යෝජිත 21 වැනි සංශෝධනය මර උගුලක්ද? | Page 2 | සිළුමිණ

යෝජිත 21 වැනි සංශෝධනය මර උගුලක්ද?

ටේ සුවිශාල අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අවිවාදිතය. ඒ උත්ගතවී ඇති තත්ත්වය හමුවේ සැබැවින්ම පීඩාවට පත් වූ ජන කොටස් සිටියද මේ උද්ඝෝෂණවල නිරත වන පිරිස් අතර සැබැවින්ම සිටින්නේ ද; යන්න ගැටලු සහගතය. දැනට පවතින උද්ඝෝෂණයන් තුළ ශිෂ්‍යයන් හා මධ්‍යම පාන්තික පිරිස් වෙති. මේ කිසිදු පිරිසක් මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධන ඉල්ලීමක් නොකරයි. මේ උද්ඝෝෂණය කරන ජනතාව ආණ්ඩුවෙන් කරන ඉල්ලීම මේ මුහුණ දෙන අර්බුදය විසඳීමට ඇති යෝජනා කුමක්දැයි ඉදිරිපත් කරන ලෙසයි. භාණ්ඩ හා සේවා හිඟය මිල වැඩිවීම ඩොලර් හිඟය විසඳීමට, යම් යෝජනාවක් රජය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියි.

ජනතාවට මේ අවස්ථාවේ 21 වැනි සංශෝධනයක් අවශ්‍ය නැත. ජනාධිපතිවරයා සෞභාග්‍යයේ දැක්මෙන් යළිත් ව්‍යවස්ථා සංශෝධනය නොකර; නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ප්‍රමුඛ කාර්යයක් ලෙස ඉදිරිපත් කර ඇත. ඒ සඳහා විද්වත් කමිටුවක්ද පත් කරන ලදී. ඒ විද්වතුන් තමන්ගේ කාර්ය ඉටු කරමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලදී.

එසේ නම් වහාම මේ ප්‍රමුඛතම පොරොන්දුව ඉටු කිරීමට ව්‍යවස්ථාව ඉදිරිපත් කළ යුතු බව ජනාධිපතිවරයාට බල කිරීමක් නොකර එක්තරා පිරිසක් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මේ සංශෝධනයේ සැඟවුණ අරමුණක් ඇති බව අපි විශ්වාස කරමු. ඒ හෙයින් යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන අතරම එම විරුද්ධත්වයට හේතුවන ප්‍රධාන හේතු දෙකක් ද පෙන්වා දීමට කටයුතු කරමු. සුවිශේෂ කරුණක් මෙහිදී මතු කළ යුතුය. එනම් පසුගිය කාලවකවානුවේදී ඉන්දියානු විදෙස් අමාත්‍යවරයා, අගමැතිවරයා, තානාපති, ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දියානු නිත්‍ය නියෝජිතයා යන සිවුදෙනාම 13වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට යෝජනා කරන ලදී. නමුත් එය කළ නොහැකි විය. ව්‍යවස්ථා බාධක දෙකක් ඊට එරෙහිව විය. ඒ බාධක ඉවත් නොකර එය සිදුකළ නොහැකියි.

මේ නිසා නව ව්‍යවස්ථාවක් යළි ගෙන ආවොත් 13 වැනි ව්‍යවස්ථාවේ යම් බලතල අඩුවිමක් විය හැකියි. එවිට කූට සංශෝධන ගෙන ඒමට නොහැකි වෙයි. කූට සංශෝධනක් ගෙන ඒම කාරක සභා අවස්ථාවේදී කළ නොහැකිය. එසේ කළහොත් ජනතාවගේ ඡන්දය හිමි නොවෙයි. එසේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමින් ඒ තුළ කුඩා සංශෝධන දෙකක් යොමු කිරීමට උත්සහ කරන බවක් පෙනෙයි. එහිදී 154/ B 2 වගන්තියේ ජනාධිපතිවරයා යන ස්ථානයට පෙර මහ ඇමැති විමසා යන වචනය එකතු කිරීමයි.

එමෙන් ම 154/G වගන්තියට සමගාමී ලැයිස්තුව ක්‍රියාත්මක කිරිමට පළාත් සභාවේ අනුමැතියට යටත්ව යන්න පමණයි. මේ වගන්ති දෙක ගෙන ආවොත්; සමස්ත රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත් සියල්ල වෙනස් වෙයි. පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව ඉඩම් ප්‍රඥප්ති පොලිස් ප්‍රඥප්ති ගෙන එන අතර ආණ්ඩුවට අසරණව බලාගෙන සිටීමට පමණක් සිදු වෙයි.

බෙදුම්වාදි බලවේගවල බලපෑම; ඉන්දියානු බලපෑම වැනි හේතු නිසා මෙවැනි යෝජනා ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙහි භයානක තත්ත්වය ව්‍යවස්ථාවක් සම්මත වූ පසු පාර්ලිමේන්තුවේදි එය වෙනස් කිරීමට අධිකරණයට ද නොහැකි වීමයි.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7(අ) පරිච්ඡේදය සංශෝධනය කිරීම එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවීම සඳහා මේ වන විට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් කෙටුම්පතක් කථානායකවරයාට බාරදීම මේ අවස්ථාවේ දී සිදු කිරීමම සැකයට තුඩුදෙන කරුණකි. එය ජනාධිපතිවරයා විසින් යෝජිත නව ව්‍යවස්ථාවෙන්ම කළ හැකි කරුණකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන එම පනත් කොටුම්පතට පසුගිය දිනවල ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ 11කට අයත් මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය ලැබී ඇති බවද වාර්තා වෙයි. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැතිවරණයට පෙර පොරොන්දු වූ දේ වෙනුවට ඉතා පොඩි සංශෝධනයක් යනුවෙන් ගෙන එනු ලබන්නේ කාරක සභා අවස්ථාවක මේ සංශෝධනයන් ඇතුළු කිරීමට බව දැඩි විස්වාසයක් අපි තුළ වෙයි.

19 වැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේදීත් මෙම ක්‍රියාවම කරන ලද බවට අපිට අත්දැකිම් වෙයි. කෙටුම්පත තුළ නොමැති සංශෝධන එහි ඇතුළත් කර ඇත. 2017 පළාත් සභා මැතිවරණ සං‍ශෝධන පනත යනුවෙන් කාන්තා නියෝජන පනත ගෙන එන ලදී. එහි පිටු දෙකක් එම අවස්ථාවේදී වූ අතර සංශෝධනයෙන් පසුව දිර්ඝවී ඇති බවත් දක්නට ලැබිණි. නව යෝජනාවෙන්ද සිදුවන්නේ බෙදුම්වාදය හිස එසවීමයි. මේ අවස්ථාවේදි අවශ්‍ය වන්නේ පවතින ආර්ථීක ගැටලුව විසඳන්නේ කෙසේද යන යෝජනාවලියකි.

පක්ෂ 11 විසින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කළ කොන්දේසි 11 අතරට 21 වැනි සංශෝධනය මඟින් 19 වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීමට අදාළ කොන්දේසියක් ද ඇතුළු වී ඇති බව පෙනෙයි.

20 වැනි සංශෝධනයට අත එසවීම මඟින් ද්විත්ව පුරවැසියන්ට ඇමතිකම් දැරීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව මහජන විරෝධයක් ඇත. ඒ නිසා එම වරද නිවැරදි කිරීම සඳහා මහජන ඉල්ලීමක් තිබෙන බවද මේ අයගේ මතයයි. එහෙත් මහජන උද්ඝෝෂණවලදී හෝ සමාජ මාධ්‍ය හරහා හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් එම වරද නිවැරදි කරන ලෙසට සටන් පාඨයක් ඉදිරිපත් වී නැති බව ඉතා පැහැදිලි කරුණකි.

ජනාධිපතිවරයාට නව ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න කිරීමක් හෝ එය ඉදිරිපත් නොකිරීම පිළිබඳව චෝදනා කිරීමකින් තොරව ඊට විකල්පයක් ලෙස ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම ද ප්‍රහේළිකාවකි.

ඊට අමතරව වත්මන් ආර්ථික අර්බුදය පැන නැඟීමෙන් පසුව ඊට හේතු කාරණා හෝ විසදුම් පිළිබඳව කිසිදු පාර්ශ්වයක් විසින් තර්කයක් ඉදිරිපත් කර නැත. අද පවතින විදේශ විනිමය අර්බුදයට මුල්වූ ප්‍රධාන හේතුව 1977න් පසුව මෙරටෙහි නඩත්තු කරන ලද ආර්ථික මොඩලය සහ එම මොඩලය කළමනාකරණය කිරීමේදී, එනම් පාලනයේදී සිදුවන දුෂණ වංචා සහ අකාර්යක්ෂමතාවයන් බව පැහැදිලිය.

විශේෂයෙන්ම පසුගිය යහපාලන රජය යටතේ විදේශ විනිමය සම්බන්ධව ගත් පියවරයන් ඉතා අර්බුදකාරී වූ අතර; ඒ තත්ත්වය නිසා අපනයන අදායම් බැංකු පද්ධතිය ඇතුල් නොවීමෙන් ඒවා අවභාවිත වීම සහ කළු වෙළඳපොළ දිරිමත් කිරීම ආදිය ඊට ප්‍රබල ලෙස දායක වී ඇති බව පැහැදිලි කරුණකි.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආරම්භ කළ නිදහස් වරාය මූලධර්මය යටතේ ප්‍රතිඅපනයන දිරිමත් කිරීම නිසාද රටට විදේශ විනිමය පමණක් නොව බදු ආදායම් අහිමි වීම ද තවත් ගැටලුවකි. දැන් ඒ සියලු තත්ත්වයන් නිසා පැන නැඟුණු ආර්ථික අර්බුදය අවසානයේදී සමාජ, දේශපාලන සංස්කෘතික අර්බුදයක් බවට වර්ධනය වී ඇත. එහෙත් ඊට අදාළ සංවාදවලදී ප්‍රශ්නයට හේතුව සේවීමට වඩා ප්‍රශ්න යොදා ගනිමින් එය විසඳීමේ මුවාවෙන් කළ යුතු දේ පිළිබඳ ව සංවාදයක් මතු කරන බවක් නොපෙනෙයි.

ඒ අනුව පැහැදිලි වන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට අශිර්වාද කරන පිරිස් අතුරින් යම් පිරිසක් අවස්ථාව ලැබුණහොත් එම සුළු සංශෝධන 21 වැනි සංශෝධනයට ඇතුල් කිරීමට උත්සාහ කළ හැකි බවය. යම් පිරිසක් 20 වැනි සංශෝධනයට අත එසවීම මඟින් සිදුකළ වරද නිවැරදි කිරීම සඳහා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුරය අහිමි කිරීමේ යෝජනාව ඊට ඇතුළු කළ යුතු බවට අදහස් දක්වන බව අවිවාදිතය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවීම, අගමැතිගේ බලතල ශක්තිමත් කිරීම සහ මේ වන විට පැනනැඟී ඇති ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ගැටලුව විසඳීම ආදී බොහෝ අරමුණු තුළට බෙදුම්වාදී අරමුණු ඇතුළු කිරීමේ පැහැදිලි ඉඩක් ඇත. විශේෂයෙන්ම දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුකිරීමේ මුවාවෙන් සහ ජනාධිපතිගේ බලතල ක්‍රියාත්මක කරන ආණ්ඩුකාරයාගේ බලතල සීමා කිරීමේ මුවාවෙන් එම උත්සාහයට ඉඩකඩ විවෘත කළ හැකිය.

එහෙත් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට අදාළ සංශෝධන, ගැසට් කරනු ලබන 21 වැනි සංශෝධන කෙටුම්පතට ඇතුළු නොකරන බව ඉතා පැහැදිලිය. එවැනි සුළු සංශෝධන ඇතුළු කිරීමේ දොරටුව විවෘත වන්නේ පනත තුන්වන වර කියවීමේ විවාදය දී නැතහොත් කාරක සභා අවස්ථාවේදීය. කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පක්ෂව බොහෝ පිරිස් ඉදිරිපත් විය හැකි බැවින් කාරක සභා අවස්ථාවේදී සිදුවිය හැකි දේ පිළිබඳව කල්පනා කිරීම වඩාත් වැදගත් වේ. ඇත්ත වශයෙන්ම 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා කාරක සභා අවස්ථාවේදී ඇතුළු කළ යුත්තේ සංශෝධන දෙකකි. කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධනයක් ඇතුළු කිරීමේදී සමස්ත වගන්තිය කියවීමක් සිදු නොවේ.

එතැන් සිට ආරම්භ වන්නේ ඉඩම් ප්‍රඥප්ති, පොලිස් ප්‍රඥප්ති සහ මහඇමති අරමුදල් ප්‍රඥප්ති ආදිය එක පිට එක සම්මත කිරීමේ පරිච්ඡේදයකි. ඒවා සම්මත කිරීම නැවැත්වීම හෝ සම්මත කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා මධ්‍යම රජයට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම ඉන්දියානු රජය ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවල බලපෑම යටතේ මධ්‍යම රජයට අසරණව බලා සිටීමට සිදුවනු ඇත. නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළව ජාත්‍යන්තර අධිකරණයේ (ෂක්‍න්‍) විභාගයට ගැනුණ පෘතුගාලය එදිරිව ඔස්ට්‍රේලියානු නඩු තීන්දුව අනුව ඒ ආකාරයට පරමාධිපත්‍ය බෙදී යන ලෙස බලය බෙදා ඇති අවස්ථාවක මධ්‍යම රජය එම බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහි වන්නේ නම් එම ජනතාවට බෙදී වෙන්වීමේ අයිතිය ලැබේ.

ඒ ආකාරයට මධ්‍යම රජය සහ යම් පළාතක ආණ්ඩුවක් පත් කරන ජනතාවගේ පරමාධිපත්‍ය බෙදී යන බව තහවුරු කෙරෙන පරීක්ෂණයෙන් සමත්වීම සඳහා තවත් එක් ව්‍යවස්ථා බාධකයක් මඟ හැරීමට සිදු වේ. එනම් සමගාමී ලැයිස්තුවට අදාළ විෂයන් පිළිබඳ නීති සෑදීම සඳහා මධ්‍යම රජයට තිබෙන බලය පළාත් ආණ්ඩුවේ බලයට යටත් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා කළයුත්තේ 154 (ජී) (5)(4) උප වගන්තියේ පාර්ලිමේන්තුව යන වචනයට පෙර “පළාත් සභාවේ අනුමැතියට යටත්ව”යන්න එකතු කිරීමය.

ඒ අනුව මේ ව්‍යවස්ථා මර උගුලක් බවට පත්වුවහොත් ඊට අත ගැසූ පිරිස්වලට ජනතාධිකරණයේ දඩුවම් ලැබෙන බවට සැකයක් නැත. එහෙත් ඒ මඟින් වරද නිවැරදි වන්නේ නැත. එම වරදට ඔවුන්ට ඉතිහාසයෙන් කිසිදු සමාවක් නොලැබෙන බවට ද සැකයක් නැත. එය වැළැක්විය හැක්කේ සියලු පාර්ශ්ව විසින් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් මහජනයාට එක් පොරොන්දුවක් ලබාදීම මඟිනි. එනම් ගැසට් කරන ලද කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී කිසිදු සංශෝධනයක් ඇතුළු නොකරන බවට ස්ථිරසාර සුවිශේෂි පොරොන්දුවක් ලබාදීම මඟිනි. මේ වනවිටත් කිසිදු පක්ෂයකින් පවතින අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කර නැත. මේ නව 21වැනි ව්‍යවස්ථා සංශෝධනය යහපත් චේතනාවෙන් නොකරන බව පැහැදිලි වෙයි. පාර්ලිමේන්තුවේ සියලුදෙනා විසින් ම මේ අවස්ථාවේදී පවතින අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි. ඒවා ජනතාවට පෙන්වා දිය යුතුයි. මෙතෙක් කල් පවත්වාගෙන ආ ආර්ථික මොඩලය සහ අනුගමනය කරන ලද සියලු ක්‍රමවේදයන් වෙනස් කළ යුතුයි. ඉදිරියේදී බලයට පත්වන පිරිස කවුරු වුවත් මේ රටේ ඉදිරියට රටේ අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගයන් හඳුන්වා දිය යුතුයි.

ඔළුගෙඩි මාරුවෙන් රටේ අර්බුද විසඳිය නොහැකි බව ඉතා පැහැදිලි කරුණකි. වෘත්තිකයන් විද්වතුන් පත් කළ යුතු යැයි හඬ නැඟුවද වෘත්තිකයන් බලයේ සිටියදීම මේ රට අගාදයට ගිය බව අපි දනිමු. දේශපාලන නායකත්වය නිවැරදි ආර්ථික ක්‍රියාවලිය තෝරාගත යුතුයි. නිලධාරීන් ඒ අනුව කටයුතු කළ යුතුයි. නිවැරදි උපාය මාර්ගයන් තෝරා නොගෙන රට අගාධයට ගිය අවස්ථාවකදී විද්වතුන්ට බලය ලබා දුන්නද මේ අර්බුදයන් නොවිසඳෙයි. රට ගමන් කළයුතු නිවැරදි දිශානතිය අපි තෝරාගත යුතුයි.

මෙය එක්වර මතුවූ ගැටලුවක් නොවෙයි. 1977 අනතුරුව දීර්ඝකාලීනව අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවල ඇති දුර්වලතාවයන් නිසා මේ අර්බුදය තිව්‍ර වී ඇත. 1977 සිට මෙරටේ ක්‍රියාත්මක කොල්ලකාරී දූෂීත ආර්ථික මොඩලය වෙනස් විය යුතුයි. එය එසේ ක්‍රියාත්මක වෙද්දී මේ දූෂණ වංචා නැති කළ නොහැකියි. මේ දේශීය නිෂ්පාදන පද්ධතිය වෙනස් කරන, ශක්තිමත් කරන, අපේ ගොවියා ආරක්ෂා කරන ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් විසින් වහල් භාවයේ රඳවාගන සිටින කාන්තාවන් ගලවා ගැනීමේ ක්‍රියාවලියක් යෝජනා විය යුතුය. ජාවාරම්කරුවන් කිහිපදෙනකුට උපයා ගැනීමට පමණක් වන ආර්ථික ක්‍රියාවලිය වෙනස් විය යුතු සේම රටේ සමස්ත ජනතාව සමඟින්ම නැඟි සිටිමට හැකි ආර්ථික ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. මිනිසුන් මුල්‍ය වහලුන් බවට පත්වීමෙන් ගලවා ගත හැකිද? තිරසාර ආර්ථික ක්‍රියාවලියක අවශ්‍යතාව දැඩි ලෙස මතුවී ඇත.

විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාස භංගයට පෙර ඉන් ආණ්ඩුව ඉවත් කර රට හදන ප්‍රතිපත්තියක්, යෝජනාවක් ඉදිරිපත් කිරීම වැදගත් වෙයි. මේ පවතින අර්බුදවලට ගැළපෙන ලෙස ආර්ථික මොඩලය වෙනස් කරගත යුතුයි.

මේ සමස්ත ආර්ථික මොඩලය වෙනස් කිරීමේදී ආර්ථික නීති පද්ධති, ආයතන පද්ධතිය, දේශපාලන සංස්කෘතිය යන බොහෝ දේ වෙනස් විය යුතුයි. බලයේ සිටින පිරිස හෝ බලයට පත්වීමට අපේක්ෂා කරන පිරිස මූලික වශයෙන් මේ ආර්ථික මොඩලය නිවැරදි දිශානතියට හැරවීමට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු ම ය.

Comments