
1999 වසරේ ජනවාරි 28 වැනිදා මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ එක් ඓතිහාසික සිදුවීමක් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය. ඒ එකම ප්‍රකාශන ආයතනයක් මඟින් ලේඛක ලේඛිකාවන් තිස් දෙනකුගේ කෘතීන් එකම දවසකදී එළි දැක්වීමය. පුවත්පත් කතුවරයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, හිටපු දිනමිණ කර්තෘවරුන් වූ නැසී ගිය දෙල්තොට චන්ද්‍රපාල, මහින්ද අබේසුන්දර, අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ, ප්‍රවීණ මාධ්‍යවේදිනියකවූ ශ්‍රියා රත්නකාර වැනි ලේඛන කලාවේ නමගිය අයගේ මෙන් ම ශාන්ත කුමාර විතාන, චන්දි කොඩිකාර, බියංකා නානායක්කාර, ජයන්ත කළුපහන, ගාමිණී වාසලසූරිය, කමල් ශ්‍රී ලියනගේ, ඉන්දු පෙරේරා, ආරියවංශ කුලතිලක, ඇන්ටන් ප්‍රසාද් සමරනායක, සඳා ලාලිත් රණසිංහ, නිමල් ප්‍රේමතිලක වැනි පසු කලෙක ප්‍රකට වූ ලේඛක ලේඛිකාවන්ගේ හා මෙහි නම් සඳහන් නොවන තවත් කිහිප දෙනෙකුගේ පොත් එදින එළි දැක්විණි.
එදා මෙදා තුර පොත් එළිදැක්වීම් බොහෝ ගණනක් සිදුවී තිබුණ ද, එකම ප්‍රකාශන ආයතනයකින් ලේඛක ලේඛිකාවන් තිස් දෙනකුගේ කෘතීන් එකම දිනෙක එකම තැනකදී එළිදැක්වීම තවමත් නොබිඳී පවතින වාර්තාවක් විය හැකි ය. එදින දැකගත හැකිවූ තවත් සුවිශේෂී සිද්ධියකි. ඒ එදිනම එම ලේඛක ලේඛිකාවන්ගේ කර්තෘ භාගයන්ට අදාළ චෙක්පත් හා ඒ ඒ ලේඛකයන්ගේ කෘතීන් ඇතුළත් පොත් ඔවුනට ලබා දීමයි.
එම වසරේම සාහිත්‍ය මාසයේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයට අදාළ තවත් ඓතිහාසික සිදුවීමක් සනිටුහන් විය. ඒ කලා භවනේදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් පළමු වතාවට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමය.
මේ සුවිශේෂී හා ඓතිහාසික සිදුවීම් දෙකේදීම කැපී පෙනුණු භූමිකාවක් වූයේය. ඒ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සභිකයකු මෙන් ම පළමු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයකු ද වූ, පළමුව සඳහන් කළ පොත් එළි දැක්වීමට මූලිකවූ ‘මල්පියලි‘ ප්‍රකාශන ආයතනයේ අධිපතිවරයා ද වූ ඇ. ලයනල් ද සිල්වා ය. ඔහු විසින් ආරම්භ කරන ලද මල්පියලි ප්‍රකාශන ආයතනය අපට සිහි ගන්වන්නේ ඉන්දියාවේ පෙන්ගුවින් ප්‍රකාශන සමාගමයි.
කොළඹට නුදුරු කටුනායක ප්‍රදේශයේදී ඇතිගේ ලයනල් ද සිල්වා උපන්නේ ඇතිගේ ලැන්ඩ්‍රින් සිල්වා සහ ඇලිස් සිල්වා යුවළගේ දරුවන් සය දෙනා අතරින් පස්වැන්නා ලෙසිනි. “හැම මිනිසකුටම ස්ථිර උපන් දිනයක් ඇතත් මට එවැන්නක් නැත. මගේ උපන් දිනය ලෙස දින තුනක් ඇති බව මවුපියෝ කීහ. ජූනි 29, ජූලි 10 හා ජූලි 28 යි. මෙයින් කොයි එක හරි දැයි මම නොදනිමි. එහෙත් මා ඉපදී ඇත්තේ ජපනුන් ලංකාවට බෝම්බ දැමූ අවුරුද්දේ එනම් 1942 ඉරිදා දිනකය.“
ඇ. ලයනල් ද සිල්වා ‘මම‘ යනුවෙන් ලියූ ස්වයං චරිතාපදානය ආරම්භ කරන්නේ එලෙසිනි. තමන් කුඩා කලම පියාගේ අභාවය සිදුවූ හෙයින් ගත කරන්නට සිදුවූයේ අතිශය දුෂ්කර දිවි පෙවෙතක් බව ද එහි සඳහන් වෙයි. කෙසේ වෙතත් කුඩා ලයනල් දක්ෂතා දක්වා ඇත්තේ ඉගෙනුමට පමණක් නොවේ. පසු කලෙක බොහෝ ආධුනික ලේඛක ලේඛිකාවන්ට ජය මං පෙත් හෙළිකර දුන්, එමෙන් ම ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍ර යේ මහත් පෙරළි සිදුකළ ඔහු නිර්මාණකරණයට පිවිස ඇත්තේ වයස අවුරුදු හතේදී ය.
ඔහුගේ පළමු කාව්‍ය නිර්මාණය ‘ඥානාර්ථ ප්‍රදීපය‘ සඟරාවේ පළවී ඇති අතර එතැන් පටන් ඔහු විවිධ පුවත්පත් හා සඟරාවලට සිය නිර්මාණදායකත්වය ලබා දී තිබේ. එකල අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හා සමඟම පැවැත්වුණ ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් වීමෙන් අනතුරුව ඔහු තෝරාගෙන ඇත්තේ ගුරු වෘත්තියයි.
එහිදී ඔහු පළමු පත්වීම ලබා තිබෙන්නේ අතිශය දුෂ්කර පළාතක්ව පැවැති අම්පාර නගරයෙන් ද සැතපුම් හතක් ඈතින් පිහිටි වළගම්පුර මහා විදුහලටය. එහිදී ඔහුට බාරවී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පන්තියට සිංහල සාහිත්‍යය විෂයය උගන්වන්නටය.
ගුරු සේවයේ යෙදෙමින් විවිධ දුෂ්කරතාවන්ට හා අභියෝගයන්ට මුහුණ දුන්න ද ලයනල් කිසි විටෙක පසුබැස නැත. බෝලවලාන ගුරු අභ්‍යාස විද්‍යාලයයෙන් පුහුණුව ලැබීමෙන් අනතුරුව ඔහු ඊළඟ පත්වීම ලබා ඇත්තේ අක්කරපත්තු හි මුලතිව් මුස්ලිම් විදුහල ට ය. පසුකාලීනව එම පත්වීම සමඟ තමා මුහුණදුන් අභියෝගය ගැන ඔහු මෙලෙසින් පවසා තිබේ.
“ඒ මුස්ලිම් විදුහලේ දරුවන්ට සිංහල හා ඉංග්‍රීසි බැහැ. මට දෙමළ බැහැ. ඒත් කුමාරෝදය පොතේ ‘අල‘ ‘මල‘ වගේ කෙටි හා සරල වචනවලින් පටන් අරගෙන මම ඒ දරුවන්ට සිංහල උගන්වද්දී මගේ දෙමළ දැනුමත් දියුණු වුණා. අන්තිමේ මම ඒ පළාතේ රජයේ නිලධාරීන්ටත් රාජකාරි වේලාවන්ගෙන් පස්සේ සිංහල උගන්වලා අමතර ආදායමකුත් උපයා ගත්තා.“
දුෂ්කර පළාත්වල ගුරු සේවයේ යෙදෙන අතරතුර එම ප්‍ර දේශයේ පුවත්පත් වාර්තාකරු ලෙස සේවයේ යෙදීමට ද ඔහු යුහුසුලු වූයේ ය. ඒ හැරෙන්නට විවිධ පුවත්පත්වලට දිගින් දිගටම ලිපි ලියුවේ ය. වසර ගණනාවක් දුෂ්කර පළාත්වල සේවය කිරීමෙන් අනතුරුව ලයනල් ද සිල්වා තම ගම් පළාතේ කටුනායක ගුවන් හමුදා පාසලට පත්වීමක් ලබා එන්නේ 1968 වසරේදී ය.
ඒ සමකාලීනව ‘තරුණ‘ පුවත්පතට ‘මා කැමතිම තරුණිය‘ යනුවෙන් ලිපියක් ලියූ ඔහු එහි සඳහන් කර තිබුණේ ‘තමන් වඩාත් කැමැති තමා ආදරය කරන යුවතියකට වඩා තමාට ආදරය කරන තරුණියකට‘ බව ය. ඒ සමකාලීනව ඔහුට එවැන්නියක මුණ ගැසුණේ ද සිය ගම් ප්‍රදේශය ආසන්න ප්‍රදේශයකිනි. ඇනීටා නම්වූ ඔහුගේ ජීවන සහකාරිය ද උපාධිධාරී ගුරුවරියක වූවා ය.
70 දශකය ආරම්භයේ විනෝදාස්වාදය උදෙසා නිවෙස්වල වඩාත් සුලබව තිබුණේ ගුවන්විදුලි යන්ත්‍රයයි. එහෙයින් මදෝ ගී පදමාලා සහිත මුද්‍රිත පොත්වලට සෑහෙන ඉල්ලුමක් තිබිණි. අලුතින් චිත්‍රපට තිරගත වෙද්දී එම චිත්‍රපටවල අඩංගු ගීතයන්හි පදමාලා සහිත ‘සින්දු පොත්‘ බොහෝ විට මුද්‍රණය කොට නිකුත් කෙරුණේ අදාළ චිත්‍රපට නිෂ්පාදන සමාගම්වලින් ම ය. ඒ හැර කලෙයිමගල් හා ආනන්ද මුද්‍රණාලය වැනි ආයතන ද ‘සින්දු පොත්‘ ප්‍රකාශනයට නැඹුරුව සිටියේ ය.
“මේ කාලයේ කුඩා ගායිකාවක ජනප්‍රිය වෙමින් සිටියාය. ඒ ශිරෝමී ප්‍රනාන්දු ය. ඇගේ මාමා කෙනකු වන මෙල්රෝයි ධර්මරත්න මගේ මිතුරකු බවට පත්ව සිටියේ ය. දිනක් ඔහු සමඟ මා පිටකොටුවේ නීලගිරි හෝටලයේදී පැවැත්වූ සතුටු සාමීචිය නිමාවූයේ ඇගේ ගී පොතක් මුද්‍රණද්වාරයෙන් නිකුත් කිරීමේ තීරණයත් සමඟ ය.
“මේ සඳහා අවශ්‍ය මුදල් මා අත නොවීය. එබැවින් රුපියල් එක් දහස් අටසියයක මුදලක් බිරිඳගෙන් ඉල්ලා ගෙන මුල්ම සින්දු පොත ‘මල්පියලි‘ යන නමින් නිකුත් කෙළෙමි. එය පිටකොටුවේ ගුණසිරි මුද්‍රණාලයේ ඕෆ්සෙට් ක්‍රමයට නිකුත් කර ලද්දක් විය. මා මුද්‍රණය කළ මුල් ම පොත ඉතා ජනප්‍රිය වුව ද බලාපොරොත්තු වූවාට වඩා කොමිස් ගෙවීමට සිදුවීම නිසා හරි අඩකටත් වැඩියෙන් පාඩු විඳීමට සිදුවිය. මේ පාඩුව නිසා මගේ පොත් මුද්‍රණ ව්‍යාපාරය නවතනු ලැබුවේ නම් අද ‘මල්පියලි‘ නමින් ප්‍රකාශන ආයතනයක් නැතැයි මට නිතර සිතේ.“
ඇ. ලයනල් ද සිල්වා සිය ස්වයංචරිතාපදානයේ ‘මල්පියලි‘ ප්‍රකාශන ආයතනයේ ආරම්භය ගැන සඳහන් කර ඇත්තේ එලෙසිනි.
කෙසේ වෙතත් සින්දු පොත් මුද්‍රණය කරමින් නිකුත් කළ ඔහු ඊළඟට එම ප්‍රකාශන ආයතනය යොමු කරවූයේ අධ්‍යාපන ප්‍රකාශන සඳහා ය. වෘත්තිය ජීවිතයේද ඉහළටම යමින් හෙතෙම 1990 වනවිට ගෝනවිල රජයේ විදුහලේ විදුහල්පතිවරයාව සිටියේ ය. සිය ව්‍යාපාර කටයුතු කෙරෙහි සම්පූර්ණ කාලය යෙදවීමේ අදහසින් ඔහු එම වසරේදී නියමිත කලට පෙර ගුරු සේවයෙන් විශ්‍රාම ගියේය. ඒ වනවිට ‘මල්පියලි - දංකොටුව‘ යන්න වඩාත් ජනප්‍රිය යුගල පද හා සමානව තිබිණි. ක්‍රමයෙන් ගීත, පොත්, අධ්‍යාපන ප්‍රකාශන ආදියට‘ අමතරව නවකතා පරිවර්තන කෘති සහ විවිධ විෂයයන්ට අදාළ කෘතීන් මෙන් ම විශේෂයෙන්ම ළමා පරපුර සඳහා වූ කෘතීන් සඳහා ද යොමු වූයේ ය. බොහෝ ආධුනික ලේඛක ලේඛිකාවෝ ‘මල්පියලි‘ ප්‍රකාශන ආයතනය ඇසුරේ ජනප්‍රියත්වයට පත්වූහ. චන්දි කොඩිකාර, චමිලා රුවන් කුමාරි, බියංකා නානායක්කාර, ශාන්ත කුමාර විතාන, ජයන්ත කළුපහන, ගාමිණී වාසලසූරිය, ගංගා ෂයිනි ගමගේ වැන්නෝ ඒ අය අතර වූහ.
මාධ්‍යවේදීන් ලෙස කටයුතු කළ අයගේ නිර්මාණ වැඩි වශයෙන් තම ප්‍රකාශන ආයතනය ප්‍රකාශයට පත් කිරීම ‘මල්පියලි‘ වෙතින් කැපී පෙනුණ විශේෂ ලක්ෂණයන් වුයේ ය. ලිපිය ආරම්භයේදී සඳහන් කළා සේම ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ තවත් නොබිඳුණු වාර්තා ගණනාවක්ම ඔහු සටහන් කළේ ය. 2007 වසරේ සාහිත්‍ය මාසයට සමගාමීව එකම දිනයකදී එකම ලේඛකයකුගේ (මෙම ලියුම්කරුගේ) ළමා පරිවර්තන කෘතීන් පනහක් එළි දැක්වීම එබඳු තවත් වාර්තාවකි.
වයඹ පළාත් හා ජාතික ඵලදායිතා, ඕ.සී.අයි.සී. හා හොඳම ව්‍යවසායක ලෙස වයඹ පළාත් හා ජාතික වශයෙන් ඔහු විවිධ අවස්ථාවන්හිදී සම්මානයට පාත්‍ර වූයේ ය. ආරම්භයේ පටන් 2010 දශකයේ මුල භාගයේ රෝගීව සිය ව්‍යාපාර කටයුතු වලින් ඈත් වනතුරුම ඔහු ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළේ ය. ඒ හැර සෑම වසරකම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් ද වූයේ ය. නිහතමානී, මිත්‍රශීලී ඔහු සැබවින් ම ගෙන ගියේ අතිශය සරල දිවි පෙවෙතකි.
ඇ. ලයනල් ද සිල්වා සිය ස්වයංචරිතාපදානයේ තමන්ගේ ජීවන දර්ශනය සනිටුහන් කර ඇත්තේ මේ ආකාරයෙනි.
“සතුට ඇත්තේ අන් කිසිවකු නොව චාම් ජීවිතයේ ය.
සැනසුම ඇත්තේ අන් කිසිවක නොව පවුල් ජීවිතයේ ය.
තෘප්තිය ඇත්තේ අන් කිසිවක නොව ආගම දහමෙන් ලබන්නා වූ හික්මීමෙනිය. සතුරාට ප්‍රේම කිරීම හරහා ලබන ආස්වාදය තරම් වූ වෙනත් කිසිවක් මෙලොවදී ලැබිය නොහැකි ය.“
ලාංකේය පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ අධ්‍යයනය කළ යුතු වූ වෙනමම පරිච්ඡේදයක් බඳු වූ ‘මල්පියලි‘ ආයතනයේ නිර්මාතෘ ඇතිගේ ලයනල් ද සිල්වා පසුගිය මැයි පළමු වැනිදා සිය ජීවන චාරිකාව නිමවද්දී අසූ හැවිරිදිව පසුවුයේය. බිරිය ඇනිටාට ආදරණීය සැමියකු වූ, ලසිත, තුසිත හා සුසිතා චාම් දරු තිදෙනාට සෙනෙහෙබර පියකු වූ, දහස් ගණන් දරුවන්ගේ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් අධ්‍යාපන ප්‍රකාශන හරහා ද, නවක ලේඛක ලේඛිකාවන්ට නිර්ලෝභීව අත හිත දුන් සේම මාධ්‍යවේදීන්ගේ කලණ මිතුරා දිවිගමන නිමා කළේ ‘මල්පියලි‘ නාමය අප අතර තබමිනි.