යුක්රේන රුසියා යුද්ධයට මඟ පෑදුණු හැටි | සිළුමිණ

යුක්රේන රුසියා යුද්ධයට මඟ පෑදුණු හැටි

සුගිය පෙබරවාරි මස 24 වැනිදා රුසියානු හමුදා යුක්රේන දේශසීමාවේ සිට යුක්රේන භූමියට ප්‍රහාර එල්ල කරමින් ආරම්භ කළ යුක්රේන රුසියා යුද්ධය මේ දක්වා ඇවිළෙමින් තිබේ. රුසියානු හමුදා යුක්රේනයේ අගනුවර ඇතුළු ප්‍රධාන නගර වටලා සිටින අර යුක්රේන හමුදා සමඟ එක්ව සිටින සිවිල් ජනතාව තම රට ආරක්ෂා කර ගැනීමට වෙහෙස දරමින් සිටිති. මේ වර්තමාන තත්ත්වය වුවද මෙලෙස රටක් විසින් තව රටක් ආක්‍රමණය කිරීම, යුද්ධයක් ආරම්භ වීමට ක්ෂණයකින් සිදුවන්නක් නොවේ. යුදමය තත්ත්වයක් ඇති වීම සඳහා මඟහසර සදන්නා වූ හේතු සාධක බොහෝ තිබේ. ඒ සියල්ල දේශපාලනිකය. තම අසල්වැසියන් තමන්ට අවශ්‍ය අන්දමින් පවතිනු දැකීම බොහෝ බලවත් රටවල කැමැත්තයි.

එසේ නොවන්නේ නම් මිත්‍ර සබඳතා, ණය, ආධාර, සම්බාධක හෝ අවසානයේ වෙඩි උණ්ඩ මඟින් හෝ අසල්වැසියන් පාලනය කර ගැනීමට බලවත් රටවල් කටයුතු කරනු අප අත්විඳ ඇත්තේ වරක් හෝ දෙවරක් නොවේ. කෙසේ වුවද යුක්රේන රුසියා අර්බුදයට මඟ පෑදු දේශපාලන ඉතිහාසය බොහෝ ඈත අතීතයට දිව යන්නකි. යුද්ධයේ වර්තමාන තත්ත්වය මෙන්ම ඒ සඳහා මඟ පෑදු පසුබිම පිළිබඳ දැනුම්වත් වීම යුක්රේන යුද ගැටුමේ බොහෝ දෙනා වටහා නොගත් හිස්තැන් පිරවීමට සමත් වනු ඇති අතර, තවත් භූමියක මෙවැනි තත්ත්වයක් උද්ගත වීම ද වළක්වාලීමට ද යම් දායකත්වයක් සපයනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය.

2004 ඔක්තෝ­බර් - යුක්රේන ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා බට­හිර ළැදි සහ රුසි­යා­වට ලැදි අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නකු ඉදි­රි­පත් වේ. ඒ අත­රින් රුසි­යා­වට ළැදි අපේ­ක්ෂ­කයා සේ සල­කනු ලැබූ වික්ටර් යන්කො­විච් ජය­ග්‍ර­හ­ණය වාර්තා කළ අතර බට­හිර ළැදි අපේ­ක්ෂක වික්ටර් යුෂ්ෂෙන්කෝ මැති­ව­ර­ණය දූෂිත බවත් නැවත මැති­ව­ර­ණ­යක් පැවැ­ත්විය යුතු බව­ටත් පව­සයි.
2008 අප්‍රේල් - යුක්රේ­නය සහ ජෝර්ජි­යාව යන දෙර­ටට අනා­ග­ත­යේදී තම සාමා­ජි­ක­ත්වය ලබා දෙන බව නේටෝ සංවි­ධා­නය පව­සයි.
2010 පෙබ­ර­වාරි - ගෑස් මිල සම්බ­න්ධව යුක්රේ­නය සහ රුසි­යාව අතර ගිවි­සු­මක් අත්සන් කෙරේ. එමෙන්ම දැනට කළු මුහුදේ රඳවා සිටින රුසි­යානු සීල් නාවික හමුදා භට කණ්ඩා­යම් රඳවා තැබීමේ කාලය දීර්ඝ කිරීමේ අද­හස් හුව­මා­රු­වක් ද සිදුවේ.
2013 නොවැ­ම්බර් - ජනා­ධි­පති යන්කො­විච් යුරෝපා සංග­මය සමග ගිවි­සුම් ගත නොවී රුසි­යා­වට පක්ෂව කට­යුතු කරන බවට ජනතා විරෝ­ධතා පැන නැගේ. කිව් අග­නු­වර ජන­තාව වීථි බසි­මින් විරෝ­ධතා දක්වති.
2014 පෙබ­ර­වාරි - ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙහි උද්ඝෝ­ෂණ වර්ධ­නය වෙමින් ව්‍යප්ත වේ. අණ අනුව පොලී­සිය විරෝ­ධ­තා­ක­රු­වන්ට ජීව උණ්ඩ­ව­ලින් වෙඩි තබති. යුක්රේන පාර්ලි­මේ­න්තුව ජනා­ධි­පති යන්කො­විච්ට එරෙ­හිව දෝෂා­භි­යෝ­ග­යක් ගෙන එන අතර ජනා­ධි­ප­ති­ව­රයා රුසි­යා­වට පලා යයි. මේ සියල්ලේ අතුරු ඵල­යක් ලෙස ජී8 සමු­ළු­වට අයත් රට­වල් අත­රින් රුසි­යාව ඉවත් කිරී­මට සෙසු රට­වල් තීර­ණය කරයි. ඒ අනුව ජී7 ලෙස එම සංග­මය යළි නම් කෙරේ.
2014 අප්‍රේල් - රුසි­යානු හිත­වාදී කැරලි­ක­රු­වන් විසින් යුක්රේ­නයේ ඩොන්බාස් ප්‍රාන්තයේ බලය අත්පත් කර ගනිති. මේ කැර­ලි­ක­රු­වන්ට රුසි­යා­වෙන් ඍජු ආධාර ලැබෙන බව රහ­සක් නොවූ­වද මේ අව­ස්ථා­වේදී මොස්කව් නිහඬ පිළි­වෙ­තක් දරයි.
2014 මාර්තු දෙසැ­ම්බර් - කැන­ඩාව යුක්රේ­නයේ ක්‍රිමියා ප්‍රදේ­ශයේ සිදු­ක­ර­මින් පව­තින රුසි­යානු හමුදා ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් රුසි­යා­වට සම්බා­ධක පැන­වී­මට කට­යුතු කරයි. මෙයට එක­ට­ එක කිරී­මක් ලෙස රුසි­යාව කැන­ඩාවේ නීති විශා­ර­ද­යන් 13 දෙනෙ­කුට තම රටට ඇතු­ළු­වී­මට අව­සර ලබා නොදෙයි.
2015 සැප්තැ­ම්බර් - කැන­ඩාව යුක්රේන හමු­දාවේ සහා­යට භට­යන් යැවී­මට තීර­ණය කරයි. මේ අනුව සෑම මාය හය­ක­ටම වරක් කැනේ­ඩි­යානු හමුදා භට­යන් 200ක් යුක්රේ­න­යට යැවෙනු ඇත.
2016 ජූනි 2021 මාර්තු - කැන­ඩාව රුසි­යා­වට ද තව­ත­වත් සම්බා­ධක පන­වයි.
2016 ජූලි - කැන­ඩාව සහ යුක්රේ­නය අතර නිද­හස් වෙළෙඳ ගිවි­සු­මක් අත්සන් තැබේ.
2019 ජූලි - ප්‍රහ­සන රංගන ශිල්පි­යකු වන වොලො­දි­මීර් සෙලෙන්ස්කි යුක්රේන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් අති­වි­ශාල ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කරයි.
මේ ජය­ග්‍ර­හ­ණය රුසියා - යුක්රේන සබ­ඳ­තා­වල නව යුග­යක ආර­ම්භ­යක් සේ සැලකේ.
2019 සැප්තැ­ම්බර් - ඇම­රි­කාවේ ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂක ජෝ බයිඩ්න්ට විරු­ද්ධව එල්ල කර ඇති දූෂණ චෝදනා සනාථ කිරීම සඳහා රිප­බ්ලික් පාක්ෂික ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේන ජනා­ධි­පති සෙලෙ­න්ස්කිට ඩොලර් මිලි­යන 400ක යුද ආධාර ලබා දීමට සූදා­නම් බවට කට­කතා පැති­රෙයි.
2021 නොවැ­ම්බර් - රුසි­යානු හමුදා යුක්රේන දේශ­සී­මාව ආස­න්නයේ ස්ථාන ගත කෙරේ. මේ බව තහ­වුරු වන්නේ චන්ද්‍රිකා ආධා­ර­යෙන් ලබා ගත් වීඩියෝ දර්ශ­න­ව­ලිනි. එම දර්ශ­න­ව­ලින් පැහැ­දිලි වන්නේ යුක්රේන දේශ­සී­මාව ආස­න්නයේ රුසි­යානු හමු­දාව කිසි­යම් ක්‍රියා­න්වි­ත­ය­කට සැරෙන බවයි. මේ අතර යුක්රේන ජනා­ධි­ප­ති­ව­රයා රුසි­යානු හමුදා භට­යන් ලක්ෂ­යක් තම දේශ­සී­මාවේ නවතා තම රට ආක්‍ර­ම­ණය කිරී­මට සැර­සෙන බවට ප්‍රකා­ශ­යක් කරයි.
2021 දෙසැ­ම්බර් 7 - රුසි­යාව යම් හෙය­කින් යුක්රේ­නය ආක්‍ර­ම­ණය කළ­හොත් දැඩි සම්බා­ධ­ක­ව­ලට මුහුණ පෑමට සිදු­වනු ඇතැයි අමෙ­රිකා ජනා­ධී­පති ජෝ බයිඩ්න් පව­සයි.
2022 ජන­වාරි 2 - යුක්රේන ජනා­ධි­ප­ති­ව­රයා සමඟ දුර­ක­ථන සාක­ච්ඡා­වක යෙදෙ­මින් ඇමෙ­රිකා ජනා­ධි­පති ජෝ බයිඩ්න් පව­සන්නේ රුසියා ආක්‍ර­ම­ණ­යක් සිදු වුව­හොත් තමන් යුක්රේ­න­යට සහාය ලබා දෙන බවයි.
2022 ජන­වාරි 22 - යුද ආධාර ලෙස පව­ස­මින් කැන­ඩාව යුක්රේ­න­යට ඩොලර් මිලි­යන 120ක ණය මුද­ලක් ලබා දේ.
2022 පෙබ­ර­වාරි 2 - අමෙ­රි­කාව හමුදා භට­යන් 2000ක් පෝල­න්ත­යට සහ ජර්ම­නි­ය­ටත් තවත් 1000ක් රොමා­නි­යා­ව­ටත් යවන බව පව­සයි.
2022 පෙබ­ර­වාරි 7 - යුක්රේන අර්බු­දය පද­නම් කර ගනි­මින් යුරෝපා රට­වල රාජ්‍ය නාය­ක­යන් අතර සාකච්ඡා පැවැත්වේ.
2022 පෙබ­ර­වාරි 8 - කැන­ඩාව යුක්රේ­න­යෙන් පිට­වන ලෙස සිය­ලුම කැනඩා ජාති­ක­යන්ට දැනුම් දේ.
2022 පෙබ­ර­වාරි 18 - තමන් යුක්රේන දේශ­සී­මාව ආස­න්නයේ යුද අභ්‍යා­ස­යක නිතර වන බව රුසි­යානු හමු­දාව දැනුම් දේ.
2022 පෙබ­ර­වාරි 21 - රුසි­යානු ජනා­ධි­පති ව්ලැඩි­මීර් පුටින් ජාතිය අම­ත­මින් තමන් යුක්රේ­න­යට හමුදා මෙහෙ­ය­වන බවත් එසේ කරන්නේ තම රටේ සහ ජාතියේ ආර­ක්ෂාව වෙනු­වෙන් බවත් පව­සයි.
2022 පෙබ­ර­වාරි 22 - අමෙ­රි­කාව, කැන­ඩාව ඇතුළු රට­වල් රැසක් රුසි­යා­වට සම්බා­ධක පන­වයි.
2022 පෙබ­රා­වරි 23 - යුක්රේන පාර්ලි­මේ­න්තුව හදිසි අව­ස්ථාව වැඩි ඡන්ද­යෙන් සම්මත කර ගනියි.
2022 පෙබ­ර­වාරි 24 - රුසි­යානු හමුදා යුක්රේන භූමි­යට ඇතු­ළුව ප්‍රහාර දියත් කරයි.

Comments