පුවත්පත් කලා අඹරේ දිදුලන තාරකාව | සිළුමිණ

පුවත්පත් කලා අඹරේ දිදුලන තාරකාව

 

ලංකාවේ පරිණතම හා පැරණිතම ඉරිදා පුවත්පත වන සිළුමිණට මාර්තු 30 වැනිදාට වසර 92 ක් පූර්ණය වේ. වසර 92ක් යනු ජීවිතයක නම් වෘද්ධතම හා ඇසූපිරූ තැන් බහුල වයසකි. පුවත්පතක් විෂයයෙහි එය තවත් යමක් එකතු වෙයි. එනම් ඇසූ පිරූ තැනින් නොනැවතී පාඨක සමාජය සමඟ ස්වකීය දැනුම් සම්භාරය බෙදා හදා ගනියි. පාඨකයාට කිසිවක් ප්‍රධානය කිරීම සේම යළිත් පාඨකයාගෙන් කිසිවක් ලබා ගැනීම ද ඵලදායී පුවත්පත් කලාවේ සම්ප්‍රදායයි. ඒ පෝෂණ - ප්‍රතිපෝෂණ සම්ප්‍රදානය මැනවින් එදා සිට රැකි පුවත්පතක් වශයෙන් සිළුමිණ සිය ලකුණ සටහන් කරයි.

සිළුමිණ 92 වැනි වියට පාතබද්දී එය බිහිකිරීමේ ලා අපමණ වෙහෙස ගත් නියමුවාණන් සිහි කරන්නේ ගෞරවයෙනි. ඩී. ආර්. විජයවර්ධනයන් හා එක් ව සිළුමිණ බිහි කිරීමේ බර කරට ගත් සිළුමිණ ප්‍රථම කර්තෘ පියසේන නිශ්ශංකයන් ද; සිළුමිණ නාමය තැබූ රත්මලානේ ධර්මාරාම හිමියන්ද; ඉරහඳ පවතිනා තාක් කල් පවතින්නට නැකත සෑදූ වළල්ලාවිට කෝරළයේ සංඝරාජ මහනාමිහියන්ද අවසෙස් ව මේ පුණ්‍යානුමෝදනාවේ කොටස්කරුවන්ය.

සිළුමිණ ඇරඹෙන වකවානුව ලංකාවේ නිදහස් වකවානුවක් නොවේ. දේශීය චින්තනයකින් හෙබි පුවත්පතක් බිහිවීමේ පදනමක් ඒ අනුව සකස් වී තිබුණේ නැත. කමලා ළමා සමාජයේ සිට නවා පොතක් සේ සකසා ගත හැකි ශාස්ත්‍රීය අතිරේකය දක්වා සිළුමිණ පාඨක විවිධත්වයට ගරු කළේය.

ඒ අතින් මෙරට පුවත්පත් අඹර තුළ විශිෂ්ටත්වයේ කීර්තිය ලද එකම පුවත්පත සිළුමිණ බව තහවුරු කරන හොඳම ලකුණ වන්නේ එය මෙරට ජනතාව අතරේ සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස ලත් විරුදාවලිය නිසාය. දේශීය විශ්වවිද්‍යාල බිහි වී නැති වකවානුවක, බලවත් හා ධනවත් එක් පිරිසක් විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබද්දී ඒකභාෂික දේශීය පාඨකයන්ට විශ්වවිද්‍යාලයක දැනුම් පරාසය ලබා දුන්නේ සිළුමිණ යි. එකී බුද්ධිමය දානයට ප්‍රතිගෞරව කරනු වස් ජනතාව සිළුමිණට ජනතා සම්මානය දුන්නේ දෙවරක් නොසිතාය. භින්න රුචිකත්වයට ගරු කරන සිළුමිණ අදත් ඒ සම්ප්‍රදායට ගරු කරන්නේ පාඨක ප්‍රතිපෝෂණයට ගරු කරමිනි.

සිළුමිණ මුද්‍රණ තාක්ෂණයේ ලයිනෝ ක්‍රමයෙන් ලඩ්ලෝ ක්‍රමයටත් එතැනින් නූතන ෆ්ලයි පේස්ටර් ඔෆ්සෙට් ක්‍රමයටත් පා තබන්නේ අනෙක් පුවත්පත් ඒ සඳහා යොමුවන්නටත් ප්‍රථමව ය. මුද්‍රණ ඉතිහාසයේ දැවැන්ත පෙරළියේ පෙරමඟ ලකුණ වෙන්නට සිළුමිණ පෙරමඟ බැලුවේ එපරිද්දෙනි. අද මහා තාක්ෂණික පෙරළි සිදු වූ මෙකල්හි පවා සිළුමිණ එකී නව මඟ හමුවේ දීප්තිමත් ව ගමන් කරන්නේ පාදමේ ඇති ශක්තිය නිසා ය.

අද සිළුමිණ ගත කරන අවදිය ඊට හාත්පසින් වෙනස් අවදියකි. අද සංස්කෘතික හා දැනුම් සම්භාර සංගෘහිත කරන මාධ්‍ය වැහිවැහැලා ය. පැරණි සම්ප්‍රදා කීතු කීතු කර ඉර දමන්නට තරම් තොරතුරු ගලන මාධ්‍ය අද තිබේ. තරගකාරී මාධ්‍ය කලාවකට අවැසි වටිනාකම් සියල්ල ගැන සවිඥානික විය යුතුව තිබේ. අකුරු කියා සංකේත පද්ධතියක් තිබූ පලියට හා ඒවා කඩදාසි මත යකඩින් සැදි මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය වූ පමණින් එහි සහෘදය ගැටලු හා සංවාද නැත්නම් ජනරංජනීය හා ජනතාකර්ෂණීය පුවත්පතක් බිහිවන්නේ නැත. අධ්‍යාපනය, විනෝදාස්වාදය, තොරතුරු සම්පාදනය හා පෙලඹවීම යන මූලික සන්නිවේදන අවශ්‍යතා සියල්ල පුවත්පතක සංගෘහිත නොවන්නේ නම් එය පාඨකයා වෙතින් ප්‍රතික්ෂේප වේ. රටේ ලොකු - කුඩා, උගත් - නූගත් සෑම තරාතිරමකම කියවන පිරිස අත රැඳෙන ඔවුන්ට සමීප පුවත්පතක් වන්නට නම් එහි ලියැවෙන අන්තර්ගතය පාඨකයාට සමීප විය යුතුය. එබැවින් නවවන දශකය යනු සිළුමිණ හමුවේ අභියෝග රැසක් සම්පාදනය වන දශකයකි. වසරකි. තොරතුරු සම්පාදනයේ, බෙදාහදා ගැනීමේ මහා තරඟයක් නිර්මිත වකවානුවකි. එදා මෙන් මාධ්‍ය විරල නැත; ඇත්තේ පළමුවැන්නා වීමේ තරඟයකි. ඒ තරගයට තරගයක් දීමට නම් සිළුමිණ ද යාවත්කාලීන තොරතුරු සංගෘහිත සන්නිවේදන මාධ්‍යයක් විය යුතුව තිබේ.

පවතින ප්‍රවණතා හමුවේ වෙනස් වෙමින් වුව ද සදාචාර සම්පන්න මාධ්‍ය කලාවක් පවත්වා ගෙන යෑමේ ලා වත්මන් සිළුමිණ ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තිබේ. කවර සමාජාර්ථික හෝ දේශපාලනික වෙනසක් වුවද සිළුමිණ ජනතාව වෙත සමීප කරවූ එහි ආරම්භක අධිෂ්ඨානයන් වෙත අනවරතව කාල තරණයක යෙදෙන්නට පත්තර මහගෙදරින් එළිදකින සිළුමිණ ශක්තිමත් බැව් කිව යුතු ම ය. සිළුමිණ මාධ්‍ය ලොව ඇතුළත සිළුමිණක් ව වැජඹෙන්නේ මෙකී උත්තුංග ශක්තිය නිසාය.

 

අනූදෙවසරක් යනු පුවත්පතකට පරිණතම අවදියකි. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකි. බොහෝ දෑ දැක විඳ ඒවා පාඨක රසික ප්‍රජාව වෙත තිළිණ කළ දශක නවයකි. නව්‍ය සම්ප්‍රදා බිහිකර, ඒවා සෙසු මාධ්‍ය ලෝකය අනුකරණය කරද්දි තවතවත් නව්‍ය දෑ බිහිකළ වසර අනූදෙකකි. මාධ්‍ය ලෝකයේ බහුතරයක් දැවැන්තයන් බිහි කළ පාඨශාලාව ය. ඒ ඇත්තෝ නව නිවෙස් සොයා යද්දී සුහද සිතින් ආශීර්වාදය කළ පුවත්ලොව මහගෙදර සිළුමිණ ය. තමන් බිහි කළ දරුවෝ වෙනත් තරගකාරී පත්තරවල සුරුවිරුකම් පාද්දී ආශීර්වාද කළ මහගෙදර සිළුමිණ ය. එබැවින් පුවත් ලොව නැණ කිරුල කවදත් සිළුමිණ ය.

පාඨක සහෘදය ප්‍රජාව හා අර්ථ සම්පන්න සහසබඳතාවක් දශක නවයක් තිස්සේ අවිච්ඡින්නව පවත්වා ගෙන යෑම පහසු කරුණක් නොවේ. ඒ මඟ යන්නට සිළුමිණට ඇති අභියෝග හඳුනා ගැනීම සිළුමිණ හමුවේ වර්තමානයේ ඇති අභියෝගයයි.

 

Comments