
මධ්‍යම පළාතේ මුල්ම සිදුවීම වාර්තා වූයේ අප්‍රේල් මස 01 වැනිදාය. ඒ නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පවත්වන්නට සූදානම් කර තිබූ වසන්ත උදාන සමාරම්භක උත්සවයට ප්‍රදේශවාසීන් පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී අවුලක් ඇති කිරීම හේතුවෙනි. අදාළ උත්සවය පැවැත්වූ ස්ථානයට යාබදව පෙර පාසලක පැවැති අවුරුදු උත්සවයක් මුල්කර ගනිමින් මේ විරෝධය මතුවූ අතර පිරිස විසුරුවා හැරීමට සිදුවූයේ පොලිස් කැරළි මර්දන ඒකකයේ සහායද ලබා ගනිමිනි.
මෙම සිදුවීමත් සමඟ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වලද ජනතා උද්ඝෝෂණ තැනින් තැන දියත් වූයේ තරුණ කණ්ඩායම්වල දායකත්වයෙනි. වට්ස්ඇප් ඔස්සේ දිවයින පුරා එකම වේලාවක් තුළදී උද්ඝෝෂණයක් දියත් කරන්නට තරුණ කණ්ඩායම් සැලසුම් කරත්දී එයට නායකත්වය ලබාදීමට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්ද යම් යම් උත්සාහ ගෙන තිබිණි. අප්‍රේල් මස 02 වැනි දින පස්වරු 6.00 සිට 04 වැනිදා පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේ මෙම පසුබිම තුළය. ඇඳිරි නීතිය පනවා තිබියදී මධ්‍යම පළාතේ විශාලතම සිදුවීම වාර්තා වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමිනි. මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීම මත විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දහසකට නොඅඩු සංඛ්‍යාවක් මහනුවරට පාගමනින් පැමිණීමට උත්සාහ කළේ ඒවන විටත් පනවා තිබූ ඇඳිරි නීතියද නොතකමිනි. බුද්ධි අංශ මඟින් කල්තියා ලබාදුන් තොරතුරු ඔස්සේ මේ පාගමන වැළැක්වීමට පොලීසිය කටයුතු කර තිබුණේ ගලහ මංසන්ධිය වෙත මාර්ග බාධක කල්තියා ගෙනවිත් දමමිනි. අවශ්‍ය වුවහොත් කඳුළු ගෑස් ප්‍රහාරයක් මෙන්ම ජල ප්‍රහාරයක්ද එල්ල කරන්නට පොලීසිය සූදානමින් සිටියේය. මාර්ග බාධකය අසලට පැමිණ එය බිඳ මහනුවරට ගමන් කිරීමට සිසුන් කිහිප අවස්ථාවක උත්සහ කළත් එය අසාර්ථක විය. දහවල් 1.00 ට පමණ සිසුන් දෙසීයක පමණ පිරිසක් එක පොදියට පැමිණ මාර්ග බාධක ඉවත් කිරීමට උත්සාහ කරත්දී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ඔවුන් පළවා හැරීමටය. එම ප්‍රහාරවලට සිසුන් පමණක් නොව පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ද ගොදුරු වූ අයුරු දක්නට ලැබිණි.
පසුදින මහනුවර නගරයේ දළදා වීදිය හා යටිනුවර වීදිය එක්වන මංසන්ධියට එකතු වූ දහස් සංඛ්‍යාත ජනතාවක් පෙරවරු 9.00 සිට පස්වරුව දක්වාම විරෝධතාවල නිරත වූයේ ආණ්ඩුවට විරෝධය දක්වමිනි. මාර්ගය අවහිර නොකරමින් සාමාන්‍ය ජනතාවට කිසිදු පීඩාවක් ඇති නොවන ලෙස පැවැති විරෝධතාවට එක්වූ තරුණ කණ්ඩායමක් සියල්ල අවුල් කරන්නට වූයේ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිකරමිනි. මේ නිසා නගරයේ දැඩි වාහන තදබදයක් ඇතිවූ අතර එය මඟහැරවීමට පොලීසියට විශාල උත්සාහක් දරන්නට සිදු විය. කෙසේ වුවත් යම්කිසි දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරුණ කණ්ඩායමට උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස විරෝධය දැක්වූයේ පීඩාවට පත්ව සිටින ජනතාව සංවිධානය කරන උද්ඝෝෂණයෙන් පෙරළා ජනතාව පීඩාවට පත් නොකළ යුතු බව පවසමිනි. මෙදින රාත්‍රිය වනතුරුම මෙම පිරිස නගරයෙන් පිටව නොයෑම නිසා පොලීසියටද නිරන්තරව ඔවුන් පිළිබඳ අවධානයෙන් පසුවීමට සිදුවිය.
නගරයට රැස්වූ තරුණ කණ්ඩායම අතර සිටි පිරිසක් අනිවත්තේ පිහිටි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ නිවසට ගොස් තිබුණේ මේ අතරවාරයේදිය. පස්වරු 7.00 ට පමණ මෙම පිරිස එහි යනවිට මුළු ප්‍රදේශයම අඳුරෙන් වැසී තිබුණේ විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙනි.අඳුරේම මොවුන් ඇමැතිවරයාගේ නිවසට ගල්වලින් පහර දෙන්නට වීම නිසා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට පොලීසියට සිදුවිය. ඒවන විටත් කෙහෙලිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු නිවසේ සිට ඇති අතර ප්රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය. විදුලි ආලෝකය නොමැතිව ප්‍රදේශයේම අඳුරේ පවතිත්දී එල්ල වූ ගල් ප්රහාරයන්ට ගොදුරු වූ පොලිස් නිලධාරින් පස් දෙනෙකු තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඒ අතරින් එක් අයකු සැත්කමකටද භාජනය කර තිබේ.
එදින දඹුල්ල කෙන්ද්‍ර කරගනිමින්ද විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් පැවැති අතර ඔවුන් කිලෝමීටර තුනක පමණ දුරක් පාගමනින් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවස ආසන්නයට පැමිණ ඔහුට සහ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට විරෝධය දැක්වූහ. එම පිරිස නිවස තුළට ඇතුළු වීමට ගත් උත්සාහය පොලීසිය මැදිහත්ව ව්‍යර්ථ කරනු ලැබීය. මාතලේ නගර මධ්‍යයේද විරෝධතාවක් දියත් කළ අතර එයටද දහසක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.
විදුලිය හා ඉන්ධන නොමැති නිසා තේ කොළ සකස් කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පවසමින් වතුපාලනධිකාරියට අයත් සමාජිකයෝද කම්කරුවන් හා එක්ව විරෝධය පළ කළහ. මේ අතර මහනුවර සිංහල, දෙමළ හා මුස්ලිම් වෙළෙඳ පෙරමුණු ඒකාබද්ධව ආණ්ඩුවට විරෝධය පළකළේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා තමන්ට ව්‍යාපාර කිරීමට නොහැකි බව පවසමිනි. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ ආශිර්වාද ද ලබාගනිමින් පවතින තත්ත්වය පිළිබඳව උන්වහන්සේලා දැනුම්වත් කිරීමෙන් පසු මහනුවර ව්‍යාපාරිකයෝ 05 දින පෙරවරු 10.00 ට සියලු වෙළෙඳසැල් වසා දමා සේවකයන්ද සමඟ මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය ඉදිරිපිටට රැස්ව විරෝධතාවක නිතර වූහ. පැය දෙකක පමණ කාලයක් විරෝධතාව දියත් කළ ඔවුන් මුහුණ දුන් ගැටලුව වූයේ වෙනත් බාහිර පාර්ශ්වයක් එයට එකතු වී මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා කිරීමය. ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ සේවකයන් අදාළ ස්ථානයෙන් ඉවත්වූ පසු ගුරුවරු, මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, නිතීඥවරු ඇතුළු පිරිසක් විටින් විට ඔරලෝසු කණුව හා උද්‍යානය ඉදිරිපිටට පැමිණ විරෝධාවල නිරත වූහ.
හැටන් කොටගල නගරයේ වෙළෙද සංගමය 06 දා සියලුම වෙළෙඳසැල් වසා දමා කළු කොඩි පැළඳ කොටගල නගරයේදී විරෝධතාවක් දියත් කළ අතර ඔවුහු පසුව කොටගල නගරයේ පිහිටි ශ්‍රී මුත්තු විනායගර් හින්දු කෝවිල වෙත පැමිණ රජයට එරෙහිව පොල් ගසා දේව කන්නලව්වක්ද සිදු කළහ. මේ අතර ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සතියක කාලයකදී නිවේදන දෙකක් නිකුත් කරනු ලැබීම සුවිශේෂත්වයකි. තැනින් තැන මතුවන මහජන විරෝධතා හේතුවෙන් රට අස්ථාවර වීම වැළැක්වීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කරමින් මල්වතු, අස්ගිරි, අමරපුර හා රාමඤ්ඤ නිකායන්ට අයත් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම යෝජනා යොමුකර තිබුණේ ජනපති ගෝඨාභය රාජපක්ෂයන් වෙතය.
ඡායාරූප-රුවන් මීගම්මන