
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සහ ලෝක බැංකුව යනු අපට නුහුරු නුපුරුදු ආයතන නොවේ. ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා දාසයකදීම මේ ආයතන සමඟ ගනුදෙනු කර ඇත. මේ ආයතන කෙරෙහි බොහෝ විවේචන අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් සතු වුවද මේ වන විටත් ශ්‍රී ලංකා මුදල් ඇමතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටිති. ඉදිරියේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක මුදලක් ලබා ගැනීම මේ සාකච්ඡා පැවැත්වීමේ අරමුණයි.
සැබවින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක්ද? එය ලෝකයේ ධනවත් රටවල් විසින් දුගී රටවල් බිලි බා ගැනීමට අටවා ඇති උගුලක්ද? ඇතැම් පුද්ගලයන්ට එය එසේ පෙනුණද ලෝකයේ විවිධ රටවල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ක්‍රියාත්මක වී ඇති අන්දම විමසා බලන විට පෙනී යන්නේ කියන තරම් බිල්ලෙක් මේ ආයතන ඇසුරේ ක්‍රියාත්මක නොවන බවයි. බොහෝ දෙනා මේ ආයතන විසින් ණය ලබා ගැනීමේදී පනවන කොන්දේසි දෙස වපර ඇසින් බැලුවද එම කොන්දේසි පනවන්නේ රටක ආර්ථිකය නිසි මඟට ගැනීමට බව ආර්ථීක විශේෂඥයන්ගේ මතයයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ස්ථාපිත කරනු ලබන්නේ ලෝකයේ ආර්ථික ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමිනි. ලොව කිසියම් රටක් ආර්ථීක වශයෙන් අස්ථාවර වීමේදී අස්ථාවර බවක් ඇති වන්නේ එරට තුළ පමණක් නොවේ. කලාපයේ සෙසු රටවලට ද එම ආර්ථීක අස්ථාවරත්වය බොහෝ බලපෑම් කරයි. මේ අස්ථාවරත්වයට නිසි පිළියම් නොයෙදුවහොත් කලාපයේ තවත් රටවල් අස්ථාවර වීමෙන් ලෝක ආර්ථිකයට එහි අහිතකර බලපෑම් එල්ල විය හැකිය. එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපිත කෙරෙන්නේ කිසියම් රටක ආර්ථීක අස්ථාවර බවක් ඇති වුවහොත් වහාම ණය සහ ආධාර ලබා දීමෙන් යළි එරට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම අරමුණූ කර ගනිමිනි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණ වන්නේ සමස්ත ලෝකයේ ආර්ථීක ස්ථාවරත්වය පවත්වා ගැනීමය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද සාමාජිකත්වය නිතැතින්ම හිමිවන අතර මේ රටවල ඵලදායීතාව, රැකියා උත්පාදනය, ආර්ථීක යහපැවැත්ම සහ ආර්ථීකය වර්ධනය කිරීම මෙන්ම ඒ සඳහා වන මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට අනුකූල වන පරිදි ආර්ථීක ප්‍රතිපත්ති සකස් කර ගැනීමට ද මේ සංවිධානය උපකාරී වේ. තම සාමාජික රටවල ආර්ථික සමෘද්ධිමත් බවට හානි කරන තීන්දු, තීරණ හෝ ප්‍රතිපත්ති වේ නම් ඒවා අධෛර්යමත් කිරීම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සිදු කෙරේ. උදාහරණයක් ලෙස රටේ ආර්ථිකයට බරක් වන රාජ්‍ය ආයතන වේ නම් ඒවා කළමනාකරණය කළ යුතු අන්දම සම්බන්ධයෙන් ඔවුන් උපදෙස් ලබා දේ. ඇතැම් විට මෙවැනි ආයතන තවදුරටත් නඩත්තු නොකිරීමට ඔවුන් උපදෙස් ලබා දෙයි. බොහෝ දෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිල්ලකු සේ දැකීමට එක් හේතුවක් වූයේ ද මෙවැනි උපදෙස් රටට අහිතකර ලෙස දැකීමයි.
රටක ආර්ථීක වර්ධනය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් නිරන්තරව සෑම රටකටම ලබා දෙන අතර, ඒ උපදෙස් ලබා ගැනීමට ණය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම මොහොතකම ලෝකයේ සෑම රටක් සම්බන්ධයෙන්ම ආර්ථික තත්ත්වයන් තක්සේරු කරන අතර එම රටවලට තිරසාර සංවර්ධනයක් ඇති කිරිමට අවශ්‍ය ප්‍රතිපත්ති ද නිර්දේශ කරයි. එමඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රටක ආර්ථීකය සෑම විටකම නිසි මඟ යැවීමය.
මෙසේ කිරිම රටින් රටට වැදගත් වන්නා සේම, කලාපයෙන් කලාපයට ද අවසන පොදුවේ සමස්ත ලෝකයට ද එකසේ වැදගත් වේ.
රටක් වෙන්ව සැලකුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරික්ෂණ සහ නිගමන එම රටට වැදගත් වන්නේ තවත් පාර්ශ්වයක නිරීක්ෂණ, නිගමන සහ යෝජනා මඟින් රට තුළ තමන් නොදකින ආර්ථික ගැටලු සහ රටට අහිතකර තීන්දු තීරණ පැහැදිලිව වටහා ගත හැකි වන බැවිනි.
ඇතැම් දේශපාලනිකව වාසි ලැබිය හැකි තීන්දු රටක ආර්ථිකයට හානි කරන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණ මඟින් රටක පාලකයන්ට ඒ බව කල් තබා දැන ගත හැකි වනු ඇත. එමගින් රටට හිතකර තීන්දු පමණක් ක්‍රියාත්මක කළ හැකි වනු ඇති අතර, එමගින් ආරක්ෂා වන්නේ රටේ ආර්ථිකය බව අමුතුවෙන් කිව යුතු නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාන්‍යයෙන් සාමාජික රටවල වාර්ශික නිරීක්ෂණයන්හි නිරත වේ. මේ නිරීක්ෂණ සංචාරවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය දේශීය සහ ගෝලීය ආර්ථික ස්ථාවරත්වයට ඇති අවදානම් පිළිබඳව මෙන්ම එම අවදානම් විසඳීම, ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව අදාළ රටේ මහ බැංකු ප්‍රධානීන්, මුදල් ඇමතිවරයා ඇතුළු වගකිවයුතු දේශපාලනඥයන් මෙන්ම ව්‍යපාරික ප්‍රජාව සමඟ ද සාකච්ඡා පවත්වයි. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති රටින් රටට වෙනස් වන බව කිව යුතුය. සෑම රටකම ආර්ථීක ශක්තිය මෙන්ම, සංස්කෘතික වටපිටාව ද වෙනස් වන බැවින් රටින් රටට ගැළපෙන පරිදි ප්‍රතිපත්ති වෙනස් කිරිම බෙහෙවින් සාධාරණ ලෙස දැකිය හැකිය. රටින් රටට පවතින මේ වෙනස්කම් හේතුවෙන්ම රටක් ආර්ථීක වශයෙන් අගාධයකට යන්නේ නම් ඒ රට ගොඩනැඟීමට ක්‍රියාත්මක කළ යුතු තීන්දු තීරණ ද එකිනෙකින් වෙනස් වේ. උදාහරණයක් ලෙස මේ වන විට යුක්රේනය පවසා ඇත්තේ යුද්ධයෙන් පසු රට ගොඩනැඟීම සම්බන්ධව තමන් පසුබිම සකස් කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් සිටින බවත්ය. මේ වන විට ආර්ථිකය අඩපණ වී තිබෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙන්ම යුක්රේනය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීමට නියමිතය.
රටේ විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය කර ගැනීම මෙන්ම ඉදිරියට රටේ ආර්ථිකය ගොඩනංවා ගැනීම සම්බන්ධව ආධාර අපේක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ නියෝජිතයන් පිරිසක් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර, එය ආරම්භ වටයේ සාකච්ඡා වශයෙන් හඳුනාගත හැකිය.
සාමාන්‍යයෙන් ආරම්භක වටයේ සාකච්ඡාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරන්නේ තම යෝජනා අදාළ රටට ඉදිරිපත් කිරිමයි. එහිදී උපකාර අවශ්‍ය රටේ ඉල්ලීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා එකිනෙක සලකා බැලීම සිදු කෙරේ. ඉන්පසු දෙපාර්ශ්වයේ අදහස් යළිත් සලකා බැලීමෙන් පසු ඇතිවන එකඟතා මත ආධාර හෝ ණය ලබාදීම සිදු කෙරේ.
මේ වන විටත් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා කඩිනම් ණය මුදලක් ලබා දී අවසන්ය. පසුගිය අප්‍රේල් 18 වැනිදා සිට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සාකච්ඡා අප්‍රේල් 24 වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබිණී. ශ්‍රී ලංකාව හදිසි හෙවත් ඉක්මන් මූල්‍ය පහසුකම්ක Rapid Financing Instrument (RFI) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වන විටත් ඉල්ලා ඇත. එවැනි හදිසි මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ රටක් දැඩි මුල්‍ය අස්ථාවර භාවයකට පත්වූ විට හෝ දැඩි ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් විටය.
කෙසේ වුවද මේ ඉල්ලීමට මුදල් අමාත්‍ය අලි සබ්රි සමඟ සාකච්ඡා පැවැත්වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටාලිනා ජෝර්ජියේවා මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු උප කළමනාකරණ අධ්‍යක්ෂිකා ගිතා ගෝපිනාත් ද ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා ඇත්තේ ලංකාවට ණය ලබා දීමට නම් දැනට ලබාගෙන ඇති ණය ගෙවීමට ඇති හැකියාව පෙන්වා දෙන ලෙසයි. මේ සඳහා ප්‍රතිචාර ලෙස විදේශ අමාත්‍යාංශය වහා පවසා ඇත්තේ විදෙස් රටවල් රැසක්ම ලංකාවට උපකාර කිරීමට සූදානමින් සිටින බවයි.
විශේෂයෙන්ම ඉන්දියාව දිගින් දිගටම ලංකාවට මුල්‍ය ආධාර ලබාදිමට සූදානමින් සිටින අතර, චීනය ද තවත් මුල්‍ය ආධාර ලබා දීමට සූදානම් බව පවසා තිබේ.
මේ අන්දමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට පෙන්වා දෙන්නේ හිතකර මාවතක් යැයි පැවසිය හැකිය. එහිදී ඉදිරියේ ලංකාවට දැනට ගෙවීමට තිබෙන ණය කළමනාකරණය කර ගැනීම වෙත ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාව තල්ලු කරමින් සිටින බවක් පෙනේ. එය රටේ අනාගතයට හිතකර පියවරක් වනු නොඅනුමානය.
රටේ ණය කළමනාකරණය කර ගැනීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ පසු ඔවුන් අපට මුල්‍යාධාර ලබා දෙනු ඇත. එහෙත් දැන් අප රට සතුව ඇති අභියෝගය වන්නේ ලබා ගත් ණය ගෙවීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් ඉතා කෙටි කාලයක් තුළදී ඉදිරිපත් කිරීමය.