ලොව වටා | සිළුමිණ

ලොව වටා

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයා ලන්ඩනයේදී කඳුළු සලමින් යුක්තිය ඉල්ලයි

බ්‍රිතාන්‍යයේ යෝර්ක්ෂයර් ප්‍රාන්තයේ ප්‍රාන්ත තරග සඳහා ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ පකිස්තාන ජාතිකයකු පසුගියදා බ්‍රිතාන්‍ය අධිකරණය හමුවේ කඳුළු සලමින් පවසා සිටියේ තමන් ක්‍රීඩා කරන අවස්ථාවලදී සෙසු ක්‍රීඩකයන් විසින් දැඩි සේ පීඩාවන්ට ලක් කරනු ලැබූ බවයි. මෙසේ පවසමින් යුක්තිය ඉල්ලා සිටියේ අසීම් රාෆික් නම් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. අධිකරණය හමුවේ ඔහු පවසා සිටියේ යෝර්ක්ෂයර් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන විට සෙසු ක්‍රීඩකයන් විසින් තමා දැඩි සේ පීඩාවට ලක් කළ බවත් එසේ කළේ තමාගේ කළු හම හේතුවෙන් බවත්ය.

"ඔවුන් ජාතිවාදය මෙන්ම වර්ණභේදවාදයද ඉස්මතු කරමින් මට ගර්හා කළා. නින්දා කළා." රාෆික් එසේ පවසා සිටියේ තම නෙතින් ගැලූ කඳුළු පිස දමමිනි.

ආසියානු දුඹූරු පැහැ සම සැම විටම බ්‍රිතාන්‍ය තුළ හාස්‍යයට ලක් වන බව තමා එයින් දැඩි සේ පීඩා විඳි බවත් තමන් ක්‍රීඩකයකු ලෙස අසාර්ථක වීමට තමන්ට සෙසු ක්‍රීඩකයන්ගෙන් ලැබුණූ මානසික පීඩා හේතු වුණු බවත් පවසා සිටි අසීම් රාෆික් තමන්ට යුක්තිය ඉටු කර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

 

ඒඩ්ස් නිකම්ම හොඳ වෙලා

ජර්මනියේ කාන්තාවක් කිසිදු ප්‍රතිකාරයකින් තොරව ඒඩ්ස් රෝගයෙන් සුවපත් වී ඇතැයි වාර්තා වේ. ඇය දැනට නම් කර ඇත්තේ 'එස්පිරෙන්සා පේෂන්ට්' යන හඳුනා ගැනීමේ නාමයෙනි. වෛද්‍යවරුන් පවසා ඇත්තේ 2013 වසරෙදී ඇය ඒඩ්ස් රෝගියකු ලෙස හඳුනා ගත් බවත් එයින් වසර අටක් ගතවන තැන ඇයගේ ශරීරයේ කිසිදු ඒඩ්ස් රෝග කාරක වෛරසයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත්ය.

ඒ අනුව ඇය ස්වභාවිකවම ඒඩ්ස් වයිරසය මර්දනය කිරීමට සමත්ව ඇති සේ සැලකෙනු ඇති බවයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ. මෙයට පෙර ලෝකයේ මෙලෙස ස්වභාවිකවම ඒඩ්ස් මර්දනය කිරීමට සමත් වූ තවත් එක් පුද්ගලයකු ගැන වාර්තා වී ඇත.

 

 

චාල්ස් කැමිලා ජෝර්දානයේ

වසර දෙකක පමණ කාලයක් කොවිඩ් හේතුවෙන් තමතමන්ගේ රටවලට කොටුවී සිටි රාජ්‍ය නායකයන්, ජනප්‍රිය පුද්ගලයන් දැන් දැන් තම රටවලින් ආරක්ෂිතව නික්ම පිටරටවල සංචාරයන්ට එක්වන බවක් දැක ගත හැකිය. ඒ සඳහා හොඳ උදාහරණයක් දෙමින් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු තම බිරිය වන කැමිලා ආදිපාදවරිය සමඟ ජෝර්දානයේ සංචාරයකට එක්ව තිබිණි.

කොවිඩ් වසංගතය පැතිර යෑම ආරම්භ වී මාස කිහිපයකින්ම චාල්ස් කුමාරයා කොවිඩ් ආසාදිත බව ප්‍රකාශයට පත් වූ අතර ඔහු ද තර්ජිත වයස් කාණ්ඩයට අයත් වූ බැවින් ජනතාව අතරට නොපැමිණ ආරක්ෂා සහිතව කාලය ගත කළේය.

දැන් ඔහු මැදපෙරදිග සංචාරයකට එක් වෙමින් තවදුරටත් කොවිඩ් හේතුවෙන් සංචරණ සීමා පවත්වා ගත යුතු නොවන බවට පණිවිඩයක් ලොවට පවසමින් සිටින්නේය.

 

 

කොවිඩ් නිසා ජසින්ඩාගේ ජනප්‍රියත්වය පහළට

ලෝකයෙන් වඩාත්ම හොඳින් කොවිඩ් පාලනය කළ රට බවට පත්ව සිටි නවසීලන්තයෙන් මේ වන විට දෛනිකව කොවිඩ් රෝගීන් දෙසීයකට අධික සංඛ්‍යාවක් හමුවෙමින් තිබේ. සමීක්ෂණ මඟින් හෙළි වී ඇත්තේ ඒ සම්බන්ධව නවසීලන්ත ජනතාව අසතුටෙන් සිටින බවයි. එමෙන්ම ඒ හේතුවෙන් එරට අගමැතිනිය ජසින්ඩා අර්ඩන්ගේ ජනප්‍රියත්වය ද කිසියම් මට්ටමකින් අඩුවී ඇති බව ද හෙළි වී ඇත. කොවිඩ් පැතිරීම හේතුවෙන් එරට ඔක්ලන්ඩ් අගනුවර සංචරණ සීමා පැනවීමට කටයුතු යෙදු අතර එය ලිහිල් කිරීම කෙරෙහි ද මේ වන විට අවධානය යොමු වී තිබේ.

Comments