පවතින අර්බුදයට ජාතික ආර්ථික දැක්මක් අත්‍යවශ්‍යයි | සිළුමිණ

පවතින අර්බුදයට ජාතික ආර්ථික දැක්මක් අත්‍යවශ්‍යයි

මෙරට මතුවී ඇති වත්මන් සාර්ව ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුමක් සෙවීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත්, ඒ උදෙසා මේ අර්බුදය දක්වා අප රට පැමිණිමට මූලිකව බලපෑ හේතු සාධක වටහා ගැනීම වැදගත් ය.

සමස්තයක් ලෙස ගත් කල මේ ආර්ථික අර්බුදයට පොදු කාරණා රැසක් බලපානු ලබයි. මෙරට වෙ‍ෙළඳ ශේෂය ධන අගයක්, එනම් අපනයන හා ආනයන අතර පරතරය, අවසන්වරට අතිරික්තයක්ව පැවැතියේ 1977වර්ෂයේදීය. එතැන් සිට අද දක්වා සෑම වසරකම අපනයන ආදායමට වඩා ආනයනික පිරි-වැය වැඩි විය. අපනයන ආදායම තුළ ආනයන සීමා කිරීමට අසමත් වීම නිසාවිශාල විදේශ ණය අර්බුදයකට අප රට පත්ව ඇත. ණය ගෙවිය යුතු වනවිට වඩ වඩාත් ණය ලබාගෙන ණය ගෙවීම සිදුවිය; ස්වෛරී ඩොලර් බැඳුම්කර ඔස්සේ ණය ගැනීම සිදුවිය. තව ද ජාතික සම්පත් බදු දී ඒ ඔස්සේ ලැබෙන ආදායම්වලින් ද ණය ආපසු ගෙවීම වෙනුවට අප සිදු කළේ ඒවා ද සංචිත සඳහා යොමුකර තවදුරටත් නිදහසේ ආනයනය කිරීමයි. මේ තත්ත්වයට 1977න් පසු රටේ බලයට පත් සියලු දේශපාලනික නායකත්වයන් වගකිවයුතු බව මගේ අදහසයි. ‍

විශේෂයෙන්ම යුද්ධය අවසන්වීමෙන් පසුව 2009දී සිට ක්‍රියාත්මක වූ මහ පරිමාණයේ යටිතල පහසුකම් ව්‍යාපෘති මේ තත්ත්වයට විශාල වශයෙන් හේතු විය. පසුගිය සියලු රජයයන් අර්ථික ශක්‍යතාව - විශේෂයෙන් විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව - ප්‍රමාණවත්ව අධ්‍යයනය නොකොට රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙලඹීම ඉතා හානිකර විය. තරගකාරී මිල කැඳවුම් නොකොට විදෙස් ද්විපාක්ෂික ණය ඉහළ පොලී අනුපාතයන් යටතේ ලබා ගනිමින් ක්‍රියාත්මක කළ මේ ව්‍යාපෘති ආර්ථිකයේ වර්තමාන ඩොලර් අර්බුදයේ පාදම විණැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත.

ඒ සඳහා උදාහරණයක් වශයෙන් මේ රටේ අධිවේගී මාර්ග සංස්කෘතියක් නිර්මාණය වීම ගත හැකිය. එය ඩොලර් ණය මත ගොඩනැඟුණකි. අධිවේගී මාර්ගවලට ගත් ණය ඩොලර්වලින් ගෙවිය යුතු වුව ද ඒ මාර්ගවලින් ඩොලර් ඉපැයීමක් සිදු නොවෙයි. ඩොලර් පසෙක තබා අදාළ පිරිවැය හා ණය සේවා සඳහා අවශ්‍ය රුපියල් ආදායම් වත් ඒ මාර්ග භාවිත ගාස්තු ඔස්සේ මාර්ග සංවර්ධන අධිකාරියට අය නොවෙන බවයි මූලික අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ. ඒ අනුව බලන කල අධිවේගී මාර්ග මහ භාණ්ඩාගාරයට බරකි. රටේ පොදු ජනතාව මත පැටවුණු ණය මරාලයකි.

2015 වසරේදී යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව ද ණය සූක්ෂ්ම අධිවේගි මාර්ග සංස්කෘතියෙන් ඉවත් වූයේ නැත. දුම්රිය මාර්ග ද්විපාර්ශ්වික ණය අඩු නොවිණි. ස්වෛරී බැඳුම්කරණය වලින් 60% පමණ ලබාගෙන ඇත්තේ 2015-2019 අතර දී බව වාර්තා වෙයි. ණය ගෙවීම් වෙනුවට තවත් ණය ගැනීම සිදුවිය. එදා එසේ නොකළා නම් එදා ද මෙවැනි ඩොලර් අර්බුදයක් නිර්මාණය විය හැකිව තිබිණි.

අප රට විදෙස් ණය උගුළේ හිර වී ඇති තරම ඒ අනුව පැහැදිලි විය යුතු ය. එහෙත් හම්බන්තොට වරාය ජාතියට අහිමි කරමින් විදේශයන්ට බදු දී ඩොලර් ලබා ගැනීම හැර තිරසාරව ඒ උගුලෙන් ගැලවීමට ගත් සාධනීය පියවරක් නම් නැත. ඒ ලබාගත් මුදල ද භාවිත කර ඇත්තේ ණය ගෙවුමට නොව ආනයන සඳහා අවශ්‍ය ඩොලර් සංචිත මට්ටම පවත්වා ගැනීමටයි.

මීට අමතරව අපේ රටේ සමස්ත ප්‍රවාහන පද්ධතියම ද අද වන විට ඩොලර් විනාශ කිරීමේ මාධ්‍යයක් වී ඇත. ආනයන මත රඳා පවතින හෙයින් අර්බුදයන් කිහිපයක් ප්‍රවාහන ක්ෂේත්‍රය හරහා නිර්මාණය වී ඇති බව පෙනෙයි. මෝටර් රථයක කාර්යක්ෂමතාවට වඩා බස්රියේ හා විශේෂයෙන් දුම්රියේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි නිසා ගමනාගමනයේ දී වැය කෙරෙන ඉන්ධන අඩක් පමණ ඉතුරු කරගැනීමට මේ රටේ පොදු ප්‍රවාහනය දිරිගැන්වීමෙන් සිදු කළ හැකි වුවත් කිසිදු රජයක් ඒ උදෙසා උපාය මාර්ග තෝරා නැත. ලෝකයේ සංවර්ධනය වූ රටවල ජනාකීර්ණ නගරවල වැඩිපුර පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනයයි. ඉන්ධන ඉතිරිකර ගැනීමට හැකිවන්නේ එවිටය. මේ කරුණු ඇතුළත් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්ති කෙටුම්පතක් 2020 වසරේදී විද්වතුන් විසින් සකසනු ලැබ ඉදිරිපත් කර තිබුණි. මේ දක්වා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සාකච්ඡාවකට හෝ ලබාදී ඇති බවක් අපි නොදනිමු. ඒ අතර අපි දැරිය නොහැකි මට්ටමට පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කරමින් ආනයනිත ඉන්ධන මත ඩොලර් පුළුස්සා දමමින් සිටිමු.

තව ද පහුගිය හතළිස් වසරක් තිස්සේ දේශීය නිෂ්පාදනයට වඩා ආනයනිත පරිභෝජනයන්ට ජනතාව යොමු වූයේ ලිබරල් ආර්ථික ක්‍රමවේදය ඔස්සේ ය. ඒ තුළ මෙරට ආයෝජන ඔස්සේ ජනිත සපල ඉල්ලුමේ ප්‍රතිලාභීන් වූයේ විදෙස් කර්මාන්තකරුවන්ය. වෙළෙඳ නිර්බාධීකරණය නමැති සළුපිළි ඇඳගත් යක්ෂයා ජාතික ආර්ථික ස්වාධීනත්වය හා තම රටේ දේට ප්‍රමුඛතාව දීමේ පරිභෝජන සංස්කෘතිය ක්‍රමයෙන් කා දැම්මේ ය.

ඒ ආකාරයට අනුවර්තනය වුණු පරම්පරා කීපයක් අද වනවිට හුරුවී ඇත්තේ සන්දර්ශනාත්මක පරිභෝජන රටාවකටය. බලයට පත් වන සියලු රජයන් කළේ මහජනයා එයින් මුදවා ගැනීම නොව එය පාවිච්චි කරමින් දේශපාලනික වාසි ලබා ගැනීමයි.

2019 වසරේදී බලයට පත් වූ වර්තමාන රජය විසින් ද බරපතළ වැරදි කිහිපයක්සිදුකරන ලදී. කළ යුතු දේ නොකිරීම හා නොකළ යුතු දේ කිරීම තුළින් මේ අර්බුදය වේගයෙන් ළඟා කරගන්නා ලදී. ස්ථාවර තැන්පතු සඳහා වන රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීම, උපයන විට ගෙවීමේ ඍජු බදු ඉවත් කර බදු නොගෙවන සීමාව ඉහළ දැමීම, එකතු කළ අගය මත බදු අඩු කිරීම, ඉන්ධන මිල මුල් වටයේ දී අඩු කිරීම සිදු නොකළ යුතුව තිබිණි.

අසාධ්‍ය ආර්ථික ක්‍රමවේදයකට අවසාන මොහොතේ කළ යුතු ප්‍රතිකාර කිරීම වෙනුවට පසුගිය කාලය තුළ සිදු කළ මෙවැනි ක්‍රියා කලාපයන්ගෙන් සිදු වූයේ ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමයි.

තව ද අර්බුදයක් ඉදිරියේ දී සංචිත අඩු වන බව රජයක් විසින් දැනුම්වත් විය යුතුව තිබිණි. අර්බුදය හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ණයකරුවන් ගෙන් කල් ලබා ගැනීම කළ යුතුව තිබුණි. ඒ කිසිවක් සිදු වී නැත. පවත්නා අර්බුයට කෙටිකාලීන සහනයක් අත්‍යවශ්‍ය බව අවිවාදිතයි. ඊට ඇති එකම මඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම නම් එසේ කිරීමේ වරදක් නැත. වෙනත් රටවලින් ලබාගන්නා ද්විපාර්ශ්වික ණයවලට වඩා එය ජාතික ස්වෛරීත්ව දෘෂ්ටිකෝණයෙන් අවදානම් අඩු පියවරක් ද විය හැකියි. එහෙත් ඒ තුළ දීර්ඝකාලීනව අප රට දෙපයින් සිටුවීමට අවශ්‍ය උපායමාර්ගයන්ට අවතීර්ණ වීමේ ඉඩකඩ අහුරා නොගැනීමට ද අප වග බලාගත යුතු ය. ණය ආපසු ගෙවීමට අවශ්‍ය කාල අවකාශය ඒ තුළින් ලැබුණත් අප රටේ විදේශ මූල්‍ය විනය නිසි පරිදි සකස් නොවන්නේ නම් දීර්ඝකාලීන විසඳුමක් නොලැබෙයි.

දීර්ඝකාලීනව ණය උගුළෙන් ගැලවීමට සැබෑ වුවමනාවක් ඇති රජයක් නම් එහි වර්තමාන පරිභෝජන රටාවෙන් ඒ බව නිරූපණය විය යුත්තේ එබැවිනි. ශ්‍රී ලංකා රජයේ හැසිරීම එසේ ණය උගුලෙන් ගැලවීමට සැබෑ වුවවමනාවක් ඇති සකසුරුවම් බවක් නොපෙන්වීම බරපතළ ගැටලුවකි. ඒ නිසාම රජයට මහජනතාව ඉදිරියේ සැබෑ තත්ත්වය කියා පා විශ්වාසය දිනාගෙන සාමූහිකව රටේ ආර්ථිකය ගොඩ දැමීමට අවශ්‍ය පියවර ගැනීමට නොහැකි වී ඇත. වාහන ආනයනය නතර කිරීම වැනි යම් සාධනීය පියවර කීපයක් හැර රට ණය බරින් ගොඩදැමීම සඳහා සහ මෙතුවක් අපව ආගාධයට දක්කා ගෙන ගිය ලිබරල් ආර්ථික මොඩලයෙන් ඉවත් වීම සඳහා ගත යුතු පියවරයන් මේ රජය විසින් ගනු ලැබුයේ නැත.

ඩොලර් ඉපැයීමට හෝ ඉතිරි කිරීමට අසමත් සහ අනාගත පරපුර ණය කරන මහාපරිමාණ ව්‍යාපෘති සංස්කෘතියෙන් මේ රජයට ද මිදීමට නොහැකි වී තිබීම විශාල ගැටලුවකි.

මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපනය වැනි අධික පිරිවැය සහිත ව්‍යාපෘති මෙන් ම උතුරු මැද ඇළ හා බිම්ගෙය වැනි ව්‍යාපෘති එසේ ණය මත යැපෙයි. ඩොලර් ඉපැයීමට හෝ ඉතිරි කිරීමට ඒවාට ඇති හැකියාව හා එහි ප්‍රමාණවත් බව අධ්‍යයනය කර ඇති බවක් නොපෙනෙයි. අර්බුදය උග්‍ර අවස්ථාවේදී පවා සියලු මන්ත්‍රීවරුන්ට මාර්ග ඉදීකිරීම් සඳහා ප්‍රතිපාදන නිකුත් කෙරිණි. භාණ්ඩාගාරයේ මුදල් වැය කිරීම සිදුකරන්නේ ආර්ථිකයේ ප්‍රමුඛතාවන්ට ද යන්න ඒ අනුව ගැටලුවකි.

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ගත් විශාල වැරදි තීන්දුවක් ලෙස 20වැනි ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකිය. ඒ තුළ ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු යෑමට දොර හැරීම වැනි නොකළ යුතු බරපතළ වැරදි කිහිපයක් සිදු විය. මේ රජය කෙරෙහි බලාපොරොත්තු තැබූ මහජන හා ජාතික බලවේග තුළ රජයේ ප්‍රතිපත්ති පිළිබඳ විස්වාසනීයභාවය නැතිවිය.

අපේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍යයෙන් ගත යුතු පියවරයන් ගැනීමට රජය පෙලඹිය යුතු ය. විදේශ ණය මත ඉදි කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘති නැවත විමර්ශනය කළ යුතු ය. ණය ගත යුත්තේ ඒ ණය ගෙවා දැමිය හැකි පමණටවත් විදේශ සම්පත් ඉපැයීමට හෝ ඉතිරිකිරීමට සමත් ව්‍යාපෘතිවලට පමණක් බවට නීති සම්පාදනය කළ යුතු ය. ජාතික ක්‍රම සම්පාදන ක්‍රියාවලියට වහාම වෘත්තීය ස්වාධීනත්වය ලබා දිය යුතු ය. ව්‍යාපෘතිවල ශක්‍යතාව, විශේෂයෙන් ණය ගෙවීමේ හැකියාව, අධ්‍යයනය කර තහවුරු වී නැති කිසිදු ව්‍යාපෘතියකට අවසර නොලැබිය යුතු ය. රාජ්‍ය ආදායම් වහා ඉහළ නංවාගත යුතු ය.

උපයන විට ගෙවීමේ බදු හා රඳවා ගැනීමේ බදු යළි පැනවිය යුතු ය. බදු ක්‍රමය වහාම ඍජු බදු කොටස ඉහළ නැංවීමේ දිශානතියට යොමු කළ යුතු ය. රාජ්‍ය වියදම් සකසුරුවම වහාම ඇති කළ යුතු ය. උපාය මාර්ගික රාජ්‍ය ආයතන ස්වාධීන හා වෘත්තීයමය කළමනාකරණයකට යොමු කිරීමෙන් ඵලදායීතාව තහවුරු කළ යුතු ය. ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහයන් සකසා නීතිගත කළ යුතු ය. දූෂණය නාස්තිය නැවැත්විය යුතුය. රාජ්‍ය පිරිවැය සකසුරුවම අත්‍යවශ්‍යය.

දිගුකාලීනව රට දෙපයින් නගා සිටුවීම සඳහා ආනයන ආදේශනය හැකි උපරිම මට්ටමට ක්‍රියාත්මක කළ යුතු ය. දේශීය කර්මාන්ත හා නවෝත්පාදන දිරිගැන්වීම දිඟුකාලීන උපායමාර්ගික ප්‍රවේශයට අත්‍යවශ්‍යය. අපනයනාභිමුඛ හා ආනයන ආදේශන කර්මාන්ත වෙනුවෙන් ජාතික සංවර්ධන ආයෝජන බැංකුවක් ස්ථාපිත කළ යුතුයි. ඩොලර් අගය අදූරදර්ශී ලෙස පාලනය කිරීමෙන් සිදුවන්නේ ආනයන පාලනයට හා අපනයන ප්‍රවර්ධනයට ආර්ථික විභවයන්ගෙන්ම ලැබෙන උපකාර අහිමි කරගැනීමකි. ඒ තුළ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය දුර්වල වෙයි.

ඩොලර් අගය ඉහළ යාමෙන් රටේ ජනගහනයෙන් හරි අඩක් පමණ වූ අඩු ආදායම්ලාභීන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සැලකිල්ල දැක්වීම වැදගත් ය. එවැනි බලපෑම් අවම කිරීමට ඉලක්කගත සුබසාධනමය පියවරයන් ගත යුතුය. අවම පරිභෝජන රටාවක් අඩු ආදායම්ලාභීන්ට සලාක ක්‍රමයක් යළි හඳුන්වා දියයුතුය. ඩොලර් කා දමන්නේ ඒ දුප්පතුන්ගේ පරිභෝජන රටාව නොව ජනගහනයෙන් 1% ක් පමණ වූ ඉහළ ආදායම් ලබන්නන්ගේ සංදර්ශනාත්මක පරිභෝජනයයි. එය දුර්මුඛ කළ යුතු ය. ණය ආර්ථිකයකට නොව, ඉතුරුම් ආර්ථීකයකට යායුතුය. එසේ නොවන වටපිටාවක රටේ විදෙස් ණය විශාල ලෙස වර්ධනය වීම වැළැක්විය නොහැකිය.

වර්තමාන ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කෙරුණේ එවන් ප්‍රතිසංස්කරණයන් මිස ජාතික සම්පත් විදේශයන්ට උගස්කිරීම නොවේ. ණය ගෙවීමට ජාතික සම්පත් බදු දීම හෝ විකිණීම ප්‍රශ්නයට දිඟුකාලීන විසඳුමක් නොවෙයි. යුගදනවි, කොළඹ වරාය බටහිර පර්යන්තය, චීන වරාය තෙල් ටැංකි වැනි ඩොලර් උත්පාදනය කළ හැකි දේපොළ විකුණා දැමීමෙන් හෝ බදු දීමෙන් මේ කිසිවකට තිරසර විසඳුම් සෙවිය නොහැකියි. වත්ත බද්දට දී ඇස්සට දත නියවීමෙන් වැළකීමට රජයට වගකීමක් ඇත.

වර්තමාන අභාග්‍ය සම්පන්න තත්වයෙන් අනාගත පරපුර මුදවා ගැනීමට නම් රටට ආදරේ කරන සහ අනාගත පරපුරට අපේම වූ රටක් උරුම ඇති කිරීමට අපේක්ෂිත සියලුදෙනා පෙළ ගැසිය යුතු ය. ඒ සියල්ලටම පළමුව ජාතිකමය ආර්ථික ස්වෛරීත්වය අරමුණේ තබා ගනිමිනි. ඒ උදෙසා සියලු දෙනා කැප විය යුතු ය.

Comments