ඉම්රාන් ඛාන් අගමැති කඩුල්ල නූලෙන් බේරා ගනී | සිළුමිණ

ඉම්රාන් ඛාන් අගමැති කඩුල්ල නූලෙන් බේරා ගනී

ආණ්ඩුව විසුරුවයි යළිත් මැතිවරණයක්

ඉම්රාන් ඛාන් යනු ක්‍රිකට් ලෝකයේ ජය කෙහෙලි නැංවූ ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවෙන් තම රට වූ පකිස්තානයට මුළු ලෝකයෙන්ම ගරු නම්බු ලබා දිමට සමත් වූ නායකයෙකි. ක්‍රීඩාවෙන් තමා සමත් බව ඔහු අතීතයේ මුළු ලෝකයටම පෙන්වා දීමට සමත් වූයේය. එමෙන්ම පසුගියදා ඔහු පකිස්තානයට පමණක් නොව මුළු ලෝකයටම පෙන්වා දුන්නේ තමන්ට ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පමණක් නොව දේශපාලන පොර පිටියේද ගේම් ගැසීමට හොඳටම හැකියාව ඇති බවයි.

ඉම්රාන් ඛාන් මහමැතිවරණය ජයග්‍රහණය කරමින් බාර ගන්නේ සියල් සිරින් පිරුණු පකිස්තානයක් නොවේ. ඒ වන විට පකිස්තානයේ සතුව තිබුණු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අවම වූ අතර රට ගෙන යෑම සැබෑම අර්බුදයක් විය. ඉම්රාන් ඛාන්ට සිදුව තිබුණේ මුල සිටම පටන් ගන්නටය.

ඔහු අගමැති ඇතුළු ඇමති මණ්ඩලයේ වියදම් දැඩි සේ කපා දැමුවේ 2018 වසරේ තමා බලයට පත්වූ මොහොතේ පටන්ය. චීනයෙන් ණය ආධාර හිමිවුවද ඒවා චීනය විසින් පකිස්තානයේ සිදුකරන ආයෝජන සඳහා පමණක් විය. අනික් අතට අධික ණය ලබා ගනිමින් රටේ ප්‍රශ්න විසඳිමට ඉම්රාන් ඛාන් කැමැත්තක් දැක්වූයේද නැත. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ තම රටේ ආදායමෙන් වියදම පියවා ගැනීමේ ක්‍රමවේදයක් කරා ගමන් ගැනීමටය.

අනික් අතට මේ ඉම්රාන්ගේ පක්ෂය වන තෙරීක් ඉ - ඉන්ෂාෆ් පක්ෂය ලද ප්‍රථම මැතිවරණය ජයග්‍රහණය විය. ඒ වන විටත් පකිස්තානයේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වරින්වර බලයට පත් වෙමින් තිබූ අතර පක්ෂ දෙකේම නායකයෝ දූෂණ චෝදනා ලබා තිබිණි. විශේෂයෙන්ම හිටපු අගමැති නවාස් ෂරීෆ්ට එල්ල වූ දූෂණ චෝදනා අධිකරණය මඟින් තහවුරු කර තිබූ අතර ඔහු සිර දඬුවම් විඳිමින් සිටියේය.

නවාස් ෂරීෆ් වෙනුවට ඔහුගේ ඥතීන් පක්ෂයේ බලය අල්ලාගෙන සිටින අතර ෂබාස් ෂරීෆ් මේ වන විට විපක්ෂ නායක ධූරයේ කටයුතු කරමින් සිටී. පකිස්තාන ජනතා පක්ෂය භූතෝවරුන්ට සින්න වී ඇති අතර බෙනාසීර් භූතෝගේ අභාවයෙන් පසු ඔහුගේ පුතා සහ සැමියා මේ පක්ෂයට නායකත්වය දෙමින් සිටී. එහෙත් ඔවුන්ටද දූෂණ චෝදනා එල්ල වී තිබේ.

ඉම්රාන් ඛාන්ට ජනතාව කැමැත්ත පළ කරන්නේ මේ තට්ටු මාරු දේශපාලනයෙන් හෙම්බත්ව සිටියදීය. ඉම්රාන් ඛාන්ට අවශ්‍ය කරන්නේද ජනතාවට වෙනසක් ලබා දීමටය.

ඔහු 2018 සිට ක්‍රමිකව පකිස්තානය නිසි මඟට ගෙන ඒමට උත්සාහ දරන්නේය. චීනය ණය ලබා දීමට එකඟ වුවද ඔහු පවසන්නේ දිගින් දිගට ණය ලබා ගනිමින් රට අමාරුවේ දැමීමට තම අකමැති බවයි.

ඉම්රාන් කොතරම් අවකංව කටයුතු කළද රටේ උද්දමනය පාලනය කර ගැනීමට හෝ පකිස්තාන රුපියල පහත වැටීම නවත්වා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැත. එසේ වුවද ඉම්රාන් ඛාන් දේශපාලන බලය අවභාවිත කළ බවට කිසිදු චෝදනාවක් නැත. ධූර කාලය අවසන් වීමට පෙර ඉම්රාන් ඛාන්ට විශ්වාසභංග චෝදනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඔහුගේම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේද සහය ඇතිවය. ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම විශ්වාසභංගයේදී ඔහුට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටින බව වාර්තා විසින් තහවුරු කර තිබිණි.

ඉම්රාන්ගේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමව තිබූ ප්‍රථම අවස්ථාවේදී එය කල් දැමීමමට විපක්ෂ මන්ත්‍රීවරුන් කටයුතු කළ අතර පසුගිය ඉරිදා දිනයේදී එම විශ්වාසභංගය පකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. බොහෝ දෙනා සිතුවේ මේ ඉම්රාන් ඛාන්ගේ අගමැති ධූරයේ අවසන් මොහොත බවයි. ඊට පෙර ඉම්රාන් පකිස්තාන ජනතාව ඇමතූ අතර ඔහු පවසා සිටියේ තම වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යෑමට තමාට අවස්ථාව ලබා දෙන ලෙසයි. කෙසේ වුවද පකිස්තාන ජනතාව ඉම්රාන් ඛාන්ට කැමැත්ත දැක්වුවද පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පවත්වා ගැනීමට නොහැකි වන්නේ නම් අගමැති ධූරය අතැර යෑමට ඔහුට සිදුවනු නොඅනුමානය.

එහෙත් පසුගිය ඉරිදා ඉම්රාන් ඛාන් තම දේශපාලන පිටියේ දක්ෂතම ඉනිම ක්‍රීඩා කළේය. අවසානයේ ඔහුගේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ඡන්ද විමසීමට ගැනීමට පෙරම නියෝජ්‍ය කථානායක ක්වාසිම් සූරි එය ඉවත දැමීමට කටයුතු කළේය. ඉම්රාන් ඛාන් කළේ ඒ සමඟින්ම ආණ්ඩුව විසිරුවා හරින බවට නිවේදනය කිරීමයි. ඒ අනුව පකිස්තාන විපක්ෂයට ඉම්රාන්ගේ දේශපාලන ඉනිම අවසන් කිරීමට උදා වූ අවස්ථාව ඉම්රාන් විසින්ම ඉතා සූක්ෂ්ම දේශපාලන ගැටයකින් අවලංගු කර දමනු ලැබූ බව කිව හැකිය.

ඉම්රාන්ට කොතෙක් චෝදනා එල්ල කර සිටියද ඔහු දේශපාලන බලය අයථා ලෙස භාවිත කළ බවට හෝ රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා නොවීය. ඒ වෙනුවට ජනතාවගේ බලාපොරොත්තු බිඳ හෙළූ බවට චෝදනා ඉදිරිපත් විය. ඉම්රාන් ඛාන්ට දෙවැනි අවස්ථාවක් ලබා දීමට පකිස්තාන ජනතාව තීරණය කළ හොත් ඔහු දේශපාලන පන්දු දඟ දමන පිටියේ වඩාත් අත්දැකීම් සහිතව ක්‍රීඩා කරණු ඇති බවට සැකයක් නැත.

සැබවින්ම පකිස්තානයද කනගාටුදායක ඉරණමකට මුහුණ දෙමින් සිටින රටකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව මත බිහිව නිදහස ලැබූ දා සිට මේ දක්වා එරට එකද අගමැතිවරයකුට හෝ සම්පූර්ණ ධූරකාලය ගෙවීමට නොහැකි වීම ඉතාම සුවිශේෂී කරුණකි. එසේ වූයේ නොයෙක් කකුලෙන් ඇදීම් හේතුවෙනි. එසේ නැතිනම් තම ජිවිතයෙන් වන්දි ගෙවීමට බොහෝ අගමැතිවරුන්ට සිදු විය. දීර්ඝ කාලීන හමුදා පාලනයන්ට නතු වීමටද පකිස්තානයට සිදු විය. එසේ වූයේ ඇමරිකාව වැනි බලවත් රටවල ආශිර්වාදයෙන් වීමද අමතක කළ නොහැකිය.

දැන් පකිස්තානයට අත දෙන්නට කිසිවකුත් නැතිය. අවම තරමින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා තම ගැටලු තමාම විසඳා ගැනීමේ අවස්ථාවක් උදා කර ගැනීමට හෝ ඔවුන්ට ඉඩක් නොලැබෙන පාටය. තම ආණ්ඩුව අස්ථාවර කිරීම පිළිබඳව ඉම්රාන් ඛාන් ඇමරිකාවට චෝදනා කළද ඇමරිකාව එය ප්‍රතික්ෂේප කර තිබේ. ඉම්රාන් පවසන්නේ චීනය සහ රුසියාව සමඟ තමාගේ ඇති සුහද සබඳතා මත ඇමරිකාව තම පාලනයට අකුල හෙළන බවය. ඉම්රාන් ආවට ගියාට මෙය පැවසුවද විය නොහැකිය. මන්ද යත් සැබවින්ම බොහෝ රටවල අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ තීන්දු තීරට ගැනෙන්නේ එම රටවලින් බැහැරව වන බැවිනි. මෙය පකිස්තානයට පමණක් නොව ලොව බොහෝ රටවලට පොදු බව අමතක කළ යුතු නැත.

Comments