ජපානයේ සැබෑ මිතුරුදමට වසර හැත්තෑවයි | සිළුමිණ

ජපානයේ සැබෑ මිතුරුදමට වසර හැත්තෑවයි

මාලි පිලිපීනයේ මැනිලා සත්වෝද්‍යානයේ

මිතුරන් වටින්නේය. එහෙත් සැබෑ මිතුරන් මුතු මැණික් මෙන් වටින්නේය. එවැනි වූ සැබෑ මිතුරන් ඔබ සතු වේ නම් ඔවුන් රැක ගැනීම ඔබගේ යුතුකම වන්නේය. එවැනි සැබෑ මිතුරකු ඔබ පමණක් නොව ඔබගේ රට ද සතු වන්නේ නම් බව සැබවින්ම වාසනාවන්තය. ශ්‍රී ලාංකිකයන් ලෙස ජපානය සම්බන්ධයෙන් අපට පැවසීමට ඇත්තේ ජපානය අප සතු සැබෑ මිතුරෙකු බවය. එමෙන්ම ඒ මිතුදම අපට රන් මෙන් අගනා බවය. මුතු මැණික් සේ වටිනා බවය.

ජපානය යනු ආසියාවේ බලවතෙකි. ඒසේ වන්නේ රටේ පිහිටීම හෝ, භූමියේ ස්වභාවික සම්පත් නිසා හෝ නොව ජනතාවගේ කැපවීම හේතුවෙනි. ඒමෙන්ම ජපානය ධනවත් රටකි. ඒසේ වූවද ජපානය ලොව සෙසු රටවල ස්වාධීනත්වයට අනිසි බලපෑම් කිරීමට උත්සාහ ගත්තේ නැත. ඇතැම් විට ඒසේ ‘තමන්ගේ පාඩුවේ සිටීමට’ දෙවැනි ලෝක යුද්ධයෙන් ලද කටුක අත්දැකීම් හේතු සාධක වූවා ද විය හැකිය. දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය ජර්මනියේ පාර්ශ්වයට ඒක් වූයේ අවසානයේ ලොව ඒතෙක් මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවූ අති භයානකම බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන්නේය. අවසානයේ තමන්ගේ පාඩුවේ ජිවත්වන ජපානයක් බිහිවූ අතර හැකි සෑම විටම මනුෂ්‍යත්වය ඉස්මතු කරමින් කටයුතු කිරීමටද, යහපත් මිතුරන් ඇති කර ගැනීමටද ජපානය සෑම විටම කටයුතු කළේය. 

ජපානය ශ්‍රී ලංකාවේ යහපත් මිත්‍රයකු වන්නේ ඒ ඔස්සේය. දෙරට අතර බෞද්ධාගමින් පෝෂණය වන සම සංස්කෘතික සබැඳියාවද මේ මිත්‍රත්තවය වර්ධනය කිරීමටත්, පහසු කිරීමටත් උර දුන්නේ නිතැතිනි. විශේෂයෙන්ම බෞද්ධාගමේ ඉගැන්වෙන බොහෝ කරුණූ දෙරටම ඉතා ගෞරවයෙන් ආරක්ෂා කරන පිළිපදින වටාපිටාවක මේ මිත්‍රත්වය බොහෝ ශක්තිමත් වන්නේය. කල් පවතින්නේය. දැන් ඒ මිත්‍රත්වයට වසර 70ක් සම්පූර්ණ වී තිබේ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වන්නේ 1952 වසරේදීය. ඒ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් වසර හතරකට පසුවය. ඒ අනුව ජපානය යනු ශ්‍රී ලංකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රථමයෙන්ම ආරම්භ කළ රටවල් අතරින් එකක් වේ. ජපානය ශ්‍රී ලංකාව සමඟ 1952දී මිත්‍ර සබඳතා ආරම්භ කරන්නේ ඊට පෙර වසරේදී ශ්‍රී ලංකාව සමස්ත ලෝකය හමුවේ ජපානය වෙනුවෙන් සිදු කළ අභීත ප්‍රකාශයක කෘතවේදීත්වය සමඟිනි.

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ශ්‍රී ලංකාවේ කොළඹ සහ ත්‍රිකුණාමලය නගර ඉලක්ක කර ගනිමින් ගුවන් යානා 38ක් යොදවමින් ජපානය මහා ප්‍රහාරයක් එල්ල කළේ ඊට වසර කිහිපයකට පෙරදීය. එහෙත් ඒ සියල්ලට වඩා හිරෝෂිමාවට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරය බලවත් විය. අවසානයේ ජපානය යුද්ධයෙන් තමාගේ පාර්ශ්වයෙන් හානි සිදුවූ රටවලට වන්දි ගෙවීමක් කළ යුතු බවට ප්‍රකාශ වූ අතර ඒ වෙනුවෙන් 1951 වසරේදී ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සමුළුවක්ද සංවිධානය කෙරිණි. එම සමුළුවේදී ජපානය සමඟ මිත්‍ර සබඳතා යළි පවත්වාගන්නේ කෙසේද යන්න සම්බන්ධව දීර්ඝව සාකච්ඡා විය.

එම සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ එවකට අප රටේ මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන සමුළුව අමතමින් පවසා සිටියේ ජපානය සමඟ පැවති අතීත අඳුරු මතක සම්පූර්ණයෙන් අමතක කර යළි මිත්‍රත්වය පවත්වා ගත යුතු බවයි. එහිදී ඔහු ධම්ම පදයේ ‘නහී වේරේන වේරානී‘ ගාථාව උපුටා දක්වමින් සිදු කළ කතාව ජපාන ජනතාව පිළිගත්තේ ඉතා සුභදායී සිතකිනි. යුද්ධයේ අළු මතින් නැගී සිටිමින් පැවති ජපානයට එම මිත්‍රත්වයේ වදන් රන් මෙන් විය.

එදා දිගු වුණු ශ්‍රී ලාංකිකයන්ගේ මිත්‍රත්වයේ හස්තය ජපානය යළි කිසිදා අතහැර දැම්මේ නැත. ඔවුන් ඒ මිත්‍රත්වයේ උණූසුම් හස්තයට ලබා දුන් ත්‍යාග සංඛ්‍යාවද ඉතා විශාල විය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, මහරගම තරුණ සේවා සභාව මෙන්ම ජයවර්ධනපුර රෝහලද ජපාන රජය ශ්‍රි ලාංකිකයන්ට ලබා දුන් මිත්‍රත්වයේ ත්‍යාග අතර වැඩියෙන්ම ප්‍රසිද්ධියක් උසුලයි.

මේ 2022 වසර යනු ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 70ක් සපිරෙන වසරයි. ඒ වෙනුවෙන් ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ඒකාබද්ධ වෙමින් මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ඒ සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද සහභාගී විය. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජපාන තානාපති හිදෙයාකි මහතා එදා සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී එවකට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය සහ පසුකාලීන ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදු කළ ප්‍රකාශය සිහිපත් කර සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිට්යේ දෙරට අතර තානාපති සබඳතාවල 70වැනි සංවත්සරය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළ ජපාන විදේශ අමාත්‍ය හයාජි යොෂිමසා මහතාද ජයවර්ධන මහතාගේ එම ප්‍රකාශය සිහිපත් කළ බවයි. එපමණක්ද නොව 2011දී ජපානය කැලඹූ මහා භූමිකම්පාව සහ සුනාමිය අවස්ථාවේදී ශ්‍රී ලංකාව ජපානයට මහත් උපකාර කළ බව සිහිපත් කළ තානාපතිවරයා ජපානයද හැකි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කටයුතු කළ බව පවසා සිටියේය. 2004 වසර්දී සුනාමිය අවස්ථාවේදී ජපානය ශ්‍රී ලංකාවට ශක්තියක් වූ බව සිහිපත් කළ ඒ මහතා කොවිඩ් එන්නත් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමටද ජපානයට හැකි වූ බව පෙන්වා දුන්නේය.

සභාව ඇමතූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාග සහ ආධාර සිහිපත් කර සිටියේ උදාහරණ සහිතවය. කොළඹ ක්‍රමය යටතේ රට තුළ ක්‍රියාත්මක කළ දැවැන්ත වගා ක්‍රම යනාදිය සඳහා ජපානය උපකාර කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා රූපවාහිනී සංස්ථාව, තරුණ සේවා සභාව මෙන්ම ජයවර්ධනපුර රෝහල ඇතුළු ජපානයේ පරිත්‍යාග පිළිබඳවද සිහිපත් කර සිටියේය. කොළඹ විශ්ව විද්‍යාලය සඳහා ලබා දුන් පරිගණක තාක්ෂණ අධ්‍යාපන ආයතනය මෙන්ම යාපනය විශ්ව විද්‍යාලය සඳහා ලබා දුන් කිලිනොච්චියේ පිහිටා ඇති කෘෂිකර්ම පර්යේෂණාගාරය පිළිබඳවද අමාත්‍යවරයා සිහිපත් කර සිටියේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරෙන මේ අවස්ථාවේදී දෙරට අතර නොබිඳෙන මිත්‍රත්වය ගෞරවයෙන් සිහිපත් කළ අමාත්‍යවරයා මේ වසර තුළදී ජපාන අනුග්‍රහයෙන් රට පුරා වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට නියමිත බවද සඳහන් කර සිටියේය.

ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා, රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා මෙන්ම ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා මෙන්ම විදේශ අමාත්‍ය ලේකම් ඇතුළු විදේශ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද, ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

නොයෙක් පටු දේශපාලනික, ව්‍යපාරික අරමුණු මත නොරැඳෙමින් ජපානය සැමදා ශ්‍රී ලංකාවට දිගු කළ මිත්‍රත්වයේ හස්තය මෙන්ම දෙරට අතර පවතින සැබෑ මිතුදම නොබිඳී එළෙසම පවතීවා යන්න අපගේ පැතුමය.

ඡායාරූප - චින්තක කුමාරසිංහ

Comments