දශක හතරක ලේක්හවුසියේ මතක | සිළුමිණ

දශක හතරක ලේක්හවුසියේ මතක

•කමල් විජේසූරිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුද්‍රණ කටයුතු)

 

ලේක්හවුස් ආයතනයත් මගේ වෘත්තීය ජීවිතයත් අතර ඇත්තේ අවියෝජනීය සබැඳියාවක් යැයි කිවහොත් නිවැරදිය. ‘සිළුමිණ’පුවත්පත සමඟ මගේ වෘත්තීය සබඳතාව ආරම්භ වූයේ ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍රයත් සමඟයි. මා මුද්‍රණ සහකාරවරයකු ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වන විට ඒ දක්වා ගතවී තිබූ වසර හැට හැත්තෑවක කාලය තුළ ලේක්හවුස් ආයතනයේ සියලු පුවත්පත් මුද්‍රණය වී තිබුණේ ලෙටර් ප්‍රෙස් හෙවත් උස්තල මුද්‍රණ ක්‍රමයටයි. ලිතෝග්‍රැෆි හෙවත් සමතල මුද්‍රණ(ඕෆ්සෙට්) ක්‍රමය දක්වා මුද්‍රණ කටයුතු දියුණු කිරීමේ අරමුණින් පළමු ඕෆ්සෙට් ‘හැරිස්’යන්‍ත්‍රය ඇමෙරිකාවෙන් ගෙන්වා ඇත්තේ 1981දීය. 1982දී නවීන ක්‍රමවේදය යටතේ ලේක්හවුස් පුවත්පත් මුද්‍රණය ආරම්භ වූ අතර, 1982 සිට සිළුමිණ පුවත්පත ද එම යන්ත්‍රයෙන් මුද්‍රණය කිරීම ආරම්භ විය. මනා ලෙස වර්ණ යොදා පුවත්පත මුද්‍රණය කිරීමට මුද්‍රණ අංශය සමත් වූ අතර, සිළුමිණ පත්‍රය පළමුව ඕෆ්සෙට් ක්‍රමයට මුද්‍රණය කළ හැරිස් මුද්‍රණ යන්ත්‍රයට දැන් මගේ සේවා කාලය තරම්ම වයසය. එනම්, වයස අවුරුදු 40කි. 2022 වසරේදී ලේක්හවුස් හි මගේ වෘත්තීය ජීවිතයට ද වසර 40ක් සම්පූර්ණ වේ.

පානදුර උපන් මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් උසස්පෙළ විභාගය සමත් වූ මා ඔබ්සවර් පුවත්පතේ පළවූ කනිෂ්ඨ විධායකයන් බඳවා ගැනීම සඳහා වූ දැන්වීමක් දැක ඊට අයැදුම් කළෙමි. ලේක්හවුස් ආයතනයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සහකාර තනතුරට මා තෝරාගනු ලැබුවේ ඒ අනුවයි. 1982 වසරේ ජුනි මස 01 වැනිදා පළමු රැකියාව ආරම්භ කරන විට මා 21 හැවිරිදි තරුණයෙකි.

එතෙක් පැවති ඉතා සංකීර්ණ මුද්‍රණ ක්‍රමයට වඩා ඉහත කී ‘ඕෆ්සෙට්’ ක්‍රමය වඩාත් පහසු එකක් විය. 1993දී Goss urban linen මුද්‍රණ යන්ත්‍රයත් 2009දී මැග්නම් යන්ත්‍රයත් ලේක්හවුස් මුද්‍රණ කටයුතු සඳහා එක්විය. මීට වසර 12කට පමණ පෙර CTP (Computer to Plate) නැමැති නවීන තාක්ෂණය ද ලේක්හවුස් ආයතනයට හඳුන්වා දීමට හැකිවිය. එම තාක්ෂණය හඳුන්වා දීමට පෙර වර්ණ තහඩු (Plates) සකස් කිරීම සඳහා පැය 4ක පමණ වැඩි කාලයක් ගතවූ අතර, නව තාක්ෂණය ඔස්සේ එය විනාඩි කිහිපයකට කෙටි වීම ඉතා පහසුවකි. 2013 වසරින් පසු සිළුමිණ පුවත්පතේ පළමු කොටස මුද්‍රණය වන්නේ නවීන මැග්නම් යන්ත්‍රයෙනි. ඒ දක්වා පැමිණි ගමනේදී විවිධාකාර අභියෝග, දුෂ්කරතාවලට ලේක්හවුස් ආයතනයේ මුද්‍රණ අංශය ද මුහුණ දී ඇත. මුද්‍රණය කළ පුවත්පත් බෙදාහැරීම නිසි පරිදි කරගත නොහැකි වූ කාලයක් ද විය. විශේෂයෙන් 88,89 භීෂණ සමයේදී ලේක්හවුස් පුවත්පත් මිලදී නොගන්නා ලෙස පුවත්පත් අලෙවි මහතුන්ට සහ ජනතාවට තර්ජන එල්ල විය. ඒ හැම අවස්ථාවකම පුවත්පත කලට වේලාවට මුද්‍රණය කර වෙළෙඳපොළට මුදාහැරීමේ වගකීම අකුරටම ඉටු කිරීමට මුද්‍රණ අංශය ඇප කැපවී ක්‍රියා කළේය.

 

සිළුමිණ වෙනුවෙන් කැපවීම

 

ලේක්හවුස් ආයතනය ඕෆ්සේට් තාක්ෂණයෙන් පුවත්පත් මුද්‍රණය කිරීම ආරම්භ කිරීමත් සමඟ තරගකාරී තවත් පුවත්පත් ආයතන කිහිපයක් බිහි විය. තරගයක් නැත්නම් දියුණුවක් නැති බවත් තරගයට මුහුණ දිමේ නිවැරදි ක්‍රමය අප දැන ගත යුතු බවත් මගේ විශ්වාසයයි. තරගකාරී පුවත්පත් ආයතන සමඟ අප ඒ අභියෝගයට මුහුණ දෙමින් සිටියදී ලංකාදීප, දිවයින වැනි පුවත්පත් ඔවුන්ගේ ඉරිදා පුවත්පත් සෙනසුරාදා දිනම බෙදාහැරීමට පටන් ගත්හ. ඒ දක්වා ඉරිදා පුවත්පත් බෙදාහැරුණේ ඉරිදා අලුයමයි. එහිදී ලේක්හවුස් ආයතනයට තවත් අලුත් අභියෝගයක් මතු විය. එනම් සෙනසුරාදා උදෑසන බෙදාහරින දිනපතා පුවත්පත්වලට අමතරව සිළුමිණ පුවත්පත ද වෙළෙඳපොළට යැවිය යුතු වීමයි. ඒ අභියෝගය ජයගැනීම සඳහා මුද්‍රණ අංශයේ සුළු සේවකයාගේ සිට කළමනාකාරීත්වය දක්වා කැපවීමෙන් වැඩ කළහ. සෑම පැයකටම වරක් අදාළ පුවත්පත් ප්‍රමාණය මුද්‍රණය කර බෙදාහැරීම් අංශයට යැවීමේ භාරදූර වගකීම වෙනුවෙන් අපි උපරිමයෙන් කැපවීමු. රාත්‍රී 12ට මම වාද්දුව නිවෙසේ සිට ලේක්හවුස් ආයතනය පැමිණි අතර, සිළුමිණ කර්තෘ මණ්ඩලය වෙනුවෙන් ඥානතිලක ලියනගේ, මාලිනී ගෝවින්න යන අය ද මුද්‍රණාලයට පැමිණ පුවත්පතේ මුද්‍රණ කටයුතු පිළිබඳ සොයාබැලූ අයුරු මතකය. සෙනසුරාදා උදෑසන 8 වන විට සිළුමිණ පුවත්පත මුද්‍රණය කර අවසන් වන අතර, මුද්‍රණය කළ ලක්ෂ ගණන් පුවත්පත් ලොරි පුරවාගෙන ලේක්හවුස් ආයතනයෙන් පිටවී යන අයුරු සිහිවද්දී දැනුදු සිතට දැනෙන්නේ සතුටකි. අනෙක් පුවත්පත් මෙන් උදෑසන හතයි තිහ වන විට වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණය නිසි වේලාවට සැපයීමට අපට හැකි විය. සෙනසුරාදා රාත්‍රී 10ට පමණ ඉරිදා අලුයම මුද්‍රණය වන පුවත්පත් ද මුද්‍රණය කළෙමු.

පුවත්පත් මුද්‍රණය වෙමින් තිබෙන අවස්ථාවල මුද්‍රණ යන්ත්‍රය කැඩුණු අවස්ථාවල දී වෙනත් මුද්‍රණ විකල්ප භාවිත කිරීමට අපට සිදු විය. දිනක් සිළුමිණ පුවත්පත මුද්‍රණය කිරීමට පටන් ගත් විටම යන්ත්‍ර ක්‍රියාකරුවකුගෙන් සිදුවූ අඩුපාඩුවක් නිසා මුද්‍රණ යන්ත්‍රයේ දෝෂයක් ඇති වූ අතර, පුවත්පත මුද්‍රණය ආරම්භ කිරීම බොහෝ වේලාවක් ප්‍රමාද විය. එහෙත් විකල්ප ක්‍රම යොදාගනිමින් ලෙටර් ප්‍රෙස් මුද්‍රණ යන්ත්‍රය ද භාවිත කරමින් පුවත්පත මුද්‍රණය කර නිසි වේලාවට වෙළෙඳපොළට නිකුත් කෙරිණි. පසුව හැරිස් යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් දින දෙකතුනකින් ඇමෙරිකාවෙන් ගෙන්වා එය යථා තත්ත්වයට පත්කිරීමට අපට හැකි විය.

සිළුමිණ පුවත්පත මුද්‍රණය කරන විට මුද්‍රණ අංශයේ සියලු දෙනා සිටියේ සිය වගකීම පිළිබඳ දැඩි අවධානයකිනි. ඊට හේතුව යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, වව්නියාව වැනි ප්‍රදේශවලට එකල පුවත්පත් බෙදාහැරියේ දුම්රියෙන් බැවින් 6.30ට පෙර මුද්‍රණ කටයුතු අවසන් කළ යුතු වීමයි. දුම්රිය මඟින් ඉතා විධිමත් අයුරින් බෙදාහැරීම් කටයුතු සිදුවිය. නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට එය හේතුවක් විය. එමෙන්ම එකල මුද්‍රණ ක්‍රියාවලිය ලේක්හවුස් ආයතනයේ කළමණාකාරීත්වයේ අධීක්ෂණය යටතේ සිදුවූ අතර, වගකිව යුතු නිලධාරීන් ආයතනයේ පිටත්ව ගියේ පුවත්පතේ ප්‍රාදේශීය කොටස් මුද්‍රණය අවසන් වීමෙන් පසුව බව ද මතකය. දිනපතා අලුයම 4ට ලේක්හවුස් ආයතනයට පැමිණි මා ඇතුළු මුද්‍රණ අංශයේ කණ්ඩායම ඩේලි ඔබ්සවර්, ජනතා පුවත්පත් විශාල ප්‍රමාණවලින් මුද්‍රණය කර උදෑසන 10 වන විට බෙදාහැරීම සඳහා යැවීමටත් කටයුතු කළෙමු. එකල අප මසකට මුද්‍රණ කඩදාසි මෙට්‍රික් ටොන් 1000-1200ත් අතර ප්‍රමාණයක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් මුද්‍රණය වෙනුවෙන් භාවිත කළෙමු.

සිළුමිණ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පිටු 100ක පමණ පුවත්පතක් සැකසුණු අතර, එහිදී සිළුමිණ පළමු පුවත්පතේ පිටපතක් සොයාගෙන ලෙටර් ප්‍රෙස් ක්‍රමයට මුද්‍රණය කර තිබූ එය ඕෆ්සෙට් ක්‍රමයට නැවත මුද්‍රණය කිරීමට මමත් මගේ කණ්ඩායමත් දායකත්වය දැක්වීමු. ඇමෙරිකාවේ චිකාගෝ නුවර, ඇරිසෝනා ඇතුළු ප්‍රාන්ත කිහිපයකට ගොස් මුද්‍රණ යන්ත්‍ර සවිකිරීම, නඩත්තු කිරීම ඇතුළු මුද්‍රණ විෂයය සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගැනීමට ද මට අවස්ථාව ලැබිණ. ඊට අමතරව ආයතන වෙනුවෙන් සෑම වසරකට දෙකකට වරක් යුරෝපා රටවල පැවැත්වෙන මුද්‍රණ සම්මන්ත්‍රණ, වැඩමුළුවලට සම්බන්ධ වීමෙන් එකතු කරගත් දැනුම ආයතනය වෙනුවෙන් යෙදවීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

ලේක්හවුසියත් සිළුමිණත් හා බැඳුණු මතක අවදි කරන විට මගේ මතකයට එන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ලේක්හවුසියට කඩා වැදුණු දිනයයි. කොළඹ බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදුකළ ත්‍රස්තවාදීන් කිහිපදෙනකු ලේක්හවුසියේ ගරාජය පැත්තෙන් ආයතනය තුළට ඇතුළු වී කිහිපදෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන තිබිණ. නිවෙසේ සිටි මා අමතමින් එවකට සභාපති ඇලෝයි රත්නායක මහතා පැවසුවේ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට විශේෂ බළකායෙන් පැමිණ සිටින බැවින් හැකි ඉක්මනින් ලේක්හවුසියට පැමිණ ලේක්හවුසිය තුළ සැඟවී සිටින ත්‍රස්තවාදීන් සොයාගැනීමට ඔවුන්ට මඟ පෙන්වන ලෙසයි. ඒ අනුව මම හැකි ඉක්මනින් කාර්යාලයට පැමිණියෙමි. හවස දෙකට තුනට පමණ අපි ආයතනයට ඇතුළු වන විට මුද්‍රණ අංශයේ හැරිස් යන්ත්‍රය අසලම තිබුණේ ත්‍රස්තවාදියකුගේ හිස නැති මළ සිරුරකි. නිෂ්පාදන අංශයේ ස්කැනර් එකේ හැම තැනම වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ අතර, ජල නළවලට වෙඩි වැදීමෙන් නිෂ්පාදන අංශය ජලයෙන් පිරී තිබිණ. එහෙත් එදින කෙසේ හෝ පුවත්පත මුද්‍රණය කිරීම කළමනාකාරීත්වයේ තීරණය වූ බැවින් කිහිපදෙනකු එකතු වී මුද්‍රණ අංශය පිරිසුදු කරගෙන පුවත්පත මුද්‍රණය කිරීමට අපට හැකි විය. පසුදින මුද්‍රණ අංශය පරීක්ෂා කිරීමේදී ඍජුෆෝම් පෙට්ටිවල අසුරා තිබූ බෝම්බ ආරක්ෂක අංශවලට හමු විය.

 

ජනපති ප්‍රේමදාස ඝාතනය වූ දා

 

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනය වූ 1993 මැයි මස පළමු වැනිදා ද දුෂ්කරතා රැසකට මුහුණ දුන් දිනයකි. මගේ මතකය අනුව එදින මුද්‍රණය කිරීමට තිබුණේ සිළුමිණ සහ ඔබ්සවර් පුවත්පතයි. එදින රෑ වැඩමුරය සඳහා හවස හතරට පමණ මම මගේ මෝටර් රථයෙන් ලේක්හවුස් ආයතනයට පැමිණෙමින් සිටියදී එවකට සිටි සභාපතිතුමා මට යළි නිවෙසට යන ලෙස පැවසීය. නිවෙසට යන අතරමඟදි මට ප්‍රේමදාස ජනාධිපතිතුමා මැයි පෙළපාළියේදී බෝම්බ ප්‍රහාරයකින් මියගිය පුවත ආරංචි විය. එකල අද මෙන් දුරකථන සේවාව බහුල නොවූයෙන්, රාත්‍රී 11ට පමණ වාද්දුව පොලිසියෙන් මගේ නිවෙසට පැමිණ ලේක්හවුස් සභාපතිතුමා හැකි ඉක්මනින් ආයතනයට පැමිණීමට පැවසූ බව දැනුම් දුන්නේය. මම මගේ මෝටර් රථයෙන් කොළඹ බලා පිටත් වුණෙමි. එහිදී මා දුටුවේ අන් කවරදාකවත් නොවූ පරිදි මහමාර්ග පාළුවට ගොස් ඇති බවයි. ජනාධිපතිවරයාගේ හදිසි මරණයෙන් පසු ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිවකුට කිසිදු අත්දැකීමක් මීට පෙර නොවීම ඊට හේතුවයි. මම කොළඹට එන අතරමඟ ලේක්හවුස් මුද්‍රණ කළමනාකාරවරයාගේ නිවෙසට ගොස් ඔහුත් කැඳවාගෙන ලේක්හවුසියට ආවෙමි. පවතින තත්ත්වය යටතේ පිටු කිහිපයක හෝ පුවත්පතක් මුද්‍රණය කළ යුතු බව කළමනාකාරීත්වය තීරණය කර තිබූ බැවින් කිහිප දෙනකුගේ සහයෝගයෙන් සිළුමිණ සහ ඔබ්සවර් පුවත්පත් මුද්‍රණය කළෙමු.

 

භීෂණ සමයේ අවදානම දරාගෙන සේවයට ආ දවස් රැසක් ද මගේ මතකයේ වේ. එක් දිනක් පුවත්පත් බෙදාහැරීමට පිටත්ව ගිය ලේක්හවුස් වෑන් රියක් මහනුවරදී ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනිබත් කොට රියදුරු මරා දැමූ අතර, කළමනාකාරීත්වයේ උපදෙස් මත පැය කිහිපයකින් නැවත පුවත්පත් මුද්‍රණය කර මහනුවරට යැවීය. යාපනය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් දිනවල වරක් යාපනයේ උදයන් පුවත්පත්පත් මුද්‍රණ ආයතනයට ගිය ගමනේදී කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් මා සමඟ එකම ගුවන් යානයේ ගමන් කළ 13 දෙනකුට ජීවිත අහිමි වූ අයුරු සිහිවද්දී දැනුදු මට දැනෙන්නේ සංවේගයකි.

එම මළ සිරුරු ද සමඟ එදින සවස නැවත කොළඹට පැමිණීමට සිදුවීම ඒ සංවේගය තවත් තියුණු කරයි. සිළුමිණ කතෘ මණ්ඩලයේ සේවය කළ එවකට සිළුමිණ සම කර්තෘවරයා වූ කරුණාරත්න සපුතන්ත්‍රි, නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ කිරම පියසෝම, ඡායාරූප ශිල්පි එඩ්වින් වීරසිංහ යන හිතවත් මාධ්‍යවේදීන් මිය ගියේ 1995 අප්‍රේල් 29 වැනිදා මාධ්‍ය ආවරණයක් වෙනුවෙන් යාපනයට ගිය ගමනේදී ඔවුන් ගමන් කළ ඇව්රෝ යානයට ත්‍රස්තවාදී මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙනි. සිළුමිණ 92 සංවත්සරය සමරන මේ මොහොතේ ගෞරවයෙන් ඔවුන් ද සමරමි.

 

Comments