තායිලන්තයේ ‘අලි පාටිය’ | Page 3 | සිළුමිණ

තායිලන්තයේ ‘අලි පාටිය’

 

තායිලන්තය යනු අලින්ට සුර සැප ලැබෙන රටකි. ලංකාවේ ඉන්දියාවේ මෙන්ම ආසියානු අලි බහුලව වෙසෙන තායිලන්තය තම ප්‍රධාන ආදායම් මාර්ගය වන සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීම සඳහා අලින් බෙහෙවින් යොදා ගන්නා රටකි.

ලංකාවේ අලින් යොදමින් බර වැඩ ගැනීම මේ වන විට ක්‍රියාත්මක නොවූවද තායිලන්තය තවමත් අලින්ගෙන් බර වැඩ ගන්නා රටකි. එමෙන්ම සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට, සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අලින් විශාල වශයෙන් යොදා ගන්නා තායිලන්තය, අලින් යොදා ගනිමින් සෆාරි සංචාර, අලි නැටුම්, සර්කර්ස් ආදී තවත් බොහෝ දේ ක්‍රියාත්මක කරති.

පසුගියදා තායිලන්තයේ චොන්බූරි නගරයේදී තවත් එවන් අලින් මුල් කර ගත් ආකර්ෂණීය ක්‍රියාවක් සිදු කෙරිණි. ඒ අලින් සඳහා අති විශාල කෑම සංග්‍රහයක් සිදු කිරීමයි.

මේ සඳහා අලින් 60ක් සහභාගී කරවූ අතර , ඔවුන් ඉතාම ප්‍රිය කරන කෙසෙල්, අන්නාසි, කොමඩු වැනි පලතුරුවලින් කෑම මේසය පුරවා තිබිණි. මේ කෑම මේසය මීටර් අටක් පමණ විශාල වූ බව සඳහන්ය. මේ අවස්ථාවට සහභාගී කර තිබූ අලින්, සුන්දර ඇඳුමෙන් සහ ආභරණවලින් සරසා තිබූ අතර ඔවුන්ට රිසි සේ ආහාර ගැනීමේ අවස්ථාව සලසා තිබිණි.

මේ උත්සවය සංවිධානය කළ චොන්බූරි නගරයේ නොන්ග් චූ උද්භිද අධ්‍යානයේ බලධාරීන් පවසා තිබුණේ මේ අවස්ථාව සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින් යුක්ත වනවා මෙන්ම අලින්ට කළගුණ සැලකීමේ අවස්ථාවක් ලෙසින් ද යොදා ගන්නා බවයි.

අලින් තම රටේ ජන ජීවිතයට නැතිවම බැරි සතුන් බවට පත්ව ඇති බවත් ඔවුන් හේතුවෙන් දිවි රැක ගන්නා පවුල් සංඛ්‍යාව අති විශාල බවත් පැවසූ උද්‍යාන නිලධාරීන් වැඩිදුරටත් පවසා ඇත්තේ මේ සියල්ල සලකා බලමින් වසර පුරා මිනිසුන් ඇසුරේ පීඩනයෙන් දිවි ගෙවන අලින්ට සත්කාර කිරීමේ අවස්ථාවක් මෙන්ම කළගුණ සැලකීමේ අවස්ථාවක් ලෙසත් තමන් මේ උත්සවය සලකන බවයි.

උත්සවය වාර්තා කළ විදෙස් මාධ්‍යවේදීන් පවසා ඇත්තේ අලින් ඉතා ආශාවෙන් එහි ගොඩ ගසා තිබූ ආහාර අනුභව කළ බවයි.

තායිලන්තයේ හීලෑ අලින් බොහෝ පීඩාවට පත්වන බවත් ඔවුන්ට නැටුම් ආදිය ඉගැන්වීමේදී සත්ත්ව හිංසනය ඉතා විශාල වශයෙන් සිදුවන බවත් සත්ත්ව අවිහිංසා සංවිධානවලින් විශාල වශයෙන් විරෝධතා එල්ල වී තිබේ.

 

Comments