දරුවන්ගේ නැණැස පෑදූ අරුමැසි ලේඛිකාව අයිලීන් සිරිවර්ධන | සිළුමිණ

දරුවන්ගේ නැණැස පෑදූ අරුමැසි ලේඛිකාව අයිලීන් සිරිවර්ධන

තමා ලියූ නවකතාවක් සිය මිතුරියකට කියවන්නට දී ඇගේ ප්‍රතිචාරය විමැසූ ලේඛිකාවකට ලැබෙන්නේ ලේඛකයකු බලාපොරොත්තු නොවන විදියේ පිළිතුරකි.

“හරි ලස්සන කතාවක්. හැබැයි පළ කරන්න එපා.”

“ඇයි...?”

“මේ පොත කියවන අය හිතාවි මේ ඔයාගේ කතාව කියලා. එච්චර සංවේදී ව ලියලා තියෙනවා. හරියට තමන්ට සිදු වෙච්ච දෙයක් වගේ. මම දන්නව එහෙම නෙවෙයි කියලා. ඒ වුණාට පාඨකයන් කොහොමද ඒක දන්නේ?”

එසේ ප්‍රතිචාර ලද්දී අහසින් පොළොවට නවකතාව ලියා එහි මුල් පිටපත කියවන්නට එකී මිතුරියට දුන් අයිලින් සිරිවර්ධන ය. මිනිස් සිත විවරණය කිරීමේ ලා ඇය සතු කුසලතාව පිළිබඳ සජීවි උදාහරණය අහසින් පොළොවට ය. එය කෙතරම් ජනතාව අතරට ගියේ ද යත් බොහෝ දේශපාලන වේදිකාවල පවා භාවිතයට ගත් උදෘත පාඨයක් විණි. බොහෝ වේදිකාවල සදය උපහාසයෙන් යුතුව උපුටා දැක්වූ වදනක් වූයේ එය ය.

කාන්තාවක් කාන්තාවන් වෙනුවෙන් යමක් ලියූ ගමන් ඔවුහු කාන්තා විමුක්තිකාමීන්ගේ ගොඩට ඇද දමති. එබැවින් බොහෝ නිර්මාණවල ද සමාජයේ සේ ම වැජඹෙන්නේ පුරුෂ මූලික බවකි. මේ පොදු සාම්‍යයට අයිලීන් සිරිවර්ධන ලේඛිකාව අභියෝග කරන්නී ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පුවත්පතකට විචාරයක් ලියමින් මේ නවකතාවේ වෙසෙස් ව කැපී පෙනෙන ලක්ෂණය ගැන අවධාරණය කර තිබිණි. ඒ අනුව දේශීය නවකතා බිහි වුව ද ඒ බොහෝ දෙනකුගෙන් මඟ හැරුණු සමාජ පන්තියක ජීවිත කතාව මේ ඔස්සේ සමාජගත වන බව මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ මතය විණි. එය එකල බෙහෙවින් වටිනා අගැයුමක් විණි.

අයිලීන් සිරිවර්ධන නවකතාකාරියට හසු වෙන්නේ තමා ජීවත් වන පැලැන්තියේ කතා ව ය. මෙහි එන ප්‍රධාන චරිතය වන සරත් ඔස්සේ නවකතාකාරිණිය සිය දෘෂ්ටිය මෙහෙයවන්නේ ඔහුගේ බිරිය වන විනීතාගේ කතාව කියන්නට ය. සරත් ගේ ජීවිතය වියමන් වන්නේ ඈ හරහා ය. පුරුෂ මූලික නවකතාවක ස්ත්‍රීවාදී අරගලයක් කරන්නට ඈ පෙලඹෙන්නේ අතිශය ශූර වියමනක් නවකතාව ඇතුළත ගොඩනඟමිනි. ස්ත්‍රිය කියවන්නට ඈ පුරුෂ පාර්ශ්වය යොදා ගන්නේ නොදැනෙන සේ ය.

නවක නවකතාකාරිණියකගේ පළමු නවකතාව චිත්‍රපටයක් කරන්නට ලෙස්ටර් පසුබට නොවන්නේ ලේඛිකාවගේ ශූරත්වය නිසා ය. ලෙස්ටර් මේ සිනමාපටය නිසා දේශීය පමණක් නොව විදේශීය සම්මාන හා බුහුමනට ද ලක්විණි. එයට තිස්ස අබේසේකරගේ තිරපිටපත ද ඉවහල් වන්නට ඇත.

සිනමා කෘතියේදී අහසින් පොළවට වෙනස් ම ආරක් ගත්තේ ය. එය අතිශය සංකීර්ණ රූපාවලියකි. සිනමාවෙන් කතා කීම අත්‍යවශ්‍ය නොවන බවට එය උදාහරණයකි. කැඩපතෙන් තමන්ගේ රුව වෙනුවට පෙනෙන සිය බිරියගේ රුවෙන් සිනමාපටය ඇරඹේ. අතීතය නම් ගුහාවෙන් ඔහුට ගැලවීමක් නැත. සරත්ගේ අභ්‍යන්තරය ඔස්සේ සියුම් මානසික විග්‍රහයකට යන්නට ලෙස්ටර් ට තිබූ උවමනාව අයිලින් සිරිවර්ධන ලේඛිකාවගේ මුල් කෘතියෙන් නිපන්නකි. 1978 දී පැවැති තුන්වැනි කයිරෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී තුන්වන ලෝකයේ හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය අහසින් පොළවට දිනාගද්දී එහි උද්ධෘත පාඨය වූයේ මෙවැන්නකි.

‘අව්‍යාජත්වයෙන් හා දැඩි සූක්ෂ්මතාවෙන් යුතු ව ශ්‍රී ලාංකේය ජන ජිවිතය මේ සිනමාපටය ඔස්සේ විදාරණය විය‘

මේ චරිත දෙස සියුම් ව බලන්නටත්, සරල හා ආකර්ෂණීය ලෙස එය විග්‍රහ කරන්නටත් අයිලීන් සිරිවර්ධන ලේඛිකාව සතු වූ පරිකල්පනීය හැකියාව මේ සියලු පාර විවර වෙන්නට හේතුවයි. එය කොටස් තුනක් දක්වා විදාරණය වෙන්නේ ද නවකතාව ලබාගත් අතිශය පාඨක ආකර්ෂණය නිසා ය. වෙරළෙන් සයුරට ලියූ ඇය, කතරෙන් එතෙරට ලියා මේ නවකතා තුන්ඈදුතු නවකතා බවට පත් කළේ ය. මා දන්නා තරමින් එවන් තුන්ඈඳුතු නවකතාවක් ලංකාවේ ලියූ පළමු නවකතාකාරිණිය ඇය ය. ඉන් අනතුරුව බලන් හරිමි කඩතුරාව, ක්ෂේම භූමි ආදී නවකතා ද ඇය අතින් ලියැවෙයි. මිනිස් සිතෙහි පවතින ජාගර ස්වරූපය සියුම් සැතකින් හාරමින් පරීක්ෂා කරන්නා සේ ඇය මනස විශ්ලේෂණය කරන්නී ය.

ඇයගේ මුල් ම සාහිත්‍ය කෘතිය පරිවර්තනයක් වූ ඇල්බට් මොරේවියාගේ ‘රෝමන් ‍ටේල්ස්’ (Roman Tales) නැමති කෘතියයි. එය ‘පලා යාම සහ තවත් රෝම කතා’ නමින් පළ විය. පාසල් ගුරුවරියක සේ සේවය කරද්දී සිය සිසුවියන් වෙනුවෙන් ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට අදාළ ව කෙටිකතා ආදිය ඇය පරිවර්තනය කර ඔවුන්ට කියවන්නට දුන්නා ය. ඒ දරුවන් එකී නිර්මාණ කියවා ලැබූ ආශ්වාදය නිසා සිය ගුරුවරිය ව පරිවර්තනයක් කිරීමේ ලා පෙලඹවූවේ ය. එහි ප්‍රතිඵලය මොරේවියාගේ Roman Tales ඒකභාෂික සිංහල පාඨකයන්ට කියැවීමට ලැබීමයි. ද්විභාෂාවෙන් ම සුරු ව වැඩ කිරීමට ඇය සතු වූ කුසලතාව හැකියාවකට එහා ගිය නිපුණතාවක් විය. එසේ කීමට හේතුව වන්නේ ඇගේ සිංහලයෙහි ඇති සරල, සුගම මනරම් භාවිතය නිසා ය. ඇයගේ ජීවන සහකරු බවට පත්වෙන්නේ ලංකාවේ කීර්තිමත්, කෘතහස්ත රාජ්‍ය පරිපාලන නිලධාරියකු වූ ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන ය. ඔහු ඇගේ සෙවණැල්ල සේ ජීවිතයට ම බද්ධ වෙමින් ඇගේ ජීවන සහකරු සේ ම නිර්මාණ සහකරු ද වූයේ ය.

ඔවුන්ගේ හමුවීම ද සිදු වූයේ අහම්බෙනි. ලංකා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ කලාවට තිබූ ආශාව නිසාම අයිලීන්, ඩබ්ල්යු. ඒ. සිල්වාගේ ‘සුනේත්‍රා’ ඓතිහාසික නවකතාව ඇසුරෙන් වේදිකාගත වූ නාට්‍යයේ ඇන්ජලිකා නම් පෘතුගීසි තරුණිය ලෙස රඟපෑවා ය. එහිදී එකී නාට්‍යයේ බිෂොප්වරයකු ලෙස රඟපෑ උස කඩවසම් තරුණයකු වූ සිරිවර්ධන ඇයට මුල්වරට හමු වෙන්නේ ය. කාලය ගෙවී ගියේ මතකය සිතෙහි පමණක් රඳවා ය. එහෙත් එය මතකයට පමණක් සීමා නොවූයේ ඩී. බී. අයි‍. විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන වේදිකා නළුවෙක් වීම නිසා ය. 1947 වසරේ ඉංග්‍රීසි නාට්‍ය සංගමය ඉදිරිපත් කළ පින්රෝගේ ද සෙකන්ඩ් මිසිස් ටැන්කරි නාට්‍යයේ ඩී. බී. අයි. රඟපෑවේ අයිරාංගනී සේරසිංහ සමඟ ය. මහාචාර්ය ලුඩොවයික්ගේ ‍ප්ලෝටස් ලියූ ‘ද ට්වින්ස්’ නාට්‍යයේ ද ප්‍රධාන චරිතය රඟපෑ ඔහු ‘කපුවා කපෝති’ නාට්‍යයේ පීටර් කරුණාරත්නගේ චරිතය ද 1949 දී බ්‍රෙස්ට්ගේ ‘ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්’ නාට‍්‍යයේ ඔහු අයිරාංගනී ගොපල්ලව සමඟ ද 1950, සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ ‘හැංගි හොරා’ නාට්‍යයේ ද ඔහු රංගනයෙන් එක් ව සිටියේ ය. එහෙත් කුමක් කා සමඟ රඟපෑවත් ඔහුගේ සිතෙහි සිටියේ අයිලීන් ය.

දිනක් අයලීන් පුස්තකාලයේ පොතක් කියවමින් සිටියා ය. ඩී. බී. අයි. ද එහි සිටියේ ය. හිටි හැටියේ අයිලීන් ළඟට ආ ඔහු ඇයට තම අතෙහි තිබූ පොතෙහි වැකියක් පෙන්වූයේ ය. එහි සඳහන් වූ ඉංග්‍රීසි වැකියේ සිංහල අනුවර්තනය මෙසේ විය.

කාට කිව හැකි ද? අප දිනෙක මංසන්ධියක දී හමුවේවි.

එ් මංසන්දියේදී කාලයකට පසුව හමු වූ ඔවුහු ජීවන ගමන් මඟ ඇරඹූහ. හදවතට එකඟ ව, දේශපාලන බලපෑම්වලට නතු නොවූ සාධාරණය ඉටු කළ උසස් ‍තනතුරු හෙබවූ විශිෂ්ට මිනිසකු සිය සහකරු වීම ඇය සතුටට පත් කරන්නට ඇත. එකල ඩී.බී.අයි. තමන්ගේ අමාත්‍යාංශ ලේකම් කරගන්නට ඇමැතිවරු පොර කෑහ. එය සනාථ කරන්නට මේ නිදසුන වුව ප්‍රමාණවත් ය. 1970 දී බණ්ඩාරනායක මැතිණියත්, 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ ඒකපුද්ගල කමිටුවට පත් කළේ ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන ය. ඒ කාලයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරුවේ ද ඔහු ය. 1989 කලබල සමයේ රජයේ නිලධාරීන් අනිවාර්යයෙන් වැඩට පැමිණිය යුතු ය යන චක්‍රලේඛයට අත්සන් තබනවා වෙනුවට ඊට එරෙහි ව ගෙදර ගිය රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ද ඔහු ය. ඉතින් ඔහු ගැන ඇය ආඩම්බර වීම හැමඅතින් ම සාධාරණ ය. එහෙත් ඊටත් වඩා සතුට වූයේ ඔහු සිය ගමන ගියේ තනි ව නොවීම ය. ඇයගේ දක්ෂතා හඳුනාගත් හේ ඇයට මාර්ගය විවර කර දුන්නේ එ මඟෙහි ඇය ජයකෙහෙළි නංවන අයුරු දැක ඇත්තට ම සතුටු වෙන්නට ය. බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු මුළු ගැන්වෙද්දී ඇය සිය ගමන වඩාත් ශක්තිමත් ව ගියේ සිය සැමියාගේ ආශීර්වාදය මුසු ධෛර්යය නිසා ය. ඇගේ පොත් මුද්‍රණද්වාරයෙන් පිටවෙන වාරයක් පාසා වැඩියෙන් ම සතුටු වූයේ ඇගේ සැමියා සිරිවර්ධන ය. ඩී. ආර්. විජයවර්ධන සම්මානය බොහෝ නවක නවකතා නිර්මාණකරුවන්ට තම තමන් ගමන් කළ කුඩා පාර කොන්ක්‍රීට් කළ පාරක් බවට පත් කර මාර්ගය සුමට කර දුන් පෙරමඟ ආශීර්වාද මාවත ය. අයිලීන් තමන් කලකට පෙර ලියූ නවකතාවක් ප්‍රථම ඩී. ආර්. විජයවර්ධන සම්මානය වෙනුවෙන් ඉදිරිපත් කරන්නී ය. 1985 දී ඇරඹුණු එකී සම්මාන උලෙළේ ප්‍රථම සම්මානය හිමි වෙන්නේ අයිලීන් ලියූ ‘බලන් හරිමි කඩතුරාව‘ නවකතාවටයි. ඇය එවකට කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කරමින් සිටියා ය.

ඇයගේ භූමිකාවේ කැපී පෙනෙන අනෙක් භූමිකාව වෙන්නේ ගුරු වෘත්තියයි. දරුවන්ගේ නැණස පෑදීම ඇගේ පරම ජීවිතයේ ආධ්‍යාශයක් විය. ගුරු පත්වීමක් ලද ඇගේ මුල් ම පාසල වූයේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයයි. ඒ 1950 වසරේදී ය. 1951 දී ඇය නුගේගොඩ ශාන්ත ජෝෂප් විද්‍යාලයට උප ගුරුවරියක ලෙස සේවයට බැඳෙයි. ඉන් අනතුරුව නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලට සම්බන්ධ වෙන අයිලීන් 1978 වසරේදී එහි විදුහල්පතිනිය වූවා ය. අයිලීන් සිරිවර්ධන නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, කොළඹ විශාකා විද්‍යාලය, බෞද්ධ කාන්තා විද්‍යාලය, බී.එල්.සී. අන්තර්ජාතික යන පාසල්වල විදුහල්පතිවරියක ලෙස කටයුතු කළා ය. ඇය විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය වෙන්නේ 1983 දී ය. ඒ අතරතුර දී අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත් වෙන ඇය ආයතන කිහිපයක ම අධ්‍යක්ෂ ධූර දැරුවා ය. සවිඥානික සමාජයක් ගොඩනැංවීමේ ලා ඈ කළ කාර්යබාරය අද්විතීය ය. එය දරුවාගෙන් පටන් ගෙන පරිණත සමාජය දක්වා ම විහිදී ගියේ ය. ගුරුවරියක ලෙස වැඩ අරඹන ඇය පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරියක, අධ්‍යාපනඥවරියක හා ගත්කතුවරියක ලෙස දැනුම්වත් සමාජයක් ගොඩනැංවීමේ ලා ක්‍රියාකාරිණියක ව සිටියා ය. විදුහල්පතිවරිය වුව ද ඇය පාසලේ දී ඒ තනතුරෙන් හිස උදුම්මා ගත්තියක් නොවූවා ය. ඇය ගුරුවරුන් නැති පන්ති සොය සොයා යන්නී ය. ඒවායෙහි දරුවන්ගේ කාලය අපත නොයනු වස් ඔවුන්ට උගන්වන්නී ය. ඇය වඩාත් සන්තුෂ්ටියට පත් වූයේ ඉගැන්වීමෙන් සහ ලිවීමෙනි.

ඇය කාන්තාවගේ ජීවන විලාසාව විසින් ඇති කරන ලද ගැටලු පිළිබඳ තම අවධානය ගුරු වෘත්තියේදී මෙන් ම නිර්මාණකරණයේ දී ද යොමු කළේ ය. ඈ දැරුවේ බහුතරයක් දරන මතය නොවේ. තම අයිතිවාසිකම් වෙනුවෙන් ඇතැම් ස්ත්‍රී සංවිධාන නඟන හඬ තව තවත් එකී අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නක් බව ඇගේ අදහස විය. එයින් ස්ත්‍රීත්වය අවඥාවට ලක්වෙන බවත්; ඒ ඔස්සේ තවත් ඇය පෙළීමට ලක්වෙන බවත් ඈ සිතුවා ය. එනිසා ම ඇය අහසින් පොළවට නවකතාවේ විනීතාට වඩා වෙනස් චරිතයක් වෙරළෙන් සයුරට කතාවේ පුෂ්පා ට ආරෝපණය කරයි. සංස්කෘතික, ආගමික හර හා පතිව්‍රතාව, මාතෘත්වය උතුම් කොට සලකන සිය ආධ්‍යාත්මික අවශ්‍යතා පූර්ණයට කැපවෙන ස්ත්‍රියකගේ අභ්‍යන්තර අරගලය එහි ඇය මතු කර දක්වන්නී ය. සුන් වූ සිහින සහිත විනීතාත්, නව සිහින දකින පුෂ්පාත් ජීවිතය නැමැති බිහිසුණු සුළි සුළං රැලි කපාගෙන තනි ව සටන් කරන ස්ත්‍රියගේ ජයග්‍රහණය කතරින් එතෙරටත් ඈ නිරූපණය කරන්නේ කාන්තා අභ්‍යන්තරය ගැන මනා සියුම් විදාරණයක් කරමිනි. ඒ අනුව ඈ කාන්තාව වෙනුවෙන් සිය නිර්මාණ ඔස්සේ තනි ව අරගල කරන්නී ය. ඒවා පොදු සමාජයේ යහපත වෙනුවෙන් ලියා තැබීම සිය වගකීම සේ ඇය සිතුවා ය.

අයිලින් සිරිවර්ධන ලේඛිකාව විසින් ලියූ සෙසු කෘති අතර ‘කබලෙන් ලිපට’, කොටස් තුනකින් යුත් බලන් හරිමි කඩතුරාව, කොටස් දෙකකින් යුත් ක්ෂේම භූමි, ක්ෂේම භූමි තුන්වන කොටස සේ සලකන තරණය, ජනාදරී, කෙටිකතා සංග්‍රයක් වන නව‍ යොවුන් මැහැල්ල, කවටයා සහ තවත් රෝම කතා, ප්‍රපාතය, ඉකේ දා කවියා හා ඔහුගේ නිර්මාණ, තහනම් වස්තුව, නිසල මොහොත, මං මුලාවී පාර සෙව්වෙමි, සහ The Heart Awakened, On Perilous Seas, White Flowers for the Dead, Another Dawn was Breaking, Realisation, Crossing Over, Stirring Moments in the life of Buddha වෙයි. 2011 දී අයිලීන් සිරිවර්ධන සිය ස්වයං ලිඛිත අපදාන කෘතිය ජීවන ගීතය මගේ ජීවිත කතාව නමින් ලියා තබන්නී ය. ඇය එහිදී ස්වයං ලිඛිත අපදානයකදී බොහෝ විට කරන දුර්වලතාවක් ද මඟහැර ගන්නී ය. බොහෝ ස්වයං ලිඛිත අපදාන තමන් විසින් තමන් ම රවටා ගන්නා ඒවා ය. ඒවායෙහි ඇත්තේ තමන්ගේ ආත්ම පුරාජේරුව ය. තමා අතින් වැරදුණු හා අතපසු වුණු දෑ මෙන් ම තම ජීවිතයේ ගෙවූ මඟෙහි වූ දුෂ්කරතා ගැන සත්‍ය ම ඒවායෙහි ලියැවෙන්නේ නම් ඒ කලාතුරකිනි. අයලීන් ලේඛිකාව මේ තත්ත්වයෙන් මුළුමනින් ම වෙනස් වෙන්නේ ය. ඇය කිසිදු ස්වයංවාරණයකින් තොරව ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන හා තමාගේ විවාහය සම්බන්ධ ව ඇති වූ සත්‍ය ගැටලුකාරී වාතාවරණය ලියන්නේ ය. එහිදී මාතර අය නිසා තමාගේ පුතා ගුරුකමකින් ඇය වශී කරගන්නට ඇතැයි කියා සැමියාගේ මව දැරූ අදහස පවා ඇය වාරණයකින් තොර ව ලියන්නී ය.

ආදරය යනු නැන්දම්මා කියූ මන්තර ගුරුකම් කෙසේ වෙතත් බන්ධනයක් බව ඇගේ පොත පුරා ඇය නොදැනුවත් ව ම ලියැවෙන්නේ මේ දෙන්නා දෙමහල්ලන් අතර තිබූ ආදරය පොත පුරා දිය කරමිනිි. එහි ඇත්තේ ඇගේ ජීවිතය ආලේප කිරීමක් නොව දිගහැරීමකි. අතිශය සරල හා විචිත්‍රවත් ලෙස ඈ ස්ව අපදානය රචනා කර ඇත්තේ ය. ඈ කියන්නේ සිය ජිවිතය සැමරුම් ජාලාවක් බවකි. ඒ සැමරුම් විසින් ජීවිතයේ තනිකම මකා ජීවත් වීමේ ලාලසාව වැඩි කරන බව ය.

තම කෘතියේ අවසාන පරිච්ඡේදය වූ ‘දවසේ හා ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ ඇය ‘අඳුර පැතිරෙමින් එද්දී’ කොටසේ කියා ඇති මේ සනාතන දහමෙන් ලිපිය අවසාන කරන්නෙමි. ජීවිතය යනු කුමක්දැයි ඈ මනාසේ අවබෝධ කරගෙන සිටි බැව් කියන්නට මේ වදන් කිහිපය ප්‍රමාණවත් ය.

සතර වටින් අඳුර පැතිරෙමින් නිශා කත තම දුහුල් සළුවෙන් ලොව වසා ගැනීමට ආසන්න ය. ගෙතුළට යෑමට පිය නඟමි. තනියම, තනියම? නැත මා යන්නේ හද මිහිරි කරවන, සුපහන් කරවන, හද පිරි සැමරුම් අමා දහරක් සමඟ ය. ඒ සැමරුම් සැඳෑ අහස මෙන් විසිතුරු ය; රමණී ය; ඒවා මා අදත් ජීවත් කරයි...

 

 

Comments