ගලයෙක් (ඡායා- නිශානි හේරත්) |
ගිනිබත් කළ වාහන අතර ප්‍රදේශයේ කැළිකසළ ඉවත් කරන ලොරි රථයක්ද තිබීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි. තවද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මෙන්ම පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහගේ නිවෙසට ද ප්‍රහාරයක් එල්ල කර තිබුණේ 9 වැනිදා රාත්‍රියේයි. ඒ ප්‍රහාරවලට අමතරව කලාකරුවකු වන ඉරාජ් වීරරත්නගේ මවුපියන් සිටි කිරුළපන නිවෙසට සහ සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද්ගේ නිවෙස ඇතුළු වාර්තා නොවන තවත් බොහෝ දෙනකුගේ දේපළ හානි සිදුකර තිබුණේ එම පිරිස් හට කලකට ගොඩඒමට නොහැකි ලෙසිනි.
නව වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිිරිස් අරලියගහ මැදුර තුළට යාමට තැත් කිරීමේදී හමුදාව සහ පොලිසිය ඊට එරෙහිව වැටකඩුලු තර කෙරිණි. ඒ මොහොතේදී වූ පිපිරීමකින් පොලිස් නිලධාරියෙක්ද මරණයට පත් වූයේ රට පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ යමිනි.
එම පොලිස් නිලධාරියා මහජන සාමය ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ රාජගිරියේ විසූ පොලිස් පරීක්ෂක රංගන ප්‍රනාන්දුය. එදින ප්‍රචණ්ඩකාරින්ට එරෙහිව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරද්දී එක් කඳුළු ගෑස් අවියක් තුළ කඳුළු ගෑස් උණ්ඩයක් සිරවී තිබිණි. එය ඉවත් කිරීමට යාමේදී වූ පිපිරීමෙන් බරපතළ තුවාලලත් රංගන අවාසනාවන්ත ලෙස මරණයට පත් විය. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. සරත් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ඔහු කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙකි.
තවද අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරයෙන් රෝහල්ගතව සිටි 219 දෙනාගෙන් එක් අයකුගේ ජීවිතයද කොළඹ ජාතික රෝහලේදී මරණයට පත් වූයේ මරණ සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ යමිනි. එලෙස මරණයට පත්වී තිබුණේ වයෝවෘද්ධ පුද්ගලයෙකි.
ඒ අතරේ පොලිසිය නිවේදනය කරන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගි වූවන් පිළිබඳව ඔබ සතු තොරතුරු ඇත්තේ නම් 1997 හෝ 118 දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන තිබේ නම් [email protected] විද්යුත් ලිපිනයට යොමුකරන ලෙසයි. එසේ එම තොරතුරු ලබාදීමේදී තම අනන්‍යතාව දැනුම් දීම අවශ්‍ය නොවන බවත් ලැබෙන තොරතුරුවල රහස්‍ය භාවයද ආරක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සඳහන් කරයි.
ඡායාරූප - රුක්මල් ගමගේ
![]() |
බස්රථ සහ මෝටර් රථ බේරේ වැවට තල්ලුකර තිබූ ආකාරය |