
නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ දක්ෂතම මිනිසුන්ට තම දක්ෂතාවන් සහ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් පුදදෙන්නා වූ නන්විධ ත්‍යාගයන් අතරින් ජනප්‍රියතම ත්‍යාගයයි. සෑම වසරකම විවිධ ක්ෂේත්‍ර යටතේ දස්කම් දක්වන, එමෙන්ම තම සොයාගැනිම් හේතුවෙන් මිනිස් වර්ගයාට යම් සේවයක් කළ බව තහවුරු වන, මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් කැපවන මිනිසුන්ට සැලකිය යුතු මුදල් ප්‍රමාණයන් පිරිනැමීම සහ ඇගයීම නොබෙල් ත්‍යාගය ඔවුන් වෙත ලබා දීම මඟින් සිදු කෙරේ. එබැවින් නොබෙල් ත්‍යාගය හිමි වන්නේ කාටද යන්න දැන ගැනීමට ලොව පුරා ජනතාව උනන්දුවක් දක්වන අතර නොබෙල් ත්‍යාගය තමා වෙත ලබා ගැනීම සඳහා අදාළ අංශ යටතේ අයැදුම් කරන දක්ෂයන් ද සංඛ්‍යාවෙන් ඉතා විශාලය.
නොබෙල් ත්‍යාගය සෑම වසරකම අංශ කිහිපයක් අදාළ කර ගනිමින් පිරි නැමේ. රසායන විද්‍යා, භෞතික විද්‍යා යනාදී අංශ මෙන්ම සාහිත්‍ය වෙනුවෙන් නව නිපැයුම් සොයා ගැනීම් සිදුකරන, ඒ වෙනුවෙන් කැපවන මිනිසුන් සඳහා ඒ ඒ අංශ යටතේ නොබෙල් ත්‍යාගය පිරිනැමෙන අතර මෙන්ම ලෝක සාමයට, මිනිස් වර්ගයාගේ නිදහස වෙනුවෙන් කැපවන මිනිසුන් වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරි නැමේ. සෙසු අංශවලට වඩා සෑම වසරකම ලෝකයේ වැඩි අවධානයට සාම ත්‍යාගය පාත්‍ර වන්නේ එය බොහෝ සෙයින් විවාදයට පාත්‍ර වන නිසාත් සාම ත්‍යාගය ලබා ගන්නා පුද්ගලයන් ජනප්රියත්වයෙන්ද වැඩි නිසාත්ය.
මෙවර නොබෙල් සාම ත්‍යාගයද ඒ සඳහා හොඳම උදාහරණයක් සැපයිමට සමත් විය. ඒ මෙවර නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට හිමිවීමත් සමඟිනි. පිලිපීනයේ මාරියා රෙස්සා ඒ අතරින් එක් මාධ්‍යවේදිනියක වූවාය. අනෙකා රුසියාවේ දිමිත්‍රි මුරාතොව් ය.
මේ ත්‍යාග ලාභීන් පිළිබඳව සටහන් කිරීමට පෙර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධව යමක් ප්‍රථමයෙන්ම පැවසිය යුතුය. නොබෙල් සාම ත්‍යාගය ලබා දීමේදී සලකනු ලබන්නේ ඒ සඳහා අයදුම් කරන පුද්ගලයන් ලෝක සාමයට, මානව වර්ගයාගේ යහපතට සිදු කරනු ලබන සේවයයි. මේ සඳහා තනි පුද්ගලයන් මෙන්ම ආයතන වශයෙන්ද ඉල්ලුම් කළ අවස්ථා බොහෝය. මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා අයදුම්කරුවන් 329 දෙනෙකු අයදුම් කර තිබූ අතර ඒ අතරට තනි පුද්ගලයන් 234ක් ද, ආයතන හෝ ව්‍යාපාර 95ක් ද විය. මේ සියල්ල අතරින් නොබෙල් කමිටුව විසින් සිදු කරනු ලබන සාධාරණ විනිශ්චයකින් පසුව ඉහත කී මාධ්‍යවේදීන් දෙදෙනා මෙවර නොබෙල් සාම ත්‍යාගයට සුදුසුකම් ලබන බව පසුගිය ඔක්තෝබර් 8වැනිදා ප්‍රකාශයට පත් කෙරුණි.
මේ මාධ්‍යවේදින් දෙදෙනාට මෙවර සාම ත්‍යාගය ලබා දෙමින් එයට හේතු පාඨය ලෙස නොබෙල් කමිටුව පවසා සිටියේ ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරිමට කැපවීම, ප්රජාතන්ත්රවාදය සහ සාමය පවත්වා ගැනීමට දරන ලද වෙහෙස වෙනුවෙන් ඔවුන්ට මේ ත්‍යාගය ලබා දෙන’ බවයි.
මාරියා රෙස්සා 58 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවකි. එමෙන්ම ඇයට පිලිපීනයේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේද පුරවැසිභාවය හිමිය. රටවල් කිහිපයකින්ම උසස් අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුව මාරියා රෙස්සා ජනමාධ්‍යවේදිනියක් වශයෙන් ජීවිකාව අරඹන්නීය.
මාරියා රෙස්සා කරළියට පැමිණෙන්නේ පිලිපීනයේ රොඩ්රිගෝ ඩුයිටරේට් ජනාධිපති වීමෙන් පසුවය. සැබවින්ම විශාල ජනවරමක් ලබා ගනිමින් ඩුයිට්රේට් පිලිපීනයේ බලයට පැමිණියද පසුව ඔහු විසින් ක්‍රියාත්මක කළ ඇතැම් තීරණ ලොව පුරා විශාල වශයෙන් විවේචනයට පාත්‍ර විය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජවාරම් මර්දනය කිරීමේදී ඔහු ක්‍රියාත්මක කළ දැඩි නිති පිලිපීන ජනතාව පමණක් නොව මුළු ලෝකයම දැඩි සේ කැලඹීමට ලක් කිරීමට සමත් විය. එහෙත් ඔහුගේ දැඩි නීති රීතිවලට කැමැත්තක් දැක්වූ ජනතාවද පිලිපීනයේ සිටි බව අමතක කළ යුතු නැත. මේ දැඩි නීති රීති හමුවේ සාමාන්‍ය මිනිසුන්ද පීඩාවට පත් වන විට කෙසේ වුවද මරියා රෙස්සා මාධ්‍යවේදිනියක වශයෙන් තම හඬ නිර්භයව අවදි කළාය. පසුව අන්තර්ජාල අපරාධයක් සිදු කිරීම සම්බන්ධව ඇයට විරුද්ධව චෝදනා එල්ල විය. ඒ වන විට පිලිපීනය තුළ සම්මත කර තිබූ අන්තර්ජාල අපරාධ වැළැක්වීමේ පනත යටතේ ඇය වැරදිකාරියක වශයෙන් තහවුරු කෙරුණු අතර ඇයට දඬුවම්ද නියම විය.
කෙසේ වුවද මාරියාට නියම කෙරුණු මේ දඬුවම් මෙන්ම, එල්ල කෙරුණු චෝදනාද ලොව පුරා නිදහස් මාධ්‍යවේදීන්ගේ විශාල විවේචනයන්ට පාත්‍ර විය. අවසානයේ ඇයට ලොව පුරා විශාල පිළිගැනීමක් ඇති වූයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අභීත මාධ්‍යවේදිනියක වශයෙනි. 2018 වසරේදී ටයිම් සඟරාව විසින් ඇය වසරේ පුද්ගලයා වශයෙන් නම් කරනු ලැබූ අතර මායිම් නොමැති මධ්යවේදියෝ සංවිධානයේ ඇගයීම් මෙන්ම තවත් අන්තර්ජාතික සම්මාන රැසකටම ඇය හිමිකම් කීවාය.
මාරියා සමඟ සමව මෙවර නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කී දිමිත්‍රි මුරාතොව් 59 හැවිරිදි රුසියානු මාධ්‍යවේදියෙකි. ඔහු රුසියානු රූපවාහිනී නිවේදකයකු මෙන්ම නොවායා ගැසටා පුවත් පතේ ප්‍රධාන කර්තෘවරයාද වේ. දිමිත්‍රි නොවායා ගැසටා පුවත්පත ආරම්භ කරන්නේ 1993 වසරේදීය. ඒ තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද සමඟ එක්වෙමිනි. 1995 සිට 2017 දක්වා එහි කර්තෘ ධූරය හෙබවූ දිමිත්‍රි පසුව 2019 වසරේදී ද යළිත් එහි කර්තෘ ධුරයට පත් වන්නේය. නොවායා ගැසටා යනු රුසියාවේ ආණ්ඩුව විසින් සිදු කරන වංචා දූෂණ හෙළිදරව් කිරීම සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලන පුවත් පතකි. එපමණක්ද නොව එම පුවත්පත මේ වන විට රුසියාවේ පුටින් රජය විවේචනය කරන එකම පුවත්පත බවටද පත්ව තිබේ. එපමණක්ද නොව එම පුවත්පත පුටින් පාලනයට තර්ජනයක් බව මාධ්‍යවේදීන්ගේ අදහස වී තිබේ.
රුසියානු ජාතික දිමිත්‍රි මුරාතොව් සහ පිලිපීන ජාතික මාරියා රෙස්සා
මේ මාධ්‍යවේදීන් දෙදෙනාම තම තමන්ගේ පවුල් පවා නොසලකමින් නිදහස අදහස් ජනතාව තුළට ගෙන යෑමට කැප වුණු නිර්භීත මාධ්‍යවේදීන් බවට සැකයක් නැත. නොබෙල් ත්‍යාගය සෑම විටම බටහිර ධනවාදයට පක්ෂ බැවින්, නොබෙල් ත්‍යාගය ඉතිහාසය පුරා බටහිර මතවාදය ප්‍රචලිත කිරීමට වෙර දැරූ පුද්ගලයන් වෙනුවෙන් පුද දුන් බැවින් මෙවරද ඇමරිකාවට පක්ෂ මතවාදය ලෝකය ඉදිරියට ගෙන යෑමට වෙර දැරූ පුද්ගලයන් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ බවට තර්කයක් තොඩ නගන්නට වුවද පුළුවන. මරියා රෙස්සා යනු ඇමරිකන් පුරවැසි භාවය සහිත මාධ්‍යවේදිනියක් බව අමතක කළ යුතු නැත. එමෙන්ම මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා රුසියානු පාලනයට අභියෝග කරමින් සිටින ඇලෙක්සි නවල්නිද අයදුම් කළ බව ද රහසක් නොවේ.
මේ වම සහ දකුණ මත දෝලනය වන ලෝකයේ සිදුවන බොහෝ දෑ දේශපාලනික දෘෂ්ටිකෝණයෙන් විමසීමේදී වමට හෝ දකුණට පක්ෂව සිදු වන බවට විවාදයක් නැත. නොබෙල් සාම ත්‍යාගයද එසේම අර්ථ ගන්වා ගත හැකිය. ඒ කෙසේ වුවද ජනතාව හමුවේ නිදහස් අදහස් නිර්භයව ගෙන ඒම නම් අගය කළ යුතුමය.