
විශ්ව ගම්මානයක් වූ ලෝකය තුළ තාක්ෂණ මෙවලම් මිනිස් ජීවිතයට නැතුවම බැරි උපාංග බවට පත්වී ඇත. භෞතික දියුණුව කෙසේ වුවද දිනෙන් දින මිනිසාගේ අධ්‍යාත්මික දියුණුව වළපල්ලට යන යුගයක අපි බොහෝ ඛේදනීය සිදුවීම් අත්විඳිමින් සිටිමු.
ජීවිතයේ සමීපතමයන්ටත් ඒ බැඳීම්වලටත් වඩා වත්මන් සමාජයේ බොහෝ දෙනකුගේ බැඳීම ඇත්තේ ජංගම දුරකථනය සමඟය. ලෝකයම එකම රැහැනකින් බැඳ තැබීමට සමත් සන්නිවේදන තාක්ෂණයෙන් බැහැර වීමට නොහැකි වුවද ඒ හේතුව ම දැන් ඕනෑවටත් වඩා මිනිසාගේ ජීවිතයට අනිසි ලෙස බලෑම් කරමින් තිබෙන බවට සාක්ෂි බොහෝය. ඒ සඳහා ආසන්නම සිදුවීම වාර්තා වූයේ ඉකුත් පෙබරවාරි 12 වැනිදා අනුරාධපුර ප්‍රදේශයෙනි. ජංගම දුරකථනයෙන් අන්තර්ජාල ක්‍රීඩවල නියැළීමට හුරුවී සිටි 12 හැවිරිදි පාසල් දරුවකු මව විසින් ජංගම දුරකථනය ලබානොදීම පිළිබඳ සිත් තැවුලට පත්ව ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගෙන තිබිණ.
අනුරාධපුරයේ නව නගර දුම්රිය ස්ථානය ආසන්න නිවෙසක ජීවත් වූ ඔහු නමින් අනුහස් මධුෂාන් සෙනෙවිරත්න ය. අනුරාධපුරය ශාන්ත ජෝශප් විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අනුහස්, ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටත් දස්කම් දැක්වූ දක්ෂ දරුවකු බව පැවසේ. නිහඬ, අහිංසක දරුවකු වූ ඔහු පාසලේ ගුරුවරුන්ගේ මෙන්ම පවුලේ සියලු දෙනාගේත් ආදරයට පාත්‍රව සිටියේ කීකරු දරුවකු ලෙසිනි. එහෙත් අනුහස්ගේ සුන්දර ජීවිතය අකාලයේ මරුවාට බිලි වූයේ ජංගම දුරකථනය හේතුවෙන් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
කොවිඩ් වසංගතය රටේම දරුවන් නිවෙස්වලට කොටුකර දැමීමත් සමඟ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ඔන්ලයින් අධ්‍යාපනය හැර වෙනත් විකල්පයක් නොවීය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ සඳහා දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට මවුපියන්ට සිදු විය. බොහෝ පාසල් සිසුන් ජංගම දුරකථනයට ඇබ්බැහි වීමට පටන් ගත්තේ ඔන්ලයින් අධ්‍යාපනයත් සමඟය. අනුරාධපුරයේ අනුහස් මධුෂාන් පුතුටත් ජංගම දුරකථනයක් ලැබුණේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහාය. එහෙත් වැඩිකල් යෑමට පෙර අනුහස් ජංගම දුරකථනයෙන් අන්තර්ජාල ක්‍රීඩා කරන්නට පටන් ගත්තේය. එය ඇබ්බැහියක් තරම් දුරදිග යද්දී අනුහස්ගේ මවුපියෝ එය නවතන්නට හැකිතරම් උත්සාහ කළහ. එහෙත් ඒ කිසිදු වැටකඬුල්ලකට අනුහස්ගේ ‘ගේම් ගැසීම’ නතර කරන්නට ඔවුන්ට නොහැකි විය. අවසානයේ අනුහස්ගේ මව දැඩි තීන්දුවක් ගත්තාය.
“මීටපස්සේ ෆෝන් එක අල්ලන්න එපා”
අනුහස්ට එසේ තහංචි පැනවූ මව ඔහු පාවිච්චි කළ ජංගම දුරකථනය නිවෙසේ නොතබා එය තමාගේ සේවා ස්ථානයට ගෙනයන්නට ද කටයුතු කළාය. ඒ හේතුවෙන් එක දිගට දින හතරක් පමණ අනුහස්ට ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබිණ. ටික දිනක් එසේ ගතකරන විට අනුහස්ට ඒ පුරුද්ද අත්හැර ගන්නට හැකිවනු ඇතැයි මව සිතන්නට ඇත. එහෙත් ඒ සිතිවිල්ල පුස්සක් බවට පත්කරමින් අනුහස් සිය ජීවිතය පිළිබඳ බරපතළම තීන්දුව ගත්තේය. ඒ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අනුහස් මධුෂාන් දරුවාගේ සමීප ඥාතිවරියක අප සමඟ පැවසුවේ හැඬූ කඳුළිනි.
“මේ මගේ අක්කගේ පුතා. පුතාට ෆෝන් එක දුන්නේ ඔන්ලයින් ඉස්කෝලේ වැඩ කරන්නයි. ඒත් පුතා එකෙන් ගේම්වලට ඇබ්බැහි වුණා. ඒක නවත්තන බැරි තැන අම්මා පුතාගෙන් ෆෝන් එක අරගත්තා. එදා උදේ අම්මා වැඩට යද්දි පුතා ෆෝන් එක ඉල්ලුවත් දීලා නැහැ. වැඩට ගිහින් ගෙදරට කෝල් කළාට ෆෝන් එක ආන්සර් කළේ නැති නිසා පැය තුනකට විතර පස්සේ අම්මා ආපහු ගෙදර ඇවිත්. ඒ ඇවිත් බලද්දි තමයි පුතා කරගෙන තිබුණ දේ දැකලා තියෙන්නෙ”
ඇය කීවේ ඒ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ කම්පා වෙමිනි. ඇය පමණක් නොව අනුහස්ගේ මව, පියා, සීයා, එකම මල්ලී ඇතුළු පවුලේ ඥාතීන් සියලුදෙනාටම අනුහස්ගේ හදිසි මරණය දැඩි කම්පාවකි. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු අනුහස්ගේ මවටත් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන පියාටත් අනුහස්ගේ මරණය දරාගත නොහැකි වේදනාවකි. දරුවාගේ යහපත වෙනුවෙන් තමා ගත් තීරණය ඔහුගේ ජීවිතයේ අවසානය තීන්දු කරනු ඇතැයි සිහිනෙනුදු නොසිතූ ඒ මවුපියන්ට දැන් තම දෑස් බඳු දරුවන් දෙදෙනාගෙන් එක් අයකු අහිමි වී අවසන්ය. අනුහස් යනු එසේ අවසන් ගමන් යෑමට සිටි දරුවකු නොවන බව ඔවුන්ගේ අදහසයි.
“පුතාගේ තිබුණු එකම වරද ගේම්වලට තදින්ම ඇබ්බැහි වුණ එකයි. පුතා ජීවිතේ නැතිකරගෙන තිබුණෙ එයා නිතරම සෙල්ලම් කරපු ගේම් එකක තිබුණු විදිහටයි. පුතා ගෙල වැලලාගෙන මැරෙන අවස්ථා සහිත ක්‍රීඩාවල නිරත වනවා අපි දැකලා තියෙනවා. පුතා ජීවිතේ නැති කරගන්න පාවිච්චි කරලා තිබුණේ එයාගේ අම්මගෙම චීත්තයක්. අවුරුදු 12ක දරුවෙකුට ඒ වගේ දෙයක් කරන්න අදහස ආවෙ එයා සෙල්ලම් කරපු ගේම්වල තිබුණු ඒවා නිසයි. ඔන්ලයින් අධ්‍යාපනයට ගිහින් අන්තිමට මේ ගේම් නිසා අපිට අපේ දරුවා නැතිවුණා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ තවත් දරුවෙකුට මේ වගේ විපතක් වෙන්න ඉඩක් නැතිවෙන්න ජංගම දුරකථනවලින් මෙවැනි ක්‍රීඩා තහනම් කරන්න පියවර ගන්න කියලයි”
මියගිය අනුහස් පුතුගේ වියෝවෙන් තැවෙමින් ඔහුගේ පුංචිඅම්මා ඇතුළු ඥාතීහු එසේ ආයාචනා කරති. ඒ ඉල්ලීමෙහි යම් කිසි සාධාරණත්වයක් ඇතැයි සිතෙන්නේ මේ වන විට මෙවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති නිසාය. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ මාතර රොටුඹ පල්ලෙකන්ද ප්‍රදේශයේ විසු 15 හැවිරිදි සිසුවකු දිවි නසාගෙන තිබුණේ මාර්ගත අධ්‍යාපනය වෙනුවෙන් ලබාදී තිබූ ජංගම දුරකථනයෙන් අන්තර්ජාල ක්‍රීඩාවල යෙදීමට උරණ වූ මවුපියන් එය යළි ලබාගැනීමෙන් ඇතිවූ සිත්තැවුල හේතුවෙනි. එමෙන්ම ඉකුත් ඔක්තෝබරයේ ද ජංගම දුරකථන භාවිතය හේතුවෙන් පාසල් සිසුන් දෙදෙනකුට සිය දිවි අහිමි විය. ඒ අතරින් එක් අයකු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වී සිටි 17 හැවිරිදි පාසල් සිසුවකු වන අතර, අනෙකා අගලවත්ත, දාපිළිගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 16ක පාසල් දරුවෙකි.
ජීවිතය හානි කර ගැනීමට තරම් දරුණු තත්ත්වයට පත්නොවූවද බොහෝ දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය මුවාවෙන් ජංගම දුරකථනය මඟින් අන්තර්ජාල ක්‍රීඩාවල නිරත වීමට පුරුදු වී ඇති බවට බොහෝ මවුපියෝ මැසිවිලි නඟති.
මෙය මෙරටට පමණක් නොව ලෝකයටම අදාළ ගැටලුවක් බවට පත්වී ඇති බව පෙනී යන්නේ බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකිනි. රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී සහ නින්දට යන විටදී ළමුන්ට ජංගම දුරකතන වැනි උපකරණ භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බවත් ජංගම දුරකතන, ටැබ් හෝ පරිගණක තිර දෙස බලා සිටින ළමුන් සෑම පැය දෙකකටම වරක් විවේකයක් ලබාගත යුතු බවත් ඔවුහු පවසති. අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා, ළමුන්ට විනෝදයක් ගෙන දෙන අතර ඉන් ළමුන්ගේ තීරණ ගැනීමේ ශක්තිය හා මනස දියුණු වීම සිදුවන බව අධ්‍යාපන විශේෂඥයන්ගේ මතයයි. එහෙත් පහසුවෙන් ඇබ්බැහි වන ආකාරයේ සාහසික ක්‍රියාකාරකම් සහිත පරිගණක ක්‍රීඩාවලින් ළමුන්ට සිදු වන්නේ විශාල විනාශයක් සිදුවන බවත් පරිගණක හෝ ජංගම දුරකතන ක්‍රීඩාවලට අධික ලෙස ඇබ්බැහි වී ඇති සියයට 1-9ත් තුළ ළමුන් මෙන්ම වැඩිහිටියන් ද සිටින බව වාර්තා වේ.
කොරෝනා සංචරණ සීමා හේතුවෙන් මාර්ගගත ඉගෙනීමට ස්මාර්ට් දුරකතනයක් ලැබීම හේතුවෙන් මෙරට බොහෝ දරුවන් පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවත් වැඩිපුරම ඇබ්බැහි වී ඇත්තේ 8- 11 දක්වා ශ්‍රේණිවල පිරිමි ළමුන් බවත් අනාවරණය වී ඇත.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැවසුවේ මෙවැනි පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට සමාන ලක්ෂණ පෙන්වන අතර, දවසේ වැඩි කාලයක් කාලය පිළිබඳ කිසිදු පාලනයකින් තොරව ක්‍රීඩාවේ නිරත වීම, තම අත්‍යවශ්‍ය කටයුතුවලට කාලය යෙදවීමට අපහසු වීම, වෙනත් විනෝදාංශ කෙරෙහි ඇති ඇල්ම අඩුවීම, ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව නොලැබුණු විට කෝපයට, අසහනයට පත්වීම, නුරැස්සනා ස්වාභාවයෙන් හැසිරීම සහ අධ්‍යාපනයට ඇති ඇල්ම අඩුවීම ආදී ලක්ෂණ මූලික වන බවයි.
‘‘පරිගණක ක්‍රීඩා කරන හැම දරුවෙක්ම ඒ සඳහා ඇබ්බැහි වන්නේ නැහැ. ඉහත කී ලක්ෂණ සහිත වූවන් ඇබ්බැහිවූවන් ලෙස සැලකෙනවා. බොහෝ පරිගණක ක්‍රීඩා ප්‍රචණ්ඩත්වය මත පදනම් වූ ඒවා නිසා දරුවා අනාගතයේදී ප්‍රචණ්ඩ අයකු බවට පත්වීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඔබේ දරුවාත් එවැනි ඇබ්බැහි වීමක සිටී නම් තරවටු කිරීමෙන් තොරව ආදරයෙන් කරුණු පැහැදිලි කිරීමත් උදාහරණ පෙන්වා දීමත් දරුවාට වෙනස් වීමට අවශ්‍ය සහාය ලබා දීමත් ඉතා වැදගත්. එසේ නැතිව දරුවාට තරවටු කිරීම හෝ එක්වරම දරුවාගෙන් දුරකථනය උදුරාගැනීම සුදුසු නැහැ. එයින් දරුවා තුළ දැඩි ආවේගයක්, කෝපයක් සහ තමාට අනතුරක් කරගෙන මවුපියන් රිදවීමේ මානසිකත්වයක් ඇතිවිය හැකියි. ඒ නිසා හැකිතරම් ආදරයෙන් දරුවාට කරුණු පැහැදිලි කර දෙන්න. එසේ කිරීමට අපහසු නම් කරුණාකර දරුවා සමඟ ළඟම තිබෙන රෝහලේ මානසික රෝග සායනයට යොමු වන්න. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඒ මඟින් වළක්වා ගත හැකියි” ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහි වූවන්, නින්ද සහ ක්‍රියාකාරකම් අඩු උදාසීන ජීවන රටාවක් ගත කිරීමට පෙලඹෙන අතර, පෞද්ගලික පිරිසුදුකම හා සනීපාරක්ෂාව කෙරෙහි දක්වන්නේ ද අඩු උනන්දුවකි. මේ පිළිබඳව අප ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් විමසීමක් කළෙමු.
˝ පරිගණක සහ ස්මාර්ට් දුරකතන වැඩිපුර භාවිත කරන දරුවන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා විවිධ රෝග මතුවී තිබෙන බව අපට නිරීක්ෂණය වී තිබෙනවා. ඔන්ලයින් භාවිතය වැඩිවීම හේතුවෙන් ළමුන් අතර හිසරදය වැඩිවීම, ඒ නිසාම ඇස් පෙනීමේ දුර්වලතා වගේම එකම තැනක වැඩි වේලාවක් ගතකිරීම නිසා අධික ස්ථුලතාවයට ද දරුවන් ගොදුරු වී තිබෙනවා. ඒ නිසා දරුවන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී තත්ත්වයන් පසුගිය කාලයට වඩා දැන් දිනෙන් දිනම වැඩිවෙමින් තිබෙනවා. පෝෂ්‍යදායී ආහාරවේලක් නොගැනීම, ක්‍රීඩාවක හෝ ශරීර සුවතා කටයුතුවල නොයෙදීම පමණක් නොවෙයි අඩුමතරමින් හිරු එළිය වැටෙන්නටත් අවස්ථාවක් නැතිව නිවසේ කාමරයකට වී දිගින් දිගටම පරිගණකය හෝ දුරකතනය සමඟ රැඳෙන දරුවන් විටමින් ඩී ඌනතාවයෙන් ද පෙළෙනවා. ඒ නිසා අස්ථි වේදනා, අස්ථිවල අසාමාන්‍යතා ආදී ශාරීරික වේදනා ඇතිවෙනවා. පරිගණකයට, දුරකතනයට ඇබ්බැහි වූ දරුවන් තුළ මානසික ආතතියක් ඉහළ මට්ටමක තිබෙනවා. ඒ වගේම මෑතක සිට නව යොවුන් දැරියන් අතර අඩු වයස් ගැබ්ගැනීම්වල වැඩිවීමක් දකින්නට ලැබෙනවා. අන්තර්ජාල භාවිතය වැඩිවීම තුළ සිදුවන ළමා අපචාර ඊට හේතුවයි. බොහෝ දරුවන් නිවසේ කිසිම කෙනෙක් සමඟ සම්බන්ධයක් නැති, සහකම්පනයක් නැති තත්ත්වයට පත්වී සිටිනවා.˝
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් එසේ ද පැවසීය. මේ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසුවේ දරුවන්ට හානි කරන මෙවැනි ක්‍රියාකාරකම් වැළැක්වීමට පවතින නීති සංශෝධනය විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් දරුවන් සහ මවුපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක අවශ්‍යතාව පිළිබඳ සිය අධිකාරියේ අවධානය යොමුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
පසුබිම් වාර්තා සහ ඡායාරූප අනුරාධපුර විශේෂ, සරත් මනුල වික්‍රම