
සමාජ ආර්ථික අර්බුද හමුවේ සාහිත්‍යකරුවන්ගේ වගකීම ඔබ දකින්නේ කොහොමද?
සමාජ ආර්ථිික අර්බුද හමුවේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය ගැන කතා කරන විට සාහිත්‍යකරුවා ද ඒ සමාජයේම කොටසක්ය කියන එක අමතක කරන්න බැහැ. එහෙත් ඔහු එතනදී වෙනස්කම් දක්වනවා. ඒ අනුව සිදුවුණේ කුමක් ද? එහෙම වුණේ ඇයි? වශයෙන් ඒ අර්බුදවලට විසඳුම් හොයන්න ඔහු ඉදිරිපත් වෙනවා. එය තමන්ගේ කාර්යභාරයක් ලෙසින් සලකා කටයුතු කරනවා. ලෝකයේ එවැනි අර්බුද තිබූ කාලවකවානු තුළ ලියවුණු කෘතිවල ඒ කාර්යභාරය අපට දකින්න පුළුවන්.
උදාහරණයක් හැටියට මිකායෙල් බුල්ගකෝව්ගේ “බල්ලෙකුගේ හදවත” ගත හැකියි. එතැනදී, ස්තාලින්ගේ පාලනය යටතේ ඔද්දල් වෙමින් ගිය රුසියානු සමාජය තුළ වූ ඒ සමාජගත හැසිරීම වෙනස් විය හැක්කේ කෙසේද යන්න ගැන වෙනම මානයක සිට සිදු කෙරෙන විමසීමක් මෙහි දකින්න පුළුවන්. මිනිහෙක් බල්ලෙක් බවට පත් වුණා ද? “වානේ පන්නරය ලැබූ හැටි” ඒ වගේම “පෙරළු නැවුම් පස” එදා අපි කියවද්දී රුසියානු වැඩවසම් සමාජයේ ඒ අර්බුදවලට විසඳුමක් හැටියට ඉදිරිපත්ව තිබූ සමාජවාදය වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම් සමාජ ආකල්ප වෙනස්වීම් මෙන්ම ඒ තුළම ඇතිවූ හැලහැප්පිීම් එදා ඒ සාහිත්‍යකරුවන් විෂය කරගෙන තිබූ ඒ ආකාරය අපි දැක්කා.
කාලයකට පෙර මම පරිවර්තනය කළ “ඔක්තෝබර් ” (රුසියානු විප්ලවයේ කතාව) සාකච්ඡා කරන්නේ 1917 රුසියානු විප්ලවය ඇති වුණේ කොහොමද කියන කාරණය යි. එදා රුසියාවේ පැවති ඒ සමාජ ආර්ථික අර්බුද අවසානයේදී දේශපාලන විප්ලවයක් නිර්මාණය කළ හැටි එහි විස්තර වෙනවා. එය සිදුවුණේ කොහොම ද? ඊට අදාළව පුද්ගලයින් මෙන්ම දේශපාලන පක්ෂ හැසිරුණේ කොහොම ද? එවැනි විස්තර විමර්ශනයක් මේ කෘතිය තුළ අන්තර්ගතව පවතිනවා.
මාක්ස්වාදයට අනුව දේශපාලන ප්‍රචණ්ඩත්වය විසින් යුද්ධය නිර්මාණය කරනවා. අපි එහෙම කියවා තිබෙනවා. ඒ තේරුමට අනුව දෙවෙනි ලෝක යුද්ධය කියන්නේ දේශපාලන අතිප්‍රචණ්ඩත්වයේ නිර්මාණයක්. ඒ පසුබිමේ ලියවුණ “සැබෑ මිනිසෙකුගේ කතාව” අපට ලබා දෙන්නේ යුද්ධයේ වීරත්වය ගැන හැඟීමක්.
ඒත් සෙන් හැසල් යුද්ධයට සහභාගි වෙන්නේ නාසි ජර්මන් සාමාජිකයෙක් හැටියට යි. ඔහු බෙල්ජියන් ජාතිකයෙක්.
රැකියාවක් හොයාගෙන ජර්මනියට ආ ඔහු එවකට නැඟී එමින් තිබූ නාසි පක්ෂයට එකතු වෙමින් යම් යම් කටයුතුවල නිරත වුණා. අවසානයේ දී ජර්මන් යුධ හමුදාවටත් එකතු වුණා. ඔහු පසුව සිය අත්දැකීම් ලියන්න පටන් ගන්නවා.
යුද්ධයේ ජඩ ගතිය, භීෂණය, මිනිස් වටිනාකම් කානුපල්ලට වැටෙන හැටි වශයෙන් ඒ යුද්ධය තුළින් ඔහු අත්විඳි දෑ ඒ ලිවීම තුළ තිබෙනවා.
ලංකාවේ සාහිත්‍යයට අදාළව ගත්තොත් ඩබ්ල්යු ඒ. සිල්වාගේ “විජයබා කොල්ලය” ගත හැකියි. විජයබාහු රජුට එරෙහිව ඔහුගේ මාළිඟය තුළම ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය මෙහි ප්‍රස්තුථය වෙනවා. ඒ තුළ රයිගම් බණ්ඩාර රජුගේ පුත්‍රයාද රාජකීයත්වයේ සීමාවන්ට එරෙහිව සිදු කළ ඒ අරගලය එක්තරා කාලයකදී මෙරට ඇති වුූ සමාජ දේශපාලන අර්බුදයක් පදනම් කරගත් කදිම නවකතාවක් හැටියට විජයබා කොල්ලය පෙන්වා දිය හැකියි.
ලෙනාඩ් වුල්ප්ගේ “බැද්දේගම” නැගී එමින් තිබූ ධනේෂ්වර ආර්ථිකය, අධිරාජ්‍යවාදි දේශපාලනයේ බලාධිකාරය හමුවේ මෙරට සාම්ප්‍රදායික ගැමි ජීවිතය අත් කරගත් ඉරණම ඒ වගේම ඒ සමාජ අර්බුදය මොන වගේ දෙයක්ද කියලා අපට පෙන්වා දෙනවා.
වර්තමානයේ සමාජ ආර්ථික අර්බුද හමුවේ පැන නැඟී ඇති දේශපාලන ගැටලු සාහිත්‍යයේලා සාකච්ඡා වන ආකාරයක් ඔබ දකිනවා ද?
1965 සිට 2000 වන තෙක් සිංගප්පූරුව පාලනය කරපු, ඒ රට ගොඩ නගපු ලී ක්වාන් යූ ලියූ ඔහුගේ චරිතාපදානය “තෙවැනි ලෝකයෙන් පළවෙනි ලෝකයට” නමින් මම සිංහලට පරිවර්තනය කළා. 1965 දී මැලේසියාවෙන් නිදහස ලබාගත් සිංගප්පූරුවට නායකත්වය දුන් ලී ක්වාන් යූ ආසියානු දේශපාලනය ගැන මෙහෙම කියනවා.
“ආසියානු නායකයන්ගේ බලලෝභය, දූෂණය හා සදාචාර පරිහානිය දුටු අපි කලකිරී සිටියෙමු. තමන්ගේ පීඩිත ජනයින් වෙනුවෙන් සටන් වැදුණු පුද්ගලයෝ ඔවුන්ගේ සම්පත් මංකොල්ල කන්නන් බවට පත්වී තිබිණි. ඔවුන්ගේ සමාජ පසු පසට ලිස්සා යමින් තිබිණි. යටත්විජිත පාලනය අවසන් කිරීමට අදිටන් කරගත් ආසියාවේ ඇතිවු විප්ලව රැල්ල සිසාරා හමායමින් තිබිණි. උත්තම ගණයේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත්වීම ආසියානු ජාතිකවාදි නායකයින් අසමත් බව දුුටු අපි කෝපයටත්, ලැජ්ජාවටත් පත්වී සිටියා.” ඔහු මෙහෙම කියන්නේ “ආණ්ඩුව පවිත්‍රව තබා ගැනීම” නම් පරිච්ඡේදය ආරම්භ කරමිනුයි. පසුව ඔහු මෙහෙමත් කියනවා.
“මගේ ඇමති මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් එක් අයෙකු හැරෙන්නට අන් සියලු දෙනාම උපාධිධාරින් ය. තනතුරෙන් බැහැර වුූ දාට හොඳින් ජීවත්වීමේ හැකියාවක් අප සතු බවට රට තුළ පැවතුණි. මා වැනි වෘත්තීයවේදීන්ට එසේ කළ හැකි යැයි අපේක්ෂා කිරීමේ හැකියාවක් තිබේ.
එය එසේ වන හෙයින් අතිරේක කිසිවක් මඟින් ඊට යමක් එකතු කර ගැනිීමේ වුවමනාවක් අපට නොවී ය. වඩාත් වැදගත්ම කරුණ වන්නේ අප බොහෝ දෙනෙකුගේ භාර්යාවන් රැකියාවල නිරත අය වීම ය.” ඔහු මෙහෙමත් කියනවා. “යම් අයෙක් සිරගත වුවහොත් හෝ මිය ගියහොත් පවුල නඩත්තු කිරීමේ හැකියාවද ඔහුට තිබේ. මේ තත්වයට අනුව මගේ ඇමතිවරුන්ගේ සහ ඔවුන්ගේ බිරියන්ගේ ආකල්ප හැඩ ගැසුණි.
ඇමතිවරුන් ජනතාවගේ ගෞරවයට සහ විශ්වාසයට පාත්‍ර වනවිට රාජ්‍ය සේවකයින්ටද ඔවුන්ගේ හිස කෙළින් තබාගෙන විශ්වාසයෙන් යුතුව තිීරණ ගැනිීමට හැකිවේ.”
මම මේ විදිහට සිංහලට පරිවර්තනය කරන්නේ ලීි ක්වාන් යූ ගේම වචනයි.
“1959 ජූනි මාසයේ දී අප බැසගත් නිගමනයක් විය. එනම් අවසන් වශයෙන් ලැබෙන සෑම ඩොලරයක්ම නිසි ලෙස ගිණුම් ගත කළ යුතු බවත්, පහළ මට්ටමේ ජනයා වෙත අවසාන ඩොලරය දක්වා ගලා යා යුතු බවත්, අතරමඟ එකම ඩොලරයක් හෝ අයුතු ලෙස ගසා කෑමට ඉඩ නොදිය යුතු බවත් ය.” මේ විදිහට තමයි ලී ක්වාන් යූ සිංගප්පූරු ආදර්ශය ගොඩ නැගුවේ.
1977 දී ලංකාවේ දේශපාලනය තුළත් සිංගප්පූරු ආදර්ශය සටන් පාඨයක්වීම ඔබ දකින්නේ කෙසේ ද?
මහාචාර්ය සරත්චන්ද්‍ර්‍ර “ධර්මිෂ්ට සමාජය” ලියුවේ 77 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලය ගැන විවරණයක් හැටියටයි.
ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිංගප්පූරු ආදර්ශය පෙන්වා දෙන හොඳම උදාහරණය තමයි ධර්මිෂ්ට සමාජය ලියූ මහාචාර්ය සරත්චන්ද්‍රටත්, ඒ වගේම දරමිටිපොල රතනසාර හාමුදුරුවන්ටත්, විවියන් ගුණවර්ධනටත් ටවුන්හෝල් එක ළඟ කානුවේ දාගෙන මැරයන් පහර දීපු ආකාරය.
ධර්මිෂ්ට සමාජය කෘතියෙන් මහාචාර්ය සරත්චන්ද්‍රගේ තර්කය වුණේ 1977 ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ධර්මිෂ්ට සමාජය, ධාන්‍ය රාත්තල් අටක්ද සමඟින් සිංගප්පූරු මාදිලියේ දූෂණයෙන් තොර ආර්ථිික සමාජයක් ගොඩ නඟනවාය යනුවෙන් දුුන් පොරොන්දුුව මොන පදනමකින් ඉදිරිපත් කළාද කියන එකයි.
අද මේ තියෙන ඒ වගේම අප මුහුණ පා සිටින සමාජ දේශපාලනික මෙන්ම ආර්ථික අර්බුදයේ එකම වග උත්තරකරුවා නෙවෙයි ප්‍රථම වග උත්තරකරුවා වීමේ වගකීම එදා ඒ හිටපු ජනාධිපතිවරයාට පැවරෙනවා යැයි මා සිතතවා. ඒ විදිහට පිහිටුවපු ජනාධිපති ක්‍රමය, එදා ඒ ඇති කරපු ව්‍යවස්ථාවෙන් තමයි මේ තරම් අසීමිත බලයක් දේශපාලනඥයින්ට ලබා දුන්නේ.